Friday, May 16, 2014

දේශපාලන විද්‍යාව විද්‍යා විෂයක්ද?

                                                                       දේශපාලන විද්‍ය‍ාවේ ස්වභාවය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී දේශපාලන විද්‍යාව විද්‍යා විෂයක් ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට සිදු වේ. ඒ අනුව දේශපාලන විද්‍යාව සැබෑ විද්‍යා විෂයක් ලෙස සැලකිය හැකි ද යන්න එම විෂය ගැන දිගු කලක් තිස්සේ ඉදිරිපත් වී තිබෙන බෙහෙවින් වාද විවාද වලට ලක්වුණ නමුත් මේ දක්වා ම නිශ්චිත විසඳුමක් ඉදිරිපත් නො වූ ඉතා වැදගත් ප්‍රශ්නයකි.
                                                                                                                                 දේශපාලන විද්‍යාව නියම විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බව දේශපාලන විද්‍යාඥයන්ගේ මතයයි. එම මතය ප්‍රතික්ෂේප කරන සමහරුන්ගේ මතය වන්නේ මෙය නියම විද්‍යාවක් ලෙස සැලකිය හැකි බවයි.
                                                                                                දේශපාලන විද්‍යාව නියම විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බවට තර්ක ඉදිරිපත් කරමින් එංගලන්ත ජාතික එඩ්මන්ඩ් බර්ක් මෙසේ කරුණු දක්වයි.
                                                                                                                    ලලිත කළා අධ්‍යයනයක් තුළ දැකිය හැකි විද්‍යාවට වඩා වැඩිමනත්දෙයක් දේශපාලන විද්‍යාව තුල විද්‍යාවක් ලෙස දැකිය හැකි නොවේ. ගණිත ශාස්ත්‍රය තුළ අඳින්නා වූ ආකාරයේ සෘජු රේඛාවක් දේශපාලන විද්‍යාව තුළ ඇඳිය නොහැකි අතර දේශපාලන ඥානය සම්බන්ධයෙන් ද නිශ්චිත සීමා දැක්විය නොහැක. (එඩ්මන්ඩ් බර්ක්)
                                                                                                                 ඔගස්ට් කොම්ටේ නැමැති ප්‍රංශ දේශපාලන විද්‍යාඥයා පෙන්වා දෙන ආකාරයට කරුණු 03ක් හේතු කොට ගෙන දේශපාලන විද්‍යාව විද්‍යා විෂයක් ලෙස සැලකිය නොහැකි බව කියයි.
  1. අධ්‍යාපන විධික්‍රම, භාවිතා කරන මූලධර්ම හා අවසාන නිගමන පිළිබඳ දේශපාලන විද්‍යාඥයන් අතර පොදු එකඟතාවයක් නොමැත.
  2. විෂය වර්ධනයෙහි ඒකීයත්වයක් නොමැති වීම.
