Thursday, May 22, 2014

රාජ්‍යය යනු කුමක්ද?

                                                                 දේශපාලන විද්‍යාවෙන් විශේෂයෙන් විග්‍රහ කරනු ලබන්නේ රාජ්‍යය පිළිබද කරුණු ය. දේශපාලන විද්‍යාව ස්වාධීන විෂයක් ලෙස වර්ධනය වීම සහ ඒ පිළිබද අධ්‍යයනය ආරම්භ වී දැනට වසර 3000කට පමණ ආසන්න වුව ද රාජ්‍ය යන පදය දේශපාලන විද්‍යාවට එක් වූයේ 16 වන සියවසේ මැද භාගය තරම් මෑත භාගයකදී ය. රාජ්‍ය යන පදය ප්‍රථමයෙන් ම භාවිතයට ගනු ලැබුයේ “ඉතාලි ජාතික නිකලෝ මැකියාවෙලී විසිනි.” ඔහු විසින් සම්පාදිත The Prince හෙවත් කුමාරයා” කෘතිය තුලිනි. ග්‍රීක යුගයේ දී රාජ්‍ය යන්න හැදින්වීමට “පෝලිස්” (Police) යන පදය යොදා ගත් අතර රෝම යුගයේ දී “සිවිටාස්” හෝ “සිව්ටාස්” යන පදය ඒ සදහා යොදා ගැනිණි. පුරවැසි එකතුව සහ පුරවැසි සුභසාධනය යන අදහස “සිව්ටාස්” යන පදයෙන් අදහස් වේ. මැකියාවෙලීගෙන් පසුව රාජ්‍යය යන පදය දේශපාලන විද්‍යාවේ ස්ථාවර පාරිභාෂික පදය බවට පත් ව ඇත.
                                                දේශපාලන විද්‍යාව රාජ්‍යය පිළිබදව හදාරනු ලබන විෂය වුව ද රාජ්‍යය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබද ව පිළිගත් පොදු අර්ථ කථණයක් මේ දක්වාත් නොමැත. විවිධ අය විවිධ අර්ථකතන වලින් රාජ්‍යය යන්න අර්ථ දක්වා ඇත. මේ අනුව අර්ථකතන රාශියක් ම දේශපාලන විද්‍යාව තුළ ඒ පිළිබද ව ගොඩ නැගී ඇති බව දක්නට ලැබේ.

·         ප්‍රීතිමත් හා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මිනිසුන් එකට එක් වී පිහිටුවා ගත් සංවිධානය රාජ්‍යය වේ. - ඇරිස්ටෝටල්
·         නීතිගරුක භාවය තුළින් පොදු සමාජ යහපත ළගා කර ගැනීම සදහා එකට එක් වූ මිනිස් සමාජය රාජ්‍යය වේ. - සීසරෝ
·         නිශ්චිත දේශසීමාවක් තුළ නීතිය සදහා සංවිධානය වූ ජනතාව රාජ්‍යයක් ලෙස හැදින්වේ. - වුඩ්රෝ විල්සන්
·         වෙන් කරන ලද භූමි ප්‍රදේශයක් තුළ අනෙක් සමාජ සංවිධාන ඉක්මවා ගිය උත්තරීතර බලයක් සහිත මිනිස් සමාජය රාජ්‍යය නම් වේ. - හැරල්ඩ් ජේ. ලැස්කි
·         නිශ්චිත දේශසීමාවක් තුළ දේශපාලන වශයෙන් සංවිධායනය වූ ජනතාව රාජ්‍යය ලෙස හැදින්විය හැක. - බ්ලන්ටෂ්ලි
·         යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් ස්ථාවර වාස භූමිය කරගත්, සංඛ්‍යාත්මක වශයෙන් අඩු හෝ වැඩි විය හැකි, යම් ජන සංඛ්‍යාවකගෙන් සමන්විත, ජනතාවගේ බහුතර අනුමැතිය ලබන, සංවිධානාත්මක ආණ්ඩුවක් සහිත, බාහිර වශයෙන් ස්වාධීන නැතිනම් වෙනත් පාලනයකට යටත් නො වූ මිනිස් සමාජය රාජ්‍යය ලෙස හැදින්විය හැක. - ගානර්
·         පොදු නීති ක්‍රමයක්, පොදු සිරිත් විරිත් වලින් සහ පොදු ගති පැවතුම් වලින් එකට බැදුණු, නිශ්චිත දේශ සීමාවක් සහිත භූමි ප්‍රදේශයක් තුළ ස්ථීර ලෙස පදිංචි වූ, සංවිධානය කරගත් ආණ්ඩුවක් මාර්ගයෙන් ස්වාධීන ස්වාධිපති බලය ක්‍රියාවට නංවමින්, අභ්‍යයන්තරික වශයෙන් පුද්ගලයින් සහ අනෙක් සෑම දෙයක් ම පාලනය කරන, බාහිර වශයෙන් යුද්ධ වලට හා සාම ගිවිසුම් වලට එළඹීමට මෙන් ම සහ ජාත්‍යයන්තර සමාජයේ අනෙක් රාජ්‍යයන් සමග අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යාමට හැකියාව ඇති සංවිධානය වූ ජන සමාජය රාජ්‍යයක් ලෙස සැලකිය හැකි ය. - පිලිමෝර්
       ඉහත දැක්වෙන්නේ රාජ්‍යය පිළිබද නිර්වචන රාශියකි. මේ පිළිබද විමසීමෙන් පෙනී යන්නේ ඒ කිසිදු නිර්වචනයක් එක හා සමාන නොවන බවයි. එය එසේ වුව ත් සියළුම රාජ්‍යය පිළිබද ඉදිරිපත් කෙරෙන නිර්වචනයක් සම්පූර්ණ එකක් වීමට නම් රාජ්‍යයේ අත්‍යවශ්‍ය අංගයන් වූ නිශ්චිත භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය යන සාධක අඩංගු විය යුතු ය. ඒ අනුව නිශ්චිත භූමියකින් යුක්ත, නිශ්චිත ජනගහනයක් සහිත, ආණ්ඩුවකින් සමන්විත හා ස්වාධිපත්‍ය බලය උසුලන්නා වූ සංවිධානය රාජ්‍යය ලෙස සැලකිය හැක.

