Monday, October 13, 2014

ආණ්ඩු ක්‍රම වර්ග (විධායක බලයක්‍රියාවට නංවන ආකාරය අනුව)





විධායක බලය ක්‍රියාවට නංවන ආකාරය අනුව ආණ්ඩුක්‍රම වර්ග කළ හැකි ය. එම පදනම මත වර්ග කිරීමේ දී  නූතනයේ දී වර්ග 4ක් දැක ගත හැකි වේ.
        i.                                 පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩුක්‍රමය
      ii.                                 ජනාධිපති ආණ්ඩුක්‍රමය
    iii.                                 මිශ්‍ර විධායක ආණ්ඩුක්‍රමය
     iv.                                විධායක ඒක පුද්ගලතන්ත්‍ර ආණ්ඩුක්‍රමය

1.     කැබිනට් ආණ්ඩුක්‍රමය
මෙම ආණ්ඩුක්‍රමය තුල විධායක බලතල ක්‍රියාවට නංවන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විසිනි.මෙම කැබිනට් මණ්ඩලය තෝරා පත් කර ගනු ලබන්නේ ව්‍යවස්ථාදායකය තුලිනි. රට පුරා පවත්වනු ලබන මහ මැතිවරණයකින් ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තෝරා පත් කර ගන්නා අතර ව්‍යවස්ථාදායකයේ බහුතර ආසන සංඛ්‍යාව දිනා ගන්නා පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයා අගමැති වශයෙන් පත්වන අතර ඔහුගේ අභිමතය මත අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පත් කර ගනු ලැබේ. එහි දී කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව කොපමනද යන්න පිළිබඳවත්, එම අමාත්‍යාංශ මොනවාද යන්න පිළිබඳවත්, ඒවා පවරනු ලබන්නේ කාටද යන්න පිළිබඳවත් තීරණය කරනු ලබන්නේ අගමැති ය. බොහෝ දුරට අගමැතිවරයා තම කැබිනට් මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ දී පක්ෂයේ ජ්‍යෙෂ්ට සාමාජිකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.
                                         මෙසේ තෝරා පත් කර ගත් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විධායක බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයට සාමූහිකව වගකිව යුතු ය.මෙය කැබිනට් ආණ්ඩුක්‍රමයක පදනම් මූලධර්මයක් වන අතර කැබිනට් ආණ්ඩුක්‍රමයක විධායක හා ව්‍යවස්ථාදායකය අතර සමීප සබඳතාවයක් ද පවතී. එයට හේතුව විධායක, ව්‍යවස්ථාදායකය තුළින් තේරී පත් වීමත් විධායකය ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන්ගෙන් ම සමන්විත වීමත් විධායකය ව්‍යවස්ථාදායකයට වගකීමට බැඳී සිටීමත් ය. කැබිනට් ආණ්ඩු ක්‍රමයක විධායකයේ පැවැත්ම තීරණය වන්නේ ව්‍යවස්ථාදායකයෙන් එයට ලැබෙන සහයෝගය අනුව ය. සාමාන්‍යයෙන් විධායකයට එරෙහි ව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් මඟින් හෝ අයවැය පනත හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ අනුමත නොකිරීමෙන් විධායකය බලයෙන් ඉවත් කරලීමට ව්‍යවස්ථාදායකයට හැකි ය.
                                          විධායක බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සාමූහිකව වගකීම පිළිබඳ ප්‍රතිපත්තිය න්‍යායාත්මකව අවශ්‍ය වුව ද කැබිනට් ආණ්ඩු ක්‍රමයක අගමැතිවරයාගේ ක්‍රියාකළාපය විශේෂයෙන් වැදගත් වේ. ඒ අනුව කැබිනට් ආණ්ඩුක්‍රම වල නූතන ප්‍රවනතාවය වී ඇත්තේ එය අගමැතිගේ ආණ්ඩුක්‍රමයක් බවට පත් වීමයි. ආණ්ඩුව තනි පක්ෂයකින් සමන්විත වන්නේ නම් හා ස්ථාවර බහුතරයක සහයෝගය ව්‍යවස්ථාදායකය තුළ ආණ්ඩුවට හිමි වන්නේ නම් එවැනි තත්වයක් තුළ අගමැතිවරයාගේ තත්වය ජනාධිපතිවරයෙකුගේ තත්වයට සමාන ය.