  3. සියයට සියයක් නිරවද්‍යතාවය සහතික කර ගත් නියතීන් දේශපාලන විද්‍යාව තුළ නොමැති වීම
                                                                                           කෙසේ වෙතත් දේශපාලන විද්‍යාව නියම විද්‍යාවක් නොවන බවට හේතු ඉදිරිපත් කරන අය තම මතයට පක්ෂව ඉදිරිපත් කර ඇති තර්ක පුළුල් වශයෙන් කොටස් 04කට බෙදිය හැක.
  1. දේශපාලන විද්‍යා විෂය අධ්‍යයනයට ගැනෙන මූලධර්ම වල ඒකීය භාවයක් නොමැති වීම.
  2. හේතු සාධක මත පිහිටා නිශ්චිත අනාවැකි පල කල නොහැකි වීම.
  3. පරීක්ෂණ හා නිරීක්ෂණ වැනි විද්‍යාත්මක ක්‍රම ශිල්ප දේශපාලන විද්‍යාව අධ්‍යයනයට යෙ‍ාදා ගත නොහැකි වීම.
  4. ස්වභාවික විද්‍යාවන් තුළ මෙන් මෙය තුළ නියතීන් ගොඩ නැංවීමට නොහැකි වීම.
  • දේශපාලන විද්‍යාව තුල භාවිතයට ගැනෙන මූලධර්ම විශ්ව ව්‍යාප්ත මට්ටමින් එක හා සමාන ලෙස යොද‍ා ගැනීමට නොහැකි බව මෙන් ම එම මූලධර්ම පිළිබඳ ව පොදු එකඟතාවක් නොමැති බව ද මෙයින් අදහස් වේ. නිදසුනක් වශයෙන් 1+2 = 3 වන අතර එය විශ්ව ව්‍යාප්තව පිළිගත් නිරවද්‍යතාවය පිළිබඳ වාද විවාද නොමැත. එසේ ම රසායන විද්‍යාව තුළ O2+H = H2O සෑදීම ද පොදු මූලධර්මයකට අනුව සිදු වේ. එය කොතැනක දී කවුරු කවදා සිදු කල ද මූලධර්මයේ කිසිදු වෙනසක් සිදු නොවේ. නමුත් දේශපාලන විද්‍යාව තුළ එවැනි සිද්ධාන්තයක් නොමැතිවා පමණක් නොව පවතින ඒවා ගැන ද පෙ‍ාදු එකඟතාවක් නොමැත. නිදසුනක් වශයෙන් රාජ්‍ය සම්භවය පිළිබඳව අදහස් දක්වන දේව වරම්වාදය දෙවියන්ගේ කැමැත්ත මත එය සිදු වන බවත්, සමාජ සම්මුතියකින් සිදු වන බවත්, විකාශනාත්මක මත වාද සමාජ විකාශන ක්‍රියාවලිය මගින් එය සිදු වන බවත් ප්‍රකාශ කරයි. එසේ ම ඒකාධිපති හා කොමියුනිස්ට් පාළණ ක්‍රමයන්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ඉත‍ාම යහපත් පාලන ක්‍රමයක් බව ලිබරල් වාදය මගින් පිළිගත්ත  එය ක්‍රියාවට නැංවීමට වඩාත් සුදුසු වන්නේ කැබිනට් ආණ්ඩු ක්‍රමය ද, ජනාධිපති ආණ්ඩු ක්‍රමය ද යන්න පිළිබද පොදු එකඟතාවයක් දේශපාලනඥයින් තුළ දක්නට නොලැබේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම සර්ව ජන ඡන්ද බලය වුව ද එය කළ යුත්තේ වයස අවුරුදු 18 ඉක්ම වූ අයට ද නැතිනම් වයස අවුරුදු 21 ඉක්ම වූ අයට ද යන්න විශ්ව ව්‍යාප්ත මට්ටමෙන් පිළිගත් පොදු එකඟතාවයක් නොමැත. මේ නිසා දේශපාලන විද්‍යාව නියම විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බව විචාරකයෝ පවසති.
