Wednesday, June 18, 2014

සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම

0 comments
                                                              නීති සම්පාදන කාර්යයට මහ ජනතාව කෙළින් ම සහභාගී වීම සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ හරය වේ. මෙය මහ ජනතාව විසින් නීති පැනවීම යනුවෙන් ද හැඳින් වේ. පෙර ග්‍රීසියේ පැවති පෞර ක්‍රමය (පෝලිස් ක්‍රමය) ගොඩ නැඟී තිබුණේ මෙම ක්‍රමය පදනම් කර ගෙන ය. නමුත් නූතන මහා පරිමාණ රාජ්‍යයන් වල මෙම ක්‍රම‍ය මේ අයුරින් ම භාවිතයට ගැනීම අසීරු තත්වයකට පත් වී තිබේ. නූතන රාජ්‍යයන් භූමි ප්‍රමාණය අතින් විශාල වීම ත්, ඒවා තුළ විශාල ජන සංඛ්‍යාවක් ජීවත් වීමත් හේතුවෙන් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම අපහසු වී ඇත. එ නිසා මෙම රටවලින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නංවන්නේ මහ ජනතාව විසින් තෝරා පත් කර ගත් නියෝජිතයන්ගේ මාර්ගයෙන් වක්‍ර ආකාරයකට ය. එය වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය වේ. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටවල ද සෘජු උපක්‍රම මඟින් හෝ මහ ජනතාව පාළණයට සහභාගී කරවා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ දැඩි අවධානයක් නූතනයේ පවතී. මෙයට එක් හේතුවක් වී ඇත්තේ පොදු ජන මතය නූතන වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය මඟින් ඒ අයුරින් ම පිළිබිඹු නොවීමයි. එමගින් ජනතා බහුතර මතය විනා පොදු අභිමතය ක්‍රියාවට නොනැඟෙන බව කියැ වේ. එහි දී ජනතා අභිමතයෙන් කොටසක් නිතරම නොසලකා හැරේ. නමුත් සෘජු උපක්‍රම මඟින් පුරවැසියන් සියළු දෙනාට ම අවම වශයෙන් දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් තම අභිමතය ප්‍රකාශ කිරීමට ඉඩ කඩ සැලසෙන බව දේශපාලන විචාරකයෝ පවසති. ඒ අනුව නූතනයේ සමහර ප්‍රජාතන්ත්‍රවාදී රට වල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් වලට සෘජු උපක්‍රම වශයෙන් හැඳින් වෙන විධි ක්‍රම රැසක් ඇතුළත් කොට ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ.
            තව ද, නූතනයේ ඉතාම දැඩි ලෙස වර්ධනය වී ඇති දේශපාලන පක්ෂ වල ආධිපත්‍ය බලයෙන් මහ ජනතාව බේරා ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ද සෘජු උපක්‍රම වැඩි වැඩියෙන් භාවිතයට ගැනීමයි. ඡන්ද දායක පොදු අභිමතය නියෝජනය කරනවා වෙනුවට වත්මනෙහි සැබෑ ලෙස ම සිදු වන්නේ පක්ෂ අභිමතයට ඡන්ද දායකයා නම්මවා ගැනීමයි. මේ සඳහා බහුල වශයෙන් ජන මාධ්‍ය යාන්ත්‍රනය ද උපයෝගී කර ගනී. ඒ අනුව පක්ෂ පදනම් කොට ගෙන ක්‍රියාත්මක වන වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය තුළ පිළිබිඹු වන්නේ සැබෑ ජන මතය නොව පක්ෂ අභිමතය යි. එසේ ම මැතිවරණ දෙකක් අතර කාළය තුළ ජනතාව නොසලකා හැරීම නිරන්තරයෙන් ම සිදු වන්නකි. මෙම අඩු පාඩු මඟහරවා ගනිමින් ජනතාව රාජ්‍ය පාළණයට සහභාගී කරවා ගැනීමට ඇති සාර්ථක ක්‍රමය සෘජු උපක්‍රම භාවිතයට ගැනීමයි. මේ අනුව නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වල භාවිතයට ගන්නා සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම කීපයක් දක්නට ලැබේ. එනම්,
