Saturday, June 7, 2014

බලතල බෙදීමේ සිද්ධාන්තය

11 comments
දේශපාලන විද්‍යා විෂය කේෂ්ත්‍රය තුළ ඇති පැරණිතම සිද්ධාන්තයක් ලෙස සලකනු ලැබේ. මේ සම්බන්ධව ප්‍රථම වරට අදහස් දක්වා ඇත්තේ ග්‍රීක දේශපාලඥයෙකු වූ ඇරිස්ටෝටල් ය. දේශපාලන කටයුතු සාකච්ඡා කිරීම, වැඩ කටයුතු මෙහෙය වීම, යුක්තිය පසිඳලීම ආදී වශයෙන් ආණ්ඩුවේ කාර්යයන් කොටස් තුනකට බෙ‍දෙන බව ඔහු ප්‍රකාශ කළේ ය. එසේ වුවත් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කර ගත් ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය බිඳ වැටීමෙන් අනතුරු ව බිහි වූ රාජාණ්ඩු පාලන ක්‍රමය තුළ බල බෙදීමේ න්‍යායට වැදගත් ස්ථානයක් නොලැබුණු හෙයින් එම ක්‍රමය තුළ එය නොවැදගත් දෙයක් බවට පත් වෙයි.
                                                                                                            නමුත් 16 වන සියවස පමණ වන විට එංගලන්තය තුළ නැවත මෙම සංකල්පය හිස ඔසවන ලකුණු පහල වන්නට විය. එම කාලයේ දී එංගලන්තයේ රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් රජු සහ පාර්ලිමේන්තුව අතර නොකඩවා ගැටුම් ඇති වන්නට විය. මේ හේතුව නිසා ආණ්ඩුවේ කාර්යයන් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන කොටස් වලට බෙදා ක්‍රියාවට නැංවිය යුතු බවට මතයක් ඇති විය. ඒ පිළිබඳ ව මුල් කාළීන මතයක් ඉදිරිපත් කළේ එංගලන්ත ජාතික හැරින්ග්ටන් නැමැත්තා ය. එයින් පසු ව ‍ජෝන් ලොක් විසින් ද මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් කළේ ය. නමුත් නව යුගය තුළ බලතල බෙදීමේ සිද්ධාන්තය පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වන්නේ ප්‍රංශ ජාතික දේශපාලන විද්‍යාඥයෙකු වූ චාල්ස් මොන්ටෙස්ක්‍යු ට ය. ඔහු විසින් 1748 දී ප්‍රකාශයට පත් කළ “නීතියේ සාරය (The Spirit Of Law) ” යන කෘතිය තුලින් බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කළේ ය.
              දේශපාලන විද්‍යාව තුල එන බල බෙදීමේ න්‍යායෙන් ප්‍රකාශ වන්නේ ආණ්ඩුවේ බලතල ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ වශයෙන් බෙදී යාම පිළිබඳ ව වූ අදහසයි. ව්‍යවස්ථාදායක බලය වශයෙන් නීති සම්පාදනය කිරීමත්, විධායක බගය වශයෙන් නීතීන් ක්‍රියාත්මක කිරීමත්, අධිකරණමය වශයෙන් නීති විවරණය කිරීමේ බලයත්, දඬුවම් නියම කිරීමේ බලයත් අදහස් කෙරේ.
                                                                                                            මොන්ටෙස්ක්‍යුට අනුව ආණ්ඩුවේ කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහාත්, අත්ත‍නෝමතික පාලනයකින් ආණ්ඩුව ගලවා ගැනීම සඳහාත්, ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහාත්, ආණ්ඩුවේ කාර්යයන් ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ වශයෙන් බෙදා ක්‍රියාවට නැංවිය යුතු බව පෙන්වා දෙයි. දේශපාලන බලය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ ඒකරාශී වීම තුළින් ජනතා නිදහසට එල්ල විය හැකි තර්ජන වැලැක්වීමට යෙදිය හැකි කාර්යක්ෂම හා ‍හොඳම ක්‍රමය බලතල බෙදීම බව මොන්ටෙස්ක්‍යු පවසයි. ඔහු ප්‍රකාශ කළ ආකාරයට,
                 “යම් කිසි අවස්ථාවක දී අධිකරණ බලය ව්‍යවස්ථාදායක බලය හා එකට එක් වී ඇත් නම් එය හිතුවක්කාරී පාලනයකට මග පාදනු ඇත. අනෙක් අතට අධිකරණ බලය විධායක බලය සමඟ එකතු වී තිබේ නම් එය නියම ලෙස ම හිංසාකාරී හා පීඩාකාරී පාලනයක් වේ. යම් අවස්ථාවක මෙම බලතල තුනම එක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මත හෝ ඒක රාශී වී ඇත්නම් එය මිනිස් නිදහසේ නියත අවසානය වනු ඇත.”