  • දෙවැනි කරුනෙහි තරුකය වන්නේ ස්වාභාවික විද්‍යාවන් තුළ මෙන් හේතු සාධක මත පිහිටා නිශ්චිත අනාවැකි පල කිරීමට දේශපාලන විද්‍යාව තුළ කල නොහැකි බවයි. නිදසුන් වශයෙන් යම් ඝණ ද්‍රව්‍යයක් ඉහලට විසි කළ විට එය නැවත පොළවට පතිත වීම භෞතික විද්‍යාවේ මූලික සිද්ධාන්තයකි. නමුත් හේතු ඵල වාදය මත ගොඩ නගන ලද එවැනි නිශ්චිත හා ස්ථාවර සිද්ධාන්ත දේශපාලන විද්‍යාව තුළ දැකිය නොහැක. අනෙක් අතට දෙන ලද යම් කාල පරිච්ඡේදයක් තුල සමාන සාධක හා සමාන තත්වයන් යටතේ වුව ද එකම කරුණක් සම්බන්ධයෙන් රටවල් 02ක් තුල සමාන ප්‍රතිඵල ඇති වේ යැයි නිශ්චිත ලෙස ප්‍රකාශ කළ නොහැක.
                                     උදා :- මීට අවුරුදු ගණනාවකට පෙර නේපාලයේ බිරේන්ද්‍ර රජු එරට ප්‍රජාතන්ත්‍රවාදී පාළණ ක්‍රමය අහෝසි කෙ‍ාට සියළු පාලන බල තල තමා යටතට ගත් විට ඒ සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධතා එල්ල නොවුන ද එම ක්‍රියාව බ්‍රිතාන්‍ය රැජින විසින් කළහොත් එයට හාත්පසින් ම වෙනස් දෙයක් සිදු වීමට ඉඩ තිබේ.
                   තවත් අතකට සමාන දේශපාලන ප්‍රතිඵල සඳහා අසමාන හේතු සාධක බලප‍ාන ආකාරය දේශපාලන විද්‍යාව තුල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.
                                                                    උදා :- පුවත්පත් ජනසතු කිරීම සඳහා ආණ්ඩුව තීරණයක් ගතහොත් පුද්ගලයන් තුන් දෙනෙකු තෙයාකාර හේතුන් මත එයට විරුද්ධ විය හැකි ය. පුවත්පත් හිමියා සිය පෞද්ගලික ව්‍යාපාරයට හානි සිදු වන නිසා එයට විරුද්ධ විය හැක. ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන අදහස් ප්‍රකාශ කිරීම හා මුද්‍රණය කිරීම පිළිබඳ නිදහසට හානි පැමිණෙන නිසා දෙවැන්නා ඊට විරුද්ධ වේ. තමා අකමැති පක්ෂයක් බලයේ සිටීම නිසා එයට ඇති විරෝධය ප්‍රකාශ කිරීමට තෙවැන්නා ඊට විරුද්ධ විය හැක. විරෝධය ප්‍රකාශ කිරීම අවසාන ප්‍රතිඵලය වුව ද ඒ සඳහා බලපාන හේතු සාධක අසමාන වීම මෙහි කැපී පෙනෙන ලක්ෂණයකි. හේතුඵල වාදය මත අවසාන නිගමනවලට පැමිණීමේ හැකියාව දේශපාලන විද්‍යාව තුල නොමැති හෙයින් එය නියම විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බව විචාරකයින්ගේ අදහසයි.

