Friday, May 16, 2014

දේශපාලන විද්‍යාවේ විෂය කේෂ්ත්‍රය

1 comments
                                       
                                       සමාජ විද්‍යා විෂයක් වශයෙන් ගෙන බලන විට දේශපාලන විද්‍යා විෂය කේෂ්ත්‍රය ඉතාම පුළුල් වූ එකක් ලෙස සැලකේ. ඒ පිළිබඳ දේශපාලඥයින් අතර පොදු වූ ත්, එකඟ වූ ත් මතයක් මේ දක්වාත් දැක ගත නොහැක. යම් විෂයක විෂය කේෂ්ත්‍රය ලෙස අප හඳුනා ගනු ලබන්නේ එම විෂය වටා ගොඩ නැඟී ඇති කරුණු සමුදාය යි. එනම් එම විෂය තුළින් හදාරනුයේ මොනවාද යන කරුණු පිළිබඳ සොයා බැලීමයි. ඒ අනුව දේශපාලන විද්‍යා විෂය වටා මේ වන විට ඒකරාශි වී ඇති සියළුම මූලිකාංග පිළිබඳ සොයා බැලීම දේශපාලන විද්‍යා විෂය කේෂ්ත්‍රය ලෙස හඳුනා ගත හැක.                                                                                                                          කෙසේ වුවත් දේශපාලන විද්‍යා විෂය කේෂ්ත්‍රය එසේ සකස් වුව ද, කුමන කරුණු අඩංගු විය යුතු ද?, කුමන ඒවා අධ්‍යයනය කළ යුතුද? යන්න පිළිබව දේශපාලන විද්‍යාඥයින් තුළ  එකගතාවයක් දක්නට නොලැබේ. විවිධ යුගයන් වල විවිධ වූ චින්තකයින් විවිධ වූ කරුණු ඔස්සේ මෙම විෂයෙහි විෂය ක්ෂේත්‍රය ගොනු කර ඇති බවක් දක්නට ලැබේ. නමුත් මුල් කාළීනව හදුනාගත් විෂය කේෂත්‍රය වර්තමානයේ දක්නට නොලැබේ. සමාජ විකාශනයත් සමගම මෙම විෂයෙහි විෂය කරුණු ද විකාශනය වෙමින්, සංවර්ධනය වෙමින් පුළුල් පරාසයක පැතිරී යන බවක් හදුනා ගත හැක. මිනිස් වාසයක් ඇති පෘථිවායේ සෑම ස්ථානයක් ඔස්සේ ම පැතිරී ගිය විෂය කේෂ්ත්‍රයක් බවට පත් වී තිබේ. ඒ අනුව සෑම මිනිස් චර්යාවක් ම පිළිබද ව හැදෑරීම ද මේ යටතේ සිදු වේ.
                                                         ඒ අනුව සමහර දේශපාලයින් කණ්ඩායමක් මෙය රාජ්‍ය පිළිබද හැදැරීමක් ලෙස අර්ථ දක්වා ඇති අතර තවත් කණ්ඩායමක් රාජ්‍ය හා බලය ලෙස ද, රාජ්‍ය හා ආණ්ඩුව පිළිබද හැදෑරීමක් ලෙස ද හදුන්වා දී ඇත.
                                                  මුල් කාලීන දේශපාලඥයෙකු ලෙස සැලකෙන “ගිල්ක්‍රිස්ට්” නැමැත්තා රාජ්‍ය පිළිබද කරනු ලබන අධ්‍යයනයන්ගෙන් මෙම විෂය කේෂ්ත්‍රය සමන්විත වන බව කියයි. ඔහුට අනුව වර්තමාන රාජ්‍ය ක්‍රමය හැදෑරීම, අතීතයේ පැවති රාජ්‍ය ක්‍රම හැදෑරීම හා රාජ්‍යෙය් සැබෑ ස්වරූපය කුමක්ද? යන්න හැදෑරීම යනුවෙන් මෙම විෂය කේෂ්ත්‍රය කොටස් වන බව දක්වයි. මහාචාර්ය ජේ.ඩබ්ලිව් ගානර් නැමැති දේශපාලඥයාට අනුව දේශපාලන විද්‍යා විෂය කේෂ්ත්‍ර තුනකින් සමන්විත ය.

1)      රාජ්‍යෙය් ආරම්භය සහ එහි ස්වභාවය හැදෑරීම.
2)      දේශපාලන ආයතනයන්ගේ ස්වභාවය, විවිධත්වය හා ඓතිහාසික වර්ධනය හැදෑරීම.
3)      ඉහත දැක් වූ ප්‍රථම හා දෙවන කරුණ පදනම් කරගෙන දේශපාලන වර්ධනය පිළිබද න්‍යායක් ගොඩ නැගීම.