     මොන්ටෙස්ක්‍යුගේ බලතල බෙදීම ප්‍රධාන මූලධර්ම කීපයක් යටතේ සිදු විය යුතු බව දක්වයි.
        i.            ආණ්ඩුවේ ආයතන තුන ශුද්ධ වශයෙන් වෙන්ව ම පැවතිය යුතු ය.
      ii.            බලය මෙම ආයතන තුන අතර සමානව බෙදිය යුතු ය.
    iii.            එකිනෙකට වෙනස් වූ පුද්ගලයන් තිදෙනෙකු විසින් ඒවා ක්‍රියාත්මක කළ යුතු ය.
    iv.            එක් ආයතනයක සාමාජිකයෙකු තවත් ආයතනයක සාමාජිකයෙකු නොවිය යුතු ය.
      v.            කිසිදු විටක එක් ආයතනයක කාර්යභාරයට තවත් ආයතනයක් සහභාගී නොවිය යුතු ය.
                                                                                                            මේ අනුව සමකාලීන එංගලන්ත ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කිරීමට මොන්ටෙස්ක්‍යුට බල පා ඇති බව කියැ වේ. එකල යුරෝපා ජනතාවට වඩා වැඩි නිදහසක් එංගලන්ත ජනයා භුක්ති විඳින බව එරට තුළ කළ සංචාරයක දී දුටු මොන්ටෙස්ක්‍යු එයට හේතුව මෙම ආණ්ඩු ක්‍රමය තුළ බලතල බෙදීම ක්‍රියාත්මක වීම යැයි සිතී ය. මිනිස් නිදහස රැකීමට බලතල බෙදීම ක්‍රියාත්මක විය යුතු බව ඔහු කියා සිටියේ මෙම සිතුවිල්ල නිසා ය.
                                    කෙසේ වුව ත් මෙවැනි අදහසක් මොන්ටෙස්ක්‍යු ඉදිරිපත් කරනු ලැබුව ද එවැනි තත්වයක් නූතන ආණ්ඩු ක්‍රමයන් තුළ ක්‍රියාත්මක වන්නේදැ’යි යන්න ගැටළු සහගත ප්‍රශ්නයකි. ආණ්ඩුවේ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ පහසුව උදෙසා එම බලතල ආයතන තුනකට වෙන් කරනු ලැබුව ද මොන්ටෙස්ක්‍යු දැක් වූ ආකාරයේ ශුද්ධ බල බෙදීමක් හෝ සම්පූර්ණයෙන් ම එකිනෙකින් වෙන් වූ ආයතනික රටාවක් හෝ නූතන ආණ්ඩු ක්‍රමයන් හි ක්‍රියාකාරීත්වය දෙස බැලීමේ දී හඳුනාගත ‍නොහැකි බව පෙනේ.

නූතන ආණ්ඩුක්‍රම හා බලතල බෙදීමේ න්‍යාය
v බ්‍රිතාන්‍යය
                 බ්‍රිතාන්‍යය තුළ මොන්ටෙස්ක්‍යු දුටු ආකාරයේ බල බෙදීමේ ක්‍රමයක් දක්නට නොලැබෙන බව වැඩි දුර විමසීමේ දී පෙනී යන කරුණකි. එංගලන්තයෙහි ද ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන අංශ ත්‍රිත්වය දක්නට ඇති අතර ඒවා ක්‍රියාත්මක අංශයේ දී අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වේ. මෙහි දී පූර්ණ විධායකය වන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තේරී පත්වන්නේ ව්‍යවස්ථාදායකය තුළිණි. එසේ ම එයට වග කීමට ද බැඳී සිටී. විධායකයට විධායක බලතල වලට අමතරව ව්‍යවස්ථාදායක නීති සම්පාදන බලතල පවරා ඇතත් ක්‍රියාත්මක අංශය තුළ ව්‍යවස්ථාදායකය විධායකය පාලනය කරයි. පාර්ලිමේන්තුවට විධායකයේ සාමාජිකයන්ගෙන් විධායක කටයුතු ගැන ප්‍රශ්න කළ හැකි අතර, ඒවාට ලිඛිතව හෝ වාචිකව පිළිතුරු දීමට විධායකය බැඳී සිටී. එසේ ම විධායකය ඉවත් කිරීමේ බලය ද ව්‍යවස්ථාදායකයට න්‍යායාත්මකව පැවරේ. ඒ අනුව ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙනුත්, අයවැය ලේඛණය හෝ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය කිරීමෙනුත් විධායකය ඉවත් කළ හැක.
