Wednesday, June 18, 2014

සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම

0 comments
                                                              නීති සම්පාදන කාර්යයට මහ ජනතාව කෙළින් ම සහභාගී වීම සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ හරය වේ. මෙය මහ ජනතාව විසින් නීති පැනවීම යනුවෙන් ද හැඳින් වේ. පෙර ග්‍රීසියේ පැවති පෞර ක්‍රමය (පෝලිස් ක්‍රමය) ගොඩ නැඟී තිබුණේ මෙම ක්‍රමය පදනම් කර ගෙන ය. නමුත් නූතන මහා පරිමාණ රාජ්‍යයන් වල මෙම ක්‍රම‍ය මේ අයුරින් ම භාවිතයට ගැනීම අසීරු තත්වයකට පත් වී තිබේ. නූතන රාජ්‍යයන් භූමි ප්‍රමාණය අතින් විශාල වීම ත්, ඒවා තුළ විශාල ජන සංඛ්‍යාවක් ජීවත් වීමත් හේතුවෙන් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම අපහසු වී ඇත. එ නිසා මෙම රටවලින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නංවන්නේ මහ ජනතාව විසින් තෝරා පත් කර ගත් නියෝජිතයන්ගේ මාර්ගයෙන් වක්‍ර ආකාරයකට ය. එය වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය වේ. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටවල ද සෘජු උපක්‍රම මඟින් හෝ මහ ජනතාව පාළණයට සහභාගී කරවා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ දැඩි අවධානයක් නූතනයේ පවතී. මෙයට එක් හේතුවක් වී ඇත්තේ පොදු ජන මතය නූතන වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය මඟින් ඒ අයුරින් ම පිළිබිඹු නොවීමයි. එමගින් ජනතා බහුතර මතය විනා පොදු අභිමතය ක්‍රියාවට නොනැඟෙන බව කියැ වේ. එහි දී ජනතා අභිමතයෙන් කොටසක් නිතරම නොසලකා හැරේ. නමුත් සෘජු උපක්‍රම මඟින් පුරවැසියන් සියළු දෙනාට ම අවම වශයෙන් දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් තම අභිමතය ප්‍රකාශ කිරීමට ඉඩ කඩ සැලසෙන බව දේශපාලන විචාරකයෝ පවසති. ඒ අනුව නූතනයේ සමහර ප්‍රජාතන්ත්‍රවාදී රට වල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් වලට සෘජු උපක්‍රම වශයෙන් හැඳින් වෙන විධි ක්‍රම රැසක් ඇතුළත් කොට ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ.
            තව ද, නූතනයේ ඉතාම දැඩි ලෙස වර්ධනය වී ඇති දේශපාලන පක්ෂ වල ආධිපත්‍ය බලයෙන් මහ ජනතාව බේරා ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ද සෘජු උපක්‍රම වැඩි වැඩියෙන් භාවිතයට ගැනීමයි. ඡන්ද දායක පොදු අභිමතය නියෝජනය කරනවා වෙනුවට වත්මනෙහි සැබෑ ලෙස ම සිදු වන්නේ පක්ෂ අභිමතයට ඡන්ද දායකයා නම්මවා ගැනීමයි. මේ සඳහා බහුල වශයෙන් ජන මාධ්‍ය යාන්ත්‍රනය ද උපයෝගී කර ගනී. ඒ අනුව පක්ෂ පදනම් කොට ගෙන ක්‍රියාත්මක වන වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය තුළ පිළිබිඹු වන්නේ සැබෑ ජන මතය නොව පක්ෂ අභිමතය යි. එසේ ම මැතිවරණ දෙකක් අතර කාළය තුළ ජනතාව නොසලකා හැරීම නිරන්තරයෙන් ම සිදු වන්නකි. මෙම අඩු පාඩු මඟහරවා ගනිමින් ජනතාව රාජ්‍ය පාළණයට සහභාගී කරවා ගැනීමට ඇති සාර්ථක ක්‍රමය සෘජු උපක්‍රම භාවිතයට ගැනීමයි. මේ අනුව නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වල භාවිතයට ගන්නා සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම කීපයක් දක්නට ලැබේ. එනම්,
                                                                                                                       i.            ජනමත විචාරණය
                                                                                                                     ii.            ජන ප්‍රාරම්භණය