කැබිනට් ආණ්ඩුක්‍රමයක ප්‍රධාන ලක්ෂණ
  • ද්විත්ව විධායකයක් පැවතීම.
විධායකය
        නාමික විධායකය                            සත්‍ය විධායකය
රජු / රැජින                                      අගමැති + ඇමති
ආණ්ඩුකරු
ජනාධිපති
                                                ඉහත දැක්වෙන ආකාරයට කැබිනට් ආණ්ඩු ක්‍රමයක විධායකය කොටස් දෙකකින් සමන්විත වේ.
        I.            නාමික විධායකය හෙවත් නාම මාත්‍රික විධායකය
      II.            සත්‍ය / ක්‍රියාකාරී විධායකය හෙවත් දේශපාලනික විධායකය
                                      වශයෙනි. නාම මාත්‍රික විධායකය රජු හෝ රැජින විය හැක. නිදසුන් වශයෙන් බ්‍රිතාන්‍යය, ජපානය, නේපාලය ගත හැක. එසේ ත් නොමැති නම් ආණ්ඩුකාරවරයෙකු විය හැකි ය. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව නිදසුන් ය. නැතිනම් ඉන්දියාවේ මෙන් ජනාධිපතිවරයෙකු විය හැකි ය.
                                                     නාම මාත්‍රික විධායකය රටේ රාජ්‍ය නායකයා ද වේ. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුළ රාජ්‍යයේ නිළ කාර්යයන් ක්‍රියාවට නංවනු ලබන්නේ නාමික විධායකයේ නමින් වුව ද ඒ සම්බන්ධයෙන් ඔහු / ඇය කිසිවෙකුටත් වග නොකිය යි. මෙය පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ නාමමාත්‍රික විධායකය සම්බන්ධයෙන් දැකිය හැකි මූලිකම ලක්ෂණය වේ. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සත්‍ය විධායකය, දේශපාලන විධායකය හා ක්‍රියාකාරී විධායකය යනුවෙන් ද හඳුන්වනු ලැබේ. පාර්ලිමේන්තු ක්‍රමයක විධායක බලතල සැබෑ ලෙසම ක්‍රියාවට නංවන්නේ සත්‍ය විධායකය විසිනි.

  • රාජ්‍ය නායකයා විසින් ආණ්ඩුවේ නායකයා තෝරා ගැනීම.
        පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක ආණ්ඩුවේ නායකයා අග්‍රමාත්‍යවරයා ය. ඔහු ඒ තනතුරට තෝරා පත් කරන්නේ රාජ්‍ය නායකයා වන නාමික විධායකයයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක පිළිගත් සම්ප්‍රදාය වන්නේ නියෝජිත (මහජන / පළවෙනි) මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයා නාම මාත්‍රික විධායකය විසින් අගමැති තනතුරට පත් කිරීමයි. නමුත් පැහැදිලි බහුතරයක් කිසිම පක්ෂයකට නොලැබුනහොත් තම අභිමතය අනුව අගමැතිවරයෙකු නම් කිරීමට අයිතිය නාම මාත්‍රික විධායකය සතු ය.

  •    අගමැති වරයා විසින් කැබිනට් මණ්ඩලය පත් කිරීම හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම.
                 අගමැති තනතුරට තේරී පත් වීමෙන් පසු අග්‍රමාත්‍යවරයාගේ ප්‍රථම කාර්යය වන්නේ අමාත්‍යවරුන් තෝරා පත් කිරීම ය. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක සෑම අමාත්‍යවරයෙකු ම කැබිනට් මණ්ඩලයට අයත් නොවේ. අමාත්‍ය මණ්ඩලයෙන් කවුරු කැබිනට් මණ්ඩලයට ඇතුළු කරනවාද යන්න තීරණය කරන්නේ අගමැතිවරයා යි. මේ ආකාරයට තෝරා ගත් අමාත්‍යවරු හා කැබිනට් අමාත්‍යාංශ ලැයිස්තුව නාමමාත්‍රික විධායකයට ඉදිරිපත් කළ පසු නාමික විධායකය විසින් නිළ වශයෙන් එම පත් කිරීම් කරනු ලැබේ.

  •  ආණ්ඩුව සාමූහික මණ්ඩලයක් ලෙස කටයුතු කිරීම.
        අමාත්‍ය මණ්ඩලය සාමූහිකව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක පිළිගත් සිද්ධාන්තයකි. මෙයින් අදහස් වන්නේ තමන්ගේ පෞද්ගලික අදහස කුමක් වුව ද බහුතර තීරණයකට අමාත්‍යවරු එකඟ විය යුතු වනවාක් මෙන් ම එම තීරණය පොදුවේ ආරක්ෂා කිරීමට ද සෑම අමාත්‍යවරයෙක් ම බැඳී සිටීමයි. කැබිනට් මණ්ඩලය පොදු එකඟතාවයකින් ප්‍රකාශයට පත් කරන ලද තීරණයක් ජනතා ප්‍රසාදයට ලක් වූ විට තමන් එයට එකඟ නොවූ බව පවසමින් ඇඟ බේරා ගැනීමට මේ යටතේ ඇමතිවරුන්ට ඉඩ කඩක් නොලැබේ. යම් ඇමතිවරයෙකු කැබිනට් තීරණයකට එකඟ නොවන්නේ නම් ඔහුට ඉල්ලා අස් විය හැකි ය. එසේ නොකර සාමූහික වගකීම කඩ කරන ඕනෑම ඇමතිවරයෙකු තනතුරින් ඉවත් කිරීමේ බලය අගමැති සතු වේ.

