Monday, October 13, 2014

යහපාලනය

2 comments



ආර්ථික සම්පත් හා මානව සම්පත් වලින් හිඟයක් නොමැති වුව ද තුන් වන ලෝකයේ රටවල ආර්ථික සංවර්ධනය වීම මන්දගාමී වීම හා සමාජ සාධාරණත්වය බිඳ වැටීම යන ප්‍රශ්න වලට බල පා ඇති හේතු සාධක මොනවාද යන්න පිළිබඳ 1980 දශකයෙන් පසු කාළය තුළ ඇති වන කතිකාවතකින් ඉස්මතු වූ දෙයක් ලෙස යහපාලනය පිළිබඳ සංකල්පය හඳුන්වා දිය හැකි ය.
                                                            මෙම රටවල් සතු ආර්ථික හා මානව සම්පත් නිසියාකාරයෙන් කළකමනාකරණය නොකිරීම හේතු කොට ගෙන ආර්ථික සංවර්ධනය මන්දගාමී වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ සාධාරණත්වය ගොඩ නැඟීම ද බිඳ වැටී ඇති බවත් මෙම කතිකාවතේ දී හෙලි වේ. මෙයට බල පා ඇති හේතු කාරක ලෙස දුටුවේ අනවශ්‍ය ලෙස බලය මධ්‍යගත වීමත්, රාජ්‍ය පාලනයේ අකාරයක්ෂමතාවය, රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම, රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීම හා ක්‍රියාත්මක කිරීම කෙරෙහි ජනතා සහභාගීත්වය නොමැති වීම, අල්ලස හා දූෂණය ඉහළ යාම, රාජ්‍ය පාලකයින් වගකීමෙන් තොර වීම යනා දී දෑ ය.
                                                                                                                                    තුන්වන ලෝකයේ රටවල් මුහුණ දී ඇති මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් යහපාලනය පිළිබඳ සංකල්පය ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වුණ එකම විසඳුම බවට පත් වේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනින්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හා සංවර්ධනය සඳහා දායක වන වෙනත් ආයතන විසින් ද යහපාලනය පිලිබඳ සංකල්පය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනු ලැබී ය. මෙම සංකල්පය මඟින් අවධාරණය කරන මූලික කරුණු කීපයකි.

                    i.   සහභාගීත්වය
               මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය සම්පාදනයේ දී හා ක්‍රියාවට නැංවීමේ දී ජනතා සහභාගීත්වය වර්ධනය කළ යුතු අතර වෙනත් ආකාරයකින් දක්වන්නේ නම් සහභාගීත් ව සංවර්ධන ක්‍රියාදාමයන් වඩාත් ශක්තිමත් කළ යුතු ය. මෙහි දී ජනතාව පමණක් නො ව සිවිල් සංවිධාන වලට ද විශේෂයෙන් ම රාජ්‍ය නොවන සංවිධාන වලට ද සක්‍රීය ක්‍රියාදාමයක් ඉටු කිරීමට අවස්ථාව දිය යුතු ය. මෙය කළ හැක්කේ මධ්‍යමාණ්ඩුවේ බලය විමධ්‍යගත්‍කරණය කිරීම මගින් පළාත් පාලන ආයතන ශක්තිමත් කොට ඒවායේ ජනතා සහභාගීත්වය පුළුල් කිරීම තුලිණි.

                  ii.   නීතියේ ආධිපත්‍යය
               යහපාලනයේ අතවශ්‍ය කොන්දේසියක් ලෙස නීතියේ ආධිපත්‍යය සංකල්පය හැඳින් වේ. නීතියට මිනිසුන් ගරු කිරීමට හා අවනත වීමට පෙළඹෙන්නේ සියළු දෙනා ම විසින් නීතියේ උත්තරීතර බව පිළිගන්නේ නම් පමණි. නීතිය ඉදිරියේ සියළු දෙනා ම සමාන වනවා ය සහ නීතියේ සමාන ආරක්ෂාව සමාන අයුරින් සියල්ලන්ට ම හිමි වනවා ය යන විශ්වාසය මිනිසුන් තුළ ඇති වන්නේ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ නම් පමණි. ඒ සඳහා අධිකරණයේ ස්වාධීනත්වය ද අත්‍යවශ්‍ය වේ.