                                                                                                                   iii.            පුනරාවර්තනය
                                                                                                                    iv.            ජන මත සමීක්ෂණය

       I.            ජන මත විචාරණය
වර්තමාන රාජ්‍යයන් බොහෝමයක් ම සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමහ යොදා ගැනීමට පුරුදු වී සිටිති. එමඋපක්‍රම අතරින් වඩාත් ජනප්‍රිය ක්‍රමය වන්නේ ජන මත විචාරණය යි. ජන මත විචාරණය යනු රටක යම් කිසි ජාතික වැදගත් කමකින් යුතු පනතක් පාර්ලිමේන්තු කැමැත්තෙන් පමණක් අනුමත නොකොට මහ ජනයා තුළින් ද ඒ පිළිබඳ විමසීමක් කිරීමයි. මෙහි දී මහ ජනතාවට කළ හැකි වන්නේ එම පනත පිළිබඳ සෘජු තීන්දුවක් (ඔව් හෝ නැත) ප්‍රකාශ කිරීමයි. මෙසේ ජන මත විචාරණයකට ඉදිරිපත් කරන පනත ජනතාව වෙත යොමු කරනුයේ ප්‍රශ්නයක විලාසයෙනි. නිදසුන් වශයෙන් “ඔබ උතුරු - නැගෙනහිර පළාත් දෙක එක් කරනවාට කැමතිද? යන ආකාරයට ප්‍රශ්නය ජනතාවට ඉදිරිපත් කරයි. එහි දී ජනතාව ලබා දුන් තීන්දුව මත පනත සම්මත වීම හෝ අසම්මත වීම සිදු වේ. එම තීන්දුව මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව අනිවාර්යෙන් ම බැඳී සිටී. ජන මත විචාරණ ඉදිරිපත් කරන ආකාර 02ක් වේ. එනම්,
1.      ජනතාව විසින් තම අභිමතය අනුව ලබා ගනු ලබන ජන මත විචාරණය
2.      පාලකයන් විසින් තම අභිමතය අනුව ලබා දෙන ජන මත විචාරණය
මෙසේ ඉදිරිපත් කරන ජන මත විචාරණ ක්‍රමයේ පියා ලෙස ජින් ජැක් රූසෝ හඳුන්වා දිය හැකි ය. ඔහු 1762 දී ලියා පල කල පොදු කැමැත්ත (Genaral Will) යන න්‍යාය ජන මත විචාරණ මැතිවරණ ක්‍රමය භාවිතා කිරීම සඳහා යොදා ගත් බව සඳහන් වේ. මේ අනුව නූතන රාජ්‍යයන් බොහෝමයක් ජනමත විචාරණය ඔවුන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන්ට ඇතුළත් කර තිබේ. ඒ මඟින් ජනතාවගේ ස්වාධිපත්‍යයට සිදු වන අක්‍රමිකතා වලක්වාලිය හැකි වේ.
ජන මත විචාරණ ක්‍රමයේ වාසි
        i.            ජනතාවගේ දේශපාලන දැනුම වර්ධනය වේ. එ නිසා දේශපාලන සහභාගීත්වය වැඩි වේ.
      ii.            බලයේ සිටින ආණ්ඩු ක්‍රමය කෙරෙහි ජනතාව අවධියෙන් සිටී. එ නිසා අවිධිමත් හෝ නොසැලකිලිමත් ලෙස ක්‍රියා කල නොහැක.
    iii.            ජනතා කැමැත්ත කලින් කල දැන ගත හැකි ය. ඒ අනුව රජයේ වැරදි අවම කර ගත හැකි ය.
     iv.            ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කර ලීමට හැකියාවක් ලැබේ.
       v.            බ්‍රයිස් සාමි පවසන පරිදි ජනමත විචාරණ ක්‍රියාවලිය නිසා පනවන නීති වලට ඉහල මට්ටමේ සදාචාරාත්මක බවක් ලැබෙනවා මෙන් ම තමන් ද නීති සම්පාදනයට සහභාගී වූවා ය යන හැඟීම තුළින් ජනතාව ඒවාට නිරායාසයෙන් ම අවනත වීමක් සිදු වේ.
ජන මත විචාරණයේ අවාසි
        i.            පාර්ලිමේන්තුවට නොවැදගත් බවක් හිමි වේ. නිරන්තර ජන මත විචාරණ පැවැත්වීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ආත්ම ශක්තිය බිඳ වැටේ. ඔවුන්ගේ ස්වාධීනත්වය කෙළෙසී යයි.
      ii.            කඩිනම් නීති සම්පාදනයට බාධාකාරී වේ.
    iii.            අධික වියදම් දැරීමට සිදු වේ. ඒ නිසා දිළිඳු රාජ්‍යයන් වලට මෙම ක්‍රමය නොගැලපේ.
     iv.            විශේෂඥ ඥානය ඇති අයගේ තීරණ ප්‍රතික්ෂේප වේ.
       v.            සැබෑ ම වූ ජන මතයක් ගොඩ නොනැඟේ. මෙයින් බොහෝ විට සිදු වනුයේ කුමන හෝ පක්ෂ මතයක් යළි එළි දැක්වීමයි.