                                                                                                            එසේ ම විධායකය වූ අගමැතිට නාමික විධායකය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත්, සැසිවාර කල් තැබීමටත්, රැස් කිරීමටත් බලය තිබේ. එසේ ම පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලය විධායකය විසින් මෙහෙයවයි. මේ නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය එකිනෙකට සම්බන්ධ වීම කැබිනට් ක්‍රමයක ලක්ෂණයක් වන අතර, ඒ නිසා බල බෙදීමේ න්‍යාය ක්‍රියාත්මක නොවේ.
                        බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලය ව්‍යවස්ථාදායකයේ ම කොටසක් ව අතර එහි නායකත්වය උසුලනු ලබන්නේ අධිකරණ අමාත්‍යවරයා ය. එනම් චාන්සලර් සාමි වරයා ය. හේ පරම්පරාව මත පැවත එන්නෙකි. හෙතෙම කැබිනට් මණ්ඩලයේ ද සාමාජිකයෙක් වේ. ඒ නිසා ඔහු ව්‍යවස්ථාදායකයට ද, විධායකයට ද, අධිකරණයට ද සම්බන්ධ වේ. මෙම සම්බන්ධතා තුළින් ද බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය තුළ බලතල බෙදීමකට වඩා බලතල ඒකරාශී වීමක් සිදු වී ඇති බව පෙනේ. තව ද ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණ ආයතන වලට විනිසුරුවන් පත් කරනු ලබන්නේ අගමැතිවරයාගේ නාමකරණයෙන් පසු බ්‍රිතාන්‍ය රැජින විසිනි. එසේ විනිසුරුවන් පත් කරනු ලැබුවත් ඉවත් කිරීමේ බලය අගමැතිට හෝ රැජිනට නොමැත. එම බලය රැඳී ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ය. මේ නිසා අධිකරණ ආයතන ව්‍යවස්ථාදායකය හා විධායකය සමගත් නිරන්තර සහයෝගයෙන් යුතු ව වැඩ කටයුතු කරයි. ඔවුන්ගේ පත්වීම හා නිලයේ රැඳී සිටීම එම මණ්ඩල දෙක මත රඳා පැවතීම එයට හේතුවයි.
                                                ඉහත සඳහන් කළ කරුණු අනුව ක්‍රියාත්මක කේෂ්ත්‍රයේ කටයුතු කිරීමේ දී මෙම ආයතන වෙන් වූ ආයතන තුනක් ආකාරයෙන් කටයුතු කරනු දක්නට නොලැබේ. එහි දක්නට ඇත්තේ එකිනෙකට ඉතා සමීප සම්බන්ධතාවක් පෙන්නුම් කරන ආයතන තුනකි.

v ඇමරිකා එක්සත් ජනපදය
              1789 දී සම්පාදනය කළ ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොන්ටෙස්ක්‍යු ඉදිරිපත් කළ බල බෙදීමේ න්‍යාය ඒ අයුරින් ම භාවිතයට ගනිමින් සකසන ලද්දකි. ඇමරිකානු ව්‍යවස්ථා සම්පාදකයෙකු වූ ජේම්ස් මැඩිසන් වරක් ප්‍රකාශ කළ ආකාරයට,
                                                             “මහජන ඡන්දයකින් තේරී පත් වුව ද, නාමකරණයෙන් තෝරා පත් කළ ද, පාරම්පරිකව තේරී පත් වුව ද, එක් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් මත හෝ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල ඒකරාශි වීම නියත ලෙස ම කෲර ඒකාධිපති පාලනයකට මඟ පාදනු ලබයි.”
                 මෙම අදහස අනුව ඇමරිකානු ආණ්ඩුක්‍රමය තුළ විධායක ඒකාධිපතිත්වයක් ඇති වීම වලක්වා ලීම සඳහා බලතල බෙදීමේ න්‍යාය ව්‍යවස්ථාව තුළට ඇතුළත් කරන ලදි. එසේ ම බලතල බෙදීම ක්‍රියාත්මක වීම තුලින් එම ආයතන තුල ඇතිවන ස්වාධීනත්වය හා හුදකලා බව එක්තරා මට්ටමකට සීමා කිරීම සඳහා සංවරණ හා තුළණය (Theory Of Check And Balance) යන න්‍යාය ද ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. ඒ අනුව විධායක කටයුතු ඇමරිකානු ජනාධිපතිවරයාට ද, ව්‍යවස්ථාදායක කටයුතු කොන්ග්‍රස් මණ්ඩලයට ද, අධිකරණ කටයුතු සුප්‍රීම් උසාවියට ද පවරා දෙනු ලැබිණි.