                                                                                                                       i.            ජනමත විචාරණය
                                                                                                                     ii.            ජන ප්‍රාරම්භණය
                                                                                                                   iii.            පුනරාවර්තනය
                                                                                                                    iv.            ජන මත සමීක්ෂණය

       I.            ජන මත විචාරණය
වර්තමාන රාජ්‍යයන් බොහෝමයක් ම සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමහ යොදා ගැනීමට පුරුදු වී සිටිති. එමඋපක්‍රම අතරින් වඩාත් ජනප්‍රිය ක්‍රමය වන්නේ ජන මත විචාරණය යි. ජන මත විචාරණය යනු රටක යම් කිසි ජාතික වැදගත් කමකින් යුතු පනතක් පාර්ලිමේන්තු කැමැත්තෙන් පමණක් අනුමත නොකොට මහ ජනයා තුළින් ද ඒ පිළිබඳ විමසීමක් කිරීමයි. මෙහි දී මහ ජනතාවට කළ හැකි වන්නේ එම පනත පිළිබඳ සෘජු තීන්දුවක් (ඔව් හෝ නැත) ප්‍රකාශ කිරීමයි. මෙසේ ජන මත විචාරණයකට ඉදිරිපත් කරන පනත ජනතාව වෙත යොමු කරනුයේ ප්‍රශ්නයක විලාසයෙනි. නිදසුන් වශයෙන් “ඔබ උතුරු - නැගෙනහිර පළාත් දෙක එක් කරනවාට කැමතිද? යන ආකාරයට ප්‍රශ්නය ජනතාවට ඉදිරිපත් කරයි. එහි දී ජනතාව ලබා දුන් තීන්දුව මත පනත සම්මත වීම හෝ අසම්මත වීම සිදු වේ. එම තීන්දුව මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව අනිවාර්යෙන් ම බැඳී සිටී. ජන මත විචාරණ ඉදිරිපත් කරන ආකාර 02ක් වේ. එනම්,
1.      ජනතාව විසින් තම අභිමතය අනුව ලබා ගනු ලබන ජන මත විචාරණය
2.      පාලකයන් විසින් තම අභිමතය අනුව ලබා දෙන ජන මත විචාරණය
මෙසේ ඉදිරිපත් කරන ජන මත විචාරණ ක්‍රමයේ පියා ලෙස ජින් ජැක් රූසෝ හඳුන්වා දිය හැකි ය. ඔහු 1762 දී ලියා පල කල පොදු කැමැත්ත (Genaral Will) යන න්‍යාය ජන මත විචාරණ මැතිවරණ ක්‍රමය භාවිතා කිරීම සඳහා යොදා ගත් බව සඳහන් වේ. මේ අනුව නූතන රාජ්‍යයන් බොහෝමයක් ජනමත විචාරණය ඔවුන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන්ට ඇතුළත් කර තිබේ. ඒ මඟින් ජනතාවගේ ස්වාධිපත්‍යයට සිදු වන අක්‍රමිකතා වලක්වාලිය හැකි වේ.
ජන මත විචාරණ ක්‍රමයේ වාසි
        i.            ජනතාවගේ දේශපාලන දැනුම වර්ධනය වේ. එ නිසා දේශපාලන සහභාගීත්වය වැඩි වේ.
      ii.            බලයේ සිටින ආණ්ඩු ක්‍රමය කෙරෙහි ජනතාව අවධියෙන් සිටී. එ නිසා අවිධිමත් හෝ නොසැලකිලිමත් ලෙස ක්‍රියා කල නොහැක.
    iii.            ජනතා කැමැත්ත කලින් කල දැන ගත හැකි ය. ඒ අනුව රජයේ වැරදි අවම කර ගත හැකි ය.
     iv.            ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කර ලීමට හැකියාවක් ලැබේ.
       v.            බ්‍රයිස් සාමි පවසන පරිදි ජනමත විචාරණ ක්‍රියාවලිය නිසා පනවන නීති වලට ඉහල මට්ටමේ සදාචාරාත්මක බවක් ලැබෙනවා මෙන් ම තමන් ද නීති සම්පාදනයට සහභාගී වූවා ය යන හැඟීම තුළින් ජනතාව ඒවාට නිරායාසයෙන් ම අවනත වීමක් සිදු වේ.
