Saturday, June 28, 2014

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා ව්‍යවස්ථා වර්ගීකරණය

                                                              ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යනු කුමක්ද? යන්න පිළිබඳ ව මේ දක්වා ම පැහැදිලි වූ ත්, පොදුවේ පිළිගත් නිර්වචනයක් ඉදිරිපත් වී නොමැත. ඒ පිළිබඳ විවිධ දේශපාලඥයින් විවිධ දෘෂ්ඨි කෝණ වලින් ඉදිරිපත් කර ඇති නිර්වචන රාශියක් දැකිය හැකිවාක් මෙන් ම ඒවා එකිනෙක වෙනස් ද වේ.
·         ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය නිර්මාණය කිරීම හා නිර්වචනය කිරීම, ඒවාට බලතල වෙන් කර දීම සඳහා පනවන නීති මාලාවකි. - ඩී. ටොකුවිල්
·         ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රාජ්‍යයක මූලික නීතියයි. එහි අඩංගු විය යුතු මූලික දෑ වන්නේ ආණ්ඩු ක්‍රමය සකස් වී ඇති අයුරු, ස්වාධිපති බලය බෙදා හසුරුවන අයුරු, ඒ ඒ බලතල කවර ආයතන හා පුද්ගලයන්ට සීමා වේද සහ ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද යනු කරුණු ආදී වශයෙනි. - ඇමරිකානු විනිශ්චයකරුවෙකු වූ කූලි
·         රාජ්‍යය තුළ වාසය කරන පුරවැසියන් අතර පැවතිය යුතු සම්බන්ධතාවයන්ගේ සූපය විධිමත්ව දක්වන ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. - ඇරිස්ටෝටල්
·         රාජයේ ස්වාධිපති බලය බෙදා හැරීම විදහා දක්වන සියළුම ආකාරයේ සෘජු හා වක්‍ර නීති අඩංගු ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. - ඩයිසි
·         ආණ්ඩු ක්‍රමයේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ නීති අඩංගු ලියවිල්ල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. - බ්‍රයිස් සාමි
·         රාජ්‍යයේ උත්තරීතර බලතල ක්‍රියාවට නංවන ආණ්ඩුවේ ආයතනික ව්‍යුහය තීරණය කර ඇති ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. - ජෝන් ඔස්ටින්
ඉහත සඳහන් කළ නිර්වචන වලට අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යන්න කුමක්ද? යන්න පිළිබඳව දේශපාලඥයින් අතර පොදු එකඟතාවයක් නොමැති බව පෙනේ.
කෙසේ වෙතත් ඉතා සැකෙවින් දක්වන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කිසියම් රටක පාළණ ක්‍රමය හා සම්බන්ධ වූ ආයතන එනම් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන ආයතන වල සැකැස්ම, කාර්යයන්, බලතල ක්‍රියාකාරීත්වය එකිනෙක ආයතන හා එම ආයතනත්, පුරවැසියන් අතරත් පවතින සබඳතාවයන්, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිවෙත් පිළිබඳවත් වූ මූලික නීති මාලාවක් ලෙස හැඳින්විය හැකි ය. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් රටේ මූලික නීතිය වන අතර එය රටේ සාමාන්‍ය නීතියට ද ඉහළින් පවතින ශ්‍රේෂ්ඨ නීතිය ලෙස හැඳින් වේ. එසේ ම සාමාන්‍යයෙන් මෙය වර්තමානයේ දී ලිඛිත නීති මාලාවක් ලෙස පවතී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අඩංගු විය යුතු අංග
            ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඇතුළත් විය යුත්තේ මොනවාද? ඇතුළත් නොවිය යුත්තේ මොනවාද? යන්න පිළිබඳව ද ආණ්ඩුක්‍රම වේදීන් අතර පොදු එකඟතාවයක් දක්නට නොමැත. ඒ සම්බන්ධව නොයෙකුත් මතවාද පැවතිය ද ඒ පිළිබඳ ව ඉදිරිපත් වී ඇති අදහස් විමසා බැලීමේ දී පහත කරුණු පිළිබඳ ව අවධානය යොමු කළ යුතු ය.
        i.            රාජ්‍යයේ ස්වාධිපත්‍යයේ හිමිකාරීත්වය
රාජ්‍යයේ ස්වාධිපත්‍යය හෙවත් පරමාධිපත්‍යය අවසාන වශයෙන් හිමි වන්නේ කවර ආයතනයකට ද, එසේ ත් නැතිනම් කවර සමාජ බලවේගයකට ද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විය යුතු ය. අවසාන වශයෙන් එය රජ කෙනෙකුට හිමි වේ නම් එය ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු ක්‍රමයක් ලෙස ද, එසේත් නොමැතිව මහ ජනතාවට හිමි වේ නම් එය සමූහාණ්ඩු ක්‍රමයක් ලෙස ද සැලකේ.
      ii.            රාජ්‍යයේ ස්වභාවය හෙවත් ස්වාධිපත්‍යයේ ඒකරාශී වීම හෝ බෙදී යාම.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ රාජ්‍යය ඒකීය ද, සන්ධීය ද යන්න පැහැදිලි ලෙසම අඩංගු වී තිබිය යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ස්වාධිපත්‍ය බලය නොබෙදේ නම් හෙවත් ඒකරාශී වීමක් වෙයි නම් ඒ ඒකීය රාජ්‍යයක් වන අතර ව්‍යවස්ථාව මඟින් ස්වාධිපත්‍යය බෙදා වෙන් කෙරේ නම් එය සන්ධීය රාජ්‍යයක් ලෙස සලකනු ලැබේ.
උදා:- ශ්‍රී ලංකා ජන රජය ඒකීය රාජ්‍යයක් ලෙස සැලකේ.
    iii.            ආණ්ඩුවේ ආයතනික ව්‍යුහය
ආණ්ඩුවේ ආයතනික ව්‍යුහය යනු ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල ක්‍රියාත්මක කරවීමට පිහිටුවා ඇති ආයතන පද්ධතිය සැකසී ඇති ආකාරය යි. එම ආයතන වල සංයුතිය, බලතල, කාර්යයන් සහ එම ආයතන අතර ඇති සම්බන්ධතා ආදිය පිළිබඳ ව ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතු ය. මෙහි දී බලතල බෙදා ඇති ද නැති ද යන්න ද සඳහන් විය යුතු ය.
    iv.            මූලික අයිතිවාසිකම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ දී ඇතුළත් විය යුතු මූලිකම අංගයක් ලෙස මෙය සැලකේ. රාජ්‍යයක් තුළ ජීවත් වන ජනතාවට එරට තුළ භුක්ති විඳිය හැකි අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස පිළිබඳ විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතුම ය. ඒ අතර ඒ සම්බන්ධයෙන් පවතින සීමාවන් ද ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න සඳහන් කළ යුතු ය.
      v.            පුරවැසිභාවය හා ඡන්ද බලය
ජාත්‍යන්තර පුරවැසිභාවයට අදාළ විධි විධාන සහ ඡන්ද බලයට අදාල විධි විධාන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වේ. විදේශීය පුද්ගලයන්ට පුරවැසි බව ලබා දීම හා ඡන්ද බලයට අවශ්‍ය සුදුසුකම් මොනවාද?, පුරවැසියන්ට ඡන්ද බලය හිමි වන්නේ කෙසේද?, කුමන සුදුසුකම් සපුරා තිබිය යුතු ද? යන්න මේ යටතේ සඳහන් වී තිබිය යුතු ය.
    vi.            ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තෝරා පත් කර ගන්නා ක්‍රමය
ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තෝරා පත් කර ගන්නා ක්‍රමය, ඒ සඳහා යොදා ගන්නා ක්‍රමවේද, අදාළ ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ විධි විධාන, එම කොට්ඨාස වලින් පත් කරන නියෝජිතයන් ප්‍රමාණය ආදිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විය යුතු ය.
  vii.            ව්‍යවස්ථා සංශෝධන පිළිවෙත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පිළිවෙත හා එය වෙනස් කළ හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න ව්‍යවස්ථා ලියවිල්ල තුළ අඩංගු විය යුතු ය. එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම්‍ය, අනම්‍ය භාවය තීරණය වේ. ව්‍යවස්ථාව වෙනස් කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වේ නම් එය අනම්‍ය ලෙස ද පහසු ක්‍රියාමාර්ග ගනී නම් එය නම්‍ය ලෙස ද හඳුන්වනු ලැබේ.
           ඉහත සඳහන් කළ මූලිකාංග අනිවාර්යයෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඇතුළත් විය යුතු ඒවා වේ. මේවා නෛතික ස්වභාවයක් ගනී. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඇතුළත් විය යුතු දේශපාලන අංගයන් ද පවතින අතර ඒවා රාජ්‍යයේ දේශපාලන දර්ශනය අනුව තීරණය වේ.
       I.            රාජ්‍ය ප්‍රතිපත්ති
රාජ්‍යයේ සමාජ, ආර්ථික ප්‍රතිපත්තිය මෙයින් අදහස් කෙරේ. සමාජයේ අභිවෘද්ධිය සඳහා රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය හා ආර්ථික සංවර්ධනය සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙල පිළිබඳ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විය යුතු ය. දැනට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල ව්‍යවස්ථාව තුළ මෙය ඇතුළත් වී ඇත.
    II.            ජාතික ප්‍රතිපත්තිය
බහු ජාතික හෝ බහු වාර්ගික ජන සමාජයක් පවතින රාජ්‍යයක ඔවුන් අතර සමඟිය හෙවත් ජාතික ඒකාග්‍රතාවය ඇති කිරීම සඳහා රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය ව්‍යවස්ථාවේ සඳහන් කරනු ලැබේ.
 III.            භාෂා ප්‍රතිපත්තිය
මේ යටතේ රාජ්‍ය භාෂාව, ජාතික භාෂා යනා දී වශයෙන් රාජ්‍යයේ භාෂා පිළිබඳ ව හෝ විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ලැබේ.
IV.            ආගම පිළිබඳ ප්‍රතිපත්තිය
ආගම් පිළිබඳ ව රාජ්‍යය අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරනු ලැබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඇතුළත් නොවිය යුතු දෑ