ප්‍රාරම්භණය
            සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම අතර ඉතාම වැදගත් උපක්‍රමයක් ලෙස ජන ප්‍රාරම්භණය දැක්විය හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාවට සෘජුවම පාළණයට සහභාගී වීමට ඉඩ කඩ ලබා දීම සඳහා මෙම ක්‍රමය ඇතැම් රටවල් ප්‍රයෝජනයට ගනී. ව්‍යවස්ථාදායක අණ පනත් ආරම්භ කිරීමට ජනතාවට ඇති බලය ප්‍රාරම්භණය යනුවෙන් අදහස් කෙරේ. මෙය ආකාර දෙකක් වශයෙන් ක්‍රියාවට නැං වේ.
1.      පනවා ඇති නීති සංශෝධනය කිරීමට
2.      අළුතින් නීති පැනවීමට
වශයෙනි. මෙම දෙයාකාර අවස්ථාවේ දී ම අදාල ක්‍රියාමාර්ගය වන්නේ ඡන්ද දායකයින් යම් නිශ්චිත ප්‍රමාණයක් අත්සන් කරන ලද යෝජනාවක් මඟින් අදාල නීතිය හෝ පනත වෙනස් කරන ලෙස ඉල්ලා සිටීම හෝ අදාල කරුණ සම්බන්ධයෙන් නීති පනවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමයි. එසේ ආණ්ඩුවට ඉදිරිපත් කෙරෙන්නා වූ ප්‍රාරම්භණ යෝජනා ප්‍රතික්ෂේප කොට ඉවත් කිරීමට බලයක් ආණ්ඩුවට නැත. (ඉඩ කඩක් ද නොලැබේ.) යෝජනාව ජන මත විචාරණයක දී නීතියක් බවට පත් වූ පසු එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අනිවාර්යෙන් බැඳී සිටී.
නූතන ආණ්ඩු ක්‍රමයන් තුළ සෘජු උපක්‍රමයක් වශයෙන් ප්‍රාරම්භණය බහුලව භාවිතා වන රට ස්විස්ටර්ලන්තය පමණක් වේ. පුරවැසියන් 50 000 ක් අත්සන් කරන ලද ප්‍රාරම්භණ යෝජනාවක් මඟින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස හෝ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නීතියක් වෙනස් කරන ලෙස හෝ අළුතින් ම නීතියක් පනවන ලෙස හෝ සන්ධීය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීමේ අයිතිය එරට ජනතාව සතු වේ. යෝජනාව පාර්ලිමේන්තුව පිළි ගත හොත් එය පනත් කෙටුම්පතක් ලෙස සකසා ජන මත විචාරණයකට ඉදිරිපත් කළ යුතු ය. එහි දී ජනතාව හා ප්‍රාන්ත බහුතරය අනුමත කළහොත් පනත නීතියක් බවට පත් වේ. යම් හෙයකින් පනත එරට පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ ද පළමුව එම යෝජනාව ජන මතයකට ඉදිරිපත් කළ යුතු ය. ජනතාව එම යෝජනාව අනුමත කළහොත් එය යළිත් පනත් කෙටුම් පතක් ලෙස සකසා දෙවනුව ද ජන මත විචාරණයකට ඉදිරිපත් කළ යුතු ය. එහි දී ජනතාව හා ප්‍රාන්ත බහුතරය අනුමත කළහොත් පනත නීතියක් බවට පත් වේ. ඉහත කුමන අවස්ථාවක දී හෝ ජනතාව අනුමත නොකළහොත් යෝජනාව හෝ පනත එහිදී ම අහෝසි වේ.
ජන ප්‍රාරම්භණයේ වාසි
ජන ප්‍රාරම්භණයේ වාසි, අවාසි ද ජන මත විචාරණයේ වාසි, අවාසි මෙන් ම ය. නමුත් මෙහි විශේෂ වාසි හා අවාසි කීපයක් ද වේ.
        i.            ව්‍යවස්ථාදායකය වඩාත් වගකීමකින් යුතු ව නීති පැනවීම කෙරෙහි මෙය බලපෑම් කරයි.
      ii.            මහජන ස්වාධිපත්‍යය වඩාත් හොඳින් තහවුරු වේ.
    iii.            බ්‍රයිස් සාමිට අනුව මෙහි ඇති විශේෂතම වාසිය වන්නේ ව්‍යවස්ථාදායකය තුළ බහුතර බලය අයත් කරගෙන සිටින පක්ෂය හෝ කණ්ඩායම භුක්ති විඳින ආධිපත්‍යය බලය මර්ධනය කළ හැකි වීමයි.