ජන මත විචාරණයේ අවාසි
        i.            පාර්ලිමේන්තුවට නොවැදගත් බවක් හිමි වේ. නිරන්තර ජන මත විචාරණ පැවැත්වීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ආත්ම ශක්තිය බිඳ වැටේ. ඔවුන්ගේ ස්වාධීනත්වය කෙළෙසී යයි.
      ii.            කඩිනම් නීති සම්පාදනයට බාධාකාරී වේ.
    iii.            අධික වියදම් දැරීමට සිදු වේ. ඒ නිසා දිළිඳු රාජ්‍යයන් වලට මෙම ක්‍රමය නොගැලපේ.
     iv.            විශේෂඥ ඥානය ඇති අයගේ තීරණ ප්‍රතික්ෂේප වේ.
       v.            සැබෑ ම වූ ජන මතයක් ගොඩ නොනැඟේ. මෙයින් බොහෝ විට සිදු වනුයේ කුමන හෝ පක්ෂ මතයක් යළි එළි දැක්වීමයි.

ප්‍රාරම්භණය
            සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම අතර ඉතාම වැදගත් උපක්‍රමයක් ලෙස ජන ප්‍රාරම්භණය දැක්විය හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාවට සෘජුවම පාළණයට සහභාගී වීමට ඉඩ කඩ ලබා දීම සඳහා මෙම ක්‍රමය ඇතැම් රටවල් ප්‍රයෝජනයට ගනී. ව්‍යවස්ථාදායක අණ පනත් ආරම්භ කිරීමට ජනතාවට ඇති බලය ප්‍රාරම්භණය යනුවෙන් අදහස් කෙරේ. මෙය ආකාර දෙකක් වශයෙන් ක්‍රියාවට නැං වේ.
1.      පනවා ඇති නීති සංශෝධනය කිරීමට
2.      අළුතින් නීති පැනවීමට
වශයෙනි. මෙම දෙයාකාර අවස්ථාවේ දී ම අදාල ක්‍රියාමාර්ගය වන්නේ ඡන්ද දායකයින් යම් නිශ්චිත ප්‍රමාණයක් අත්සන් කරන ලද යෝජනාවක් මඟින් අදාල නීතිය හෝ පනත වෙනස් කරන ලෙස ඉල්ලා සිටීම හෝ අදාල කරුණ සම්බන්ධයෙන් නීති පනවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමයි. එසේ ආණ්ඩුවට ඉදිරිපත් කෙරෙන්නා වූ ප්‍රාරම්භණ යෝජනා ප්‍රතික්ෂේප කොට ඉවත් කිරීමට බලයක් ආණ්ඩුවට නැත. (ඉඩ කඩක් ද නොලැබේ.) යෝජනාව ජන මත විචාරණයක දී නීතියක් බවට පත් වූ පසු එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අනිවාර්යෙන් බැඳී සිටී.
නූතන ආණ්ඩු ක්‍රමයන් තුළ සෘජු උපක්‍රමයක් වශයෙන් ප්‍රාරම්භණය බහුලව භාවිතා වන රට ස්විස්ටර්ලන්තය පමණක් වේ. පුරවැසියන් 50 000 ක් අත්සන් කරන ලද ප්‍රාරම්භණ යෝජනාවක් මඟින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස හෝ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නීතියක් වෙනස් කරන ලෙස හෝ අළුතින් ම නීතියක් පනවන ලෙස හෝ සන්ධීය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීමේ අයිතිය එරට ජනතාව සතු වේ. යෝජනාව පාර්ලිමේන්තුව පිළි ගත හොත් එය පනත් කෙටුම්පතක් ලෙස සකසා ජන මත විචාරණයකට ඉදිරිපත් කළ යුතු ය. එහි දී ජනතාව හා ප්‍රාන්ත බහුතරය අනුමත කළහොත් පනත නීතියක් බවට පත් වේ. යම් හෙයකින් පනත එරට පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ ද පළමුව එම යෝජනාව ජන මතයකට ඉදිරිපත් කළ යුතු ය. ජනතාව එම යෝජනාව අනුමත කළහොත් එය යළිත් පනත් කෙටුම් පතක් ලෙස සකසා දෙවනුව ද ජන මත විචාරණයකට ඉදිරිපත් කළ යුතු ය. එහි දී ජනතාව හා ප්‍රාන්ත බහුතරය අනුමත කළහොත් පනත නීතියක් බවට පත් වේ. ඉහත කුමන අවස්ථාවක දී හෝ ජනතාව අනුමත නොකළහොත් යෝජනාව හෝ පනත එහිදී ම අහෝසි වේ.