1.      සාමාන්‍ය නීති
2.      සමාජ සම්ප්‍රදායයන්, සිරිත් විරිත්, ආගමික විශ්වාසයන්, සමාජ සාරධර්ම, සමාජ ඇදහිලි හා විශ්වාස, ආකල්ප, ප්‍රාර්ථනා වැනි දෑ අඩංගු නොවේ.
3.      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන ආයතන, එනම් සමාජ ආයතන පිළිබඳ කරුණු ඇතුළත් නොවේ.
4.      දේශපාලඥයන්ගේ පෞද්ගලික හෝ දේශපාලන තොරතුරු ඇතුළත් නොවේ.;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ගීකරණය
            ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ස්වභාවය හා ඒවා ක්‍රියාත්මක වන ආකාරය අනුව පහත පරිදි වර්ග කරනු ලැබේ.
1.      විකාශිත හා පනවන ලද
2.      ලිඛිත, අලිඛිත
3.      නම්‍ය, අනම්‍ය
4.      ඒකීය හා සන්ධීය
                        වශයෙනි.
  විකාශිත හා පනවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
            විකාශිත ව්‍යවස්ථාවක් යනුවෙන් අදහස් කරන්නේ සෙමෙන් සෙමෙන් වර්ධනය වූ කාළීන වෙනස්වීම් වලට අනුව හැඩ ගැසී පිළිගැනීමට ලක් වුණ ආණ්ඩුක්‍රම ආයතන පිළිබඳ නීතිරීති, සම්ප්‍රදායන්, සිරිත් විරිත් පෙන්නුම් කරන්නා වූ ලියවිලි හා සම්ප්‍රදායන්ගේ එකතුවකි. වෙනත් අයුරකින් දක්වන්නේ නම් ආණ්ඩු පාලනයට අදාල දේශපාලන සිරිත් විරිත් මුල් කරගෙන දිගු කාළීනව විකාශනය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. මෙහි විශේෂ ලක්ෂණ වන්නේ ලිඛිත කොටස් මෙන් ම අලිඛිත කොටස් ද අන්තර්ගත වීම හා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් විසින් නිශ්චිත අවස්ථාවක දේශපාලන දර්ශනයක් මත හා දේශපාලන මතවාදයක් මුල් කරගෙන එය සම්පාදනය නොකිරීමයි. පාර්ලිමේන්තු අණ පනත් හා අධිකරණ තීන්දු යනාදිය මඟින් ලිඛිත කොටස් නිරූපණය වන අතර සම්ප්‍රදායයන්, සිරිත් විරිත් හා පිළිගැනීම් ආදිය මඟින අලිඛිත කොටස් නිරූපණය වේ.
                        විකාශිත ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් දිය හැකි හොඳම නිදසුන බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. මෙම ව්‍යවස්ථාව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මඟින් සම්පාදනය කළ ව්‍යවස්ථාවක් නොවන අතර බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන් මඟින් නිර්මාණය වූවක් ලෙස සැලකේ.
                                                                                                          පනවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන්නෙන් අදහස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් විසින් දේශපාලන මතවාදයක් හා දර්ශනයක් මුල් කරගෙන එනම්, ආණ්ඩුක්‍රමයේ ක්‍රියාකාරීත්වය කෙසේ සකස් විය යුතු ද යන්න දක්වමින් අරමුණු සහගත ව එක් අවස්ථාවක දී සම්මත කොට පනවන ලද ව්‍යවස්ථාවකි. උදාහරණ වශයෙන් ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ප්‍රංශය, ඉන්දියාව, ලංකාව වැනි රටවල ආණ්ඩුක්‍රමයන් දැක්විය හැක.
                                                                                                            කෙසේ වෙතත් මෙම වර්ගීකරණය වර්තමානයේ දී පිළිගැනෙන වර්ගීකරණයක් ලෙස නොසැලකේ. මීට හේතුව පනවන ලද (ප්‍රයුක්ත) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුව ද දේශපාලන වෙනස් වීම් වලට අනුව වෙනස් වෙමින් ඉදිරියට විකාශනය වන බැවිනි. නිදසුන් වශයෙන් ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව පෙන්වා දිය හැක. එය පනවන ලද ව්‍යවස්ථාවක් ලෙස සැලකුව ද වසර 200ක් පමණ කාළය තුළ දී ආණ්ඩුක්‍රමයේ පුළුල් වෙනස්කම් සිදු වී තිබේ. මේ අනුව මෙම වර්ගීකරණය තාර්කික නොවන බව දේශපාලඥයන්ගේ මතයයි.

