Monday, October 13, 2014

නියෝජනය



නියෝජනය යනු, 
            යම් දෙයක් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් වෙනත් අයෙකු පෙනී සිටීමයි. තවත් ආකාරයකට දක්වන්නේ නම් නියෝජනය යන පදයෙන් හැඟවෙන්නේ ඇත්ත වශයෙන් ම දක්නට නොමැති දෙයක් පෙන්නුම් කිරීමයි. උදාහරණ වශයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු එහි දක්නට නොමැති ඡන්දදායකයින්ව පෙන්නුම් කරයි. මේ අනුව රටක නියෝජන ක්‍රමයක් යනුවෙන් අදහස් කරන්නේ එම රටේ ව්‍යවස්ථාදායකයට රටේ පුරවැසියන් හෝ ඡන්ද දායකයින් හෝ නියෝජනය වන අන්දමට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට යොදා ඇති විධි විධාන ක්‍රමයයි. ලෝකයේ බොහෝ රටවල මහජන නියෝජිත සංකල්පය පදනම් කරගෙන ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ විධි විධාන වර්ධනය වීමත් සමඟම එක් එක් රටවල පැවති දේශපාලන හා සමාජ ස්වභාවයන් පදනම් කරගෙන නියෝජන ක්‍රමයන් හැඩ ගැසුණි. නූතන ආණ්ඩුක්‍රමයන් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීමේ ප්‍රධානතම ක්‍රමය වන්නේ වක්‍ර හෙවත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නංවනු ලබන ප්‍රධානතම උපකරණ වන්නේ සර්ව ජන ඡන්ද බලය හා මහා මැතිවරණය යි. මෙම උපකරණ යොදාගෙන ජනතා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට යොදා ගන්නා මැතිවරණ ක්‍රමයක් නියෝජන ක්‍රමයක් ලෙස සැලකේ.
           දේශපාලන නියෝජනය පිළිබඳ සිද්ධාන්තය එංගලන්ත ආණ්ඩුක්‍රමයේ වර්ධනයත් සමඟම වැඩී ආ දෙයක් වුව ද එය ආරම්භ වන්නේ ලිබරල් වාදයේ ආරම්භයත් සමඟ ය. විශාල භූමියක් හා විශාල ජනගහණයකින් යුත් නූතන රාජ්‍යයන් තුළ සියළුම ජනතාවට සෘජුව පාලනයට සහභාගී වීමට නොහැකි වීමේ ඌනතාවය මඟහරවා ගැනීම සඳහා ඇති වඩාත් ම යෝග්‍ය ක්‍රමය ලෙස නියෝජනය සලකනු ලැබේ. කලින් කල පවත්වනු ලබන මැතිවරණ මගින් ඡන්ද දායකයින් විසින් නියෝජිතයින් තේරීම සිදු කෙරේ. මෙම නියෝජනයේ දී කෙනෙක් වෙනුවෙන් කෙනෙක් පෙනී සිටීම හෝ කෙනෙක් වෙනුවෙන් කණ්ඩායමක් පෙනී සිටීම හෝ කණ්ඩායමක් වෙනුවෙන් කෙනෙක් පෙනී සිටීම හෝ කණ්ඩායමක් වෙනුවෙන් කණ්ඩායමක් පෙනී සිටීම සිදු වේ.
                                                                        දේශපාලන විද්‍යා අර්ථයෙන් ගෙන බලන විට යම් රටක මහ ජනතාව වෙනුවෙන් පාලන කටයුතු සඳහා ව්‍යවස්ථාදායක සභාව තුළ කණ්ඩායමක් පෙනී සිටීම නියෝජනය ලෙස ද ඔවුන් මහ ජනයාගේ නියෝජිතයන් ලෙස ද අර්ථ දැක්විය හැකි ය. එය වක්‍ර නියෝජනය නම් වේ. නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම තුළ එම නියෝජිතයින් තෝරා පත් කිරීම සඳහා සර්ව ජන ඡන්ද බලය නැමැති සිද්ධාන්තය භාවිතයට ගනු ලැබේ. ඒ අනුව නියම කරන ලද වයස් සීමාවක් ඉක්ම වූ සෑම පුරවැසියෙකුටම වර්ගය, ජාතිය, කුලය, ආගම, වර්ණය, වෘත්තිය හෝ ස්ත්‍රී පුරුෂ භේදය නොසලකා ඡන්ද බලය ප්‍රධානය කරනු ලැබේ. මෙම සර්ව ජන ඡන්ද බලය යටතේ මහජන ස්වාධිපත්‍යය සැබෑ ලෙසම ක්‍රියාවට නැංවිය හැකි බව කියැවේ