ජන ප්‍රාරම්භණයේ වාසි
ජන ප්‍රාරම්භණයේ වාසි, අවාසි ද ජන මත විචාරණයේ වාසි, අවාසි මෙන් ම ය. නමුත් මෙහි විශේෂ වාසි හා අවාසි කීපයක් ද වේ.
        i.            ව්‍යවස්ථාදායකය වඩාත් වගකීමකින් යුතු ව නීති පැනවීම කෙරෙහි මෙය බලපෑම් කරයි.
      ii.            මහජන ස්වාධිපත්‍යය වඩාත් හොඳින් තහවුරු වේ.
    iii.            බ්‍රයිස් සාමිට අනුව මෙහි ඇති විශේෂතම වාසිය වන්නේ ව්‍යවස්ථාදායකය තුළ බහුතර බලය අයත් කරගෙන සිටින පක්ෂය හෝ කණ්ඩායම භුක්ති විඳින ආධිපත්‍යය බලය මර්ධනය කළ හැකි වීමයි.
ජන ප්‍රාරම්භණයේ අවාසි
අවසාන ලෙස තම අරමුණු ඉටු නොවූව ද අවස්ථාවාදීන්ට හා ආත්මාර්ථකාමීන්ට අනවශ්‍ය ලෙස යෝජනා ඉදිරිපත් කරමින් රට අභ්‍යන්තරය තුල කලබල ඇති කිරීමට හැකියාව තිබේ.

පුනරාවර්තනය (ආපසු, නැවත, යළි කැඳවීම)
මහ ජනතාව විසින් තෝරා පත් කරන ලද නියෝජිතයන් හෝ නිළධාරීන් තමන්ට පැවරී ඇති වැඩ රාජකාරී නිසි අයුරින් ඉටු නොකරන විට ඔවුන් නැවත කැඳවීමට මහ ජනතාවට ඇති බලය පුනරාවර්තනය යනුවෙන් හැඳින් වේ. මෙහි දී නියෝජිතයාට හෝ නිළධාරියාට එල්ල කරන චෝදනා යම් නියම කරන ලද පුරවැසියන් සංඛ්‍යාවක් අත්සන් කරන ලද පෙත්සමක් මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ඡන්ද විමසීමක දී ඡන්ද දායකයින් බහුතරය එය අනුමත කළහොත් අදාල නියෝජිතයා හෝ නිළධාරියා තම තනතුරින් ඉවත් විය යුතු ය. මහාචාර්ය ලීකොක් පෙන්වා දෙන ආකාරයට පුනරාවර්තනය මඟින් අදහස් වන්නේ රාජ්‍ය තනතුරක් දරන කවරෙකු වුව ද එම තනතුර දැරිය හැක්කේ ජනතාවගේ කැමැත්ත ඇති තාක් කල් පමණක් බව ය. යම් අවස්ථාවක ඡන්ද දායකයින් බහුතරය තනතුර දරන පුද්ගලයා කෙරෙහි අකමැති වන්නේ නම් ඔහුට ස්වකීය නිළයෙන් ඉල්ලා අස් වීමට සිදු වේ. මෙය සීරුවෙන් හා සැලකිළිමත් කමින් භාවිතයට ගත යුතු ක්‍රමයකි. ලැස්කි පෙන්වා දුන් ආකාරයට, “මහ ජන නියෝජිතයින් නැවත කැඳවීම පිළිබඳ ව ඡන්දය පැවැත්විය යුත්තේ අදාල නියෝජිතයා නියෝජනය කරන ආසනයේ ඡන්ද දායකයින්ගෙන් අඩුම වශයෙන් භාගයක් වත් යෝජනාවට කැමැත්ත පළ කළහොත් පමණි. එසේ ම මන්ත්‍රී වරයා තනතුරින් ඉවත් කළ යුත්තේ ඡන්දය ප්‍රකාශ කළ අයගෙන් අඩුම වශයෙන් 3න් 2ක් වත් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහොත් පමණි.