  ලිඛිත හා අලිඛිත ව්‍යවස්ථා
            ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලිඛිත-අලිඛිත භාවය පදනම වශයෙන් ගෙන මෙම වර්ගීකරණය කර ඇත. මෙම ව්‍යවස්ථා වර්ගීකරණය ද බොහෝ දුරට ඉහතින් දක්වන ලද ක්‍රමයට සමාන වේ. මේ අනුව යම් ව්‍යවස්ථාවක් මුළුමනින් ම ලියන ලද එකක් වේ නම් එය ලිඛිත ව්‍යවස්ථාවක් ලෙස සැලකේ. එනම් ආණ්ඩුක්‍රමයේ මූලධර්ම ව්‍යවස්ථාවක ලිඛිත වශයෙන් සඳහන් වේ නම් එය ලිඛිත ලෙස සැලකේ.
                                                                      ලිඛිත ව්‍යවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හා සාමාන්‍ය නීතිය අතර පැහැදිලි වෙනසක් පවතී. එහි දී මූලික නීතිය මූලික වන අතර සාමාන්‍ය නීතිය දෙවැනි වේ. ඒ නිසා සාමාන්‍ය නීතිය ව්‍යවස්ථා නීතියට අනුකූල විය යුතු යි. එසේ අනුකූල නොවේ නම් එය අහෝසි වේ. ලිඛිත ආණ්ඩුක්‍රමයට සාමාන්‍ය නීතිය ව්‍යවස්ථා නීතියට අනුකූලදැ‘යි පරීක්ෂා කිරීමටත් අනුකූල නොවේ නම් එය අහෝසි කර දැමීමටත් අධිකරණයට බලය හිමි වේ. එමගින් ව්‍යවස්ථාදායකයේ නීති පැනවීමේ බලය සීමා වීම හේතු කොටගෙන ලිඛිත ව්‍යවස්ථාවක් යටතේ ව්‍යවස්ථාදායකය උත්තරීතර නොවනු ඇත.
                                                                                             අලිඛිත ව්‍යවස්ථාවක් යනු ආණ්ඩුක්‍රමයේ මූලධර්ම ව්‍යවස්ථාවක ලිඛිත විධි විධාන වශයෙන් අඩංගු නොවන එම මූලධර්ම සම්ප්‍රදායන් වශයෙන් ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. වෙනත් අයුරකින් දක්වන්නේ නම් යම් ව්‍යවස්ථාවක් මුළුමනින් ම නොලියන ලද නම් එය අලිඛිත ව්‍යවස්ථාවක් ලෙස සැලකේ. අලිඛිත ව්‍යවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හෙවත් මූලික නීතිය හා සාමාන්‍ය නීතිය අතර වෙනසක් දක්නට නොලැබේ. එම තත්වය හේතු කොටගෙන ව්‍යවස්ථාදායකය උත්තරීතර වේ. මූලික නීතිය හා සාමාන්‍ය නීතිය අතර ගැටුමක් ඇති නොවන හෙයින් අධිකරණ ප්‍රතිනිරීක්ෂණ බලය (ව්‍යවස්ථා විවරණ බලය) අධිකරණයට අවශ්‍ය නොවේ. එහි දී අධිකරණය බලවත් නොවන අතර ව්‍යවස්ථාදායකය වඩාත් බලවත් වේ. අලිඛිත ව්‍යවස්ථාවකට නිදසුන් වශයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වා දිය හැක. මෙහි සියළුම ආණ්ඩුක්‍රම මූලධර්ම සම්ප්‍රදායන් සේ පවතී. කිසිදු මූලධර්මයක් ලිඛිතව සඳහන් නොවේ. මේ නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පැනවිය නොහැකි කිසිදු නීතියක් එරටෙහි නොමැත. පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය යනු එය යි. මෙහි අධිකරණය පාර්ලිමේන්තුවට යටත් ව ක්‍රියා කරයි.
                    මෙම ව්‍යවස්ථා වර්ගීකරණය ද සුදුසු එකක් වශයෙන් පිළිගන්නේ නැත. හේතුව ලොව කුමන ව්‍යවස්ථාවක් වුව ද මුළුමනින් ම ලියන ලද එකක් නොවනවාක් මෙන් ම මුළු මනින් ම නොලියන ලද එකක් ද නොවීම ය. (උදා :- බ්‍රිතාන්‍යය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව) මෙය අලිඛිත ලෙස සැලකුව ද එහි ලියන ලද කොටස් ද දැකිය හැකි ය. පාර්ලිමේන්තුව කළින් කළ පනවන ලද අණ පනත් හා අධිකරණ තීන්දු ලිඛිත කොටස් වන අතර ඒ සඳහා පහත නිදසුන් ගත හැකි ය.
        i.            1215 මැග්නා කාර්ටා පනත
      ii.            1628 අයිතිවාසිකම් පනත
    iii.            1679 හේබියස් කෝපස් පනත
     iv.            1689 අයිතිවාසිකම් පනත
යනාදිය නිදසුන් ය.අනෙක් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පූර්ණයෙන් ම ලියා තැබීම ද කළ හැකි දෙයක් නොවේ.එසේ ම එය ලියා අවසන් කළ හැකි දෙයක් ද නොවේ. ඕනෑම ආණ්ඩුක්‍රමයක් ඉදිරියට ගමන් කිරීමේ දී ඒ වටා නව සම්ප්‍රදායන්, සිරිත් විරිත් සහ පිළිගැනීම් නිරන්තර ව වර්ධනය වේ. මේ සියල්ල ව්‍යවස්ථාවක සඳහන් කළ නොහැක. නමුත් ඒවා ආණ්ඩුක්‍රමයේ මූලධර්ම ලෙස පිළිගනී. මෙයින් පෙනී යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මුළුමනින් ම ලියා තැබීම කළ නොහැකි දෙයක් වන බවයි.