  • ඉහත තෙවැනි කරුණෙන් අදහස් වන්නේ විද්‍යාත්මක ශිල්පීය ක්‍රම භාවිතයට ගනිමින් ස්වභාවික විද්‍යාවන් පිළිබඳ ව පර්යේෂණාගාර මට්ටමින් සිදු කරනු ලබන ආකාරයේ පර්යේෂණ දේශපාලන විද්‍යාව තුළ කළ නොහැකි බවයි. ඒ හේතුවෙන් දේශපාලන විද්‍යාව විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බව විචාරකයෝ පවසති.
  • ඉහත සඳහන් සතර වන කරුණන් අදහස් වන්නේ ස්වාභාවික විද්‍යාවන් තුල පවතින ආකාරයේ නියතිවාද දේශපාලන විද්‍යාව තුල නොමැති වීම ‍කොට ගෙන එය විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බව විචාරකයෝ පෙන්වා දෙති.
                 උදා : - ගුරුත්වාකර්ෂණ බලය
                            අධික උෂ්ණත්වයක දී ද්‍රවයක් ප්‍රසාරණය වීම.
                            අධික සීතලක දී ද්‍රවයක් සංකෝචනය වීම.
                                                                                     යනාදී ය. ස්වභාවික විද්‍යාවන් වල ස්ථිර නියතවාදයන් වේ. නමුත් නිශ්චිත අවසාන නිගමන වලට එළඹීම සඳහා උපකාර කර ගත හැකි එවැනි නියතීන් දේශපාලන විද්‍යාව තුල නොමැත. අවම වශයෙන් මෙවර පවත්වන ලද මහා මැතිවරණ‍යේදී යම් පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කල යම් ඡන්ද දායකයෙකු ඊළඟ මහ මැතිවරණයේ දී එම පක්ෂයකට ම ඡන්දය දෙනු ඇතැයි අනාවැකියක් කීම සඳහා දේශපාලන විද්‍යාව තුල හැකියාවක් නොමැත. මේ නිසාවෙන් දේශපාලන විද්‍යාව නියම විද්‍යාවක් ලෙස සැලකිය නොහැක.
                                                 මෙසේ දේශපාලන විද්‍යාව විද්‍යා විෂයක් වන බවට ඇතැම් කණ්ඩායමක් කරුණු ඉදිරිපත් කරන අතර තවත් කණ්ඩායමක් විද්‍යාවක් නොවන බවට විශේෂයෙන් කරුණු ඉදිරිපත් කරයි. ඒ අතර,
  • ඇරිස්ටෝටල් 
  • ජින් බොඩෑන්
  • හෝබ්ස්
  • මොන්ටෙස්ක්‍යු
  • කොන්ටෙවිල් ලුවිස්
  • බ්‍රයිස් සාමි
  • බ්ලන්ටශ්ලි
  • ජෙලිනෙක්
  • ගානර්
  • බර්ජර්
                යන අය වැදගත් වේ.
                                     ඔවුන් ප්‍රකාශ කරන අන්දමට ශුද්ධ විද්‍යාවන් වල යම් යම් නිගමන වලට එළඹීම සඳහා භාවිතා කරන විද්‍යාත්මක ක්‍රම ශිල්ප භාවිතයට ගත හැකි වීම සමාජය නැමැති පර්යේෂණාගාරය තුල පර්යේෂණ කොට නිවැරදි නිගමන වලට බැස ගත හැකි වීම ස්ථීර වූ නියතිවාදයක් දේශපාලන විද්‍යාව තුල ද ගොඩ නැඟී තිබීම යනා දී කරුණු නිසා දේශපාලන විද්‍යාව ද විද්‍යා විෂයන් ගණයට දැමිය හැකි බවත් ය.
                                                                                                                               ඉහත ආකාරයට දේශපාලන විද්‍යාව පිළිබඳව ද, දේශපාලනයේ ස්වභාවය පිළිබඳව ද පරස්පර විරෝධී මත ඉදිරිපත් වී තිබුණ ද මෙය සමාජ විද්‍යා විෂයන් ගණයට වැටෙනු ඇත. එය නූතනයේ ද පිළිගත් මතය යි. එයට හේතුව ලෙස ඉදිරිපත් කල හැකි කරුණු වන්නේ කුමන ආකාරයේ ශිල්පීය ක්‍රම භාවිතා කල ද, කුමන ආකාරයේ පර්යේෂණයක් කෙ‍ාට කුමන ආකාරයේ නිගමන වලට බැස ගත්ත ද ඒවා ශුද්ධ විද්‍යාව මෙන් සියයට සියයක් ම නිවැරදි වූ කරුණු ‍නොවීම යි. අප දේශපාලන විද්‍යාව තුල බැසගන්නා නිගමනයන් වන්නේ සාමාන්‍යකරණය කරන ලද එනම් එය මෙසේ විය හැකිය යනා දී වූ නිගමනයන්ට ය. ඒ බව "දේශපාලන විද්‍යාව සමාජ විද්‍යා විෂයකි." යනුවෙන් ඉදිරිපත් කළ අදහස් මාලාව තුළ දක්නට ලැබේ. මේ අනුව දේශපාලන විද්‍යාව විද්‍යා විෂයන් ගණයට නොව "සමාජ විද්‍යා විෂයන් ගණයට" වැටෙන බව නූතන දේශපාලනඥයින්ගේ මතය යි.

1 comments:

සචිනි දුරන්ගි ශෙරමි said...

this post is very useful for students

Post a Comment