                        කෙසේ වෙතත් රාජ්‍ය කේන්ද්‍ර කොටගත් ඒ ආශ්‍රිත අනෙකුත් මූලිකාංග අධ්‍යනය කිරීම දේශපාලන විද්‍යාවේ විෂය කේෂත්‍රයට අයත් වන බව දළ වශයෙන් ප්‍රකාශ කළ හැකි ය. මෙතෙක් දේශපාලන විද්‍යාවේ විෂය කේෂ්ත්‍රය ලෙස අප අධ්‍යයනයට හසු කර ගත්තේ 1940 දශකයේ මැද භාගයේ දී ඇමරිකානු දේශපාලන සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ විෂය කේෂ්ත්‍රය යි. එනම්,
1)      දේශපාලන න්‍යාය හා සමාජ දර්ශනය
2)      දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම් හා මහජන මතය
3)      ව්‍යවස්ථානුකූල නීතිය, පරිපාලන නීතිය හා පොදු නීතිය අතර රාජ්‍ය පාලනය
4)      රාජ්‍ය උපාය මාර්ග
5)      ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර සංවිධාන හා ජාත්‍යන්තර සම්බන්ධතා
6)      ජාතික ආණ්ඩුක්‍රමය
7)      තුලනාත්මක ආණ්ඩුක්‍රමය
8)      ව්‍යවස්ථාදායකය හා නීති සම්පාදනය
9)      විධායකය හා එහි කාර්යය
                                ඉහත සදහන් කළ මෙම ප්‍රධාන විෂය කොටස් වලට අමතර ව දේශපාලන සමාජ විද්‍යාව, දේශපාලන සංස්කෘතිය, දේශපාලන සමාජානුයෝජනය යන විෂය කොටස් ද විෂය කේෂ්ත්‍රය යටතේ හදාරනු ලැබ තිබේ. නමුත් මෑත කාළීන විෂය නිර්දේශය තුළ සිදු වන වෙනස්කම් අනුව දේශපාලන විද්‍යා විෂය කේෂ්ත්‍රය ලෙස අප අධ්‍යයනය කරනු ලබන්නේ පහත සදහන් විෂය කරුණු ය.
1)      දේශපාලන දර්ශනය, චින්තනය, න්‍යාය හා මතවාද
2)      රාජ්‍ය හා ආණ්ඩුව
3)      දේශපාලන බලය
4)      දේශපාලන ක්‍රියාදාමය
5)      නීතිය හා අධිකරණය
6)      තුලනාත්මක ආණ්ඩුක්‍රමය
7)      රාජ්‍ය පාලනය
8)      ගැටුම් ප්‍රභව හා ගැටුම් කළමනාකරණය
9)      අන්තර්ජාතික දේශපාලනය
10)  ප්‍රාදේශීය ආණ්ඩුකරණය

  • දේශපාලන දර්ශනය, චින්තනය, න්‍යාය හා මතවාද
                         මෙම විෂය කොටස් සතරකි. දේශපාලන න්‍යාය හා සමාජ දර්ශනය යන මාතෘකා කොටසක් ද අන්තර්ගත වේ.‍ දේශපාලන න්‍යාය යනුවෙන් අදහස් කරනුයේ ප්‍රත්‍යක්ෂ මූලික සාධක සහ දත්ත පදනම් කරගෙන දේශපාලන ආයතනයන්ගේ ක්‍රියාකාරිත්වය කෙරෙහි අදාල වන මූලික කරුණු ගොඩ නැගීමයි.
           දේශපාලන චින්තනය යනු ඉතිහාසයේ යම් අවධියක පැවති සමාජයේ දේශපාලන ජීවිතය පිළිබද එම යුගයන් හි ජීවත් වූ දේශපාලන චින්තකයින් ඉදිරිපත් කර ඇති චින්තනයන් ය. දේශපාලන දර්ශනය මගින් කරනුයේ රාජ්‍ය ස්වභාවය හා එහි අරමුණු, මිනිස් අයිතිවාසිකම් හා යුතුකම්, මිනිසුන් හා රාජ්‍යය අතර පවත්නා සම්බන්ධතාවයේ ස්වරූපය හා රාජ්‍ය තුළින් මිනිසුන් අත් පත් කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු වල ස්වභාවය සහ ඒවා අයත් කර ගත හැක්කේ කෙසේ ද යන ප්‍රශ්න වලට දාර්ශනිකයන් විසින් ලබා දී ඇති කරුණු පිළිබද සලකා බැලීමයි. වෙනත් අයුරකින් දක්වන්නේ නම් රාජ්‍ය යනු කුමක්ද?, රාජ්‍ය ආරම්භ වූයේ ඇයි?, මිනිසුන් රාජ්‍යයට අවනත වනවාද? නැද්ද? යනා දී වශයෙන් ගොඩ නැගුණු විවිධාකාර වූ ප්‍රශ්න මෙම විෂයේ දී දාර්ශනික ප්‍රශ්න බවට පත් ව ඇත. මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම දේශපාලනික දාර්හනිකයන්ගේ කාර්යභාරය යි. මෙහි දී ඇරිස්ටෝටල්, කාල් මාක්ස්, ප්ලේටෝ, මැක්ස්වෙබර් යනාදීන් ඉදිරිපත් කළ මත විශේෂයෙන් ම සලකා බැලේ. මෙම දාර්ශනිකයන් ඉදිරිපත් කළ කෘතීන් දේශපාලන න්‍යායන් අන්තර්ගත කෘතීන් ලෙස සැලකේ. දේශපාලන මතවාද යනු දේශපාලන ජීවිතයේ යම් යම් අපේක්ෂාවන් යථාර්ථීකරණයන් කර ගැනීම උදෙසා දේශපාලන බලය හැසිර වීම සදහා මේ මේ ක්‍රමය වඩාත් සුදුසු යැයි හුවා දක්වන අදහස් විමසා බැලීමයි.
                                                                                    දේශපාලන ක්‍රියාවට නැගෙන්නේ යම් රටක් තුළ නැතහොත් රාජ්‍යයක් තුළ ය. රාජ්‍යයක් නොමැතිව පාළණයක් ක්‍රියාවට නැගිය නොහැකි ය. ඒ නිසා දේශපාලනයේ දී රාජ්‍ය නැමැති සංකල්පය අතිශයින් වැදගත් වූ සංකල්පයක් ලෙස සලකනු ලැබේ. මේ නිසා දේශපාලනය රාජ්‍ය වටා ගොඩ නැගී ඇති බව ඇතැම් විචාරකයෝ පවසති. ඒ අනුව මෙම මාතෘකාවේ දී රාජ්‍යය යනු කුමක්ද?, ඒ පිළිබදව ඉදිරිපත් වී ඇති මූලික නිර්වචන මොනවාද?, එහි සංයුතිය කුමක්ද?, එහි ආරම්භය හා විකාශනය කෙසේ සිදු වීද?, රාජ්‍යය පිළිබද ඉදිරිපත් වී ඇති මතවාද මොනවාද? යන්න විශේෂයෙන් ම සදහන් කෙරේ.
                                    ආණ්ඩුව යනු රාජ්‍යය තුළ පවත්නා එක් අංගයකි. එනම් රාජ්‍යය ගොඩ නැගීම සදහා පාදක වූ වැදගත් සාධකයකි. එය රාජ්‍යය නියෝජනය කරන නියෝජිතයා ලෙස සලකනු ලැබේ. මේ අනුව ආණ්ඩුව යනු කුමක්ද?, ගොඩ නැගී ඇත්තේ කෙසේද?, එහි සංයුතිය කුමක්ද?, කාර්යයන් මොනවාද?, සමාජ සංවිධානයක් වශයෙන් එහි වැදගත්කම හා එයට බලයක් හිමි වෙනවාද? ආදී බොහෝ දෑ පිළිබද ව දේශපාලන විද්‍යා විෂය කේෂ්ත්‍රය තුළ දී හදාරනු ලැබේ.