 පුනරාවර්තන ක්‍රමය ස්විස්ටර්ලන්තයේ සහ ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක වේ. නමුත් ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත රාජ්‍යයන් තුළ මෙම ක්‍රමය මඟින් අධිකරණ විනිශ්චයකරුවන් නැවත කැඳවීම තහනම් කොට ඇත. ඔරිගන් ප්‍රාන්ත රාජ්‍යය තුළ මේ ක්‍රමය යටතේ විනිශ්චයකාරවරුන් පවා නැවත කැඳවිය හැක. චීනයේ ප්‍රාදේශීය ජනතා මණ්ඩල නියෝජිතයන් නැවත කැඳවීමේ බලය ජනතාවට හිමි වේ.
පුනරාවර්තනයේ වාසි
මේ ක්‍රමය තුළින් ජනතා පාළණ ක්‍රමය තහවුරු වන අතර අකාර්යක්ෂම හා අකටයුතු කම් කරන නිළධාරීන් හා නියෝජිතයන් ඉවත් කිරීමට ජනතාවට හැකියාව ලැබේ. (මීට අමතරව ඉහත කරුණු ඔස්සේ සඳහන් කළ වාසි ද මේ යටතේ ගත හැක.)
පුනරාවර්තයේ අවාසි
        i.            නිළධාරීන්ගේ ස්වාධීනත්වයට විශාල පහරක් වැදීම. විශේෂයෙන් යුක්තිය පසිඳලන අධිකරණ නිළධාරීන් මෙයට යටත් වූ විට අධිකරණයේ ස්වාධීනත්වය මුළු මනින් ම විනාශ වේ.‍
      ii.            මෙම ක්‍රමය නිතර නිතර ක්‍රියාවට නැංවීම තුළින් පරිපාලන ක්‍රමය දුර්වල වන අතර නිළධාරීන් මෙන් ම ජනතා නියෝජිතයින් ද මධ්‍යස්ථව නිර්භයව ක්‍රියා නොකරයි. හේතුව ජනතා අප්‍රසාදයට ලක් වීමට ඇති බියයි. මෙහි ප්‍රතිඵලය නිවැරදි දෙයක් වුව ද ජනතාව අකමැති නම් කිරීමට ඔවුන් පසුබට වීමයි.
    iii.            හදිසි ආවේග මත ජනතාවට ක්‍රියාත්මක වීමට ඇති හැකියාව නිසා මෙය උගත් බුද්ධිමත් පිරිසක් සහිත ඡන්දදායකයින් සිටින රටකට පමණක් ගැලපේ.