රාජ්‍යයට අත්‍යවශ්‍ය අංග ලක්ෂණ
   නූතන ව්‍යවහාරය අනුව රාජ්‍යය යන පදය භාවිත කළ හැක්කේ භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය යන ගුණාංග සතර අඩංගු සංවිධානය සදහා ය. මෙයින් පළමු සාධක දෙක මගින් රාජ්‍යයේ භෞතික පදනම පිළිබිඹු වන අතර අවසාන සාධක දෙක මගින් රාජ්‍යයේ දේශපාලන පදනම නිරූපනය වේ.

      I.            භූමිය
                නිශ්චිතව දක්වන ලද දේශසීමාවන්ගෙන් වට වූ යම් භූමි ප්‍රමාණයක් රාජ්‍යයේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. භූමිය යන පදයෙන් දේශසීමාවක් සහිත ගොඩ බිමක් පමණක් නොව එම භූමාය වටා ඇති නාවික සැතපුම් 200ක් පමණ වන මුහුදු තීරය ද, එම මුහුදු තීරය හා ගොඩ බිම ඇතුලත් ප්‍රමාණයට සමානව වසා පැතිරෙන අභ්‍යවකාශය ද ඇතුළත් වේ. මේ ආකාරයට රාජ්‍යයක දේශසීමා නිශ්චිත ලෙස පැහැදිලිවම දක්වා තිබීම අත්‍යවශ්‍ය ‍වේ. හේතුව නම් අවිනිශ්චිත දේශ සීමා රාජ්‍යයන් අතර ගැටුම් ඇති වීමට බලපාන බැවිනි. රාජ්‍යයට නිශ්චිත ලෙස වෙන් කරන ලද ‍දේශ සීමාවක් සහිත භූමි ප්‍රමාණයක් තිබිය යුතු බවට ප්‍රථමයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ ලීවර් නැමැති දේශපාලඥයා ය. එසේ වුව ත් රාජ්‍යයක භූමි ප්‍රමාණය කොපමන ද යන්න මේ තාක් පිළිගත් මතවාදයන්ගෙන් පැහැදිලි නොවේ. ඒ අනුව නූතන රාජ්‍යයන් වලට අයත් භූමි ප්‍රමාණයන් පිළිබද පුළුල් වෙනස්කම් දැකිය හැකි ය. ඉතා කුඩා ප්‍රමාණයන් සහිත මෙන් ම සුවිශාල වූ භූමි ප්‍රමාණයන් සහිත රාජ්‍යයන් ද දැකිය හැකි ය. නිදසුන් ලෙස වර්‍ග සැතපුම් 38ක් වූ “සෙන් මැරීනෝ” රාජ්‍යය භූමිය අතින් ඉතාම කුඩා රාජ්‍යයක් සේ සැලකේ. වතිකානුව ලොව ඇති කුඩාම රාජ්‍යය යි. සිංගප්පූරුව වර්‍ග සැතපුම් 125ක් ද, ඉන්දියාවේ වර්‍ග සැතපුම් 1056000 ප්‍රමාණයක් ඇත. ඒ අනුව ලෝකයේ සුවිශාල භූමි ප්‍රමාණයන් මෙන් ම කුඩාම භූමි ප්‍රමාණයන්ගෙන් යුක්ත රාජ්‍යයන් ද ඇති බව පෙනී යයි.  මෙහි දී ප්‍රමාණය නොව නිශ්චිත භූමිය රාජ්‍යයකට අයත් අත්‍යවශ්‍ය අංගය සේ පෙනේ.

  II.            ජනගහනය
රාජ්‍යයක් සදහා අවශ්‍ය දෙවන කොන්දේසිය ජනගහනය වේ. රාජ්‍යය වනාහි මානව සංවිධානයක් පමණක් නොව මානව සංවිධාන අතුරින් ඉහලම මානව සංවිධානය වේ. මෙයින් පැහැදිලි වන්නේ මිනිස් වාසයකින් තොර ව රාජ්‍යයක් ‍නොපවතින බවයි. එනම් මිනිසුන් වාසය නොකරන භූමි ප්‍රදේශයක් හැදින්වීම සදහා රාජ්‍යය යන පදය හැදින්විය නොහැකි බව යි. අනෙක් අතින් රාජ්‍යයක් වශයෙන් සැලකීමට නම් සංඛ්‍යාත්මක වශයෙන් යම් ජනගහනයක් සිටීම අත්‍යවශ්‍ය වේ. මෙහි දී තනි පවුල කිසි සේත් ප්‍රමාණවත් නොවේ. “ස්ටීවන් ලීකොක්” දක්වා ඇති පරිදි මිහිපිට ජනාවාස නො වූ කිසිදු භූමියක් රාජ්‍යයක් ලෙස සැලකිය නොහැක. රාජ්‍යයක් වශයෙන් භූමියක් සැලකීම සදහා තනි පවුලක් හෝ පවුල් කීපයක් නොසෑහේ. ඒ සදහා පවුල් රාශියක් පදිංචි විය යුතු ය.
                                                                                                      ජනගහනය රාජ්‍යයක් ගොඩනැගීම සදහා අවශ්‍යම කොන්දේසියක් වුව ද එහි උපරිම මට්ටමක් හෝ අවම මට්ටමක් නිශ්චිතව සදහන් කළ නොහැක. ඒ අනුව නිශ්චිතව හදුනා ගත හැකි යම් ප්‍රමාණාත්මක ජන සංඛ්‍යාවක් රාජ්‍යයක් ගොඩ නැගීම සදහා අත්‍යවශ්‍ය වන්නේ ය. ඇරිස්ටෝටල් නම් දාර්ශනිකයා සංඛ්‍යාත්මක වශයෙන් නිශ්චිත ජන සංඛ්‍යාවක් නොදැක්වුව ද රාජ්‍යයක සිටිය යුතු ජන සංඛ්‍යාව එයට දරා ගත හැකි එකක් විය යුතු බව පෙන්වා දුන්නේ ය. මේ අනුව ලෝකයේ විවිධ රාජ්‍යයන් වල විවිධාකාරයේ සංඛ්‍යාත්මක වශ‍යෙන් විවිධ වූ ජනගහනයන් දක්නට ලැබේ. නිදසුන් ලෙස චීනයේ දැනට කෝටි 140ක් පමණ ද, ශ්‍රී ලංකාවේ කෝටි 02ක් පමණක් ද වේ. ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ රාජ්‍යයක් නිර්මාණය වීම සදහා එයට දරාගත හැකි අයුරින් නිශ්චිත ජනගහනයක් සිටිය යුතු බවයි.