  •  දේශපාලන බලය
               යම් රාජ්‍යයක් තුළ ජීවත් වන මිනිස් සමූහයක් හැසිරවීම නැතහොත් පාලනය කිරීම සදහා යම් බලයක් අවශ්‍ය වේ. බලයක් නොමැතිව බලපෑමකින් තොර ව යහපත් සමාජයක් නිර්මාණය කළ නොහැකි ය. ඒ අනුව ස්වාධීන වූ  සෑම රාජ්‍යයකට ම තම කටයුතු කළමණාකරණය කිරීමට, පරිපාලනය කිරීමට හා පවත්වාගෙන යෑමට උත්තරීතර බලයක් හිමි වී ඇත. එය ස්වාධිපති බලය ලෙස හදුන්වනු ලැබේ. දේශපාලනය බලය පිළිබද ව හදාරන විෂය බවට පත් ව ඇතැයි ඇතැම් දේශපාලඥයින් ප්‍රකාශ කරන්නේ බලයෙන් තොර දේශපාලනයක් ගැන කතා කළ නොහැකි නිසා ය. ඒ අනුව රාජ්‍යයට බලය හිමි වන බව ද, එය ලැබෙන්නේ කෙසේ ද?, බලය ක්‍රියාවට නංවන්නේ කෙසේද? කුමකින්ද?, මිනිසුන් මේ බලයට අවනත වනවාද?, අවනත නොවන්නේ නම් කුමක් සිදු වේ ද? ආදී ලෙස බලය වටා ගොඩ නැගී ඇති විවිධාකාර කරුණු පිළිබද ව මෙහි දී හදාරනු ලැබේ.

  •  දේශපාලන ක්‍රියාදාමය
               දේශපාලන ක්‍රියාදාමය යනු, ආණ්ඩුව හා ජනතාව ආණ්ඩුකරණයට එනම් පාලන ක්‍රමයට සම්බන්ධ වන අයුරු සලකා බැලීමයි. මහජනතාව පාලනයට සම්බන්ධ වන විවිධ ක්‍රම මොනවාද?, ජනතාවට ආණ්ඩුවට බලපෑම් කළ හැකිද?, ජනතාව දේශපාලන ජීවීන් වශයෙන් දේශපාලනය ඉගෙන ගන්නා ආකාරය, එහි හැසිරෙන ආකාරය ආදී කරුණු මෙහි දී හදාරනු ලැබේ. විශේෂයෙන් ම මැතිවරණ ක්‍රම, දේශපාලන පක්ෂ, මහජන මතය, බලපෑම් කණ්ඩායම් ආදිය ද දේශපාලන සමාජානුයෝජනය, දේශපාලන සංස්කෘතිය ආදී කරුණු කෙරෙහි ද අවධානය යොමු කර ඇත.