ජන ප්‍රාරම්භණයේ අවාසි
අවසාන ලෙස තම අරමුණු ඉටු නොවූව ද අවස්ථාවාදීන්ට හා ආත්මාර්ථකාමීන්ට අනවශ්‍ය ලෙස යෝජනා ඉදිරිපත් කරමින් රට අභ්‍යන්තරය තුල කලබල ඇති කිරීමට හැකියාව තිබේ.

පුනරාවර්තනය (ආපසු, නැවත, යළි කැඳවීම)
මහ ජනතාව විසින් තෝරා පත් කරන ලද නියෝජිතයන් හෝ නිළධාරීන් තමන්ට පැවරී ඇති වැඩ රාජකාරී නිසි අයුරින් ඉටු නොකරන විට ඔවුන් නැවත කැඳවීමට මහ ජනතාවට ඇති බලය පුනරාවර්තනය යනුවෙන් හැඳින් වේ. මෙහි දී නියෝජිතයාට හෝ නිළධාරියාට එල්ල කරන චෝදනා යම් නියම කරන ලද පුරවැසියන් සංඛ්‍යාවක් අත්සන් කරන ලද පෙත්සමක් මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ඡන්ද විමසීමක දී ඡන්ද දායකයින් බහුතරය එය අනුමත කළහොත් අදාල නියෝජිතයා හෝ නිළධාරියා තම තනතුරින් ඉවත් විය යුතු ය. මහාචාර්ය ලීකොක් පෙන්වා දෙන ආකාරයට පුනරාවර්තනය මඟින් අදහස් වන්නේ රාජ්‍ය තනතුරක් දරන කවරෙකු වුව ද එම තනතුර දැරිය හැක්කේ ජනතාවගේ කැමැත්ත ඇති තාක් කල් පමණක් බව ය. යම් අවස්ථාවක ඡන්ද දායකයින් බහුතරය තනතුර දරන පුද්ගලයා කෙරෙහි අකමැති වන්නේ නම් ඔහුට ස්වකීය නිළයෙන් ඉල්ලා අස් වීමට සිදු වේ. මෙය සීරුවෙන් හා සැලකිළිමත් කමින් භාවිතයට ගත යුතු ක්‍රමයකි. ලැස්කි පෙන්වා දුන් ආකාරයට, “මහ ජන නියෝජිතයින් නැවත කැඳවීම පිළිබඳ ව ඡන්දය පැවැත්විය යුත්තේ අදාල නියෝජිතයා නියෝජනය කරන ආසනයේ ඡන්ද දායකයින්ගෙන් අඩුම වශයෙන් භාගයක් වත් යෝජනාවට කැමැත්ත පළ කළහොත් පමණි. එසේ ම මන්ත්‍රී වරයා තනතුරින් ඉවත් කළ යුත්තේ ඡන්දය ප්‍රකාශ කළ අයගෙන් අඩුම වශයෙන් 3න් 2ක් වත් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහොත් පමණි.
 පුනරාවර්තන ක්‍රමය ස්විස්ටර්ලන්තයේ සහ ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක වේ. නමුත් ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත රාජ්‍යයන් තුළ මෙම ක්‍රමය මඟින් අධිකරණ විනිශ්චයකරුවන් නැවත කැඳවීම තහනම් කොට ඇත. ඔරිගන් ප්‍රාන්ත රාජ්‍යය තුළ මේ ක්‍රමය යටතේ විනිශ්චයකාරවරුන් පවා නැවත කැඳවිය හැක. චීනයේ ප්‍රාදේශීය ජනතා මණ්ඩල නියෝජිතයන් නැවත කැඳවීමේ බලය ජනතාවට හිමි වේ.
පුනරාවර්තනයේ වාසි
මේ ක්‍රමය තුළින් ජනතා පාළණ ක්‍රමය තහවුරු වන අතර අකාර්යක්ෂම හා අකටයුතු කම් කරන නිළධාරීන් හා නියෝජිතයන් ඉවත් කිරීමට ජනතාවට හැකියාව ලැබේ. (මීට අමතරව ඉහත කරුණු ඔස්සේ සඳහන් කළ වාසි ද මේ යටතේ ගත හැක.)