III.            ආණ්ඩුව
          රාජ්‍යයක් නිර්මාණය වීම සදහා අවශ්‍ය තුන්වන කොන්දේසිය යි. රාජ්‍යයේ කැමැත්ත ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නංවන්නේ ආණ්ඩුව යි. වෙනත් අයුරකින් දක්වන්නේ නම් රාජ්‍යයක් තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් පුරවැසියන් පොදු අරමුණක් කරා මෙහෙයවන්නේ ආණ්ඩුවයි. යම් භූමි භාගයක් තුළ ආණ්ඩු පාලනයකට යටත් නො වූ ජන සංඛ්‍යාවක් වාසය කරන්නේ නම් එය රාජ්‍යයක් ලෙස සැලකිය නොහැක. එවැනි තත්වයක් සමාන කළ හැක්කේ අනධිකාරී තත්වයකට ය. පොදු අරමුණක් සදහා සාමූහිකව කටයුතු කරන්නේ ආණ්ඩුවක පාලනයකට යටත් වුව‍හොත් පමණී. මේ අනුව රාජ්‍යයක පැවැත්ම සදහා ආණ්ඩුවක පැවැත්ම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇත. නමුත් රාජ්‍යයක් තුළ පැවතිය යුතු ආණ්ඩුවේ ස්වභාවය කුමක්ද යන්න නිශ්චිත වශයෙන් කිය ‍නොහැක. රාජ්‍යයක් තුළ පැතිරී පවතින දේශපාලන දෘෂ්ටිය අනුව ආණ්ඩුවේ ස්වභාවය තීරණය වේ. උදාහරණ වශයෙන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී හෝ කොමියුනිස්ට් හෝ ෆැසිස්ට් හෝ මිලිටරි ‍හෝ රාජාණ්ඩු හෝ විය හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය යලිත් වරක් ජනාධිපති විධායක හෝ කැබිනට් විධායක යන දෙකින් එකක් විය හැකි ය.මෙයින් කුමන ආණ්ඩුක්‍රමයක් පැවතිය ද අවශ්‍ය ආණ්ඩුවක පැවැත්ම පමණි.

IV.            ස්වාධිපති බලය
                  ස්වාධිපත්‍යය රාජ්‍යයක අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු සිව් වන කොන්දේසිය වේ. මෙය රාජ්‍යයේ ජීවනාලිය හා ආත්මය යි. සමාජයක් තුල අනෙක් සමාජ සංවිධානයන්ගෙන් රාජ්‍යය වෙන් වන්නේත්, අනෙක් සමාජ සංවිධාන වලට වඩා රාජ්‍යය උත්තරීතර වන්නේත් ස්වාධිපත්‍යය හේතු කොටගෙන ය.එමෙන් ම එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයකින් වෙන් කොට හදුනා ගන්නේ ද ස්වාධිපත්‍යය හේතුවෙනි. ස්වාධිපත්‍යය රාජ්‍යය සතු උත්තරීතර බලය යි. රාජ්‍යය සතු මෙම බලය අසම සම වේ. රාජ්‍යයක එම බලයට යටත් ව යම් භූමි භාගයක් තුළ නිශ්චිත යම් ජන සංඛ්‍යාවක් පදිංචි වී සිටිය ද ස්වාධිපත්‍යය බලය නොමැති නම් එවැනි තත්වයක් හැදින්විය යුත්තේ රාජ්‍යයක් හැටියට නොවේ. ඒ අනුව රාජ්‍යයක පූර්ණත්වය සිදු වීම සදහා ස්වාධිපත්‍යය බලය එයට තිබිය යුතු ය. රාජ්‍යයේ කැමැත්ත ක්‍රියාවට නංවනු ලබන්නේ මෙම ස්වාධිපති බලය හේතු කොටගෙන ය. එම කැමැත්ත ක්‍රියාවට නැංවීම සදහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමත්, ක්‍රියාත්මක කිරී‍මේ දී ඇතිවන ගැටළු නිරාකරණය කිරීමත් මෙයින් සිදු වේ. ස්වාධිපත්‍යය බලය යටතේ නීති ක්‍රියාත්මක කිරීමේ දී  එයට අවශ්‍ය තරම් බලය යොදවාලිය හැකි නීති ක්‍රියාත්මක කිරීමේ දී ඒවා කඩ කරන්නන්ට උපරිම අන්දමේ දඩුවම් ලබා දීමට ද මේ යටතේ රාජ්‍යයකට බලය ඇත. එය සාමාන්‍ය දඩුවමේ සිට මරණ දඩුවම දක්වා ක්‍රියාත්මක වේ.

                                                      එසේ ක්‍රියාත්මක වන රාජ්‍යය සතු මෙම බලය බාහිර හා අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර දැක් වේ. බාහිර ස්වාධිපත්‍යයෙන් වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත් වීමෙන් තොර ව රාජ්‍යයට ක්‍රියාත්මක වීමට ඇති බලය යි. විශේෂයෙන් ම රාජ්‍යයක විදේශ සම්බන්ධතා හැසිරවීම සම්බන්ධයෙන් බාහිර ස්වාධිපත්‍යය වැදගත් වේ. රාජ්‍යයක අභ්‍යයන්තර වැඩ කටයුතු සම්බන්ධයෙන් පුරවැසි සංවිධාන ඉක්මවා යමින් ක්‍රියාත්මක වීමට රාජ්‍යයට ඇති බලය අභ්‍යයන්තර ස්වාධිපත්‍යය යි. මේ අනුව රාජ්‍යයක් පනවනු ලබන නීති වලට පුරවැසියන් මෙන් ම පුරවැසි සංවිධාන ද යටත් විය යුතු ය.