  •  නීතිය හා අධිකරණය
                 සංවිධානය වූ සමාජයක් තුළ මිනිස් සමාජ යහපැවැත්ම පාලනය කිරීම සදහා අධිකාරී බලය පදනම් කරගෙන රාජ්‍යය පනවන රෙගුලාසි නීති ලෙස සැලකේ. සමාජ යහපැවැත්ම නීති මගින් ම ඇති නොවුනත් දේශපාලන විද්‍යාවේ දී නීති ලෙස සලකනුයේ රාජ්‍ය මගින් පනවන රෙගුලාසි පමණි. මෙහි දී යහපැවැතුම් සමාජ පාලනයක් සදහා වන රජයේ අභිමථාර්ත ඉටු කර ගැනීම සදහා අවශ්‍ය වන්නා වූ ප්‍රධාන සාධකයක් ලෙස සලකන නීති මොනවාද?, සමාජයට එය අවශ්‍යමද?, රාජ්‍ය මගින් පනවන නීති කඩ කළ හැකි ද?, එසේ වුවහොත් සිදු වන්නේ කුමක් ද?, නීතියේ මූලාශ්‍ර මොනවාද? යනුවෙන් කොටස් කෙරෙන විෂයානුබද්ධ කරුණු විෂය කේෂ්ත්‍රය යටතේ හදාරනු ලැබේ.
                                                                        අධිකරණය යනු, ආණ්ඩුවේ බල ආයතන වලින් වැදගත් ම ඒකකය වේ. අධිකරණයේ දී මූලික වශයෙන් සිදු කෙරෙන්නේ නීතිය අර්ථකතනය කිරීම හා ආරක්ෂා කරීමයි. ඒ අනුව නීති කඩ කරන්නන්ට දඩුවම් පැමිණවීම ද මෙයින් සිදු කෙරේ. ආණ්ඩුවේ බල ආයතන සහ එහි සංයුතිය පිළිබද ආරක්ෂයකයා වශයෙන් එහි කාර්යභාරය කුමක්ද?, එය අපක්ෂපාතී ආයතනයක් ද? ආදී කරුණු කෙරේ අවධානය යොමු කෙරේ.

  •  ප්‍රාදේශීය ආණ්ඩුකරණය
               මෙය පළාත් ආණ්ඩුකරණය ලෙස ද හැදින්වේ. සන්ධීය හෝ ප්‍රාන්ත හෝ නොවන ඕනෑම ආණ්ඩුකරණ ක්‍රියාවලියක් ප්‍රාදේශීය ආණ්ඩුකරණය ලෙස සැලකේ. ඒ අනුව පළාත්, ප්‍රාදේශීය නගර, මහ නගර, ගම් ආදී ඕනෑම මට්ටමක ආණ්ඩුකරණ ක්‍රියාවලිය මේ යටතේ සලකා බැලේ. මෙම විෂය කොටස් අද වන විට ඉතා වටිනා උප විෂය කොටසක් බවට පත් ව තිබේ. විශේෂයෙන් ම ඒකීය පාලන ක්‍රමයේ දී මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කෙරේ. ආණ්ඩුවේ පාලන කාර්යයේ පහසුව සදහා පිහිටුවා ගනු ලබන මෙම ආයතන බිහි කිරීම, කාර්යභාරය, සංයුතිය, නිළ කාළය, විසුරුවා හැරීම, බලතල ආදිය පිළිබද ව සලකා බැලීම ද සිදු කෙරේ.

  •  තුලනාත්මක ආණ්ඩුක්‍රමය
                 තුලනාත්මක ආණ්ඩුක්‍රමය යනු, තම රටේ ආණ්ඩුක්‍රමයත් සමග වෙනත් රටවල ආණ්ඩුක්‍රමයන් සසදා බලා හැදෑරීමයි. තවත් තුලනය කරනු ලබන ආණ්ඩු ක්‍රමයන් හි ආරම්භය, විකාශනය, ආණ්ඩුක්‍රම වලට යහපත් අයහපත් අංග ලක්ෂණ ආදිය පිළිබද සලකා බැලීමට මෙයින් හැකියාව ඇත. ඇරිස්ටෝටල් නම් දේශපාලඥයා රටවල් 158ක දේශපාලනය හා ආණ්ඩුක්‍රමය පිළිබද හදාරා දේශපාලන විද්‍යාව හා ආණ්ඩුක්‍රමය පිළිබද බොහෝ කරුණු ප්‍රකාශ කල බව කියැ වේ. ඒ අනුව විවිධ දේශපාලනික ක්‍රමයන්, ආණ්ඩුක්‍රමයන් හා ආයතන සංසන්දනාත්මක ව හැදෑරීම මෙම විෂය කේෂ්ත්‍රය තුල දී සිදු වේ.

