Wednesday, May 14, 2014

දේශපාලන විද්‍යාවේ ස්වභාවය


දේශපාලන විද්‍යාව වනාහී සමාජ විද්‍යාවකි. දේශපාලනය අධ්‍යනය කිරීමේ මූලික ප්‍රවේශය වන්නේ දේශපාලන විද්‍යාවේ ස්වභාවය පිළිබඳ අධ්‍යනය කිරීමයි. මෙහි දී මානව ඉතිහාසය දෙස මදක් විමසිල්ලෙන් බලන විට මිනිසා තමන් සිතැඟි අනුවම ජීවත් වීමට කැමැත්තක් දක්වන සත්වයෙකු බව පැහැදිලි ය. ශිෂ්ට නොවූ යුගයක මිනිසාගේ හැසිරීම සමාජය තුළ එතරම් බලපෑමක් නෙ‍ාකල ද ශිෂ්ට සම්පන්න වීමත් සමග සෙසු සමාජ ජීවීන්ට හානියක් නොවන පරිදි ජීවත්වීමේ වැදගත්කම ඉස්මතු වේ. මෙහි දී යම් පාලනයක් පිළිබඳ මතයක් හටගන්නා අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලනය සමාජය තුළට පිවිසේ. එ් අනුව දේශපාලනය වූ කළී මානවයාගේ හැසිරීම මෙන් ම පාළණ හැසිරීම පිළිබඳ අධ්‍යනය කරන්නා වූ ද විෂය ලෙස පෙන්වා දිය හැකිය. ග්‍රීක මහා ද‍‍ාර්ශනික ඇරිස්ටෝටල් මිනිසා අනිවාර්යෙන් ම දේශපාලන සත්වයෙකි යන්න ප්‍රකාශ කර ඇත්තේ මේ නිසයි. ඔහු එසේ පැවසුවේ මිනිස් ජීවිතය දේශපාලනයෙනුත්, දේශප‍ාලනය මිනිස් ජීවිතයෙනුත් වෙන් කළ නෙ‍ාහැකි අනිවාර්ය සත්‍යයක් ව පවතින නිසයි. මේ අනුව ඉතිහාසයේ ඈත යුගයේ සිට ම මිනිස් චර්යා මත පදනම් වූ පාලන ක්‍රමයක් ඇරඹී තිබූ බව පිළිගත හැකි මතයයි.
     මිනිසා ශිෂ්ට සම්පන්න වී යහපැවැත්මක් කරා යන ගමනේ රාජ්‍යය යන ආයතනය පිහිටුවා ගත් දා පටන් දේශපාලන සත්වයෙකු ලෙස ක්‍රියා කොට ඇත. මේ නිසා රාජ්‍යයෙන් තෙ‍ාර වූ ශිෂ්ට සමාජයක් පැවතිය නොහැකිවාක් මෙන් ම මානව සමාජයෙන් තොර වූ රාජ්‍යයක් ගැන ද කතා කල නොහැක.
                                                                                                             රාජ්‍යයෙන් තෙ‍ාරව වාසය කරන්නා දෙවියකු හෝ තිරිසනෙකු විය හැකිය යනුවෙන් ඇරිස්ටෝ‍ටල් ප්‍රකාශ කලේ මේ නිසා ය.
                                                                                                                         මෙසේ සමාජය පදනම් කරගෙන බිහි වූ දේශපාලනය පිලිබඳව සොය‍ා බැලීමට මිනිස් අවධ‍ානය යොමු වී ඇත්තේ ඈත අතීතයේ සිට ම එනම් පැරණි ග්‍රීක රෝම හා ඉන්දියානු ශිෂ්ටාචාර වල ය. එම යුග වල දී රාජ්‍යය නැමැති සංවිධානය බිහි වීමත් සමඟම ය. ඒ අනුව දේශපාලන ආයතන වල ස්වභාවය, ඒවායේ සමාජ පදනම්, ඒවායේ පාලක පාලිත සබඳතාවල ස්වරූපය පිළිබඳ අවධානය යොමු වීම දේශපාලනය අධ්‍යනයේ ආරම්භය ලෙස සැලකිය හැකිය.