රාජ්‍යය හා ආණ්ඩුව
            රාජ්‍යය හා ආණ්ඩුව යන පදයන් අර්ථ භේදයකින් තොර ව සාමාන්‍ය ව්‍යවහාරයේ දී යොදා ගන්නා අයුරු දැක ගත හැක. සමහර දේශපාලන විද්‍යාඥයින් පවා මෙම අංශ දෙක අතර පවතින වෙනස තේරුම් නොගත් අවස්ථා ද දේශපාලන ඉතිහාසය තුළ දැකගත හැක. නිදසුන් වශයෙන් “හෝබ්ස් නැමැති දේශපාලන චින්තකයා “රාජ්‍ය හා ආණ්ඩුව එකක් වශයෙන් සැලකූ අතර යම් අවස්ථාවක දී ආණ්ඩුව විසුරුවා හැරියහොත් රාජ්‍යය ද විසිරී යන බව විශ්වාස කළේ ය.” ඇතැම් ආඥාදායක පාළකයන්ට සිය ආඥාදායකත්වය තහවුරු කර ගැනීම සදහා රාජ්‍යය හා ආණ්ඩුව එකක් වශයෙන් සැලකීමට ඉදිරිපත් වූ බව පෙනේ. නිදසුන් වශයෙන් “14 වන ලුවී රජු රාජ්‍යය යනු මම ය” යනුවෙන් කළ ප්‍රකාශය පෙන්වා දිය හැක. නමුත් මෙම ආයතන දෙක අතර පැහැදිලි වෙනස්කම් පවතින බව පෙනේ.
        i.            රාජ්‍යය වූ කළී අචේතනික සංකල්පයකි. නමුත් ආණ්ඩුව වූ කළී සචේතනික දෙයක් වනවාක් මෙන් ම ප්‍රායෝගික දෙයක් ද වේ. රාජ්‍යය යන්න නිරපේක්ෂව ගෙන සලකා බලන විට එය ඇසට නොපෙනෙන, හැගීමක් නොමැති, ස්පර්ෂ කළ නොහැකි, වෙනස් වන සුළු අතිශය සංකීර්ණ දෙයක් විය. නමුත් ආණ්ඩුව වූ කළී පියවි ඇසට නොපෙනෙන හැගීමක් ඇති, වෙනස් වීම් වලට යටත් වූ, ප්‍රායෝගික ක්‍රියාකාරී බවින් යුතු දෙයක් වේ.
      ii.            ආණ්ඩුව යනු රාජ්‍යය නොව එහි නියෝජිතයෙකු පමණි. රාජ්‍යය මගින් නියම කරන වැඩ කොටස හෝ කාර්යභාරය ක්‍රියාවට නැංවීම එහි වගකීමයි. ‍‍ජේ. ඩබ්ලිව් ගානර් පෙන්වා දුන් පරිදි රාජ්‍යයේ හෝ මහජනතාවගේ හෝ කැමැත්ත ප්‍රතිපත්ති වලට හැරවීමත්, ඒවා ප්‍රකාශ කරමින් ක්‍රියාවට නැංවීමත් කරනු ලබන නියෝජිතයා ආණ්ඩුව වේ. මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතා පෙන්වා දුන් පරිදි ආණ්ඩුව යනු යම් අරමුණක් ඉටු කර ගැනීම සදහා පවතින එක්තරා මාධ්‍යයක් පමණි. ලැස්කි දැක් වූ ආකාරයට ආණ්ඩුව පවතින්නේ රාජ්‍යයේ අරමුණු ක්‍රියාවට නැංවීමට ය. ආණ්ඩුව වූ කළී හුදෙක් පරිපාලනමය යන්ත්‍රයක් වන අතර එමගින් රාජ්‍යයේ අධිකාරී බලයට ක්‍රියාත්මක බව සැපයීම පමණක් සිදු වේ. මේ අනුව ආණ්ඩුව රාජ්‍යයේ කැමැත්ත ක්‍රියාවට නංවන රාජ්‍ය සේවකයෙකු බව මෙම ප්‍රකාශ වලින් පැහැදිලි වේ. මේ නිසා රාජ්‍යය ස්වාමියා ලෙසත්, ආණ්ඩුව සේවකයා ලෙසත් හදුන්වයි.
    iii.            සංකල්පයක් වශයෙන් සලකා බලන විට රාජ්‍යය පරිපූර්ණ වස්තුවක් වන අතර ආණ්ඩුව රාජ්‍යයේ කොටසක් පමණක් වේ. භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය යන කොටස් සතරෙන් රාජ්‍යය සමන්විත වන අතර ආණ්ඩුව ඒ අතරින් එක් කොටසක් පමණකි. කෙසේ වුවත් රාජ්‍යයේ පැවැත්ම සදහා ආණ්ඩුව අත්‍යවශ්‍ය වේ. මෙය නොමැති වූ විටක රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය ඇන හිටීම එයට හේතුව යි. නමුත් රාජ්‍යයක් නොමැතිව වුව ද ආණ්ඩුවක් පැවැතිය හැකි බවට යටත් විජිත නිදසුන් දෙයි.
     iv.            රටක ජීවත් වන පුරවැසියන් සියළු දෙනා ම රාජ්‍යයේ සාමාජිකයන් වේ. ඒ අනුව රාජ්‍යය මගින් සමස්ත ජාතියම නියෝජනය වේ. නමුත් ආණ්ඩුව වූ කළී පුරවැසියන් කොටසකගේ පමණක් සහය ලබන දේශපාලන සංවිධානයක් ය. ආණ්ඩුවේ බලය පුරවැසියන් බොහෝ දෙනෙක්, කීප දෙනෙක් හෝ එක් අයෙකු මගින් මෙහෙය විය හැකි නමුත් පුරවැසියන් සියළු දෙනා ම ආණ්ඩුව මගින් නියෝජනය කරනු නොලැබේ.
       v.            රාජ්‍යය නොවෙනස් වන සුළු ය. ස්ථාවර දෙයක් වේ. මේ අනුව ‍ලෝකයේ කොතැනක වුව ද පවතින රාජ්‍යයන් එක සමාන වේ. වෙනසක් ඇති වන්නේ නම් භූමිය හා ජනගහනය අනුව පමණි. නමුත් ආණ්ඩුව රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් විය හැකි ය. නිදසුන් වශයෙන් ඇමරිකාව ජනාධිපති, චීනය කොමියුනිස්ට්, නේපාලය රාජාණ්ඩු, බ්‍රිතාන්‍යය පාර්ගිමේන්තු කැබිනට් වශයෙනි.
     vi.            රාජ්‍යයේ මූලික ස්වභාවය වෙනස් කිරීමට ජනතාවට අයිතියක් නැත. එසේ සිදු වන්නේ නම් වෙනත් රටකට යටත් වුවහොත් පමණි. නමුත් ආණ්ඩුව වෙනස් කිරීමට මහජනතාවට බලය තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය තුළින් හෝ ප්‍රජාතන්ත්‍රවාදී නොවන විප්ලවයක් මගින් හෝ හමුදා කුමන්ත්‍රණයක් මගින් හෝ එය සිදු කළ හැක. මේ අනුව රාජ්‍යය විසුරුව නොහැකි අතර විසුරුවා හැරියහොත් එය මුළු මනින් ම විනාශ වේ. නමුත් ආණ්ඩුවක් විසුරුවා හැරිය හැකි අතර කිසිදු හානියක් සිදු නො‍වේ.
   vii.            රාජ්‍යය බිහි වීම සදහා අනිවාර්ය දේශ සීමා වලින් යුක්ත භූමි ප්‍රමාණයක් අවශ්‍ය වේ. නමුත් ආණ්ඩුවට මෙම කොන්දේසිය අදාල නොවේ. රාජ්‍යයට අයත් දේශසීමාවෙන් පිටත වුව ද ආණ්ඩුවක් තිබිය හැක. නිදසුන් ලෙස 1815න් පසු ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා‍වේ ආණ්ඩුව එංගලන්තය තුළ පවත්වාගෙන යාම ගත හැක.
 viii.            පුරවැසියන්ට රාජ්‍යයට එරෙහිව නැගී සිටිය නොහැක. රාජ්‍යයට විරුද්ධ වීම දඩුවම් ලැබිය හැකි රාජද්‍රෝහී ක්‍රියාවකි. යමෙක් රාජ්‍යයට විරුද්ධ වන්නේ නම් තමා තමාටම විරුද්ධ වීමක් සේ සැලකේ. නමුත් ආණ්ඩුවට එරෙහිව නැගී සිටීමට පුරවැසියන්ට අයිතියක් ඇත. එය පුරවැසියා සතු මූලික අයිතියකි. සාධාරණ හා යුක්ති සහගත හේතු වන ආණ්ඩුවට විරුද්ධ වීම දඩුවම් ලැබිය යුතු වරදක් නොවේ.
රාජ්‍යය හා සමාජය
          සමාජයක් යනුවෙන් අදහස් කරන්නේ යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ ස්ථීර ලෙස ම වාසය කරන එක් වාර්ගික ජන කොටසක් හෝ ජන වර්ග කීපයක් විසින් තම ආශාවන්, අවශ්‍යතාවයන් හා උවමනා එපාකම් තෘප්තිමත් කර ගැනීම සදහා ගොඩ නගා තිබෙන ආයතන හා සමිති සමාගම් ජාලාවේ සමස්ත එකතුව වේ. මෙහි දී සැළකිය යුතු වඩා වැදගත් කරුණ වන්නේ සමාජයක් වාර්ගික ජන කොටසකින් හෝ එකිනෙකට වෙනස් ජන කොටස් හෝ සමන්විත විය හැකි බවයි.
                                                                                                මෙම පැහැදිලි කිරීම් අනුව සමාජය ගොඩ නැගී තිබෙන්නේ පොදු සමාජ අරමුණු ඉටු කර ගැනීම සදහා ජන කොටස් වලින් පිහිටුවා ගනු ලැබූ විවිධාකාර සංවිධාන ජාලාවේ එකතුවෙනි. මෙවැනි සංවිධාන දහස් ගණනක් සමාජය තුළ දක්නට ලැබේ. රාජ්‍යය මෙම සංවිධාන වලින් එකක් වන අතර එය සමාජගත මිනිසුන් විසින් පිහිටුවා ගෙන ඇති ඉතාම වැදගත් වූ ත්, උත්තරීතර වූ ත් සංවිධානය යි. මේ අනුව සංවිධානය වූ සෑම ජන කොටසක් තුළම රාජ්‍යය දැක ගත හැකි අතර සමාජගත පුද්ගලයන්ගේ බාහිර පැවැත්ම පාළනය කරමින් ඔවුන් එකට බැද තබන්නේ රාජ්‍යය විසිනි. මේ අනුව රාජ්‍යය හා සමාජය අතර පුළුල් වෙනස්කම් රැසක් දැකිය හැකි ය.
        i.            සමාජය රාජ්‍යයට ප්‍රථමයෙන් බිහි වූ බව පැහැදිලි ය. මිනිසුන් ශීලාචාර දිවිපැවැත්මකට හුරු පුරුදු වී පොදු අරමුණු සදහා සංවිධානය වීමට පටන් ගත් පසු ආරම්භ වන සංවිධානය වන ක්‍රියාදාමයේ අවසාන අවස්ථාවේ රාජ්‍යය බිහි වේ. මිනිසුන් සංවිධානය වූවාට පසු රාජ්‍යය ගොඩ නගා ගත් බව මෙයින් පැහැදිලි වේ.
      ii.            රාජ්‍යයට ස්වාධිපති බලයක් හිමි වන අතර සමාජයට එවැනි බලයක් හිමි නොවේ. රාජ්‍යය සතු මෙම උත්තරීතර බලය සමස්ත සමාජයම වසා පැතිරී පවතින අතර රාජ්‍යයේ කැමැත්තට අනුව ක්‍රියා කිරීමට සමාජය බැදී සිටී. රාජ්‍යයේ අභිමතයට අවනත නොවන ඕනෑම සමාජගත මිනිසෙකුට හෝ සමාජ සංවිධානයකට හෝ දඩුවම් පැමිනවීමේ බලයක් රාජ්‍යයට තිබේ. නමුත් සමාජයට යම් තරමක එක්තරා බලයක් හිමි වුව ද එය රාජ්‍යයේ තරම් උත්තරීතර නොවන අතර ම නිශ්චිත ලෙස හදුනා ගැනීමට ද නොහැකි ය. මිනිස් පැවැත්ම පාළණය කිරීමට හැකියාවක් සමාජයට තිබුණ ද රාජ්‍යයේ අධිකාරී බලය මෙන් බල කිරීමට හා දඩුවම් කිරීම මගින් මිනිසුන් පාලනය කර ගැනීමට සමාජයට බලයක් නැත. සමාජය පිළිගත් සිරිත් විරිත්, සම්ප්‍රධායන්, සදාචාරාත්මක අගය කිරීම් ආදිය යමෙකු කඩ කළ විට සමාජයට දිය හැකි උපරිම දඩුවම වන්නේ සමාජයෙන් කොන් කිරීම පමණි. ඒ අනුව රාජ්‍යය සමාජය තුළින් බිහි වුව ද අවසානයේ සමස්ත සමාජයම රාජ්‍යයේ උත්තරීතර බලයට යටත් වන බව පෙනේ.
    iii.            රාජ්‍යය විසින් මිනිසාගේ බාහිර පැවැත්ම පාලනය කරනු අතර සමාජය විසින් මිනිසාගේ අභ්‍යයන්තර පැවැත්ම පාලනය කරයි. රාජ්‍යය නීති රීති මගින් එය සිදු කරන අතර සමාජය සමාජගත සිරිත් විරිත් වැනි දෑ මගින් එය සිදු කරනු ලැබේ. සහයෝගය, හොද හිත පවත්වාගෙන යාම, නම්‍යතාවය වැනි කරුණු ද ඊට අයත් වේ.
     iv.            රාජ්‍යයට වඩා සමාජය පුළුල් ය. රාජ්‍යය සමාජයේ කොටසක් පමණක් වන අතර සමාජයට රාජ්‍යය ඇතුළු අනෙක් මානව සංවිධාන සියල්ලම අයත් වේ. රාජ්‍යය වූ කළී නිශ්චිත දේශසීමා වලින් වට වූ ප්‍රදේශයකට පමණක් සීමා වන අතර සමාජය දේශීය දේශ සීමාවන් ඉක්මවා ගිය ජාත්‍යයන්තර මට්ටම දක්වා විහිදේ.
       v.            රාජ්‍යය විසින් මිනිසාගේ දේශපාලන පැවැත්ම පමණක් සොයා බලන අතර සමාජය විසින් සමාජීය, ආර්ථික, දේශපාලන, ආගමික යන සෑම අංගයක් ම ඇතුළත් සමස්ත ජීවන පැවැත්ම සොයා බලයි. රාජ්‍යයේ හා සමාජයේ අවසාන අරමුණ එකක් ම වන අතර රාජ්‍යය ගොඩ නගනු ලැබුවේ එම අරමුණ වඩාත් හොදින් ඉටු කර ගැනීම සදහා යි.
     vi.            රාජ්‍යය වූ කළී මිනිස් කැමැත්ත හා තාර්කික බුද්ධිය මගින් කෘතිමව ඇති කළ දෙයකි. නිර්මාණය වූ පසු අනිවාර්ය අංගයක් බවට පත් ව ඇත. රාජ්‍යය මගින් ඉටු කරන කාර්යභාරය වෙනත් කිසිදු මානව සංවිධානයක් මගින් ඉටු කළ නොහැකි වීම එයට ‍හේතුවයි. නමුත් සමාජය මිනිස් ස්වභාවික හැසිරීමේ ප්‍රතිඵලයක් ය.
                                       කෙසේ වුව ද රාජ්‍යය හා සමාජය අතර නොබිදිය හැකි අයුරින් අන්තර් සබදතාවයක් ද පවතී. කාර්යභාරය හේතු කොටගෙන රාජ්‍යය සමාජයට අවශ්‍යයම දෙයක් බවට පත් වී ඇත. බාකර්ට අනුව සමාජය එකට එකතු කොට බැද තබා තිබෙන්නේ රාජ්‍යය විසිනි. රාජ්‍යය නොමැති වූ විට එම තත්වය විනාශ වී යාම නොවැලැක්විය හැක.