පුනරාවර්තයේ අවාසි
        i.            නිළධාරීන්ගේ ස්වාධීනත්වයට විශාල පහරක් වැදීම. විශේෂයෙන් යුක්තිය පසිඳලන අධිකරණ නිළධාරීන් මෙයට යටත් වූ විට අධිකරණයේ ස්වාධීනත්වය මුළු මනින් ම විනාශ වේ.‍
      ii.            මෙම ක්‍රමය නිතර නිතර ක්‍රියාවට නැංවීම තුළින් පරිපාලන ක්‍රමය දුර්වල වන අතර නිළධාරීන් මෙන් ම ජනතා නියෝජිතයින් ද මධ්‍යස්ථව නිර්භයව ක්‍රියා නොකරයි. හේතුව ජනතා අප්‍රසාදයට ලක් වීමට ඇති බියයි. මෙහි ප්‍රතිඵලය නිවැරදි දෙයක් වුව ද ජනතාව අකමැති නම් කිරීමට ඔවුන් පසුබට වීමයි.
    iii.            හදිසි ආවේග මත ජනතාවට ක්‍රියාත්මක වීමට ඇති හැකියාව නිසා මෙය උගත් බුද්ධිමත් පිරිසක් සහිත ඡන්දදායකයින් සිටින රටකට පමණක් ගැලපේ.

ජනතා ආඥා ලබා ගැනීම හෙවත් “ප්ලේබිසයිට් ක්‍රමය

“ප්ලේබිසයිට් යන පදය වචනාර්ථයෙන් සලකා බලන විට “ජනතා ආඥාව යන අර්ථය දෙයි. PLEBISCTIE යන ඉංග්‍රීසි පදය ගොඩ නැඟී තිබෙන්නේ PLEBIS සහ SCITIUM යන ග්‍රීක වචන එකට එකතු වීමෙනි. PLEBIS යන පදයෙන් ‘මහ ජනතාව යන්නත්, SCITIUM යන පදයෙන් ‘ආඥාව යන්නත් අර්ථවත් වේ. මේ පදනම මත ප්ලේබිසයිට් යන පදය සලකා බලන විට එයින් හැඟී යන්නේ ආණ්ඩුවට නියෝග කිරීමට හෝ අණ කිරීමට ජනතාවට ඇති අයිතිය හෙවත් බලය යි. නමුත් නූතනයේ මෙයින් ‘ජනතා මතය විමසීම අදහස් කෙරේ. වඩාත් නිවැරදි ලෙස ප්‍රකාශ කරන්නේ නම් යම් වැදගත් දේශපාලන පක්ෂයක් සම්බන්දයෙන් ජනතාවගේ පක්ෂ විපක්ෂ භාවය විමසීම ය. මේ අනුව මෙය බොහෝ දුරට ජනමත විචාරණයට සමාන බව පෙනේ. නමුත් එක් ප්‍රධාන කරුණකින් මේ දෙක එකිනෙක වෙනස් වේ. එනම් ජනමත විචාරණය භාවිතයට ගැනෙන්නේ නීති පැනවීමට ජනතාවට කෙළින් ම ඉඩ ප්‍රස්ථාව ලබා දීම සඳහා ය. ප්ලේබිසයිට් ක්‍රමය මඟින් කරනුයේ ජනතාව නීති සම්පාදනයට සම්බන්ධ කර ගැනීම නොව යම් වැදගත් දේශපාලන ප්‍රශ්නයක් පිළිබඳ ජනතා මතය විමසීම යි. බොහෝ විට ක්‍රමය භාවිතයට ගැනෙන්නේ යම් භූමි ප්‍රදේශයක් පිළිබඳ ව රාජ්‍යයන් දෙකක් හිමිකම් කියන විට එම භූමි ප්‍රදේශය තුළ වාසය කරන ජනතාව තමන් කුමන රාජ්‍යයකට සම්බන්ධ වීමට කැමතිද යන්න විමසීම සඳහා ය. නිදසුන් ලෙස කාශ්මීරයේ හිමිකම සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්ථානය අතර පවතින ආරවුල නිරාකරණය කිරීම සඳහා ප්ලේබිසයිට් ක්‍රමය තුළින් කාශ්මීර ජනතාවගේ අදහස් විමසීමට ඉදිරිපත් වී ඇති යෝජනාව පෙන්වා දිය හැක. 1935 දී සාර් ප්‍රදේශයේ හිමිකම සම්බන්ධයෙන් ප්‍රංශය හා ජර්මනිය අතර ඇති වූ මතභේදය විසඳනු ලැබුවේ ප්ලේබිසයිට් ක්‍රමය මඟින් ජනතාවගේ අදහස් විමසීමෙනි. එහි දී සාර් ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ජර්මනියේ සමඟ එක් වීමට කැමැත්ත පළ කළ හෙයින් එම ප්‍රදේශ ජර්මනියට යා කරන ලදි.