  •     විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතින සමීප සම්බන්ධතාවය
        පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක විශේෂම ලක්ෂණය වන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සමීප සබඳතාවයක් පැවතීමයි. එයට හේතුව ව්‍යවස්ථාදායකය තුළින් විධායකය තේරී පත් වීමයි. විධායකය වශයෙන් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය විධායක කාර්යයන් සඳහා වෙනම සංවිධානය වුව ද ඔවුන් ව්‍යවස්ථාදායකයේ ම සාමාජිකයින් වේ. මහජන මන්ත්‍රී මණ්ඩලයේ වාද විවාද වලට විධායක සාමාජිකයන් සහභාගි වනවා මෙන් ම ඡන්දය ද භාවිතා කරයි. එහි දී ව්‍යවස්ථාදායකය නඟන ප්‍රශ්න වලට විධායකය පිළිතුරු ද දිය යුතු ය. එමෙන් ම විධායකය සාමූහිකව ව්‍යවස්ථාදායකයට වගකිව යුතු ද වේ. වාර්ෂික අයවැය ලේඛණය, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය වැනි වැදගත් පනත් පරාජය කරමින් ද, විධායකයට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගෙන ඒමෙන් ද ව්‍යවස්ථාදායකයට විධායකය පාලනය කළ හැකි වේ. මේ නිසා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ඇත්තේ සමීප බවකි.

  •    අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගෙන් පමණක් සමන්විත වීම.
        පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක අමාත්‍ය මණ්ඩලය මුළුමනින් ම සමන්විත වන්නේ පාර්ලිමේන්තුවෙන් ම තෝරා පත් කර ගත් සාමාජිකයන්ගෙනි. පාර්ලිමේන්තුව ද්විත්ව මණ්ඩල ක්‍රමයක් නම් දෙවෙනි මණ්ඩලයේ සාමාජිකයින් දෙතුන් දෙනෙකුට ඇමති පදවි පිරිනමනු ලැබේ. එසේ වුවත්  ඕනෑම පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ අමාත්‍ය මණ්ඩලයේ තනතුරු බහුතරය හිමි වන්නේ මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් තෝරා ගත් මහජන නියෝජිතයන්ට ය.

  •     පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිට බලය හිමි වීම.
        මෙම ආණ්ඩුක්‍රමය තුළ අගමැති සතුවන බලතල අතරින් වැදගත් එකක් ලෙස මෙය හඳුන්වා දිය හැකි ය. ආණ්ඩුවට විරුද්ධව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවක් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කළ විට හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශණය, අයවැය ලේඛණය වැනි රජයේ වැදගත් විධායක ප්‍රතිපත්තියක් ව්‍යවස්ථාදායකය විසින් ප්‍රතික්ෂේප කළ විට හෝ කැබිනට් පාර්ලිමේන්තු නිල කාලය අවසන් වූ විටෙක හෝ එසේත් නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්විය යුතු යැයි අගමැතිවරයා කල්පනා කරන ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස නාමමාත්‍රික විධායකයට නියෝග කිරීමට අගමැතිට හැකි ය.

  •    පාර්ලිමේන්තුවට වැදගත් ස්ථානයක් හිමි වීම.
        පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය තුළ වැදගත් ම දේශපාලන ආයතනය පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය යනුවෙන් මෙය හැඳින්වීම තුළින් ම මෙහි වැදගත්කම කොපමනද යන්න සිතාගත හැකි ය. විධායකය, ආණ්ඩු පක්ෂය, විරුද්ධ පක්ෂය යන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ මූලික අවයවයන් තුනම හමුවන ස්ථානය පාර්ලිමේන්තුවයි. එහි කෙරෙන වාද විවාද වලින් ජාතියේ හදගැස්ම ප්‍රකාශ වේ. රටට අවශ්‍ය අනාගත දේශපාලන නායකයන් පුරුදු පුහුණු වන්නේ ද පාර්ලිමේන්තුවෙනි.