රාජ්‍යය හා අන්‍ය සමාගම්
                    නිශ්චිත අරමුණක් හෝ කිහිපයක් වෙනුවෙන් එකට එක් වූ කණ්ඩායමක් සමාජ සංවිධානයක් ලෙස හැදින්වේ. මෙසේ සමාජයේ විවිධ අරමුණු වෙනුවෙන් සංවිධානය වූ සමාජ සංවිධාන දහස් ගණනක් සංවිධිත සමාජයක් තුළ දැකිය හැක. ඒ අනුව රාජ්‍යය ද මිනිසුන් එකට එක් වී ගොඩ නගා ගත් සමාජ සංවිධානයක් වේ. නමුත් රාජ්‍යය හා අනෙක් සමාජ සංවිධාන අතර පුළුල් වෙනස්කම් රැසක් දැකිය හැකි වේ.
1.      බලය
ඉහත සදහන් සංවිධාන අතරින් මූලික වූ ත්, අසහාය වූ ත්, උත්තරීතර වූත් බලය හිමි එකම සංවිධානය රාජ්‍යය වේ. මෙම බලය ස්වාධිපති බලය ලෙස හැදින්වේ. මෙවැනි උත්තරීතර බලයක් අන් කිසිදු සමාජ සංවිධානයකට නැත. රාජ්‍යය සමාජයේ සෑම මිනිසෙකුම එක‍ට එකතු වී ගොඩ නගාගත් පොදු සමාජ සංවිධානයකි. එම නිසා සමාජය සතු සමස්ත බලයම නිතැතින් රාජ්‍යයට හිමි වේ. නමුත් සමාජයේ අන් ඕනෑම සංවිධානයක් පෞද්ගලික සංවිධාන වේ. එයට හේතුව ඒවා ගොඩ නගා තිබෙන්නේ පෞද්ගලික කණ්ඩායමක් වීමයි. ඒ නිසා එම සංවිධාන වලට රාජ්‍යය තරමි අසහාය බලයක් හිමි නොවේ.
                        රාජ්‍යය සතු තම උත්තරීතර බලය ක්‍රියාවට නංවනු ලබන්නේ නීති රීති හා බල කිරීම් මගිනි. ඒ සදහා රාජ්‍යයට ව්‍යවස්ථාදායකය, විධායකය හා පොලිසිය, හමුදාව, අධීකරණය, බන්ධනාගාර යනාදිය ඇත. රාජ්‍යය පනවනු ලබන නීති රීති වලට සියළුම සංවිධාන යටත් විය යුතු අතර නීති කඩ කරන්නන්ට දඩුවම් පැණවීමට රාජ්‍යයට බලය තිබේ.
                                                                                    මෙලෙස නීති රීති පැනවීමට හෝ දඩුවම් දීමට බලයක් අන් සමාජ සංවිධාන වලට නැත. එම සංවිධාන වල පරමාර්ථයක් අනුව සාමාජිකයන් හැසිරිය යුතු අයුරු දැක්වෙන ව්‍යවස්ථා මාලාවක් තිබුණ ද බලය හා බල කිරීම් යොදවමින් සාමාජික අවනත බව ලැබීමට එම සංවිධාන වලට ‍නොහැකි ය. තම සංවිධානයේ ව්‍යවස්ථා මාලාවට පටහැනිව යමෙක් කටයුතු කළහොත් ඔහුට දිය හැකි උපරිම දඩුවම වන්නේ එම සාමාජිකයාගේ සාමාජිකත්වය ඉවත් කිරීම පමණි.