  ලිඛිත ව්‍යවස්ථාවක වාසි
  •              පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු වීම.
ව්‍යවස්ථාවක ලිඛිත වශයෙන් මූලික අයිතිවාසිකම් හා නිදහස පිළිබඳ විධි විධාන ඇති වේ නම් ජනතාවගේ නිනහස හා අයිතිවාසිකම් නිශ්චිත ලෙස තහවුරු කිරීමට අවකාශය සැළසේ.

  •             ස්ථාවර හා විධිමත් ආණ්ඩුක්‍රමයක් ගොඩ නඟා ගැනීමට හැකි වීම, එනම් මූලික නීතියේ ස්ථාවරත්වයක් ඇති වීම. 
                                 ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාවර වන බැවින් එබඳු ව්‍යවස්ථාවක් සමාජ ස්ථාවරත්වයට ද බලපායි. මූලික නීතිය ස්ථාවර වන විට සමාජයේ විවිධ ගැටළු විසඳීමේ හැකියාවද එම නීතියට පවතී.
 
  •                පාළකයන් ඒකාධිපතිත්වයට යොමු නොවීම.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිළිව ම ලිඛිත වූ විට ආත්මාර්ථකාමී හා හිතුවක්කාරී පාළකයන්ට ව්‍යවස්ථාව ඉක්මවා ක්‍රියා කිරීමේ අවස්ථාව ගිලිහී යනු ඇත. ආණ්ඩුක්‍රමය පිළිබඳව මනා අවබෝධයක් පාළක හා පාළිත යන දෙපක්ෂයට ම ලැබීම එයට හේතුවයි.

  •            ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය නොවූ දේශපාලන ක්‍රමයකට වුව ද යෝග්‍ය වේ.
ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය නොවූ දේශපාලන සමාජයක ක්‍රමානුකූල පාලනයක් ක්‍රියාත්මක කිරීම තුළින් ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තහවුරු කරලීමට අවකාශය සැලසේ.
                                                                           ඉහත සඳහන් කරන ලද වාසි සහගත තත්වයන්ට අමතරව විවිධ ජන වර්ග අතර පොදු බවක් ඇති කොට ඔවුන්ගේ සැක සහ බිය තුරන් කරලිය හැකි වීම. බලතල ලියා තැබීමෙන් පාලන කටයුතු පහසු වීම. ආදී වශයෙන් ද දැකිය හැක.

  අවාසි
  •           සමාජයේ වෙනස් වීම් වලට අනුකූල ලෙස ව්‍යවස්ථාව හැඩ නොගැසීම.
සමාජය වෙනස් වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද වෙනස් කළ යුතු වේ. එහෙත් එම හැකියාව ලිඛිත ව්‍යවස්ථාවක් තුළ දක්නට නොමැත.

  •          දේශපාලන ගතිකතාවයට ආණ්ඩුක්‍රමය වෙනස් නොවීම.
දේශපාලන සමාජයක ඇති වන වෙනස්කම් හා නව ප්‍රවනාතවයන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නවීකරණය නොවීම ලිඛිත ව්‍යවස්ථාවක පවතින අවාසියකි.
    III.            හදිසි අවස්ථාවක දී වෙනස් කරලීමට නොහැකි නිසා අවස්ථාවට මුහුණ දිය නොහැකි වීම ද ආණ්ඩුක්‍රමය යල් පැන ගිය එකක් වීම.

    අලිඛිත ව්‍යවස්ථාවක වාසි
  •                සමාජය වෙනස් වන විට ඊට අනුරූපිත ව ආණ්ඩු ක්‍රමය ද වෙනස් වීම. එසේ නොවුනහොත් ආණ්ඩුක්‍රමය පවත්නා සමාජයක නොගැලපෙන තත්වයට පත්විය හැකි ය.
  •             දේශපාලන සමාජයේ දියුණුව සංකේතවත් වීම.
යම් රටක ආණ්ඩුක්‍රමය සම්ප්‍රදායන් මුල් කරගෙන ක්‍රියාත්මක වේ නම් එමගින් එම සමාජයේ දේශපාලන පරිනත බව සංකේතවත් වේ. මේ අනුව අලිඛිත ව්‍යවස්ථාවක ක්‍රියාකාරීත්වය තුළින් දේශපාලන ක්‍රමයේ පරිනත බව මැනිය හැක.
උදා :- මහා බ්‍රිතාන්‍යය
  •             සමාජ අභිවෘද්ධියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධකයක් නොවීම.
අලිඛිත ව්‍යවස්ථාවක සම්ප්‍රදාය මූලික වන නිසා සමාජ අභිවෘද්ධිය ඇති කර ගැනීමේ දී ඊට ගැළපෙන අයුරේ නව සම්ප්‍රදායන් ගොඩ නැගීමට ආණ්ඩුකම ව්‍යවස්ථාවට පුළුවන.

   අවාසි
  •              ව්‍යවස්ථාවේ අස්ථාවර බව හා අපැහැදිලි බව
                ව්‍යවස්ථාව ලිඛිත නොවන විට දේශපාලනමය වශයෙන් අස්ථාවර බවක් ඇති වන අතර එමගින් නොයෙක් ව්‍යාකූලතා ඇති වේ. මෙවන් විටක දී ව්‍යවස්ථාව අර්ථ නිරූපණය සඳහා නීතීඥයන්ට පුළුල් ඉඩ කඩක් ලැබෙනු ඇත.
  •            ඒකාධිපති පාලනයකට අවකාශ සැලසේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිත නොවන විට හිතුවක්කාරී පාලකයන්ට තම ආත්මාර්ථකාමී අරමුණු ඉටු කර ගැනීමට එය ඉවහල් කර ගැනීමට ඉඩ සැලසේ.
  •            ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය නොවූ දේශපාලන ක්‍රමයකට යෝග්‍ය නොවීම.
අලිඛිත ව්‍යවස්ථා දේශපාලන සම්ප්‍රදායන් මුල් කරගෙන ක්‍රියාත්මක වන බැවින් ඒවා පිළිබඳ දැනුමක් හා අවබෝධයක් නොමැති නොදියුණු සමාජයකට එය නොගැලපේ.