නියෝජන ක්‍රම
           නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයන් තුළ ජනතා නියෝජිතයින් තෝරා පත් කිරීම සඳහා නියෝජන ක්‍රම කීපයක් භාවිතයට ගනී. එයින් ප්‍රධාන ලෙසම භාවිතයට ගැනෙන්නේ,
  •  සරළ බහුතර නියෝජන ක්‍රමය
  •  සමානුපාතික නියෝජන ක‍්‍රමය
                                                යන ද්විත්වයයි. මෙයට අමතර ව මිශ්‍ර නියෝජන ක්‍රමය හා විශේෂ නියෝජන ක්‍රමය යන නියෝජන ක්‍රම දෙක ද ඉතා අවම ලෙස භාවිතයට ගන්නා බවක් ද පෙනේ.
        I.         සරල බහුතර නියෝජන ක්‍රමය
කේවල නියෝජන ක්‍රමය, ප්‍රාදේශීය නියෝජන ක්‍රමය, සාපේක්ෂ වැඩි ඡන්ද ක්‍රමය, තනි මන්ත්‍රී කොට්ඨාස ක්‍රමය යනු ද මේ ම ය. යම් මැතිවරණයක දී යම් ඡන්ද කොට්ඨාසයක් හෝ ආසනයක් සඳහා තරඟ කරන අපේක්ෂකයින් අතුරින් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් තැනැත්තා ජයග්‍රාහී මන්ත්‍රී වරයා ලෙස නම් කිරීම මෙම ක්‍රමයේ පදනම වේ. නැතිනම් පළමුවෙන් ම දිනුම් කණුවට ළඟා වෙන්නා මන්ත්‍රී වරයා ලෙස පත් කිරීම මෙමගින් සිදු කෙරේ. මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල මෙය දැනට භාවිතා කරන අතර 1978 ට පෙර ශ්‍රී ලංකාවේත් මෙම ක්‍රමය භාවිතයට ගැනුණි.
                                                මෙම නියෝජන ක්‍රමය ක්‍රියාවට නංවනු ලබන්නේ ප්‍රාදේශීය වශයෙන් බෙදන ලද ඡන්ද කොට්ඨාස අනුවයි. ඡන්ද කොට්ඨාස බෙදීම හෙවත් ආසන වෙන් කරනු ලබන්නේ යම් නියම කරන ලද ඡන්ද දායකයින් සංඛ්‍යාවක් (ජනගහනය) හා භූමි ප්‍රමාණය පදනම් කරගෙන ය. සෑම අවුරුදු 10කට වතාවක් පවත්වන ජන සංගනනයකින් පසුව ඡන්ද කොට්ඨාස බෙදීමේ කොමිසමක් විසින් (සීමා නිර්ණන කොමිසන් සභාව) මෙය සිදු කරනු ලබයි.
           මෙම ක්‍රමය යටතේ එක් ආසනයකින් තෝරා පත් කර ගනු ලබන්නේ එක් මන්ත්‍රීවරයෙකු පමණි. සරළ නිදර්ශනයක් ගතහොත් යම් මැතිවරණ කොට්ඨාසයක් සඳහා තරඟ කළ අපේක්ෂකයින් ලබා ගත් ඡන්ද ප්‍රමාණයන් පහත පරිදි යැයි සිතමු.
           A අපේක්ෂකයා  -   13325
           B අපේක්ෂකයා  -   12923
           C අපේක්ෂකයා  -   12785
                                         මෙහි දී දී ඇති ඡන්ද ප්‍රමාණයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් A අපේක්ෂකයා ජයග්‍රාහී අපේක්ෂකයා බවට පත් වේ. නමුත් සමහර අවස්ථාවක දී සරළ බහුතර නියෝජන ක්‍රමය යටතේ බහු මන්ත්‍රී ආසන පදනම මත මන්ත්‍රීවරු කීප දෙනෙක් තෝරා ගන්නා අවස්ථාද තිබේ.