                                                                                                                දේශපාලනය පිළිබඳ මුල් ම විධිමත් අධ්‍යයනයක් කිරීමේ ගෞරවය හිමි වන්නේ ක්‍රි.පූ 4 වන සියවසේ ග්‍රීසියේ විසූ ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල්ට ය. ඔහුට ප්‍රථමයෙන් සොක්‍රටීස්, ප්ලේටෝ වැනි දාර්ශනිකයන් මගින් මෙය අධ්‍යයනය වුව ද විද්‍යාත්මක පදනමකින් එය අධ්‍යයනය කළේ ඇරිස්ටෝටල් ය. ඔහු ජීවත් වූ සමකාළීන ග්‍රීසියේ ක්‍රියාත්මක වූයේ පෞර පාළණ ක්‍රමයකි. එය "Polis" ලෙස හැඳින්වේ. එවක ග්‍රීසියේ මෙවැනි පෞර ක්‍රම සිය ගණනක් පැවති අතර ඒවායේ ක්‍රියාත්මක වූයේ සමූහ පාළණ ක්‍රමයකි. මේ නිසා එම පෞර රාජ්‍යයන්හි මිනිස් ජීවිතය හා දේශපාලනය අතර කිට්ටු සබඳතාවයක් පැවතිණි. ඇරිස්ටෝටල් මෙම පෞර ක්‍රමයන්හි පැවති දේශපාලන හා සමාජ, ආර්ථික කරුණු පිළිබඳ අධ්‍යයනයක් කොට "Politics" හෙවත් "දේශපාලනය" යනුවෙන් ග්‍රන්ථයක් රචනා කරනු ලැබී ය. මෙසේ දේශපාලනය පිළිබඳ මුල් ම විධිමත් අධ්‍යයනයක් කළ නිසා ඇරිස්ටෝටල් "දේශපාලන විද්‍යාවේ පියා" ලෙස හඳුන්වයි. මෙම "Political" ග්‍රන්ථයෙන් පසුව "Political Science" යන ඉංග්‍රීසි වචනය බිහි වුණු අතර එය "දේශපාලන විද්‍යාව" ලෙස හඳුන්වනු ලබයි. මේ අනුව දේශපාලන විද්‍යාව යනු "දේශයක් පාලනය කිරීම සඳහා වූ විද්‍යාත්මක ක්‍රම හෙවත් යථාර්තවාදී ක්‍රම හදාරන විද්‍යාව" ලෙස අර්ථ ගැන් වේ. නමුත් මෙවැනි සරළ අර්ථ කතනයක් පොදුවේ දේශපාලන විද්‍යාඥයන් නොපිළිගනිති. මෙම නිසා විවිධ අර්ථකතන ඒ සම්බන්ධයෙන් දැනට ගොඩ නැඟී ඇත.
                                                                     එක් කණ්ඩායමක් ප්‍රකාශ කරන්නේ දේශපාලන විද්‍යාව යනු "රාජ්‍ය පිළිබඳ හදාරන විෂය" යනුයි. යම් පාලනයක් සිදු වන්නේ රාජ්‍යයක් තුල නිසා රාජ්‍යයෙන් තෙ‍ාරව දේශපාලනයක් ගැන කතා කළ නොහැකි බව ඔවුන්ගේ මතය බව පහත මතවාද වලින් පැහැදිලි ය.
  • දේශපාලනය වූ කළී රාජ්‍ය පිළිබඳ විද්‍යාව වේ. (රේමන් පී. ගටෙල්)
  • දේශපාලන විද්‍යාව රාජ්‍යයෙන් ආරම්භ වී රාජ්‍යයෙන් අවසාන වේ. (ජේ. ඩබ්ලිව් ගානර්)
  • ආණ්ඩුවේ තීරණ ගැනීමේ ආයතන වටා සිදුවන සිද්ධීන් හැදෑරීම දේශපාලන විද්‍යාව ලෙස හැඳින්විය හැකි ය. (ඇල්ෆ්‍රඩ් ග්‍රාසියා)
  • රාජ්‍ය සහ එහි වර්ධනය සඳහා අවශ්‍ය සියලුම කොන්දේසි සලකා බැලීම දේශපාලන විද්‍යාව මගින් කරනු ලැබේ. (ඇක්ටන් සාමි)
  • රාජ්‍යයේ ස්වභාවය, එහි වර්ධනය සහ රාජ්‍යයන් අතර පවත්නා විවිධත්වය යන අංග අධ්‍යයනය කිරීම දේශපාලන විද්‍යාව මගින් කරනු ලැබේ. (බ්ලන්ටශ්ලි)