  නම්‍ය හා අනම්‍ය ව්‍යවස්ථා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා යොදා ගැනෙන ව්‍යවස්ථානුකූල ක්‍රියා මාර්ගය පදනම් කරගෙන මෙම වර්ගීකරණය ඉදිරිපත් කර ඇත. මේ අනුව යම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විශේෂයෙන් සඳහන් කරන ලද අති විශේෂ ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමකින් තොරව සාමාන්‍ය නීතියක් වෙනස් කිරීමට යොදා ගන්නා ක්‍රියා මාර්ගය අනුගමනය කරමින් වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ හැකි නම් එවැනි ව්‍යවස්ථා නම්‍ය ව්‍යවස්ථා සළකනු ලැබේ. බ්‍රයිස් සාමි වරයාට අනුව ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශොධනය කිරීම හෝ වෙනස් කිරීම හෝ සාමාන්‍ය පනතක් සම්මත කරන ආකාරයට සිදු කළ හැකි ව්‍යවස්ථාවක් නම්‍ය වේ යනුවෙනි. එනම් ව්‍යවස්ථාදායකයේ සාමාන්‍ය බහුතරයේ අනුමැතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීම හෝ කළ හැකි නම් එය නම්‍ය ව්‍යවස්ථාවකි.
            උදා :- බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
                                                            මෙම ව්‍යවස්ථාව සම්බන්ධව ගොඩ නැඟී ඇති වැදගත් පිරුලක් වන්නේ ‘බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නැවේ. එහෙත් නොකැඩේ. යන්නයි. මෙමඟින් කියැවෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොතෙක් වෙනස්කම් වලට බඳුන් වුව ද එය බිඳ නොවැටෙන බවයි.එයට හේතුව එය නිර්ලිඛිත වීමයි. එනම් ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන් මත එය ගොඩ නැඟී තිබීමයි. එහෙයින් නම්‍ය ආණ්ඩුක්‍රමයක් අනිවාර්යෙන් ම නිර්ලිඛිත විය යුතු යි.එහෙත් ලිඛිත ව්‍යවස්ථා නම්‍ය වුවහොත් ඉතා කෙටි කළක් තුළ දී එය බිඳ වැටී යා හැක.
                             බ්‍රයිස් සාමි වරයාට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීම හෝ සාමාන්‍ය පනතක් සම්මත කරන ආකාරයට කළ සිදු කළ නොහැකි ඒ සඳහා විශේෂ විධි විධාන යොදා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනම්‍ය වේ. මේ අනුව සාමාන්‍ය පනතක් සම්මත කරන ආකාරයට සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීම හෝ කළ නොහැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෙවත් එවැනි එවැනි සංශෝධනයක් හෝ වෙනස් කිරීමක් සඳහා විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු ව්‍යවස්ථාවක් අනම්‍ය වේ. ඒ අනුව අනම්‍ය ව්‍යවස්ථාවක් යනු ව්‍යවස්ථාදායකයේ සාමාන්‍ය බහුතර අනුමැතියකින් සංශෝධනය හෝ වෙනස් කළ නොහැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. (උදා :- ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) එරටෙහි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කොංග්‍රසයෙන් ඉදිරිපත් වුවහොත් එය සම්මත වීමට කොංග්‍රසයේ 3න් 2ක බහුතර අනුමැතිය ද ප්‍රාන්ත 4න් 3ක අනුමැතිය ද අවශ්‍ය වේ. සංශෝධන යෝජනාව ප්‍රාන්ත ආණ්ඩුවකින් ඉදිරිපත් වුවහොත් එය සම්මත වීමට කොන්ග්‍රසයේ 4න් 3ක බලය ද ප්‍රාන්ත 3න් 2ක බලය ද අවශ්‍ය වේ.
      එසේ වුවත් මෙම වර්ග කිරීම ද ප්‍රායෝගික ව සළකා බලන විට නිවැරදි වර්ග කිරීමක් ලෙස නොසැලකේ. ව්‍යවස්ථාවක නම්‍ය/අනම්‍ය භාවය තීරණය කිරීම කෙරෙහි බලපාන්නේ සංශෝධන ක්‍රියා පිළිවෙත පමණක් නොවීම එයට හේතුව වේ. විචාරක මතය වන්නේ ව්‍යවස්ථා මඟින් පාලනය වන දේශපාලන සමාජයේ නම්‍ය/අනම්‍ය භාවය, ව්‍යවස්ථාවේ නම්‍ය/අනම්‍ය භාවය තීරණය වීම කෙරෙහි බලපාන බවය.
                                                                                    නිදසුන් වශයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම්‍ය එකක් ලෙස සැලකුව ද බ්‍රිතාන්‍ය සමාජය අනම්‍ය එකක් වීම නිසා ව්‍යවස්ථාව ද බොහෝ දුරට අනම්‍ය ස්වභාවයක් ගෙන ඇත. අනෙක් අතට ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනම්‍ය එකක් වුව ද ඇමරිකානු දේශපාලන සමාජය නම්‍ය එකක් වීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද යම් පමණකින් නම්‍ය වී ඇත. තව ද යම් රටක යම් පක්ෂයක් පාර්ලිමේන්තුව තුළ ලබාගන්නා බලය මත ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නම්‍ය/අනම්‍ය භාවය තීරණය වේ. මීට හොඳම නිදසුන ශ්‍රී ලංකාවයි.

   නම්‍ය හා අනම්‍ය ව්‍යවස්ථා වල වාසි හා අවාසි
   නම්‍ය/අනම්‍ය ව්‍යවස්ථාවන්හි වාසි හා අවාසි අලිඛිත හා ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි වාසි හා අවාසි වලට සමාන වේ.