                iii.   වගකීම
               මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය පාලන බලතල ක්‍රියාවට නංවන අය ජනතාවට වග කිව යුතු බව ය.

                 iv.   විනිවිදභාවය
               රාජ්‍ය මුදල් විය පැහැදම් කරන ආකාරය විවෘත භාවයකින් යුක්ත ව කළ යුතු ය යන්න මෙයින් අදහස් වේ. එනම් රාජ්‍ය විය පැහැදම් පිළිබඳ ජනතාවට දැන ගැනීමය ඇති අයිතිය හා ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට ඇති අයිතිය එමගින් අවධාරණය කෙරේ.

                   v.   ප්‍රතිචාරාත්මක බව
               මෙයින් අදහස් කරන්නේ ජනතා අවශ්‍යතාවයන් ට පාලකයින් විසින් ඇහුම් කන් දීම, සැලකිල්ලට ගැනීම හා හැකිතාක් දුරට ඒ සෑම අදහසක් ම නියෝජනය වන පරිදි අවසාන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ක්‍රියාවට නැංවීමයි.

                 vi.   කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය
               සම්පත් කාර්යක්ෂම ව හා ඵලදායී අයුරින් භාවිතයට ගැනීම මෙයින් අදහස් වේ. වෙනත් ආකාරයකට දක්වන්නේ නම් සම්පත් අපතේ යාම වළක්වා ගැනීමයි.

               vii.   සහමිතිකභාවයි
               සියළු දෙනාගේ ම අදහස් වලට ඇහුම් කන් දීම, සැළකිල්ලට ගැනීම සහ හැකිතාක් දුරට සෑම අදහසක් ම නියෝජනය වන පරිදි අවසාන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ක්‍රියාවට නැඟීම මෙයින් අදහස් කෙරේ.

             viii.   සාධාරණත්වය
               සමාජ ධනය සාධාරණ අයුරින් සියළු දෙනා අතර බෙදා හැරීමට කටයුතු කිරීම මෙයින් අදහස් කෙරේ.
               සමස්තයක් ලෙස ගත් විට යහපාලනයෙන් අදහස් කෙරෙන්නේ වංචාව හා දූෂණය නැති කිරීමයි. සුළු ජන කොටස් වලට ඇහුම් කන් දී සාධාරණය ඉටු කිරීමයි. වඩාත් පුළුල් ජනතා සහභාගිත්වයක් සහාතව ආර්ථික සංවර්ධනය වේගවත් කරමින් ජනතා සුභ සාධනය ඉහළ නැංවීමයි.