ජනතා ආඥා ලබා ගැනීම හෙවත් “ප්ලේබිසයිට් ක්‍රමය

“ප්ලේබිසයිට් යන පදය වචනාර්ථයෙන් සලකා බලන විට “ජනතා ආඥාව යන අර්ථය දෙයි. PLEBISCTIE යන ඉංග්‍රීසි පදය ගොඩ නැඟී තිබෙන්නේ PLEBIS සහ SCITIUM යන ග්‍රීක වචන එකට එකතු වීමෙනි. PLEBIS යන පදයෙන් ‘මහ ජනතාව යන්නත්, SCITIUM යන පදයෙන් ‘ආඥාව යන්නත් අර්ථවත් වේ. මේ පදනම මත ප්ලේබිසයිට් යන පදය සලකා බලන විට එයින් හැඟී යන්නේ ආණ්ඩුවට නියෝග කිරීමට හෝ අණ කිරීමට ජනතාවට ඇති අයිතිය හෙවත් බලය යි. නමුත් නූතනයේ මෙයින් ‘ජනතා මතය විමසීම අදහස් කෙරේ. වඩාත් නිවැරදි ලෙස ප්‍රකාශ කරන්නේ නම් යම් වැදගත් දේශපාලන පක්ෂයක් සම්බන්දයෙන් ජනතාවගේ පක්ෂ විපක්ෂ භාවය විමසීම ය. මේ අනුව මෙය බොහෝ දුරට ජනමත විචාරණයට සමාන බව පෙනේ. නමුත් එක් ප්‍රධාන කරුණකින් මේ දෙක එකිනෙක වෙනස් වේ. එනම් ජනමත විචාරණය භාවිතයට ගැනෙන්නේ නීති පැනවීමට ජනතාවට කෙළින් ම ඉඩ ප්‍රස්ථාව ලබා දීම සඳහා ය. ප්ලේබිසයිට් ක්‍රමය මඟින් කරනුයේ ජනතාව නීති සම්පාදනයට සම්බන්ධ කර ගැනීම නොව යම් වැදගත් දේශපාලන ප්‍රශ්නයක් පිළිබඳ ජනතා මතය විමසීම යි. බොහෝ විට ක්‍රමය භාවිතයට ගැනෙන්නේ යම් භූමි ප්‍රදේශයක් පිළිබඳ ව රාජ්‍යයන් දෙකක් හිමිකම් කියන විට එම භූමි ප්‍රදේශය තුළ වාසය කරන ජනතාව තමන් කුමන රාජ්‍යයකට සම්බන්ධ වීමට කැමතිද යන්න විමසීම සඳහා ය. නිදසුන් ලෙස කාශ්මීරයේ හිමිකම සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්ථානය අතර පවතින ආරවුල නිරාකරණය කිරීම සඳහා ප්ලේබිසයිට් ක්‍රමය තුළින් කාශ්මීර ජනතාවගේ අදහස් විමසීමට ඉදිරිපත් වී ඇති යෝජනාව පෙන්වා දිය හැක. 1935 දී සාර් ප්‍රදේශයේ හිමිකම සම්බන්ධයෙන් ප්‍රංශය හා ජර්මනිය අතර ඇති වූ මතභේදය විසඳනු ලැබුවේ ප්ලේබිසයිට් ක්‍රමය මඟින් ජනතාවගේ අදහස් විමසීමෙනි. එහි දී සාර් ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ජර්මනියේ සමඟ එක් වීමට කැමැත්ත පළ කළ හෙයින් එම ප්‍රදේශ ජර්මනියට යා කරන ලදි.

Saturday, June 7, 2014

බලතල බෙදීමේ සිද්ධාන්තය

12 comments
දේශපාලන විද්‍යා විෂය කේෂ්ත්‍රය තුළ ඇති පැරණිතම සිද්ධාන්තයක් ලෙස සලකනු ලැබේ. මේ සම්බන්ධව ප්‍රථම වරට අදහස් දක්වා ඇත්තේ ග්‍රීක දේශපාලඥයෙකු වූ ඇරිස්ටෝටල් ය. දේශපාලන කටයුතු සාකච්ඡා කිරීම, වැඩ කටයුතු මෙහෙය වීම, යුක්තිය පසිඳලීම ආදී වශයෙන් ආණ්ඩුවේ කාර්යයන් කොටස් තුනකට බෙ‍දෙන බව ඔහු ප්‍රකාශ කළේ ය. එසේ වුවත් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කර ගත් ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය බිඳ වැටීමෙන් අනතුරු ව බිහි වූ රාජාණ්ඩු පාලන ක්‍රමය තුළ බල බෙදීමේ න්‍යායට වැදගත් ස්ථානයක් නොලැබුණු හෙයින් එම ක්‍රමය තුළ එය නොවැදගත් දෙයක් බවට පත් වෙයි.