   ඒකීය හා සන්ධීය ව්‍යවස්ථා
      ආණ්ඩු ක්‍රම තුළ ද බලය විමධ්‍ය ගත කිරීම පදනම් කරගෙන මෙම වර්ගීකරණය ඉදිරිපත් කර ඇත. එනම් රටක ස්වාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීම සඳහා සහභාගී වන බල මධ්‍යස්ථාන සංඛ්‍යාව පදනම් කරගෙන මෙම බෙදීම සිදු කර ඇත. ඒ අනුව රටක ස්වාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීම තනි මධ්‍යම ආණ්ඩුවක් මඟින් සිදු කරන්නේ නම් එවැනි ආණ්ඩුක්‍රම සඳහා පදනම් වී ඇති ව්‍යවස්ථා ඒකීය ව්‍යවස්ථා ලෙස වර්ග කර ඇත. එවන් ව්‍යවස්ථාවක ස්වභාවය පිළිබඳ ව සලකා බලන විට ඒකීය ව්‍යවස්ථාවක් සන්ධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙන් සංකීර්ණ නොවේ. සන්ධීය ව්‍යවස්ථාවක් අනිවාර්යෙන් ම ලිඛිත වන හෙයින් එවැනි ව්‍යවස්ථාවක අන්තර්ගත විය යුතු බොහෝ අත්‍යවශ්‍ය වූ අංගයන් ඒකීය ව්‍යවස්ථාවක අන්තර්ගත විය යුතු නොවේ. ඒ නිසා ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය ඒකීය ආණ්ඩුක්‍රමයකට අදාල නැත. එනම් ව්‍යවස්ථාව උත්තරීතර නොවූවත් ඒකීය රාජ්‍යයක පැවැත්මට එය බාධාවක් නොවේ. මෙහි දී ව්‍යවස්ථාව උත්තරීතර වීම හෝ නොවීම ඒකීය ක්‍රමයකට අවශ්‍ය නොවන බව පෙනී යයි. ඒ නිසා ම ව්‍යවස්ථාවේ ලිඛිත භාවය ද අවශ්‍ය නොවේ. තව ද මධ්‍යම ව්‍යවස්ථාදායකය ද්වී මාණ්ඩලික වීම ද ඒකීය ආණ්ඩුක්‍රමයකට අදාල නැත. සමහර ඒකීය රාජ්‍යයන් වල මධ්‍ය ව්‍යවස්ථාදායකය ඒකමාණ්ඩලික වීම ද, ද්වී මාණ්ඩලික වීම ද දක්නට ලැබේ.
                        උදා :- ශ්‍රී ලංකාව - ඒක මාණ්ඩලික
                                 බ්‍රිතාන්‍යය - ද්වී මාණ්ඩලික
                                                            එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනන්‍යතාවය ද ඒකීය ආණ්ඩුක්‍රමයට අදාල නොවේ. එමෙන් ම ප්‍රබල අධිකරණයක පැවැත්මක් තිබීම ද ඒකීය ආණ්ඩුක්‍රමයකට අවශ්‍යම නැත. ඒ අනුව ඒකීය ක්‍රමයන් පවතින සමහර රටවල ප්‍රබල අධිකරණ පවතින අතර තවත් ඒවායේ බලයෙන් අඩු අධිකරණ පවතින බව පෙනේ.
      යට සඳහන් කරන ලද නිර්වචනයට අනුව ස්වාධිපත්‍යය බලය ක්‍රියාවට නැංවීම සඳහා මධ්‍ය ආණ්ඩුව සමඟ තවත් ප්‍රාදේශීය ආණ්ඩු කීපයක් සහභාගි වන්නේ නම් එයට පදනම සපයා ඇති ව්‍යවස්ථා සන්ධීය ව්‍යවස්ථා ලෙස වර්ග කරනු ලැබේ. සන්ධීය ව්‍යවස්ථාවක ස්වභාවය පිළිබඳ ව සලකා බලන විට එවන් ව්‍යවස්ථා සංකීර්ණ බවින් යුක්ත ය. ඒ අනුව සන්ධීය ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාවක සියළුම ආණ්ඩුක්‍රම අංගෝපාංග විධිමත් ලෙස අඩංගු කළ යුතු බැවින් එය ලිඛිත වීම අත්‍යවශ්‍ය වේ. එසේ ම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය ද අනිවාර්ය වේ. තව ද සන්ධීය ක්‍රමයක තල දෙකක ආණ්ඩු පවතින බැවින් රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය මධ්‍ය හා ප්‍රාන්ත අතර බෙදා දෙනු ලැබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ම සිදු කෙරේ. සන්ධීය ක්‍රමයක මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය ද්වී මාණ්ඩලික වීම ද අනිවාර්ය ලක්ෂණයක් ලෙස සැලකේ. මෙහි දී ප්‍රාන්ත වලට නියෝජනයක් ලබා දීම සඳහා මෙම ව්‍යවස්ථාදායකය ද්වී මාණ්ඩලික කරනු ලැබේ. සන්ධීය ආණ්ඩුක්‍රමයක ව්‍යවස්ථාවක් අනන්‍ය වීම ද අනිවාර්ය වේ. එනම් ආණ්ඩුක්‍රමයක ව්‍යවස්ථාව සංශෝධනය හෝ වෙනස් කිරීම සඳහා සුවිශේෂී ක්‍රියා මාර්ග ගැනීමට විධි විධාන සලසා තිබීමයි. එසේ ම සන්ධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පවතින රටවල ප්‍රබල අධිකරණයක පැවැත්මක් ද පවතී. විශේෂයෙන් ම මධ්‍ය හා ප්‍රාන්ත අතරත්, ප්‍රාන්ත හා ප්‍රාන්ත අතරත්, මධ්‍ය හා පුරවැසියන් අතරත් ඇතිවන ගැටුම් නිරාකරණය කිරීම සඳහා අපක්ෂපාතී ප්‍රබල අධිකරණයක පැවැත්මක් අවශ්‍ය වේ.

    සන්ධීය රාජ්‍යයක් ගොඩ නැඟීමට බලපාන සාධක
        i.            ආර්ථික සාධකය
      ii.            ආරක්ෂක සාධකය.
    iii.            භූගෝලීය සාධකය
     iv.            සංස්කෘතික සාධකය (ඉන්දියාව සන්ධීය වූයේ මේ හේතුවෙනි.)
       v.            අනෙකුත් සන්ධීය රාජ්‍යයන් ආදර්ශයට ගැනීමේ සාධකය
     vi.            රාජ්‍යයන් ගණනාවක් එකම සංවිධානයක සාමාජිකයන් වී සිටීම. (කළක්)

     ඒකීය ව්‍යවස්ථාවක වාසි
1.      බලය කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීමට හැකි වීම.
ඒකීය රාජ්‍යයක තීරණ ගනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුව නිසා මධ්‍යම ආණ්ඩුවට තමන්ට අවශ්‍ය ලෙස බලය ඉක්මනින් ක්‍රියාවට නැංවීමට හැකි වීම.
උදා :- හදිසි නීතිය, ඇඳිරි නීතිය ආදී දේ මුළු රටටම බලපාන අයුරින් පහසුවෙන් පැනවීමට හැකි වීම.