නීතිය

0 comments




                                            සංවිධිත සමාජ ක්‍රමයක් තුළ ජීවත් වන මිනිසුන්ගේ සමාජ යහ පැවැත්ම පාලනය කිරීම සඳහා අධිකාරී බලය පදනම් කොට ගෙන රාජ්‍යය මඟින් පනවා ඇති රෙගුලාසි දේශපාලන විද්‍යාවේ නීති ලෙස හැඳින් වේ. සමාජ සිරිත් විරිත් හා සම්ප්‍රදායන් ආදිය මගින් ද සමාජ යහ පැවැත්ම පාලනය කළත් දේශපාලන විද්‍යාවේ දී නීති ලෙස අප සලකනු ලබන්නේ මිනිසුන්ගේ බාහිර පැවැත්ම පාලනය කිරීම සඳහා රජය මඟින් පනවන රෙගුලාසි පමණකි. මෙසේ මිනිස් සමාජයේ යහ පැවැත්ම පාලනය කිරීම සඳහා නීතියක පැවැත්ම වර්තමානයේ දී තිබිය යුතු ම බව පිලිගත් මතයකි. එසේ නොවුනහොත් සමාජ අශිෂ්ඨත්වය පත් වීම නොවැළැක්විය හැකි කරුණක් වන හෙයිනි.
                                                                                                                        නමුත් නීතියක පැවැත්ම අනවශ්‍ය යැයි සලකන පිරිසක් ද දැකිය හැකි ය. ඔවුන් පෙන්වා දී ඇත්තේ නීති විරහිත සමාජ ක්‍රමයක් පිළිබඳ දාර්ශනික පාලකයෙක් පිළිබඳ හා එවන් අයෙක් පාලනය කරන රාජ්‍යයක් පිළිබඳ කතා කරන ප්ලේටෝ පරමාදර්ශී රාජ්‍යයක් පාලනය කිරීම සඳහා නීති අනවශ්‍ය බව කියයි. කාල් මාක්ස් රාජ්‍යය පන්ති පීඩක උපකරණයක් ලෙස හඳුන්වා දී ඇත්තේ රාජ්‍යයේ නීති මඟින් පීඩිත පන්තිය දැඩි පීඩනයකට ලක් කර ඇති බව පෙන්වා දීම සඳහා ය. මේ නිසා ඔහු බලාපොරොත්තු වන පූර්ණ කොමියුනිස්ට් යුගයේ දී රාජ්‍යය අහෝසි වන අතර රාජ්‍යයේ බාල සහෝදරයා වන නීතිය ද අහෝසි වන බව පෙන්වා දේ. නීතිය කුමන ස්වරූපයකින් ක්‍රියාත්මක වුව ද ඒ මඟින් මිනිස් නිදහස සීමා වන බව පවසන අනධිකාරීවාදීන් නීති නොමැති සමාජ ක්‍රමයක් ඇති විය යුතු බව කියයි.
                                                                                                            යහපත් හා විධිමත් සමාජ ක්‍රමයක පැවැත්ම සඳහා නීතියේ අවශ්‍යතාවය දැඩිව අවධාරණය කළේ ඇරිස්ටෝටල් ය. එම අවශ්‍යතාවය අවධාරණය කරන ඇරිස්ටෝටල් ‘සියලුම සතුන් අතුරින් උසස් ම සතා මිනිසා ය. එහෙත් නීතියෙන් වෙන් කළ විට සතුන් අතරින් පහත් ම සතාත් මිනිසා ම වන්නේ ය. යනුවෙන් ප්‍රකාශ කොට ඇත. කෙසේ වෙතත් නීතිය යනු කුමක් ද යන්න පිළිබඳ ව දේශපාලඥයන් පිළිගත් පොදු මතයක් නොමැත. ඔවුන් විවිධ දෘෂ්ටි කෝණ වලින් එ දෙස බලා ඉදිරිපත් කරන ලද නිර්වචන කිහිපයක් ම අපට හඳුනා ගත හැකි ය.

Ø  ආශාවන්ගෙන් බලපෑම් නොලත් තාර්කික බුද්ධිය නීතිය යි. - ඇරිස්ටෝටල්
Ø  යුක්තිය හා පරිපාලනය මෙහෙයවාලීම සඳහා රාජ්‍යය මගින් පනවනු ලබන හා ක්‍රියාවට නංවන රෙගුලාසි පද්ධතිය නීති වේ. - සල්මන්ඩ්
Ø  ස්වාධිපතිගේ ආඥා නීති ය. - ජින් බොඩෑන්
Ø  නීති යනු ස්වාධිපතිගේ ආඥාවයි. රාජ්‍යය විසින් ස්වකීය අධිකාරී බලය පදනම් කොට ගෙන පුරවැසි චර්යාව පාලනය කිරීම සඳහා ක්‍රියාවට නංවන රෙගුලාසි නීති වේ. - එච්.ආර් සෝල්ටු
Ø  දේශපාලන අධිපතියෙකු විසින් මිනිසාගේ බාහිර පැවැත් ම පාලනය කිරීම සඳහා පනවා ඇති ව්‍යවස්ථා සමූහමය නීති වේ. - හොලන්ඩ්

නීතියේ දක්නට ලැබෙන මූලික ලක්ෂණ
v  නීතිය වූ කළී අධිකාරී බලය පදනම් කරගත් රාජ්‍යය විසින් පැන වූ දෙයක් වීම.
v  නීති වූ කළී මිනිසුන්ගේ බාහිර සමාජ හැසිරීම පාලනය කිරීම සඳහා පැන වූ දෙයක් වීම.
v  නීති කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වීම.
v  නීති මිනිසාගේ පොදු යහපත අරමුණු කොට ගෙන පැනවිය යුතු වීම.
v  වෙනස් වන සමාජ ආශාවන් හා අවශ්යතා අනුව නීති කාලීන ව වෙනස් විය යුතු වීම.
                                                                                                                        ඉහත කී ලක්ෂණ වලට අමතර ව සංවිධිත දේශපාලන සමාජයක් තුළ නීති සියල්ලට ම ඉහළින් තිබිය යුතු අතර නීතිය ඉදිරියේ සියලු දෙනා එක හා සමාන විය යුතු ය. එනම් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක විය යුතු ය.