  •  රාජ්‍ය පරිපාලනය
                  දේශපාලන විද්‍යා විෂය කේෂ්ත්‍රය මෑතක දී එකතු වූ අංගයක් ලෙස මෙය සැලකේ. නූතනයේ දී රාජ්‍ය සුභසාධකවාදී ආයතනයක් වීම නිසා රාජ්‍ය නිළධාරීන්ගේ අවශ්‍යතාවය පුළුල් වී ඇත. ඒ අනුව රාජ්‍යෙය් කාර්යභාරය ද ව්‍යාප්ත වී ඇති බවක් පෙනේ. සුභසාධක රාජ්‍යයට අයත් කාර්යභාරය මුදල් එකතු කිරීම, මූල්‍ය කළමණාකරණය, බදු පැනවීම හා අය කිරීම, මහජන සම්බන්ධතා පවත්වාගෙන ක්‍රම සැකසීම, නිල බල ක්‍රමය ක්‍රියාත්මක කිරීම, නිළධාරීන් බදවා ගැනීම හා පුහුණු කිරීම, පොදු ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ආදී කේෂ්ත්‍ර ඔස්සේ පුළුල් වී ඇත. මේ නිසා දේශපාලනය හා පරිපාලනය අතර නොබෙදිය හැකි සම්බන්ධතාවයක් ගොඩ නැගී ඇත. ඒ අනුව පරිපාලනය පිළිබද විෂය කොටස ද දේශපාලන විද්‍යා විෂය කේෂ්ත්‍රය යටතේ සලකා බැලේ.

  •  අන්තර්ජාතික දේශපාලනය
                      වර්තමාන ලෝකයේ කිසිදු රාජ්‍යයක් හුදකලා වූ තනි රාජ්‍යයක් ලෙස නොපවතී. ඒ අනුව සෑම රාජ්‍යයක් ම ජාත්‍යයන්තර දේශපාලනයේ කොටසක් ලෙස පවතී. වර්තමාන දේශපාලන සමාජය තුළ රාජ්‍යයන් අතර පවතින විවිධාකාර සම්බන්ධතා අන්තර්ජාතික දේශපාලනය යටතේ හදාරනු ලැබේ. ලොවෙහි සියළුම රාජ්‍යයන් වලට අන්‍යෝන්‍ය වශයෙන් විවිධාකාර වූ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා අනෙක් රාජ්‍යයන් සමග සම්බන්ධතා පවත්වා ගැනීමට සිදු වේ. ඒවා කුමන ක්ෂේත්‍ර ඔස්සේ පවත්වාගෙන යනු ලබන්නේ ද යන්න සලකා බැලීම මෙම විෂය කේෂ්ත්‍රයට ගැනේ. ඒ අනුව අන්තර්ජාතික දේශපාලනය ප්‍රධාන කේෂ්ත්‍ර 03ක් ඔස්සේ පවත්වාගෙන යනු ලැබේ.
1.      අන්තර්ජාතික සම්බන්ධතා
2.      අන්තර්ජාතික සංවිධාන
3.      අන්තර්ජාතික නීතිය
                                සන්නිවේදන ක්‍රමය හා ජාත්‍යයන්තර ප්‍රවාහන පද්ධතියේ දියුණුවත් සමග හෙවත් කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම් නූතන විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාතික සබදතා ද විශාල වශයෙන් දියුණු වී තිබේ. මේ අතර විශේෂයෙන් ජාත්‍යන්තර වෙළදාම අන්තර්ජාලය ඔස්සේ පුළුල් වෙමින් පවතී. මුළු ලොවම ඒකකයක් ලෙස ගෝලීයකරණය යටතේ ක්‍රියාත්මක වේ. මේ අනුව අන්තර්ජාතික දේශපාලනයට දේශපාලන විද්‍යාව තුල වැදගත් තැනක් හිමි වී ඇත.

  •  ගැටුම්
         දේශපාලන විද්‍යා විෂය කේෂ්ත්‍රයට අළුතෙන් ම එක් වූ අංගයක් ලෙස මෙය සලකනු ලැබේ. මෙහි දී ගැටුම් යනුවෙන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ දී හදුනාගනු ලබන්නේ “එක් පාර්ශවයකට හානි කිරීමට හෝ අනිකා අභිබවා වාසි ලබා ගැනීමේ හෝ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන්නා වූ පුද්ගලයන් දෙදෙනෙක් හෝ පාර්ශව දෙකක් හෝ ගණනාවක් අතර හෝ රාජ්‍යයන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති වන එකගතාවක් සහ කලහකාරී තත්වයකි. නැතහොත් ඔවුන් අතර ඇති වන අරගලයකි.
                                                                                                            මෙවැනි ගැටුම් ඇති වීමට බලපාන හේතු සාධක මොනවාද?, සමාජය තුළ ඇති වන ගැටුම් මොනවාද?, ඒවා කළමණාකරණය කරන්නේ කෙසේද?, ඒවා මැඩපැවැත්වීමට යොදන උපාය මාර්ග මොනවාද? සහ ඒ සම්බන්ධයෙන් භාවිත කළ හැකි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සලකා බැලේ.

දේශපාලන විද්‍යාව විද්‍යා විෂයක්ද?