2.      සාමාජිකත්වය
        ඕනෑම පුද්ගලයෙකු උපත ලබන්නේ කිසියම් රාජ්‍යයක් තුළ ය. තමා කුමන රාජ්‍යයට අයත් යන්න තීරණය කිරීමට උපන් පුද්ගලයාට හැකියාවක් නැත. ඒ අනුව රාජ්‍යයේ සාමාජිකත්වය පිළිබද ව පිළිබද ව තේරීමක් හෝ මනාපයක් පුද්ගලයාට නොමැත. ඔහු කැමති වුව ද අකමැති වුව ද තමා උපන් රටේ සාමාජිකත්වය ඔහුට නිතැතින් ම හිමි වේ. පුරවැසිභාවය යනුවෙන් අප හදුන්වන්නේ එයයි. උපදින අවස්ථාවේදී ම ඔහු රටේ ලියා පදිංචි කරන සහතිකයක් ලබා දෙන්නේ මේ නිසා ය. යම් පුද්ගලයෙකුට සාමාජිකයෙකු විය හැක්කේ එක් රාජ්‍යයක් තුළ පමණි. එසේ ම එය අනිවාර්ය දෙයක් ද වේ. තව ද තමන් ජීවත් ව සිටින කාළය තුළ එම සාමාජිකත්වයෙන් ඉවත් වීමට හෝ මිදී යාමට හෝ හැකියාවක් නැත.
                                                            නමුත් ඕනෑම අනෙක් සමාජ සංවිධානයක සාමාජිකත්වය දැරීමට පුද්ගලයාට හැකියාව තිබේ. එය සිවාභිමතය පරිදි සිදු වන්නකි. ඕනෑම සංවිධාන ගණනක සාමාජිකත්වය එක වරම ලබා ගැනීමට පුද්ගලයාට හැකි ය. එසේ ම එම සාමාජිකත්වය තුළ රැදී සිටීමේ හෝ නොසිටීමේ හෝ හැකියාවක් ද පුද්ගලයාට ලැබී තිබේ. මෙයින් කියැවෙන්නේ පුද්ගලයාට තමන් කැමති ඕනෑම අවස්ථාවක දී අනෙක් සමාජ සංවිධානයන්ගේ සාමාජිකත්වය අත්හැරිය හැකි බවයි.