නීතියේ මූලාශ්‍ර
              රාජ්‍ය නීති සම්පාදනය කිරීමේ දී ඒ සඳහා පසුබිම් කර ගත් දෑ නීති මූලාශ්‍ර ලෙස හඳුන්වයි.


  •   සිරිත්

පැරණිතම නීති මූලාශ්‍රය සිරිත් ය. සමාජය යහපත් යැයි තීරණය කොට කාලාන්තරයක් තිස්සේ පවත්වා ගෙන ඒම හේතු කොටගෙන සිරිත් බිහි වී තිබේ. ප්‍රධාන කරුණු දෙකක් නිසා මිනිසුන් මෙම සිරිත් විරිත් කඩ කිරීමට බිය වේ.

  •           සමාජයෙන් කොන් වීමට ඇති බිය

  •          මරණයෙන් මතු ලෝකය තුළ දඬුවම් ලැබීමට ඇති බිය

                                       රාජ්‍යයකට නීති පැනවීමේ දී මෙම සමාජ සිරිත් සම්පූර්ණයෙන් ම නොසලකා හැරිය නොහැක. එ නිසා වර්තමාන ලොවෙහි බොහෝ රාජ්‍යයන් එම සමාජය පිළිගත් සිරිත් රාජ්‍යයද පිළිගෙන ඒ ඔස්සේ නීති සම්පාදනය කර තිබේ.
        උදා :-     උඩරට සිරිත් අනුව ගොඩ නැඟුණු උඩරට නීති
                     පහතරට සිරිත් අනුව ගොඩ නැඟුණු පහතරට නීති


  •    ආගම

නූතන සමාජ ක්‍රම තුළ නීති මූලාශ්‍රයක් ලෙස ආගම වැදගත් වී තිබේ. ප්‍රාථමික සමාජ ක්‍රම තුළ බොහෝ විට නීති ගොඩ නැඟී තිබෙන්නේ ආගමික පසුබිම් පදනම් කරගෙන ය.
  උදා :-     රෝම නීතිය
               මුස්ලිම් නීතිය


  •    අධිකරණ තීන්දු

මෙය ද නීති සම්පාදනයෙහි ලා වැදගත් ය. අධිකරණය යුක්තිය පසිඳලීමේ දී නීති විවරණය කරනු ලබයි. එසේ නීති විවරණය කිරීමේ දී අධිකරණය ගනු ලබන තීන්දු ඔස්සේ නව නීති සම්පාදනය වන අතර ඒ නිසා අධිකරණ තීන්දු වැදගත් නීති මූලාශ්‍රයක් බවට පත් වේ.


  •      නීති විශාරදයින්ගේ මත

නීතිය පිළිබඳ අධ්‍යයනය කරමින් නීති විශාරදයින් ඉදිරිපත් කරන මතවාද වැදගත් මූලාශ්‍රයක් ලෙස පිළිගනී.
  උදා :-     නූතන ඉංග්‍රීසි නීතියේ වර්ධනයට බ්ලැක්ස්ටන් හා කුක් යන නීති විශාරදයින්ගේ මතවැදගත් වී තිබේ.


  •     යුක්තිය

ස්වභාවික යුක්තිය පිළිබඳ මූලධර්මය ද තවත් වැදගත් නීති මූලාශ්‍රයකි. එහි දී නඩුවක විනිශ්චයක් සම්බන්ධයෙන් පවතින නීති ප්‍රමාණවත් නොවන විට හා පැහැදිලි නොවන විට විනිශ්චය කරුවන් තීන්දු ගනු ලබන්නේ ස්වභාවික යුක්තිය පදනම් කර ගෙන ය.


  •    ව්‍යවස්ථාදායකය

ඉතාම වැදගත් ප්‍රබලතම නීති මූලාශ්‍රය යි. සාමාන්‍යයෙන් රටක සම්පාදනය වන නීති වලින් බහුතරය සම්පාදනය කරනු ලබන්නේ ඒ රටේ ව්‍යවස්ථාදායකය යි.