  • දේශපාලන ආර්ථික විද්‍යාව මගින් ධනය පිලිබඳව හදාරනවාක් මෙන් ම, ජීව විද්‍යාව මගින් ජීවීන් පිළිබඳව හදාරනවාක් මෙන් ම, වීජ ගණිතය මගින් සංඛ්‍යා පිළිබඳව හදාරනවාක් මෙන් ම, දේශපාලන විද්‍යාව මගින් කරනුයේ ආණ්ඩු ප්‍රපංචය පිළිබඳව අධ්‍යයනය කිරීම යි. (සර් ජෝන් සිලි)
                                                                                                            එහෙත් මේ මතය නොපිළිගන්නා තවත් කණ්ඩායමක් ප්‍රකාශ කරනුයේ දේශපාලන විද්‍යාව යනු "බලය පිළිබඳ හදාරනු ලබන විෂය" වන බවයි. "බලයෙන් තොර දේශපාලනයක් ගැන කතා කළ නොහැක." යන්න ඔවුන්ගේ මතය යි. මේ පිළිබඳ මෑත කාලීන පැහැදිලි මතයක් ඉදිරිපත් කරනු ලැබුවේ "නිකලෝ මැකියාවෙලී" ය. ඔහු 1513 දී ප්‍රකාශයට පත් කළ "කුමාරයා" නැමැති කෘතිය මේ බව පැහැදිලි කරයි. එහි දී දේශපාලනය යනු "රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් අතර පවතින බල අරගලය වේ." යනුවෙන් පැහැදිලි කරන ඔහු "බලය අල්ලා ගැනීම, බලය ව්‍යාප්ත කිරීම, හා තහවුරු කිරීම" යනුවෙන් අරමුණු තුනකින් යුතු ව දේශපාලන බලය ක්‍රියාත්මක වන බව පැහැදිලි වේ. කෙසේ වෙතත් දේශපාලන විද්‍යාවේ ස්වභාවය පිළිබඳ ඉදිරිපත් වී ඇති මෙම මතවාද නූතනයේ දී නෙ‍ාපිලිගන්නා‍ තත්වයට පත් ව ඇත.ඒවා යල් පැන ගිය සම්භාව්‍ය මතවාද ලෙස සැලකීම මෙයට හේතුවයි.
                                 දේශපාලන විද්‍යාව වූ කළී සමාජ විද්‍යා විෂයකි. සමාජ විද්‍යා විෂයන් ගණයට වැටෙන විෂයන් අතර අග්‍රගණ්‍ය විශය යනුවෙන් දේශපාලන විද්‍යාව හැඳින් වේ. ඒ අනුව දේශපාලන විද්‍යාවේ ස්වභාවය පිළිබඳව සලකා බැලීමේ දී අපේ අවධානය මේ කෙරෙහි යොමු කල යුකු ය.
                                                                                                                  සමාජ විද්‍යාවක් මගින් යොමු කරනුයේ මිනිසාගේ සමාජ හැසිරීම හා සම්බන්ධ විවිධ පැතිකඩ අධ්‍යයනය කිරීමයි. ඒ අනුව දේශපාලන විද්‍යාව මගින් සිදු කරනුයේ "මිනිසා දේශපාලන ජීවියෙකු ලෙස සංචිත දේශපාලන සමාජයක් තුළ හැසිරෙන ආක‍ාරය අධ්‍යයනය කිරීමයි."
                                     යම් විෂයක ස්වභාවය හඳුනා ගැනීම සඳහා අවධානය යොමු කල යුතු කරුණු 03ක් පෙන්වා දිය හැකි ය. එනම්,
  1. විෂයට පදනම් වී ඇති මූලික අධ්‍යයන තේමාව කුමකුද යන්න හඳුනා ගැනීම.
  2. විද්‍යාත්මක ක්‍රමවේද යෙ‍‍ාදා ගනිමින් විෂය කරුණු හැදෑරිය හැකිද යන්න
  3. විෂයක් වඩාත් සම්බන්ධකම් පවත්වන සහෝදර විෂයන්, එනම් අනෙකුත් සමාජ විද්‍යා විෂයන් මොනවාද යන්න සෙ‍ායා බැලීම.