සරළ බහුතර නියෝජන ක්‍රමයේ වාසි
        i.         ඡන්ද දායකයා හා මන්ත්‍රීවරයා අතර සමීප සම්බන්ධතාවයක් ඇති වීම.
      ii.         ශක්තිමත් හා ප්‍රබල දේශපාලන පක්ෂ ක්‍රමයක් බිහි වීම කෙරෙහි වන බලපෑම. (ද්වී පක්ෂ ක්‍රමයක්)
    iii.         පාලකයින්ට මහජන මතය දැරීමට ඇති ඉඩ කඩ ප්‍රමාණය වැඩි වීම.
     iv.         ශක්තිමත් හා ප්‍රබල ආණ්ඩුවක් බිහි වීම කෙරෙහි මෙම නියෝජන ක්‍රමයෙහි වන බලපෑම නිසා දේශපාලන ස්ථාවර බව ආරක්ෂා වීම.
       v.         දේශපාලන පක්ෂ නායතක්වයේ ආධිපතිත්ව බලය සීමා වීම.
     vi.         නියෝජන ක්‍රමය සරළ වීම හා සාමාන්‍ය ජනයාට පහසුවෙන් එය අවබෝධ කර ගත හැකි වීම.
සරළ බහුතර නියෝජන ක්‍රමයේ අවාසි
  •         i.         බහුතර මතය නියෝජනය වීමට ඇති ඉඩකඩ අඩු වීම හෙවත් විකෘති මතයක් නියෝජනය වීම.
  •       ii.         මන්ත්‍රීවරයා ඡන්ද දායකයාගේ වහලෙකු බවට පත් වීම.
  •     iii.         සුළු වාර්ගික කොටස් වලට ප්‍රමාණවත් නියෝජනයක් ලබා ගත නොහැකි වීම.
  •      iv.         වියදම් අධික ක්‍රමයක් වීම.
  •        v.         ජනතාවගේ දේශපාලන අවබෝධය අඩු වීම.
  •      vi.         ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව හා හිමි ආසන සංඛ්‍යාව අතර පරස්පරතාවක් ඇති වීම.
  •    vii.         සමහර විටෙක එක් පක්ෂයකට පමණක් විශාල ආසන සංඛ්‍යාවක් දිනා ගත හැකි වීම.
  •  viii.         ප්‍රාදේශීය වාදයක් ඇති වීම.

      II.         සමානුපාතික නියෝජන ක්‍රමය
                   සමානුපාතික නියෝජන ක්‍රමය යනුවෙන් හඳුන්වන්නේ යම් මැතිවරණයක දී තරඟ වදින කිසියම් දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවත්, ආසන සංඛ්‍යාවත් අතර සමතාවයක් ඇති කිරීමට උත්සාහ දරන්නා වූ මැතිවරණ ක්‍රමයකි. තවත් ආකාරයකට ප්‍රකාශ කරන්නේ නම් යම් මැතිවරණයක දී ඒ ඒ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට අනුරූප වන පරිදි ව්‍යවස්ථාදායකයේ නියෝජනය ලබා දීමයි. අර්නස්ට් බාකර් පෙන්වා දෙන ආකාරයට ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට අනුපාතිකවආසන ලබා ගන්නා ක්‍රමය සමානුපාතික නියෝජනය යි. එම නිසා මෙම ක්‍රමය යටතේ යටතේ පවත්වන මැතිවරණයක දී යම් අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනා ගැනීමෙන් නොව නියමිත ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමෙනි. මෙම ක්‍රමයේ මූලික අරමුණ වන්නේ මැතිවරණයක දී සෑම දේශපාලන පක්ෂයක් මෙන් ම කණ්ඩායමක් ම ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට සමානුපාතික වන අයුරින් නියෝජනයක් ලබා දීමයි. ක්‍රියාකාරී සෑම දේශපාලන මතයක් ම ව්‍යවස්ථාදායකය තුළ නියෝජනය වීමේ හැකියාව මෙම ක්‍රමය මඟින් සහතික කෙරේ. එයට හේතුව මැතිවරණයක දී ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට අනුපාතිකව නියෝජනය තීරණය වීමයි.
                                                                                                            සමානුපාතික නියෝජන ප්‍රභේදයන් ගණනාවක් යටතේ ක්‍රියාත්මක වේ. ප්‍රංශය, ඉතාලිය, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, බටහිර ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය, තුර්කිය, ඊශ්‍රායලය යන රට වල මෙය ක්‍රියාත්මක වේ. මීට අමතර ව 1978 ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ ද භාවිතා කෙරේ. සමානුපාතික නියෝජන ක්‍රමයේ මූලික ප්‍රභේද දෙකක් දැකිය හැකි ය. එනම්,
  •    ලැයිස්තු ක්‍රමය
  •   හෙයාර් ක්රමය (STV ක්‍රමය, මාරු කළ හැකි තනි ඡන්ද ක්‍රමය)
                                                                                                වශයෙනි.