2.      බලය ක්‍රියාවට නංවන ස්ථානය නිශ්චිතව හඳුනා ගත හැකි වීම.
සන්ධීය රාජ්‍යයක බලය ඇත්තේ මධ්‍යම ආණ්ඩුවට ද ප්‍රාන්ත ආණ්ඩු සතුව ද යන්න පිළිබඳ ව ගැටළු පවතී. ඒත් ඒකීය රාජ්‍යයක ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම සඳහා බලය ඇත්තේ කවුරුන් සතුවද යන්න පිළිබඳ ව ජනතාවට පහසුවෙන් හඳුනා ගත හැකි නොවේ.

3.      ප්‍රාදේශීය අවශ්‍යතාවයන් හා ජාතික අවශ්‍යතාවයන් අතර ගැටුම් ඇති නොවීම.
ඒකීය රාජ්‍යයක සමස්ත රාජ්‍ය සේවය පාලනය කරන්නේ මධ්‍යම ආණ්ඩුව විසිනි. ඒ නිසා ප්‍රාදේශීය අවශ්‍යතාවයන් හා ජාතික අවශ්‍යතාවයන් සියල්ල එකක් ලෙස සලකා ක්‍රියාත්මක වීමට ඒකීය රාජ්‍යයකට හැකියාව තිබේ.

4.      රටේ මහජන මුදල් අනවශ්‍ය ලෙස නාස්ති නොවීම.
සන්ධීය රාජ්‍යයක නම් එකම දේ දෙවරක් කිරීම සඳහා රටේ ජාතික ධනය අනවශ්‍ය ලෙස නාස්ති වේ. එහෙත් ඒකීය රාජ්‍යයක් තුළ එවැනි නාස්තියක් සිදු නොවේ.

5.      අර්බුධකාරී අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීමට හැකි වීම.
ඒකීය රාජ්‍යයක පරිපාළණය මධ්‍යම ආණ්ඩුව කේන්ද්‍ර කොටගෙන පවතින නිසා හදිසි අර්බුධකාරී හා ජාතික ආපදා වල දී ඒවාට සාර්ථකව මුහුණ දීමට හැකියාව පවතී.

6.      පොදු ජාතිකත්වය පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට හැකි වීම.
ඒකීය රාජ්‍යයක සියළු ජන වර්ග එකට එක් ව ජීවත් වන බැවින් මේ මගේ මව් රට ය. මේ මගේ මාතෘ භූමිය ය. යන හැඟීම තුළ ජාතිකත්වය වර්ධනය වන නිසා බෙදී යාමේ හෝ වෙන් ව යාමේ තර්ජන ඇති නොවේ.
   ඒකීය ව්‍යවස්ථාවක අවාසි
1.      හිතුවක්කාරී හා ඒකාධිපති පාලන ක්‍රමයක් ඇතිවීමේ ඉඩකඩ වර්ධනය වීම.
ඒකීය රාජ්‍යයක බලය තනි මධ්‍යම ආණ්ඩුවක් වෙත ඒකරාශී වී තිබෙන නිසා බලයට පත් වන පාලකයින්ට හිතුවක්කාරී හා ඒකාධිපති පාලනයක් ගොඩ නඟා ගැනීමට හැකියාව පවතී.
2.      කුඩා ජන වර්ග වලට අසාධාරණ සිදු වීම.
බහු ආගමික, බහු වාර්ගික ජන කොටස් ජීවත් වන රටකට මධ්‍යම ආණ්ඩුව නියෝජනය වීමේ අවස්ථා හා වරප්‍රසාද ලබා ගැනීමේ අවස්ථා ඒකීය ක්‍රමයක් තුළ අහිමි වී යා හැකි ය.
3.      විශාල රාජ්‍යයක් පාලනයට අපහසු වීම.
භූගෝලීය වශයෙන් විශාල රාජ්‍යයන් පාලනය කිරීම සඳහා ඒකීය පාලන ක්‍රමයක් නොගැලපේ. එසේ වුවහොත් පාලනය අකාර්යක්ෂම විය හැකි ය.
   සන්ධීය ක්‍රමයක වාසි
1.      විවිධත්වය තුළින් ඒකීයත්වය ලඟා කර ගැනීමට හැකි වීම.
මෙයින් අදහස් කරන්නේ වාර්ගික, ආගමික ආදී පදනම් මත ඇති වන භේද යටපත් කරමින් “එක් රාජ්‍යයක් හා එක් ජාතියක් යන සිද්ධාන්තය පදනම් කරගෙන පොදු ජාතිකත්වයක් ගොඩ නඟා ගැනීමයි. එසේ නොවුණහොත් රටක් මෙන් ම රාජ්‍යයක් හැටියට බෙදී ගිය ප්‍රවණතාවයක් ඉස්මතු විය හැකි ය.
                                                            උදා :- ශ්‍රී ලංකාව

2.      විශාල රටක් සංවර්ධනය කරා ගෙන යාමට පහසු වීම.
භූගෝලීය වශයෙන් විශාල රාජ්‍යයන් තනි මධ්‍ය ආණ්ඩුවකින් පරිපාලනය කිරීම ඉතා ම අපහසු ය. එම නිසා රටක ඇති භෞතික සම්පත් හා මානව සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට සන්ධීය ක්‍රමයක් උපකාරී වේ.

3.      මධ්‍යම ආණ්ඩුව හිතුවක්කාරී ලෙස හැසිරීම වලක්වා ගත හැකි වීම.
සන්ධීය රාජ්‍යයක මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර ස්වාධිපති බලය බෙදී පවතින නිසා මධ්‍යම ආණ්ඩුවට හිතුවක්කාරී ලෙස තම බලය වර්ධනය කර ගැනීමට නොහැකි වීම.

4.      විවිධත්වය සහිතයි, ස්වකීය පැවැත්ම තහවුරු කර ගැනීමට අපහසු කුඩා හා දුබල රාජ්‍යයන්හි පැවැත්ම සහතික කර ගැනීමට හැකි වීම.
ස්වකීය පැවැත්ම තහවුරු කර ගැනීමට අපහසු කුඩා සහ දුබල රාජ්‍යයන් වලට තම පැවැත්ම සහ ආරක්ෂාව සහතික කර ගැනීමට හැකි ප්‍රධානතම ක්‍රමය සන්ධීය ක්‍රමයකට අවතීර්ණ වීමයි. එසේ නොවුනහොත් විශාල රාජ්‍යයන් විසින් කුඩා රාජ්‍යයන් ඩැහැ ගත හැකි වේ.

5.      ස්වයං පාලනය, පෞද්ගලික නිදහස සහ සාමූහික සෞභාග්‍ය ඇති කර ගැනීමට හැකි වීම.
සන්ධීය රාජ්‍යයක ප්‍රාන්ත මට්ටමින් ස්වයං පාලනය පිලිගැනීමත්, ඒ තුළින් ඒ ඒ ප්‍රාන්ත වලට අවශ්‍ය පෞද්ගලික නිදහස ලබා දීමට කටයුතු කිරීමත් නිසා සාමූහික රටක් ලෙස දියුණු වීමටත්, ඒ තුළින් සාමූහික සෞභාග්‍යය ලඟා කර ගැනීමටත් හැකියාව ලැබේ.