නීති වර්ග
නීතියේ ආධිපත්‍යය
              මෙමගින් අදහස් කළේ පාලකයා ද රටේ පොදු නීතියට යටත් වන බවයි. ඒ අනුවම පාලනය මෙහෙය විය යුතු බවයි. චාරිත්‍රාණුකූල නීති, ව්‍යවස්ථානුකූල නීති, අධිකරණ තීන්දු යන තුනේ එකතුව පොදු නීතිය ලෙස ඔවුහු සලකනු ලැබී ය. රටේ පිළිගත් එම පොදු නීතියට අනුව පාළකයා රාජ්‍යය පාලනය කළ යුතු බව හා නීතිය ඉදිරියේ සියළු දෙනාම එක සමාන විය යුතු බව එයින් අදහස් කෙරිණි. නීතියට ඉහලින් කිසිවෙකුට කටයුතු කළ නොහැකි බවත් මෙම සංකල්පයෙන් අදහස් විය.
                                          නව යුගය තුළ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ක්‍රමානුකූල අදහසක් ඉදිරිපත් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික නීතිවේදියෙකු වූ මහාචාර්ය A.V ගයිසි විසිනි. ඔහු 1885 දී ඉදිරිපත් කළ Law Of The Constitution නැමැති කෘතියේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ අදහස ඉදිරිපත් කරනු ලැබී ය. ඔහු ප්‍රකාශ කරන ආකාරයට බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය ගොඩ නැඟී තිබෙන්නේ නීතියේ ආධිපත්‍ය සංකල්පය පදනම් කර ගෙන ය. ඔහු ඉදිරිපත් කළ මෙම අදහස් ගොඩ නඟා ඇත්තේ ප්‍රධාන මූලධර්ම තුනක් මුල් කර ගෙන ය.