1 comments
                                                                       දේශපාලන විද්‍ය‍ාවේ ස්වභාවය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී දේශපාලන විද්‍යාව විද්‍යා විෂයක් ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට සිදු වේ. ඒ අනුව දේශපාලන විද්‍යාව සැබෑ විද්‍යා විෂයක් ලෙස සැලකිය හැකි ද යන්න එම විෂය ගැන දිගු කලක් තිස්සේ ඉදිරිපත් වී තිබෙන බෙහෙවින් වාද විවාද වලට ලක්වුණ නමුත් මේ දක්වා ම නිශ්චිත විසඳුමක් ඉදිරිපත් නො වූ ඉතා වැදගත් ප්‍රශ්නයකි.
                                                                                                                                 දේශපාලන විද්‍යාව නියම විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බව දේශපාලන විද්‍යාඥයන්ගේ මතයයි. එම මතය ප්‍රතික්ෂේප කරන සමහරුන්ගේ මතය වන්නේ මෙය නියම විද්‍යාවක් ලෙස සැලකිය හැකි බවයි.
                                                                                                දේශපාලන විද්‍යාව නියම විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බවට තර්ක ඉදිරිපත් කරමින් එංගලන්ත ජාතික එඩ්මන්ඩ් බර්ක් මෙසේ කරුණු දක්වයි.
                                                                                                                    ලලිත කළා අධ්‍යයනයක් තුළ දැකිය හැකි විද්‍යාවට වඩා වැඩිමනත්දෙයක් දේශපාලන විද්‍යාව තුල විද්‍යාවක් ලෙස දැකිය හැකි නොවේ. ගණිත ශාස්ත්‍රය තුළ අඳින්නා වූ ආකාරයේ සෘජු රේඛාවක් දේශපාලන විද්‍යාව තුළ ඇඳිය නොහැකි අතර දේශපාලන ඥානය සම්බන්ධයෙන් ද නිශ්චිත සීමා දැක්විය නොහැක. (එඩ්මන්ඩ් බර්ක්)
                                                                                                                 ඔගස්ට් කොම්ටේ නැමැති ප්‍රංශ දේශපාලන විද්‍යාඥයා පෙන්වා දෙන ආකාරයට කරුණු 03ක් හේතු කොට ගෙන දේශපාලන විද්‍යාව විද්‍යා විෂයක් ලෙස සැලකිය නොහැකි බව කියයි.
  1. අධ්‍යාපන විධික්‍රම, භාවිතා කරන මූලධර්ම හා අවසාන නිගමන පිළිබඳ දේශපාලන විද්‍යාඥයන් අතර පොදු එකඟතාවයක් නොමැත.
  2. විෂය වර්ධනයෙහි ඒකීයත්වයක් නොමැති වීම.
  3. සියයට සියයක් නිරවද්‍යතාවය සහතික කර ගත් නියතීන් දේශපාලන විද්‍යාව තුළ නොමැති වීම
                                                                                           කෙසේ වෙතත් දේශපාලන විද්‍යාව නියම විද්‍යාවක් නොවන බවට හේතු ඉදිරිපත් කරන අය තම මතයට පක්ෂව ඉදිරිපත් කර ඇති තර්ක පුළුල් වශයෙන් කොටස් 04කට බෙදිය හැක.
  1. දේශපාලන විද්‍යා විෂය අධ්‍යයනයට ගැනෙන මූලධර්ම වල ඒකීය භාවයක් නොමැති වීම.
  2. හේතු සාධක මත පිහිටා නිශ්චිත අනාවැකි පල කල නොහැකි වීම.
  3. පරීක්ෂණ හා නිරීක්ෂණ වැනි විද්‍යාත්මක ක්‍රම ශිල්ප දේශපාලන විද්‍යාව අධ්‍යයනයට යෙ‍ාදා ගත නොහැකි වීම.
  4. ස්වභාවික විද්‍යාවන් තුළ මෙන් මෙය තුළ නියතීන් ගොඩ නැංවීමට නොහැකි වීම.