  •   ලැයිස්තු ක්‍රමය
                  මෙම ක්‍රමය යටතේ ඡන්ද කොට්ඨාසය ප්‍රාන්තයක් හෝ පරිපාලන දිස්ත්‍රික්කයක් හෝ බවට පත් වේ. එසේ ම සෑම ඡන්ද කොට්ඨාසයක් ම බහු මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසයක් බවට පත් වේ. මෙම පදනම මත සෑම දේශපාලන පක්ෂයක් ම අපේක්ෂක ලැයිස්තුවක් බැගින් ඉදිරිපත් කළ යුතු ය. ඒ අනුව ලැයිස්තු ක්‍රමය යටතේ ඡන්ද දායකයා පක්ෂයක් විසින් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් හෝ ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවකට ඡන්දය ප්‍රකාශ කරයි. මෙහි දී ඡන්ද දායකයාට එක ඡන්දයක් පමණක් හිමි වන අතර එය පක්ෂයකට ලබා දිය යුතු ය. එහි දී එක් එක් පක්ෂ හෝ කණ්ඩායම් ලබන ඡන්ද ප්‍රමාණයට සමානුපාතිකව ආසන හිමි කර ගනී. පක්ෂ හෝ කණ්ඩායම් විසින් තමන්ට නියමිත ආසන සංඛ්‍යාව අපේක්ෂයන් අතර බෙදනු ලබන්නේ එකිනෙක අපේක්ෂකයන් ලැබූ මනාප ප්‍රමාණයට හෝ (මනාප ක්‍රමය ක්‍රියාත්මක වන රටවල පමණි) මනාප ක්‍රමයක් නොමැති විට ලැයිස්තුවේ අනුපිලිවෙලට හෝ පක්ෂය තීරණය කරන වෙනත් ආකාරයකට ය.
                                                                        මෙම ලැයිස්තු ක්‍රමය බොහෝ මහද්වීපික යුරෝපිය රටවල (ස්කැන්ඩිනේවියානු රටවල) ක්‍රියාත්මක වේ. සමානුපාතික නියෝජන ක්‍රමයේ දී වඩාත් පෘථුලව භාවිත වන්නේ මෙම ලැයිස්තු ක්‍රමය යි. මෙම ලැයිස්තු ක්‍රමය භාවිත වන රටවල තේරී පත්වන අපේක්ෂකයා කවුරුන්දැ‘යි යන්න තීරණය කිරීමේ කිසිම අයිතියක් ඡන්ද දායකයාට නොමැත. පක්ෂය ඉදිරිපත් කරන ලැයිස්තුවකට ඡන්දය දීම හෝ නොදීම පමණක් ඡන්ද දායකයාට කළ හැක. අපේක්ෂකයන් තේරී පත් වනු ඇත්තේ ලයිස්තුවේ කෙතරම් ඉහලින් ඔවුන්ගේ නම් තිබේ ද යන කාරණාව මතයි. මේ නිසා මෙම ක්‍රමය සංවෘත පක්ෂ ලැයිස්තු ක්‍රමය යැයි හැඳින්වේ. මෙවැනි තත්වයක් තුළ නියෝජිතයන් තෝරා ගැනීම කෙරෙහි පක්ෂ නායකත්වයට විශාල බලපෑමක් කළ හැකිව තිබේ. නමුත් ලැයිස්තු ක්‍රමය ක්‍රියාත්මක වන ඇතැම් රට වල තමන් කැමති අපේක්ෂකයන් තෝරා ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩකඩ ලබා දී ඇත. එහි දී ඡන්ද දායකයාට ඡන්ද කිහිපයක් ලබා දීමේ හැකියාව ලැබෙන අතර ඒවා මනාප වශයෙන් ලකුණු කළ යුතු වේ.
                  මෙහි දී ඒ ඒ පක්ෂ තමන්ට හිමි ආසන සංඛ්‍යාවට අනුව මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ වැඩි මනාප ලබා ගත් අපේක්ෂකයාගේ සිට අනුපිළිවෙලට ය. මෙම ක්‍රමය යටතේ ඡන්ද දායකයාට තේරී පත් විය යුතු අපේක්ෂකයින් කවුරුන් ද යන්න තීරණය කිරීමට නිදහස තිබේ. ඒ නිසා මෙම ක්‍රමය විවෘත ලැයිස්තු ක්‍රමය යනුවෙන් හැඳින් වේ.