  •     විරුද්ධ පක්ෂයට වැඩි වැදගත්කමක් හිමි වීම.
        පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ සාර්ථක ක්‍රියාකාරිත්වයකට අවශ්‍ය තවත් කොන්දේසියක් වන්නේ ශක්තිමත් ආණ්ඩු පක්ෂයකින් මෙන් ම ප්‍රබල විරුද්ධ පක්ෂයක් තිබීමයි. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ විපක්ෂය හඳුන්වන්නේ ජාතියේ මුරබල්ලා වශයෙනි. බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය තුළ එය හඳුන්වන්නේ රැජිනගේ මීළඟ රාජපාක්ෂික ආණ්ඩුව වශයෙනි. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ විපක්ෂයට කොතරම් භාර දූර වගකීමක් පැවරී තිබෙනවාද යන්න මෙයින් මනාව පැහැදිලි වේ. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන වගකීම වන්නේ ආණ්ඩුවේ හොඳ නරක පෙන්වා දෙමින්, දුර්වලතාවයන් විවේචනය කරමින්, එහි අත්තනෝමතික කටයුතු වළක්වමින් නිසි මාර්ගයෙහි ගමන් කරවීමයි. ආණ්ඩුවේ සෑම කටයුත්තකදී ම විරුද්ධ නොවී, විරුද්ධ වීමෙන් සහය දිය යුතු අවස්ථාවල දී සහය දීමත් යන පදනම මත විපක්ෂය කටයුතු කළ යුතු ය. මේ අතර ආණ්ඩුව බිඳ වැටුණහොත් නව ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂය සූදානමින් සිටිය යුතු ය. සාමාන්‍යයෙන් විපක්ෂ නායක වරයා හඳුන්වන්නේ මීළඟ අගමැතිවරයා වශයෙනි.

  • දේශපාලන පක්ෂ ක්‍රමයේ අවශ්‍යතාවය
        පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් මුළුමනින් ම දේශපාලන පක්ෂ ක්‍රමය පදනම් කොට ගෙන ක්‍රියාත්මක වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය හඳුන්වන්නේ පක්ෂ ආණ්ඩුක්‍රමයක් ලෙස ය. ඒ නිසා දේශපාලන පක්ෂ හා කැබිනට් ආණ්ඩු ක්‍රමය එකිනෙකින් වෙන් කළ නොහැකි තත්වයකට පත් වී තිබේ. එහෙත් රටක් තුළ දේශපාලන පක්ෂ රාශියක් පැවතීම එහි ක්‍රියාකාරීත්වයට අහිතකර වේ. ඒ නිසා කැබිනට් ආණ්ඩු ක්‍රමයක යහපත් ක්‍රියාකාරීත්වයකට එක් පක්ෂයකට නොඅඩු, දෙකකට නොවැඩි ද්වී පක්ෂ ක්‍රමයක් පැවතීම වැදගත් ය.

ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ප්‍රධාන අංග ලක්ෂණ
        ජනාධිපති ආණ්ඩුක්‍රමයක් යනු, විධායක බලතල සියල්ල ජනාධිපති තනතුර වෙත එකට ඒකරාශී කරන ලද ආණ්ඩුක්‍රමයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ම යොදන ලද විධි විධාන මඟින් ව්‍යවස්ථාදායකයේ බලපෑමෙන් නිදහස් කරන ලද ස්වාධීන පැවැත්මක් සහිත තමාගේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ ව ව්‍යවස්ථාදායකයට වග නොකියන ආණ්ඩු ක්‍රමයකි.
              මෙසේ වූ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක දක්නට ලැබෙන මූලික ලක්ෂණ පහත පරිදි වේ.
  •     තනි විධායක් පැවතීම.
                 ජනාධිපති ආණ්ඩුක්‍රමයක් යටතේ දැකිය හැක්කේ එක් විධාකයක් පමණි. ඒ වූ කළී ජනාධිපති තනතුරයි. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා මෙන් ම ආණ්ඩුවේ ද නායකයා වේ. වෙනත් ආකාරයට දක්වන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ නාමික විධාකය හා සත්‍ය විධායකයා යන ආයතන දෙක විසින් ක්‍රියාවට නංවන බලතල දෙවර්ගයම ජනාධිපති ආණ්ඩුක්‍රමයක ක්‍රියාවට නංවන්නේ ජනාධිපතිවරයා විසින් පමණි.