  • දේශපාලන විද්‍යාව තුල භාවිතයට ගැනෙන මූලධර්ම විශ්ව ව්‍යාප්ත මට්ටමින් එක හා සමාන ලෙස යොද‍ා ගැනීමට නොහැකි බව මෙන් ම එම මූලධර්ම පිළිබඳ ව පොදු එකඟතාවක් නොමැති බව ද මෙයින් අදහස් වේ. නිදසුනක් වශයෙන් 1+2 = 3 වන අතර එය විශ්ව ව්‍යාප්තව පිළිගත් නිරවද්‍යතාවය පිළිබඳ වාද විවාද නොමැත. එසේ ම රසායන විද්‍යාව තුළ O2+H = H2O සෑදීම ද පොදු මූලධර්මයකට අනුව සිදු වේ. එය කොතැනක දී කවුරු කවදා සිදු කල ද මූලධර්මයේ කිසිදු වෙනසක් සිදු නොවේ. නමුත් දේශපාලන විද්‍යාව තුළ එවැනි සිද්ධාන්තයක් නොමැතිවා පමණක් නොව පවතින ඒවා ගැන ද පෙ‍ාදු එකඟතාවක් නොමැත. නිදසුනක් වශයෙන් රාජ්‍ය සම්භවය පිළිබඳව අදහස් දක්වන දේව වරම්වාදය දෙවියන්ගේ කැමැත්ත මත එය සිදු වන බවත්, සමාජ සම්මුතියකින් සිදු වන බවත්, විකාශනාත්මක මත වාද සමාජ විකාශන ක්‍රියාවලිය මගින් එය සිදු වන බවත් ප්‍රකාශ කරයි. එසේ ම ඒකාධිපති හා කොමියුනිස්ට් පාළණ ක්‍රමයන්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ඉත‍ාම යහපත් පාලන ක්‍රමයක් බව ලිබරල් වාදය මගින් පිළිගත්ත  එය ක්‍රියාවට නැංවීමට වඩාත් සුදුසු වන්නේ කැබිනට් ආණ්ඩු ක්‍රමය ද, ජනාධිපති ආණ්ඩු ක්‍රමය ද යන්න පිළිබද පොදු එකඟතාවයක් දේශපාලනඥයින් තුළ දක්නට නොලැබේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම සර්ව ජන ඡන්ද බලය වුව ද එය කළ යුත්තේ වයස අවුරුදු 18 ඉක්ම වූ අයට ද නැතිනම් වයස අවුරුදු 21 ඉක්ම වූ අයට ද යන්න විශ්ව ව්‍යාප්ත මට්ටමෙන් පිළිගත් පොදු එකඟතාවයක් නොමැත. මේ නිසා දේශපාලන විද්‍යාව නියම විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බව විචාරකයෝ පවසති.
  • දෙවැනි කරුනෙහි තරුකය වන්නේ ස්වාභාවික විද්‍යාවන් තුළ මෙන් හේතු සාධක මත පිහිටා නිශ්චිත අනාවැකි පල කිරීමට දේශපාලන විද්‍යාව තුළ කල නොහැකි බවයි. නිදසුන් වශයෙන් යම් ඝණ ද්‍රව්‍යයක් ඉහලට විසි කළ විට එය නැවත පොළවට පතිත වීම භෞතික විද්‍යාවේ මූලික සිද්ධාන්තයකි. නමුත් හේතු ඵල වාදය මත ගොඩ නගන ලද එවැනි නිශ්චිත හා ස්ථාවර සිද්ධාන්ත දේශපාලන විද්‍යාව තුළ දැකිය නොහැක. අනෙක් අතට දෙන ලද යම් කාල පරිච්ඡේදයක් තුල සමාන සාධක හා සමාන තත්වයන් යටතේ වුව ද එකම කරුණක් සම්බන්ධයෙන් රටවල් 02ක් තුල සමාන ප්‍රතිඵල ඇති වේ යැයි නිශ්චිත ලෙස ප්‍රකාශ කළ නොහැක.
                                     උදා :- මීට අවුරුදු ගණනාවකට පෙර නේපාලයේ බිරේන්ද්‍ර රජු එරට ප්‍රජාතන්ත්‍රවාදී පාළණ ක්‍රමය අහෝසි කෙ‍ාට සියළු පාලන බල තල තමා යටතට ගත් විට ඒ සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධතා එල්ල නොවුන ද එම ක්‍රියාව බ්‍රිතාන්‍ය රැජින විසින් කළහොත් එයට හාත්පසින් ම වෙනස් දෙයක් සිදු වීමට ඉඩ තිබේ.
                   තවත් අතකට සමාන දේශපාලන ප්‍රතිඵල සඳහා අසමාන හේතු සාධක බලප‍ාන ආකාරය දේශපාලන විද්‍යාව තුල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.
                                                                    උදා :- පුවත්පත් ජනසතු කිරීම සඳහා ආණ්ඩුව තීරණයක් ගතහොත් පුද්ගලයන් තුන් දෙනෙකු තෙයාකාර හේතුන් මත එයට විරුද්ධ විය හැකි ය. පුවත්පත් හිමියා සිය පෞද්ගලික ව්‍යාපාරයට හානි සිදු වන නිසා එයට විරුද්ධ විය හැක. ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන අදහස් ප්‍රකාශ කිරීම හා මුද්‍රණය කිරීම පිළිබඳ නිදහසට හානි පැමිණෙන නිසා දෙවැන්නා ඊට විරුද්ධ වේ. තමා අකමැති පක්ෂයක් බලයේ සිටීම නිසා එයට ඇති විරෝධය ප්‍රකාශ කිරීමට තෙවැන්නා ඊට විරුද්ධ විය හැක. විරෝධය ප්‍රකාශ කිරීම අවසාන ප්‍රතිඵලය වුව ද ඒ සඳහා බලපාන හේතු සාධක අසමාන වීම මෙහි කැපී පෙනෙන ලක්ෂණයකි. හේතුඵල වාදය මත අවසාන නිගමනවලට පැමිණීමේ හැකියාව දේශපාලන විද්‍යාව තුල නොමැති හෙයින් එය නියම විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බව විචාරකයින්ගේ අදහසයි.