        I.            රාජ්‍ය පාලනයේ දී සාමාන්‍ය නීතිය උත්තරීතර වේ.
      II.            නීතිය ඉදිරියේ සියළු දෙනා එක සමාන වේ. එබැවින් නීතියේ දී කිසිවෙකුට වැඩි වරප්‍රසාද හිමි නොවේ.
    III.            පුරවැසියන්ට අයිතිවාසිකම් හිමි ව තිබෙන්නේ සහජයෙන් හා සමාජ සම්මතයෙනි. ඒ නිසා රාජ්‍ය පනවන නීති මඟින් කළ යුත්තේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කොට පවත්වාගෙන යාමයි.
                                                                                                                        ඩයිසිගේ ස්වාධිපත්‍ය සංකල්පය මෑතක් වන තුරු ම පිළිගෙන තිබුණි. නමුත් නූතනයේ දී එම අදහස නොයෙක් ලෙසින් විවේචනයට ලක් ව තිබේ. ඩයිසි මෙම අදහස එංගලන්තයේ ක්‍රියාත්මක වූ සාමාන්‍ය නීතිය පදනම් කර ගෙන ගොඩ නඟා තිබුණත් මේ වන විට දෛනිකව ඉහළ යන රාජ්‍යයේ කාර්යභාරයන් නිසා ඩයිසිගේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ මූලික අදහස් එකිනෙක බිඳ වැටී තිබේ. ඩයිසි ඉදිරිපත් කළ මූලික කරුණ හා රාජ්‍යය පාලනය කළ යුත්තේ සාමාන්‍ය නීතියට අනුකූලවය යන අදහස අද වන විට බිඳ වැටී තිබේ. එයට හේතුව නූතන සමාජ ක්‍රම මුහුණ දෙන විවිධ වූ දේශපාලන, ආර්ථික හා සමාජීය ප්‍රශ්න විසඳාලීම සඳහා පොදු නීතිය පමණක් එයට ප්‍රමාණවත් නොවීම යි. ඒ නිසා වර්තමාන සමාජය තුළ සාමාන්‍ය නීතියට පරිබාහිර ව වෙනත් නීති ද ක්‍රියාත්මක වන බව පෙනේ.
              උදා :-     පරිපාලන නීති
                           හමුදා නීති
                                          බොහෝ විට ඇතැම් ප්‍රශ්න පොදු නීතිය යටතේ විසඳනවාට වඩා පරිපාලන නීතිය යටතේ කාර්යක්ෂම ව හා සාධාරණව විසඳිය හැකි ය.
                                                            නීතිය ඉදිරියේ සියළු දෙනා ම එක හා සමාන වේ යනුවෙන් නීතියේ ආධිපත්‍යය පිළිබඳ ව ඩයිසි දක්වා ඇති දෙවන මතය තර්කානුකූල ව පමණක් නිවැරදි බව විචාරකයෝ පෙන්වා දෙති. නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වල ප්‍රබල ලෙස සමාජ විශමතාවයන් දක්නට ඇති බැවින් එම මතය වර්තමානය වන විට බිඳ වැටී තිබේ. ඒ අනුව නීතිය ඉදිරියේ සියළු දෙනා එක හා සමාන ලෙස සැලකුවත් නීතියේ රැකවරණය ලැබීම සඳහා අවශ්‍ය පසුබිම පුද්ගලයන්ගේ සමාජ තත්වය අනුව එකිනෙකට වෙනස් ව ඇති බැවින් නීතියේ පිහිට වැඩි වශයෙන් ලබා ගත හැක්කේ ආර්ථික හා දේශපාලන ශක්තියෙන් පොහොසත් අයට පමණි. එම නිසා මෙම මතය ගොඩ නැඟීමේ දී සැබෑ ක්‍රියාකාරී තත්වය ඩයිසි සැලකිල්ලට ගෙන නොමැති බව විචාරකයෝ පෙන්වා දෙති. ධනපති සමාජ ක්‍රමයක් තුළ දේපල හිමි ධනපති පන්තියට නිතැතින් ම හිමි වන වරප්‍රසාද සහගත තත්වය ඩයිසි මුළුමනින් ම ඇතැයි විචාරකයෝ කියති.
                                                            ඩයිසිගේ විග්‍රහයේ දක්නට ලැබෙන තෙවන කාරණය අනුව පුද්ගලයින්ට අයිතිවාසිකම් හිමි ව ඇත්තේ සමාජයෙන් හා සමාජ සම්මතයෙන් ය. නමුත් මෙම අදහස ද විවේචනයට ලක් ව ඇත. එංගලන්ත සමාජ විකාශනය පදනම් කොට ගෙන ඩයිසි ඉදිරිපත් කළ මෙම අදහස එදා එංගලන්තයට තරමක් දුරට හෝ ගැළපුන ද අනෙකුත් සමාජ ක්‍රමයන්ට කිසිසේත් ම නොගැලපෙන බව විචාරක මතයයි. ඊට හේතුව අනෙක් රටවල් වල මිනිස් අයිතිවාසිකම් සමාජ විකාශනයෙන් පමණක් ම නො ව යම් යම් අරගල වල ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන්ට හිමි වීම යි.
              උදා :-     1676 ඇමරිකන් විප්ලවය
                           1717 රුසියන් විප්ලවය
                           1789 ප්‍රංශ විප්ලවය
                           1949 චීන විප්ලවය
                                                            එම රටවල ජනතාවට මිනිස් අයිතිවාසිකම් හිමි වූයේ සිදු වූ සමාජ විප්ලව වලින් අනතුරුව ය. අනතුරු ව ප්‍රකාශයට පත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මගිනි.
                                                                                                            ඉහත සඳහන් කරුණු සමස්තයක් ලෙස සලකා බැලීමේ දී පෙනී යන්නේ නූතන ආණ්ඩු ක්‍රම තුළ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව පූර්ණ විග්‍රහයක් කිරීම සඳහා ඩයිසිගේ සංකල්පය යොදා ගත හැකි ප්‍රමාණය සීමිත බවයි. එක් අතකින් ඩයිසිගේ න්‍යාය සංකල්පීය දුර්වලතා රාශියකින් යුක්ත වන අතර අනෙක් අතට කල් ගත වීමත් සමඟ රාජ්‍ය ක්‍රමයේ ඇති වන වෙනස් කම් වලට මෙම න්‍යාය ගැලපිය නොහැකි තත්වයක පවතී. එබැවින් නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ඩයිසිගේ මතවාදය නූතනයේ පිළිගනු නොලැබේ.