  • දේශපාලන විද්‍යාව ස්වාධීන විද්‍යාවක් ලෙස අධ්‍යයනය කිරීම ආරම්භ වන්නේ ක්‍රි.පූ 4 වන සියවසේ ග්‍රීක යුගයේදී ය. එදා සිට අද දක්වා දේශපාලන විද්‍යාවේ ස්වභාවය සම්බන්ධයෙන් පොදු මතයක් ඉදිරිපත් වී නොමැත. ග්‍රීක යුගයේ දී පටන් දේශපාලන විද්‍යාවේ කේන්ද්‍රීය මාතෘකාව රාජ්‍යය ලෙස පිලිගැනුනත් 16 වන සියවසේ දී නිකලෝ මැකියාවෙලී බල දේශපාලනය පිළිබඳ හඳුන්වා දීමත් සමඟ දේශපාලනය බලය පිළිබඳ හදාරන විෂය බවට පත් වී මෑත කාලීනව මෙම අංශ දෙකට අමතරව තවත් අංශ පිළිබඳව හැදෑරීම කෙරෙහි දේශපාලන විද්‍යාඥයන්ගේ අවධානය යොමුව ඇත. ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, ගැටුම් කළමණාකරණය හා නිරාකරණය, දේශපාලන ප්‍රචන්ඩත්වය, අන්තර්ජාතික දේශපාලනය වැනි මාතෘකා ඒ අතර වේ. එ් අනුව දේශපාලන සමාජයක් තුළ මිනිසාගේ හැසිරීම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පදනම් කරගෙන දේශපාලන විද්‍යාවේ අධ්‍යයන තේමාවන් වෙනස් වන නිසා දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවක් වේ.
  • දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේද අනුව යොද‍ා ගනිමින් දේශපාලන විද්‍යාවේ ස්වභාවය හඳුනා ගත හැකි ය.
                       ඒ අනුව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, උද්භිත විද්‍යාව, සත්ත්ව විද්‍යාව වැනි ස්වභාවික විද්‍යාවන් හෙවත් ශුද්ධ විද්‍යාවන් වල මූගධර්ම අතරේ ඒකීය බවක් පැවතීමේ හේතු සාධක මත පිහිටා නිශ්චිත අනාවැකි පල කල හැකි වීම, පර්යේෂණ‍ාගාර මට්ටමේ පර්යේෂණ ක්‍රම ශිල්ප යොදා ගත හැකි වීම, නියතවාද ගොඩ නැගිය හැකි වීම යනා දී ලක්ෂණ දේශපාලන විද්‍යාව තුළ දැකිය නොහැකි ය. නමුත් ඇතැමුන් දේශපාලන විද්‍යාව විද්‍යාත්මක ස්වරූපයක් ගන්නා බව පැවසුවත් එයට විද්‍යාත්මක මුහුණුවරක් ලබා දීම අපහසු ය. සාමාන්‍ය වශයන් සමාජ විද්‍යාවක් තුළ දැකිය හැක්කේ ස්ථීර නොවූ නියතවාද නොවේ. සාපේක්ෂ වූ නියතිවාද ය.
                  යම් විෂයක් ශුද්ධ විද්‍යාවක් නම් එයින් ප්‍රකාශ වන දෑ සිද්ධාන්ත හා මූලධර්ම මඟින් ඔප්පු කළ හැකි විය යුතු ය. එසේ ම මූලධර්ම හා සිද්ධාන්ත ඕනෑම අවස්ථාවක එක හා සමාන තත්වයන් විග්‍රහ කිරීම සඳහා ද යොද‍ා ගත හැකි විය යුතු ය.
                               ඉහත දැක් වූ ශුද්ධ විද්‍යාවක දැකිය හැකි ලක්ෂණ අනුව බලන විට දේශපාලන විද්‍යාව තුළ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණය වන්නේ සාමාන්‍යකරණය කරන ලද නිගමන වලට එළඹීමේ තත්වයකි. විද්‍යාත්මක ක්‍රම යොදා ගැනීම හා අනාවැකි පල කිරීමේ හැකියාව යන කරුණු අනුව දේශපාලන විද්‍යාව විද්‍යාවක් ලෙස අධ්‍යයනය කිරීම අපහසු ය. මේ අනුව ස්වාභාවික විද්‍යාවක දැකිය හැකි මූලික ලක්ෂණ දේශපාලන විද්‍යාව තුළ දක්නට නොලැබෙන නිසා එය සමාජ විද්‍යාවක් ලෙස සැලකේ.