           ලැයිස්තු ක්‍රමය අනුගමනය කරන බොහෝ රට වල කඩයිම් ඡන්ද ප්‍රතිශතයක් පවත්වා ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරයි. එනම් ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් කිසියම් ප්‍රතිශතයක් ලබා නොගන්නා පක්ෂ හෝ කණ්ඩායම් ආසන ලැබීමට සුදුසු ලෙස නියම වීමයි. මෙය ඉහළ අගයක පැවතුනහොත් කුඩා වාර්ගික ප්‍රාදේශීය පක්ෂ වලට ආසන ලැබීමට ඇති ඉඩකඩ ඇහිරේ. මෙම අගය ඩෙන්මාර්කයේ 2%, ස්වීඩනයේ 4% ක් ද වේ. 1978 එය ශ්‍රී ලංකාවේ 12.5% ක් වුව ද පසු කාළයේ එය 5% දක්වා අඩු කරන ලදි. නෙදර්ලන්තය හා පින්ලන්තය වැනි රටවල කඩයිම් ප්‍රතිශතයක් නොමැත.
                  මෙම ක්‍රමය යටතේ මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට අවශ්‍ය කරන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් නොව කිසියම් නිශ්චිත ඡන්ද සංඛ්‍යාවකි. එය කොටස් අනුපාතය ලෙස හැඳින් වේ. මෙම කොටස් අනුපාතය ගණනය කරන්නේ මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව අවශ්‍ය මන්ත්‍රී ධූර ගණනින් බෙදීමෙනි.
උදා :-   මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව / අවශ්‍ය මන්ත්‍රී ධූර සංඛ්‍යාව
            = කොටස් අනුපාතය
            120000
            10
            = 12000
                        කොටස් අනුපාතය ගණනය කිරීමෙන් අනතුරුව ඒ ඒ දේශපාලන පක්ෂයට හිමි වන ආසන සංඛ්‍යාව ගණනය කළ යුතු ය. එය පහත පරිදි සිදු වේ.
ඒ ඒ පක්ෂ ලැබූ ඡන්ද
කොටස් අනුපාතය
= ඒ ඒ පක්ෂයට හිමි ආසන
                        මෙසේ බෙදා හැරීමේ දී අවශ්‍ය මන්ත්‍රීධූර සංඛ්‍යාව නොලැබුනේ නම් උපරිම ශේෂයේ අනුපිළිවෙලට ඉතිරි මන්ත්‍රී ධූර බෙදා හරී. එහි දී පක්ෂය ඉදිරිපත් කර ඇති ප්‍රමුඛතා ලේඛණයේ අනුපිළිවෙලට ඒ ඒ පක්ෂයේ මන්ත්‍රීවරු කවුරුන්දැ‘යි යන්න තීරණය කරයි. පක්ෂ ලැයිස්තු ක්‍රමයේ දී කොටස් අනුපාතය සම්පූර්ණ කරන සෑම දේශපාලන පක්ෂයකට ම ආසනයක් ලබා ගැනීමට හැකි වේ.
උදා :- Y නැමැති කල්පිත ආසනයක මන්ත්‍රීවරු 10 දෙනෙක් තෝරා ගැනීම සඳහා පැවැත් වූ මැතිවරණයකට A, B, C, D, E යන පක්ෂ ඉදිරිපත් වූයේ යැයි සිතමු. ඔවුන් ලැබූ ඡන්ද සංඛ්‍යාව පහත පරිදි වන අතර මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව 120000කි. ඒ අනුව කොටස් අනුපාතය වනුයේ 12000කි.
පක්ෂය
ලැබූ මුළු ඡන්ද
මුල් වටයේ ආසන
ශේෂය
ශේෂයට හිමි ආසන
මුළු ආසන
A
45000
3
9000
1
4
B
32000
2
8000
1
3
C
28000
2
4000
-
2
D
10000
-
10000
1
1
E
5000
-
5000
-
0