                                                            බලතල බෙදීමේ න්‍යායට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා මහජන ඡන්දයකින් (ජනාධිපතිවරණයකින්) වෙන ම තෝරා පත් කර ගනු ලබන අතර කැබිනට් මණ්ඩලයක් ලෙස කටයුතු කරන ඔහුගේ ජනාධිපති උපදේශකයන් හෙවත් ජනාධිපති ලේකම්වරු ජනාධිපතිගේ කැමැත්ත මත ඔහු විසින් තෝරා පත් කර ගනු ලබයි. එසේ ම‍ වෙන ම මහා මැතිවරණයක් මඟින් කොන්ග්‍රස් මණ්ඩලයේ මහජන මන්ත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගනු ලබයි. තෝරා ගැනීමේ පිළිවෙත සළකා බැලුවහොත් එම ආයතන අතරේ පැහැදිලි වෙනසක් දැකිය හැකි වේ. එසේ වුව ත් ක්‍රියාත්මක කේෂ්ත්‍රයේ දී බොහෝ දුරට වෙනසක් හඳුනා ගත නොහැකි අයුරින් එම ආයතන අතර එක්තරා අයුරක සබඳතාවයක් ගොඩ නැඟී ඇති බව පැහැදිලිව පෙනී යන කරුණක් වේ.
                                                                                                            මේ අනුව ඇමරිකාවේ ව්‍යවස්ථාදායක බලය කොන්ග්‍රස් මණ්ඩලයට පවරා තිබුණ ද එය සම්මත කරන අණ පනත් නීති බවට පත් වීමට ජනාධිපතිවරයාගේ කැමැත්ත අවශ්‍ය වේ. එහි දී ජනාධිපතිවරයා තමා වෙත ඉදිරිපත් වී යම් පනතකට කැමැත්තේ නම් අනුමැතිය ලබා දෙනු ලැබේ. එසේ වූ අවස්ථාවක දී පනත නීතියක් බවට පත් වී ක්‍රියාත්මක වේ. නමුත් ජනාධිපතිවරයා යම් පනතකට අකමැති වන්නේ නම් එයට අනුමැතිය නොදී සිටිය හැකි ය. නැතිනම් එය අහෝසි කළ හැකි ය. එසේ පනත් අහෝසි‍ කිරීමේ බලය ජනාධිපති සතු නිශේධ බලය ලෙස හැඳින්වේ. නමුත් නිශේධ කිරීමේ පනත් කොන්ග්‍රසයේ උභය මණ්ඩල වල 3න් 2ක අනුමැතියක් වෙන වෙන ම යළි සම්මත කළහොත් ජනාධිපතිවරයාගේ නිශේධ බලය අහෝසි වනවා මෙන් ම එම පණතට අත්සන් තබා නීතියක් බවට පත් වූ පසු ක්‍රියාත්මක කළ යුතු ද වන්නේ ය.
                                                                                    තව ද විධායක බලය ජනාධිපතිවරයාට පැවරුණත් ඉන් සමහරක් බලතල ක්‍රියාවට නැංවිය යුත්තේ සෙනෙට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව ය. නිදසුන් වශයෙන් ජනාධිපති ලේකම්වරු, තානාපතිවරු, මහ කොමසාරිස්වරු, රාජ්‍ය සේවා ඉහළ නිළධාරීන් (නීතිපති, යුක්තිපති, මැතිවරණ කොමසාරිස්, විගණකාධිපති), සුප්‍රීම් උසා විනිශ්චයකාරවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ආදීන් පත් කළ යුත්තේ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ය. එසේ ම ඇමරිකානු ජනාධිපතිවරයාට විදේශ ගිවිසුම් වලට එළඹීමේ බලය තිබුණ ද ඔහු එළඹෙන ගිවිසුම් වලංගු වන්නේ සෙනෙට් මණ්ඩලයේ 3න් 2ක ඡන්දයෙන් අනුමත කළහොත් පමණි. රට පාවාදීමට කුමන්ත්‍රණය කිරීම, රට පාවාදීම, අල්ලස් ගැනීම, භයානක කුමන්ත්‍රණයකට හසු වීම, චරිත දූෂණය වැනි ‍චෝදනා වලට ජනාධිපතිවරයා වැරදිකරු බව හැ‍‍ගෙන්නේ නම් දෝෂාභියෝග චෝදනාවක් මඟින් ඔහු තනතුරින් ඉවත් කිරීමේ බලය කොන්ග්‍රසය සතු ය. චෝදනාව මහජන මන්ත්‍රී මණ්ඩලය මගින් කෙටුම්පත් කළ යුතු අතර සෙනෙට් මණ්ඩලය එය විනිශ්චය කළ යුතු ය. එම විනිශ්චය මත ජනාධිපතිවරයා ධූරයේ රැඳී සිටීම හෝ ඉවත්ව යාම සිදු වේ.