  •      බලතල බෙදීමේ සිද්ධාන්තය ක්‍රියාත්මක වීම.
                  ජනාධිපති ආණ්ඩුක්‍රමය බලතල බෙදීමේ සිද්ධාන්තය පදනම් කොටගත් ආණ්ඩුක්‍රමයකි. මෙහි මූලික අරමුණ වන්නේ ව්‍යවස්ථාදායක, විධායක, හා අධිකරණ යන ආයතන තුන එකිනෙකින් වෙන් කරමින් ඒවාට පැවරෙන බල කේෂ්ත්‍ර තුළ ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසා දීමයි. ඒ අනුව ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකය හා ව්‍යවස්ථාදායකය තේරී පත් වන්නේ වෙන වෙන ම පවත්වනු ලබන මැතිවරණ මඟිනි. මේ හේතුවෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක මෙන් ආයතන දෙක එකක් මත අනෙක රඳා පවතින තත්වයක් නොපවතී. ආයතන දෙක අතර ඇත්තේ දුරස්ථ සබඳතාවයකි. ඒ නිසා එක් ආයතනයකට අනෙක් ආයතනය පාලනය කිරීමකින් තොර වූ ස්වාධීන පැවැත්මක් විධායකයට හිමි වී ඇත.

  •     විධායකය ස්ථාවර බව
                  ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළ විධායකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරන ලද නිළ කාලයක් සඳහා මහ ජනතාව විසින් තෝරා පත් කර ගනී. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක මෙන් විශ්වාසභංග යෝජනාවක් මඟින් හෝ රාජ්‍ය අයවැය ලේඛණය පරාජය වීමෙන් හෝ රාජ්‍යය ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත් වීමෙන් හෝ එම නිල කාලය තුළ ජනාධිපති බලයෙන් ඉවත් කිරීමට ව්‍යවස්ථාදායකයට හැකියාවක් නැත. ඒ සඳහා අති විශේෂ ක්‍රියාමාර්ගයක් ගත යුතු ව ඇත. එය කළ හැක්කේ දෝෂාභියෝගයක් ගෙන ඒමෙන් පමණි. එය ද අතිශය දුෂ්කර ක්‍රියාමාර්ගයකි. මේ නිසා කැබිනට් ආණ්ඩුක්‍රමයක මෙන් නොව ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකය ස්ථාවර බවකින් යුක්ත වේ.

  •     ආණ්ඩුව සාමූහික මණ්ඩලයක් නොවීම.
                  ජනාධිපති ආණ්ඩු ක්‍රමය තුළ කැබිනට් මණ්ඩලයක් වුව ද එය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක කැබිනට් මණ්ඩලයට සමාන නොවේ. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක කැබිනට් මණ්ඩලය ජනාධිපතිගේ උපදේශකයින් විනා විධායක ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලයක් ඔවුනට නැත. ජනාධිපතිවරයා විධායක ප්‍රතිපත්ති තීරණය කිරීමේ සර්ව බලධාරී පුද්ගලයා වේ. අමාත්‍යවරු ජනාධිපතිගේ අභිමතය මත පත් කරනු ලබන අතර ඔහුට අවශ්‍ය අවස්ථාවක දී තනතුරු වලින් ඉවත් කළ හැකි වේ. විශේෂයෙන් ම ඇමරිකානු ජනාධිපති ආණ්ඩුක්‍රමය තුළ කැබිනට් (ජනාධිපති ලේකම්වරු) සමන්විත වන්නේ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් නොවන බාහිර වශයෙන් පත් කරන පුද්ගල කණ්ඩායමකිනි.

  •    ව්‍යවස්ථාදායකයට වග නොකීම.
                  ජනාධිපති ආණ්ඩුක්‍රමය තුළ ජනාධිපති ව්‍යවස්ථාදායකයට වග නොකියනු ලැබේ. එයට හේතුව ඔහු ව්‍යවස්ථාදායකය තුළින් තේරී පත් වූ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු නොවීමයි. මේ නිසා ජනාධිපති වග කියනු ලබන්නේ මහ ජනතාව පමණි.

  •   විධායක බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති පුළුල් නිදහසක් භුක්ති විඳීම.
                  ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙක් නොවන නිසා ඔහු ව්‍යවස්ථාදායකයේ පාලනයෙන් නිදහස් වේ. එසේ ම දෝශාභියෝගයකින් හැරුණු විට ජනාධිපතිවරයා තනතුරින් ඉවත් කළ නොහැකි අති දුශ්කර ක්‍රියා මාර්ගයකි. එබැවින් විධායක බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පුළුල් නිදහසක් භුක්ති විඳී.

3 comments:

Nisal Piyumantha said...

great!!

Unknown said...

Excellent

Unknown said...

Great 👍 ..

Post a Comment