මෙහි දී මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් ඇති වුවහොත් ප්‍රමුඛතා ලැයිස්තුවේ මීළඟට ඡන්දය හිමි කර ගත් පුද්ගලයා හෝ පක්ෂය තෝරන පුද්ගලයා එම පුරප්පාඩුව පුරවනු ලැබේ.

  •             මාරු කළ හැකි තනි ඡන්ද ක්‍රමය හෙවත් හෙයාර් ක්‍රමය
                           මෙම ඡන්ද ක්‍රමය 1821 තෝමස් රයිට් හිල් විසින් හඳුන්වා දෙන ලද්දකි. ඉන් පසුව සී.සී.ජී ආන්ද්‍රේ විසින් 1850 දී ක්‍රියාත්මක කරන ලදි. නමුත් මෙම ක්‍රමය වඩාත් ක්‍රමවත් ව සකස් කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික නීතිවේදියෙකු වූ තෝමස් ‍හෙයාර් විසිනි. මෙම මැතිවරණ ක්‍රමය නූතනයේ බහුලව භාවිතා වන බවක් දැකිය නොහැකි වුව ද ටස්මේනියාව, මෝල්ටාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල විවිධ නියෝජිත ආයතන වලට සාමාජිකයින් තෝරා ගැනීම සඳහා භාවිතා කරන ආකාරයක් දැකිය හැකි ය.
                                                                       සමානුපාතික නියෝජන ක්‍රමයේ පක්ෂ ලැයිස්තු ක්‍රමය තුළ පැවති මූලික දුර්වලතාවය නම් තමන් කැමති අපේක්ෂකයෙකුට ඡන්දය දීමේ හැකියාව ඡන්ද දායකයාට හිමි නොවීම යි. මෙම තත්වය මඟහරවාලීම පිණිස තෝමස් හෙයාර් නම් නීතිවේදියා විසින් මෙම ක්‍රමය හඳුන්වා දිනි. මෙය කේවල මාරු ඡන්ද ක්‍රමය ලෙස ද, හෙයාර් ක්‍රමය යනුවෙන් ද හැඳින් වේ.
                                                                                    STV ක්‍රමය යන කෙටි නාමයෙන් හඳුන්වන මෙම නියෝජන ක්‍රමය ස්වභාවයෙන් බහු මන්ත්‍රී ඡන්ද කොට්ඨාස ක්‍රමය පිළිබිඹු කරයි. මැතිවරණයේ දී ඡන්ද දායකයාට එක් ඡන්දයක් පමණක් හිමි වුවත් පත් කළ යුතු මන්ත්‍රීවරු සංඛ්‍යාව පදනම් කරගෙන ව්‍යවස්ථාව මගින් හෝ මැතිවරණ නීති මගින් හෝ තම මනාපය ප්‍රධානයට ඉඩ සලසා ඇත. බොහෝ විට ඡන්ද දායකයා සිය මනාප 1,2,3 ආදී ලෙස ප්‍රකාශ කරයි. නියමිත ඡන්ද ප්‍රමාණය (කොටස් අනුපාතය) ප්‍රථම වරණයෙන් ම ලබන අපේක්ෂකයන් තේරී පත් වූවන් ලෙස ප්‍රකාශ කෙරේ. STV ක්‍රමය යටතේ කොටස් අනුපාතය ගණනය කරනු ලබන්නේ,