    සන්ධීය ක්‍රමයක අවාසි
1.      ද්විත්ව පාලන ක්‍රමය හේතු කොටගෙන ගැටුම් ඇතිවීම, කාර්යක්ෂමතාවය දුර්වල වීම, සහ කාල පමාව ඇති වීම.
සන්ධීය රාජ්‍ය ක්‍රමයක ස්වාධිපත්‍ය බලය බෙදී පවතී. ඒ නිසා ද්විත්ව පාලන ක්‍රමයක් හේතු කොටගෙන යම් යම් කරුණු සම්බන්ධයෙන් ගැටුම් ඇති වීමත්, තීරණ ගැනීම ප්‍රමාද වීමත්, ඒ නිසා ම කාර්යක්ෂමතාවය හීන වීමක් සිදු විය හැක.

2.      සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට නොහැකි වීම.
සන්ධීය රාජ්‍යයක් සතුව ආණ්ඩු වර්ග දෙකක් තිබෙන නිසා සමස්ත රාජ්‍යයටම ගැලපෙන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපහසු විය හැකි ය. ඒ සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව ගන්නා තීරණ වලට සමහර අවස්ථා වල දී ප්‍රාන්ත ආණ්ඩු විරුද්ධ වීම එයට හේතුවයි.

3.      වියදම් අධික, කරදර සහිත ආණ්ඩු ක්‍රමයක් වීම.
සන්ධීය රාජ්‍යයක ද්විත්ව පාලනයක් පැවතීම නිසා එවැනි පාලනයක් සඳහා මහජන නියෝජිතයින් තෝරා ගැනීම හා එම ව්‍යවස්ථාදායකයන් පවත්වා ගැනීම සඳහා විශාල කාලයක් හා මුදලක් නිකරුනේ වියදම් කිරීමට සිදු වේ. එසේ ම මහ ජනතාවට ආණ්ඩු වර්ග දෙකකට යටත් වීමට ද සිදු වේ. මේ නිසා සන්ධීය ක්‍රමය වියදම් අධික, කරදරකාරී ආණ්ඩුක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැක.

4.      විවිධත්වය එසේම පවත්වාගෙන යාමට ලැබෙන ඉඩකඩ හේතු කොටගෙන වාර්ගික ප්‍රශ්න ඇති වීමට ඇති ඉඩකඩ
කාලයක් තිස්සේ ඒ ඒ ප්‍රාන්ත වල ස්වාධීනත්වය භුක්ති විඳීම නිසා විවිධත්වය එසේ ම පවත්වාගෙන යාමට ඉඩ කඩ ලැබීමෙන් වාර්ගික ප්‍රශ්න ඉස්මතු වීමට ඇති ඉඩ කඩ පුළුල් ලෙස පවතී. එවන් තත්වයක් ඇති වුවහොත් ප්‍රාන්ත වෙනම රාජ්‍යයන් හැටියට වෙන් ව යාමට උත්සාහ දැරිය හැකි ය.
         උදා :- වත්මන් භාරතයේ තමිල්නාඩුව හා පන්ජාබය

5.      වෙනස් වන සමාජ ආර්ථික අවශ්‍යතා වලට අනුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකි වීම.
සෑම සන්ධීය රාජ්‍යයකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යෙන් ම ලිඛිත වන අතර දැඩි අනම්‍ය ස්වරූපයක් ද උසුලයි. (උදා :- ඇමරිකාව) ලෝකයේ බොහෝ සන්ධීය රටවල ව්‍යවස්ථාව අනම්‍ය වීම නිසා වෙනස් වන සමාජ, ආර්ථික අවශ්‍යතා වලට පහසුවෙන් මුහුණ දීමට නොහැකි වී තිබේ.

6.      වාර්ගික ජන කොටස් වෙන වෙනම ජීවත් වීම නිසා ඔවුන් අතර ගැටුම් ඇති වීම.
සන්ධීය රාජ්‍යයක ප්‍රාන්ත බෙදා වෙන් කිරීමේ දී ජාති, ආගම්, භාෂා, සංස්කෘතිය යනාදිය පදනම් කරගෙන ප්‍රාන්ත බෙදා වෙන් කරන බැවින් කාලයක් යන විට ඒ ඒ වාර්ගික ජන කොටස් අතර ගැටුම් ඇති විය හැකි ය.

7.      හදිසි හා අර්බුදකාරී අවස්ථා වලදී සාර්ථකව ඒවාට මුහුණ දිය නොහැකි වීම.
සන්ධීය රාජ්‍යයක ව්‍යවස්ථානුගත බලතල බෙදී පවතින නිසා ක්ෂණික තීරණ ගත යුතු අවස්ථා වල දී තීරණ ගැනීමට අපහසු ය. එසේ ම ඒ ඒ සන්ධීය රාජ්‍යයන් වෙත ලබා දී ඇති බලතල ද වක්‍රව මීට බලපායි.

12 comments:

Nadeesha said...

ඉතා වැදගත් ලිපියකි. සිංහල මාධ්‍යයෙන් අන්තර්ජාලය තුළ මෙවැනි වටිනා විෂය ගත කරුණු සොයා ගැනීම ඉතා දුර්ලභය.

Nadeesha said...

ඉතා වැදගත් ලිපියකි. සිංහල මාධ්‍යයෙන් අන්තර්ජාලය තුළ මෙවැනි වටිනා විෂය ගත කරුණු සොයා ගැනීම ඉතා දුර්ලභය.

Unknown said...

Fatta...

Shuja Rafi said...

Thank you

Reportlk said...

Godak sthuthi

D.M.N.Chethana said...
This comment has been removed by the author.
D.M.N.Chethana said...

මේ වගේ සිංහලෙන්ම google එකෙහි කරුණු සොයාගැනීම අපහසු යි. ඒ නිසා මේ වගේ web page එකක් තිබීම කරුණු සොයාගැනීමට ගොඩක් උදව් වෙනවා. Thanks for all information

Unknown said...

දැන ගන්න පුලුවන් ද...බ්‍රිතාන්‍ය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිත අංගයන් මොනවා ද යන්න.(පනත් යනාදීන්)

Unknown said...

ගොඩක් වටිනා ලිපියක්. බොහොම ස්තූතියි...

Unknown said...

ගොඩක් ස්තූතියි

Unknown said...

Godak wadagath lipiyak.bohoma sthuthi

Unknown said...

ස්තූතියු

Post a Comment