              එසේ ම ජනාධිපති සිය විධායක කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය මුදල් සම්පාදනය කර ගත යුත්තේ ද කොන්ග්‍රසයේ අනුමැතියට යටත්ව ය. කොන්ග්‍රසය අනුමත නොකරන කිසිදු මුදලක් ජනාධිපතිවරයාට වැය කිරීමට බලය නැත්තේ ය. එවැනි අවස්ථා වල දී ජනාධිපතිවරයා (විධායකයා) කොන්ග්‍රසයේ හොඳ හිත දිනා ගැනීමට හා පවත්වාගෙන යාමට කටයුතු කරනු දක්නට ලැබේ. වරින් වර කොන්ග්‍රසය ඇමතීම, හිතවත් මන්ත්‍රීවරු මාර්ගයෙන් තම අදහස් කොන්ග්‍රසය වෙත ඉදිරිපත් කිරීම මෙන් ම විවිධ අනුග්‍රහ දැක්වීම් තුළින් ද මෙම හොඳහිත ස්ථාවර ව පවත්වා ගැනීමට උත්සාහ දරනු පෙනේ.
                                                                                                                        මේ අනුව ඇමරිකානු ව්‍යවස්ථාදායකයත්, ජනාධිපති විධායකයත් අතර දුරස්ථ සම්බන්ධතාවයකට වඩා සමීපස්ථ වූ සම්බන්ධතාවයක් ගොඩ නැගී ඇති බව පෙනේ.
                                                ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සන්ධීය ශ්‍රේෂ්ඨාධීකරණයේ විනිශ්චයකරුවන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වන්නේ ය. එහි දී ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ කඩ ලැබේ. එසේ වුවත් ජනාධිපතිවරයා ලබා දෙන එම පත් වීම් කොන්ග්‍රසයේ දෙවන මණ්ඩලය විසින් අනුමත කළ යුතු වේ. අනුමත නොකරන කිසිදු පත් වීමක් නීත්‍යානුකූල නොවන්නේ ය. මේ අනුව අධිකරණ ආයතනයේ නිළධාරීන්ගේ පත් වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයේ (කොන්ග්‍රසයේ), ජනාධිපති විධායකයේ ත් සහයෝගය අත්‍යවශ්‍ය බව පෙනේ. නමුත් අධිකරණ නිළධාරීන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වුව ද ඔවුන් ඉවත් කිරීමේ බලය ඔහුට නැත. යම් හේතුවක් මත ඔවුන් නිළයෙන් ඉවත් කරන්නේ නම් කොන්ග්‍රසය සම්මත කරන දෝශාභියෝග චෝදනාවකින් එය සිදු කළ යුතු ය. එහි දී අධිකරණ නිළධාරීන්ට තම ධූරයේ රැඳී සිටීම සඳහා ව්‍යවස්ථාදායකයේ සහයෝගය අත්‍යවශ්‍යම සාධයක් බවට පත් වී තිබේ.
                        තව ද ව්‍යවස්ථාවට අනුව කොන්ග්‍රසය විසින් සම්මත කොට ජනාධිපති විධායකය මගින් අනුමත කරනු ලබන ඕනෑම පනත් කෙටුම්පතක් හෝ ක්‍රියාත්මක වන නීතියක් විවරණය කිරීමේ බලය සන්ධීය ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇත. එසේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරනු ලබන හෝ කළ ඕනෑම පණතක් හෝ නීතියක් විවරණය කොට එය ව්‍යවස්ථාවට අනුකූල නොවේ නම් ඒවා අහෝසි කිරීමේ බලය ද ශ්‍රේෂ්ඨාධිකරණය භුක්ති විඳී. ඒ අනුව නිවැරදි වූ නීති සම්පාදනයක් සඳහා ව්‍යවස්ථාදායකයට මෙන් ම විධායකයට ද අධිකරණයේ සහයෝගය අවශ්‍ය වේ.
                                                                        ඒ අනුව ඇමරිකානු ආණ්ඩුවේ ආයතන තුන අතරෙහි මොන්ටෙස්ක්‍යු දැක් වූ ආකාරයේ ම බලතල බෙදීමක ට වඩා සහසම්බන්ධතාවක් ගොඩ නැඟී ඇති බව හඳුනාගත හැකි ය.