3.      අරමුණු හා පරමාර්ථ
        රාජ්‍යයක ඇත්තේ පොදු අරමුණු හා පරමාර්ථයන් ය. රාජ්‍යය මුළු සමාජයම වෙනුවෙන් ක්‍රියාත්මක වේ. පුරවැසියන් සියළු දෙනාගේම පොදු සුභසාධනය සැලසීම රාජ්‍යයේ අවසාන පරමාර්ථය වේ. රාජ්‍යය නීති පනවනු ලබන්නේ මේ නිසා ය. එසේම ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නේත් මෙම පොදු අරමුණු වලට ගැලපෙන ආකාරයෙනි. නමුත් අනෙක් සමාජ සංවිධාන වල අරමුණු හා පරමාර්ථ පටු හා පෞද්ගලික තත්වයන් මත ගොඩ නැඟුණ ඒවා ය. ඒවා තුළින් තම සාමාජිකයින්ගේ අරමුණු සලසනවා මිස පොදු සමාජ අභිවෘද්ධියක් පිළිබඳව සලකා නොබැලේ.

4.      ව්‍යාප්තිය (අධිකාරී/බලධාරී කේෂ්ත්‍රය)
        රාජ්‍යයේ ව්‍යාප්තිය අනුව එය ජාතික ස්වරූපයක් දරන්නා වූ සංවිධානයක් වේ. මේ අනුව රාජ්‍යය සඳහා නිශ්චිත දේශසීමාවන්ගෙන් යුක්ත භූමි ප්‍රදේශයක් අවශ්‍ය වේ. රාජ්‍යයට ව්‍යාප්ත විය හැක්කේ එම දේශ සීමා දක්වා පමණි. නමුත් අනෙක් සමාජ සංවිධාන සඳහා නිශ්චිත භූමියක් අවශ්‍ය නොවන අතර ම ඒවායේ ව්‍යාප්තිය නිශ්චිත ද නොවේ. උදාහරණ වශයෙන් ක්‍රීඩා සමිති, තරුණ සමිති, මහිලා සමිති යනාදිය ප්‍රාදේශීය ස්වරූපයක් ගන්නා අතර සිංහ සමාජය, ක්‍රිස්තියානි සංගමය, බෞද්ධ මහා සම්මේලනය යනාදිය ජාතික මට්ටමේ සංවිධාන වේ. ලෝක රතු කුරුස සංගමය, ජාත්‍යයන්තර කම්කරු සංවිධානය, ජාත්‍යයන්තර ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය යනාදිය ජාත්‍යයන්තර මට්ටමේ සංවිධාන ලෙස සැලකිය හැක.

5.      ජාතික ස්වභාවය
        රාජ්‍යයක් ගොඩ නැගී තිබෙන්නේ එක් ජාතියක් පදනම් කොට ගෙන ය. ජාතියක් වාර්ගික කොටස් කීපයකින් සමන්විත විය හැකි අතර දේශපාලන විද්‍යාවේ දී අදහස් කරනුයේ එක් ජාතියක් යන අදහසයි. නිදසුන් වශයෙන් ශ්‍රී ලංකාවේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සහ වෙනත් ජන කොටස් ගණනක් සිටිය ද පොදුවේ ශ්‍රී ලාංකික ලෙස හඳුන්වනු ලැබේ.
                                                                        ඒ අනුව රාජ්‍යයක් එක් ජාතියක් පදනම් කර ගෙන බිහි වී ඇති බව හඳුනාගත හැකි ය. නමුත් අනෙක් සමාජ සංවිධාන වලට ජාතිකත්වය පිළිබඳ අදහස බලපානු නොලැබේ. ජාත්‍යයන්තර සමාජ සංවිධාන ගොඩ නැගී තිබෙන්නේ බහු ජාතික පදනම යටතේ ය. උදාහරණ වශයෙන් ලෝක රතු කුරුස සංවිධානය දැක්විය හැකි ය.