  • ඉහත තෙවැනි කරුණෙන් අදහස් වන්නේ විද්‍යාත්මක ශිල්පීය ක්‍රම භාවිතයට ගනිමින් ස්වභාවික විද්‍යාවන් පිළිබඳ ව පර්යේෂණාගාර මට්ටමින් සිදු කරනු ලබන ආකාරයේ පර්යේෂණ දේශපාලන විද්‍යාව තුළ කළ නොහැකි බවයි. ඒ හේතුවෙන් දේශපාලන විද්‍යාව විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බව විචාරකයෝ පවසති.
  • ඉහත සඳහන් සතර වන කරුණන් අදහස් වන්නේ ස්වාභාවික විද්‍යාවන් තුල පවතින ආකාරයේ නියතිවාද දේශපාලන විද්‍යාව තුල නොමැති වීම ‍කොට ගෙන එය විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බව විචාරකයෝ පෙන්වා දෙති.
                 උදා : - ගුරුත්වාකර්ෂණ බලය
                            අධික උෂ්ණත්වයක දී ද්‍රවයක් ප්‍රසාරණය වීම.
                            අධික සීතලක දී ද්‍රවයක් සංකෝචනය වීම.
                                                                                     යනාදී ය. ස්වභාවික විද්‍යාවන් වල ස්ථිර නියතවාදයන් වේ. නමුත් නිශ්චිත අවසාන නිගමන වලට එළඹීම සඳහා උපකාර කර ගත හැකි එවැනි නියතීන් දේශපාලන විද්‍යාව තුල නොමැත. අවම වශයෙන් මෙවර පවත්වන ලද මහා මැතිවරණ‍යේදී යම් පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කල යම් ඡන්ද දායකයෙකු ඊළඟ මහ මැතිවරණයේ දී එම පක්ෂයකට ම ඡන්දය දෙනු ඇතැයි අනාවැකියක් කීම සඳහා දේශපාලන විද්‍යාව තුල හැකියාවක් නොමැත. මේ නිසාවෙන් දේශපාලන විද්‍යාව නියම විද්‍යාවක් ලෙස සැලකිය නොහැක.
                                                 මෙසේ දේශපාලන විද්‍යාව විද්‍යා විෂයක් වන බවට ඇතැම් කණ්ඩායමක් කරුණු ඉදිරිපත් කරන අතර තවත් කණ්ඩායමක් විද්‍යාවක් නොවන බවට විශේෂයෙන් කරුණු ඉදිරිපත් කරයි. ඒ අතර,
  • ඇරිස්ටෝටල් 
  • ජින් බොඩෑන්
  • හෝබ්ස්
  • මොන්ටෙස්ක්‍යු
  • කොන්ටෙවිල් ලුවිස්
  • බ්‍රයිස් සාමි
  • බ්ලන්ටශ්ලි
  • ජෙලිනෙක්
  • ගානර්
  • බර්ජර්
                යන අය වැදගත් වේ.
                                     ඔවුන් ප්‍රකාශ කරන අන්දමට ශුද්ධ විද්‍යාවන් වල යම් යම් නිගමන වලට එළඹීම සඳහා භාවිතා කරන විද්‍යාත්මක ක්‍රම ශිල්ප භාවිතයට ගත හැකි වීම සමාජය නැමැති පර්යේෂණාගාරය තුල පර්යේෂණ කොට නිවැරදි නිගමන වලට බැස ගත හැකි වීම ස්ථීර වූ නියතිවාදයක් දේශපාලන විද්‍යාව තුල ද ගොඩ නැඟී තිබීම යනා දී කරුණු නිසා දේශපාලන විද්‍යාව ද විද්‍යා විෂයන් ගණයට දැමිය හැකි බවත් ය.
                                                                                                                               ඉහත ආකාරයට දේශපාලන විද්‍යාව පිළිබඳව ද, දේශපාලනයේ ස්වභාවය පිළිබඳව ද පරස්පර විරෝධී මත ඉදිරිපත් වී තිබුණ ද මෙය සමාජ විද්‍යා විෂයන් ගණයට වැටෙනු ඇත. එය නූතනයේ ද පිළිගත් මතය යි. එයට හේතුව ලෙස ඉදිරිපත් කල හැකි කරුණු වන්නේ කුමන ආකාරයේ ශිල්පීය ක්‍රම භාවිතා කල ද, කුමන ආකාරයේ පර්යේෂණයක් කෙ‍ාට කුමන ආකාරයේ නිගමන වලට බැස ගත්ත ද ඒවා ශුද්ධ විද්‍යාව මෙන් සියයට සියයක් ම නිවැරදි වූ කරුණු ‍නොවීම යි. අප දේශපාලන විද්‍යාව තුල බැසගන්නා නිගමනයන් වන්නේ සාමාන්‍යකරණය කරන ලද එනම් එය මෙසේ විය හැකිය යනා දී වූ නිගමනයන්ට ය. ඒ බව "දේශපාලන විද්‍යාව සමාජ විද්‍යා විෂයකි." යනුවෙන් ඉදිරිපත් කළ අදහස් මාලාව තුළ දක්නට ලැබේ. මේ අනුව දේශපාලන විද්‍යාව විද්‍යා විෂයන් ගණයට නොව "සමාජ විද්‍යා විෂයන් ගණයට" වැටෙන බව නූතන දේශපාලනඥයින්ගේ මතය යි.