                           ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව / පත් කළ යුතු මන්ත්‍රීවරු සංඛ්‍යාව + 1
                           = +1 = කොටස් අනුපාතය
                           1000
                           4+1
                           = +1 = 2001
                                          වශයෙනි.
            මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ පහත පරිදි ය.
    ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව = 120000
    නියමිත ආසන සංඛ්‍යාව = 5
    මන්ත්‍රීවරයෙක් වශයෙන්
තේරීමට අවශ්‍ය ඡන්ද    = 20001

ඡන්දය ගණන් කිරීම. – X පක්ෂය
ලබා දී ඇති ඡන්ද
වැඩි ඡන්ද
පළමු මනාප ගණන් කිරීම
පළමු මනාප ගණන් කිරීම
වැඩි ඡන්ද
දෙවන මනාප ගණන් කිරීම.
තෙවන මනාප ගණන් කිරීම
ජයග්‍රාහී අපේක්ෂකයින්
A - 28000
7999*





A පළමු වටය
B - 20000

4000
24000*
3999


B දෙවන වටය
C - 19000

1500
20500
2000
22500*

C තෙවන වටය
D - 5000

1000
6000
1500
7500


E - 1000

999
1999
499
2498


                                                                                                                        *ජයග්‍රාහී අපේක්ෂකයින්

ඡන්ද ගණන් කිරීම - Y පක්ෂය
ලබා ඇති ඡන්ද
වැඩි ඡන්ද
පළමු මනාප ගණන් කිරීම
දෙවන වටයේ ප්‍රතිඵල ප්‍රමාණය
ජයග්‍රාහී අපේක්ෂක
F 24000*
G 19000
H 4000
I 1800
J 400
3999

2500
1000
300
199

21500*
5000
1100
599
F පළමු වටය
G දෙවන වටය
                                                                                                                        *ජයග්‍රාහී අපේක්ෂකයින්
ප්‍රතිඵල සැසඳීම.
                                                                                                            X         Y
        පළමු වටයේ ඒ ඒ පක්ෂ ලැබූ ආසන සංඛ්‍යාව                            01        01
       මනාප පළමු වර ගණන් කිරීමෙන් පසු පක්ෂ තත්වය                  02        01
       මනාප දෙවන වර ගණන් කිරීමෙන් පසු පක්ෂ තත්වය                03        02
                                                                                                මේ අනුව X පක්ෂයට ආසන 03 ක් ද, Y පක්ෂයට ආසන 02ක් ද හිමි වේ. ඉහත ඇත්තේ ඉතා සරළ සටහනකි. නමුත් මෙය මීට වඩා අතිශය සංකීර්ණ ය. ඇතැම් විට ඉහළින් සිටින වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයින්ගේ මනාප ගණන් කිරීමෙන් පසුවත් නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව තෝරා ගැනීමට නොහැකි වුවහොත් එහි දී අඩු ම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයින් අනුක්‍රමයෙන් තරඟයෙන් ඉවත් කොට ඔවුන්ගේ මනාප ඉහලින් සිටින අපේක්ෂකයින්ට එකතු කරනු ලැබේ. එනිසා මෙය නියත ලෙස ම අතිශය සංකීර්ණ ය. නමුත් මෙහි ඇති වාසිය වන්නේ ඒ ඒ පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට සමානුපාතික වන අයුරින් නියෝජනයන් හිමි වීම යි.
 


0 comments:

Post a Comment