රාජ්‍යය, ජාතිය හා ජාතිකත්වය
        දේශපාලන විද්‍යාවේ දී අර්ථ භේදයකින් තොර ව භාවිතයට ගැනෙන තවත් වචන කීපයක් ලෙස මේවා හඳුන්වා දිය හැකි ය. රාජ්‍යය හා ජාතිය එක අරුතක් දැනවීමට යොදනවාක් මෙන් ම ජාතිය හා ජාතිකත්වය ද සමාන අර්ථ ගෙන දීමට භාවිත වේ. නමුත් මෙම පද වලින් ඇඟවෙන අර්ථ බොහෝ සෙයින් වෙනස් වන බව පැහැදිලි වේ. මෙහි දී ජාතිය හා ජාතිකත්වය යනු කුමක්ද යන්න තේරුම් ගැනීමේ දී පහත දැක්වෙන ලෙස ඒවායේ අර්ථ පැහැදිලි කර ගත හැක.
                                                ඉංග්‍රීසියෙන් Nation (ජාතිය) යන්න හා  Nationality (ජාතිකත්වය) යන්න යන වචන දෙක ගොඩ නැගී ඇත්තේ ලතින් භාෂාවේ එන Natio යන වචන දෙක මුල් කර ගෙන ය. “උත්පත්තිය” යන්න එයින් කියැවේ. මේ අනුව සලකා බලන විට යම් රටක උපදින මිනිසුන් සියළු දෙනා ම එකට ගත් විට ජාතියක් වශයෙන් හැඳින්වෙන අතර මිනිසුන් තුළ ජාතිය පිළිබඳ ඇතිවන උදාරතර හැඟීම් ජාතිකත්වය යනුවෙන් හැඳින්වේ. ඒ අනුව ජාතිය හා ජාතිකත්වය අතර පුළුල් වෙනස් කම් දැකිය හැකි නොවේ. හේතුව ජාතියක් පදනම් කොට ගෙන ජාතිකත්වය ඇති වීම යි. ජාතිකත්වය පදනම් කොට ගෙන ජාතියේ ඒකීයත්වය හා එක්සත් භාවය ඇති වීමත් ය. නමුත් දේශපාලන විද්‍යාවේ දී මෙම පද දෙක භාවිතයට ගැනෙ‍න්නේ ඉහත අර්ථ හැඳින්වීමට නොවේ. ඒ අනුව ජාතිය යනුවෙන් හැඳින්වෙන්නේ නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ දේශපාලනමය වශයෙන් සංවිධානය වූ මිනිස් සමූහයකි. එසේ සංවිධානය වූ අවස්ථා දේශපාලන විද්‍යාව තුළ හඳුනා ගත හැක.
        i.            රාජ්‍යයක් වශයෙන් සංවිධානය වූ හා දේශපාලනමය වශයෙන් ස්වාධීනත්වයක් දරන මිනිස් සමූහයක් ජාතියක් වශයෙන් හඳුනා ගත හැක.
      ii.            දේශපාලන නිදහසක් නැතත් එය දිනාගැනීමට හා රාජ්‍යයක් වශයෙන් සංවිධානය වීමට ආසාව සහිත ජන සමූහයක් ජාතියක් වශයෙන් හඳුනා ගත හැක.
                                                මේ අනුව යටත් විජිතයකට දේශපාලන නිදහස හා රාජ්‍යයත්වය යන දෙකම නොමැති විට එහි ජනතාව නිදහස අයත් කර ගෙන රාජ්‍යයක් වශයෙන් සංවිධානය වීමට ආශාව දක්වන්නේ නම් එම ජනතාව ජාතියක් වශයෙන් සැළකිය හැක. මෙහි දී ජාතිය යන්න තීරණය කිරීම සම්බන්ධයෙන් දේශපාලන සාධකය අතිශයින් වැදගත් වේ.
                                                            ජාතිකත්වය යනුවෙන් අදහස් කරනුයේ ජාතිය පිළිබඳ මිනිසා තුළ ඇතිවන උදාරතර මානුෂික හැඟීම් ය. එනම්, නිශ්චිත භූමි ප්‍රදේශයක වාසය කරන ජනතාව තමන් එකම ජාතියකට අයත් වනවාය යනුවෙන් ඇතිවන මානුෂික සිතුවිල්ල ය. මෙහි දී ජාතිකත්වය ඇති වීම කෙරෙහි එල්ල වන සංස්කෘතික සාධකයන් බෙහෙවින් බලපෑම් කරයි. පොදු ඉතිහාසයක්, ‍පොදු සංස්කෘතියක්, පොදු සිරිත් විරිත් හා සම්ප්‍රධායන්, පොදු ආගමක් ආදී සංස්කෘතික සාධක මේ සම්බන්ධයෙන් වැදගත් වේ. මේ සාධක තුළින් ජනතාව තුළ එක්සත් භාවය ඇති වූ විට ජාතිකත්වය පිළිබඳ හැඟීම වර්ධනය වේ.
                        යම් රටක් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට වෙනස් ආගම්, භාෂා හා සංස්කෘතික තත්වයන් සහිත වාර්ගික කොටස් කීපයකින් සමන්විත විය හැකි වුව ද වර්ගය ගැන නොසලකා හුදෙක් ජාතියක් ලෙස ජාතික පදනමකින් කල්පනා කරන්නේ නම් ජාතිකත්වය වර්ධනය වීමට වාර්ගික සාධකය බල ‍‍නොපායි. නමුත් වාර්ගික මට්ටමකින් කටයුතු කරයි නම් එහි දී ජාතිකත්වය පිළිබඳ හැඟීම වර්ධනය නොවේ. නිදසුන් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය බහුවිධ සමාජ ක්‍රමයක් සහිත විවිධ භාෂා, විවිධ ආගම් ගණනකින් සමන්විත වාර්ගික කොටස් සිය ගණනකින් යුක්ත රටක් ලෙස සැලකේ. නමුත් ඔවුන් පටු තත්වයන් ඉවත් කොට ජාතික මට්ටමින් කල්පනා කිරීම හේතු කොට ගෙන ලොව ඉහලම හා ප්‍රබලම ජාතිකත්වයක් රට තුළ ගොඩ නැඟී තිබේ. එසේ ම ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වර්ග කොටස් 04ක් පමණක් දැකිය හැකි වුව ද ඔවුන් අතර පවතින පටු වාර්ගික ආකල්ප නිසා අද දක්වාම ජාතිකත්වයක් ලොඩ නගා ගැනීමට මෙරට අසමත් ව ඇත.

                        මේ අනුව ජාතිය හා ජාතිකත්වය එකම කාසියක දෙපැත්ත මෙන් එකිනෙකට වෙනස් කළ නොහැකි අයුරින් එකට බැඳී ඇති ආකාරයක් පෙනී යයි. මහාචාර්ය අර්නස්ට් බාකර් දැක් වූ ආකාරයට “මිනිසුන් ජාතියක් ලෙස කල්පනා කරන විට ඔවුන් ජාතියක් බවට පත් වේ.” එසේ ම “රාජ්‍යය හා ජාතිකත්වය එකට එකතු වූ විට ජාතියක් බිහි වන බව මහාචාර්ය ගානර් පෙන්වා දෙයි.”

1 comments:

wehipabalu said...

great

Post a Comment