  • යම් විෂයක ස්වභාවය හඳුනාගැනීමට යොදා ගත හැකි තවත් නිර්ණායකයක් වන්නේ එම විෂය සම්බන්ධතා පවත්වන අනෙකුත් සහෝදර විෂයන් පිළිබඳව අවධානය යොමු කිරීමයි. මේ අනුව ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, සදාචාර විද්‍යාව, ඉතිහාසය, භූගෝල විද්‍යාව ආදී සමාජ විද්‍යා විෂයන් ගණනාවක් පවතී. මේ සෑම විෂයක් ම පදනම් ඇත්තේ මිනිසාගේ සමාජ ජීවිතය හා බැඳී පවතින විවිධ හැසිරීම් රටාවන් සමඟ ය. ඒ අනුව ආර්ථික විද්‍යාව මඟින් මිනිසා හා ධනය අතර පවත්නා සම්බන්ධතාවයත්, මිනිසා ආර්ථික ජීවියෙකු ලෙස හැසිරෙන ආකාරයත් අධ්‍යයනය කෙ‍රේ. ආචාර විද්‍යාව මගින් මිනිසාගේ සමාජ ජීවිතය හා සම්බන්ධ හොඳ නරක, හරි වැරදි, සදාචාරවත් හා දුරාචාරවත් ගුණාංග අධ්‍යයනය කිරීමයි. මේ ආකාරයට දේශපාලන විද්‍යාව මඟින් කරනුයේ දේශපාලනික වශයෙන් සංවිධානය වූ ජීවියෙකු ලෙස මිනිසාගේ දේශපාලන හැසිරීම් හා දේශපාලන ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමයි.
                                           ඉහත සඳහන් කරුණු සමස්තයක් ලෙස අවසානයේ දී පෙනී යන්නේ මිනිසාගේ සමාජ පැවැත්ම හා සම්බන්ධ විවිධ චර්යා රටාවන් අධ්‍යයනය කරන ඕනෑම විෂයක් සමාජ විද්‍යාවක් ‍ලෙස සලකන බවයි. මෙම නිගමනය මත දේශපාලන විද්‍යාව ද සලකා බලන්නේ නම් එළැඹිය හැකි අවසාන නිගමනය වන්නේ දේශපාලන විද්‍යාව ද සමාජ විද්‍යාවක් බවයි.
                                                              ඉහත කරුණු වලට අමතර ව දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම සඳහා භාවිතයට ගන්නා අධ්‍යයන ක්‍රම අනුව ද දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවකට ද ඉතා සමීපව කටයුතු කරයි. එම අධ්‍යයන ක්‍රම අතුරින් චර්යාවාදය හැරුණු විට අනෙක් සෑම අධ්‍යයන ක්‍රමයක් එනම්, දාර්ශනික ක්‍රමය, ‍ඓතිහාසික ක්‍රමය, තුළනාත්මක ක්‍රමය, පද්ධති විශ්ලේෂණ ක්‍රමය යනා දී සෑම ක්‍රමයකින් ම මේ තත්වය මනාව පැහැදිලි වේ. මෙම අධ්‍යයන ක්‍රම මගින් එළඹී ඇති නිගමන පර්යේෂණ‍ාගාර මට්ටමින් කරන ලද විද්‍යාත්මක පර්යේෂණ මට්ටමින් නොව නිරීක්ෂණය කිරීම්, සිතා බැලීම්, උපකල්පනය කිරීම්, අවබෝධ කර ගැනීම් ආදිය මත එළඹුණු ඒවා වේ.
                                        මේ කරුණු අනුව දේශපාලන විද්‍යාව අධ්‍යයන කිරීමට යෝග්‍ය වන්නේ සමාජ විද්‍යාවන් අධ්‍යයනය කිරීම සඳහා යොදා ගන්නා විධි ක්‍රමයත් ය. මෙයින් ද එළැඹිය හැකි අවසාන නිගමනය වන්නේ දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවක් වන බවයි.

2 comments:

Unknown said...

අනර්ඝයි.

learnpolitics said...

01. දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවක් නොව සමාජීය විද්‍යාවකි. සමාජ විද්‍යාවද සමාජීය විද්‍යාවකි.
02. දේශපාලන විද්‍යාව රාජ්‍යය සහ එහි බලය පිලිබඳ හදාරංඌ ලබන විද්‍යාවයි' යන්න ඉතා අසම්පුර්ණ කියවීමකි. එය රාජ්‍යයත් එහි බලයත් යන පරිසරයන්ට පරිබාහිර සමාජීය තලය වෙතද අවධානය යොමු කරයි. personal is political. කරුණාකර විෂයයේ නව සංවර්ධනයන් පිලිබඳ අවධානය යොමු කරන්න. දේශපාලන විද්‍යාව යනු M O A de Soysa ගේ පොත නොවේ. ඊට වඩා බොහෝ පුළුල් විෂයකි.

Post a Comment