                                                                                                            නමුත් 16 වන සියවස පමණ වන විට එංගලන්තය තුළ නැවත මෙම සංකල්පය හිස ඔසවන ලකුණු පහල වන්නට විය. එම කාලයේ දී එංගලන්තයේ රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් රජු සහ පාර්ලිමේන්තුව අතර නොකඩවා ගැටුම් ඇති වන්නට විය. මේ හේතුව නිසා ආණ්ඩුවේ කාර්යයන් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන කොටස් වලට බෙදා ක්‍රියාවට නැංවිය යුතු බවට මතයක් ඇති විය. ඒ පිළිබඳ ව මුල් කාළීන මතයක් ඉදිරිපත් කළේ එංගලන්ත ජාතික හැරින්ග්ටන් නැමැත්තා ය. එයින් පසු ව ‍ජෝන් ලොක් විසින් ද මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් කළේ ය. නමුත් නව යුගය තුළ බලතල බෙදීමේ සිද්ධාන්තය පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වන්නේ ප්‍රංශ ජාතික දේශපාලන විද්‍යාඥයෙකු වූ චාල්ස් මොන්ටෙස්ක්‍යු ට ය. ඔහු විසින් 1748 දී ප්‍රකාශයට පත් කළ “නීතියේ සාරය (The Spirit Of Law) ” යන කෘතිය තුලින් බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කළේ ය.
              දේශපාලන විද්‍යාව තුල එන බල බෙදීමේ න්‍යායෙන් ප්‍රකාශ වන්නේ ආණ්ඩුවේ බලතල ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ වශයෙන් බෙදී යාම පිළිබඳ ව වූ අදහසයි. ව්‍යවස්ථාදායක බලය වශයෙන් නීති සම්පාදනය කිරීමත්, විධායක බගය වශයෙන් නීතීන් ක්‍රියාත්මක කිරීමත්, අධිකරණමය වශයෙන් නීති විවරණය කිරීමේ බලයත්, දඬුවම් නියම කිරීමේ බලයත් අදහස් කෙරේ.
                                                                                                            මොන්ටෙස්ක්‍යුට අනුව ආණ්ඩුවේ කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහාත්, අත්ත‍නෝමතික පාලනයකින් ආණ්ඩුව ගලවා ගැනීම සඳහාත්, ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහාත්, ආණ්ඩුවේ කාර්යයන් ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ වශයෙන් බෙදා ක්‍රියාවට නැංවිය යුතු බව පෙන්වා දෙයි. දේශපාලන බලය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ ඒකරාශී වීම තුළින් ජනතා නිදහසට එල්ල විය හැකි තර්ජන වැලැක්වීමට යෙදිය හැකි කාර්යක්ෂම හා ‍හොඳම ක්‍රමය බලතල බෙදීම බව මොන්ටෙස්ක්‍යු පවසයි. ඔහු ප්‍රකාශ කළ ආකාරයට,
                 “යම් කිසි අවස්ථාවක දී අධිකරණ බලය ව්‍යවස්ථාදායක බලය හා එකට එක් වී ඇත් නම් එය හිතුවක්කාරී පාලනයකට මග පාදනු ඇත. අනෙක් අතට අධිකරණ බලය විධායක බලය සමඟ එකතු වී තිබේ නම් එය නියම ලෙස ම හිංසාකාරී හා පීඩාකාරී පාලනයක් වේ. යම් අවස්ථාවක මෙම බලතල තුනම එක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මත හෝ ඒක රාශී වී ඇත්නම් එය මිනිස් නිදහසේ නියත අවසානය වනු ඇත.”
     මොන්ටෙස්ක්‍යුගේ බලතල බෙදීම ප්‍රධාන මූලධර්ම කීපයක් යටතේ සිදු විය යුතු බව දක්වයි.
        i.            ආණ්ඩුවේ ආයතන තුන ශුද්ධ වශයෙන් වෙන්ව ම පැවතිය යුතු ය.
      ii.            බලය මෙම ආයතන තුන අතර සමානව බෙදිය යුතු ය.
    iii.            එකිනෙකට වෙනස් වූ පුද්ගලයන් තිදෙනෙකු විසින් ඒවා ක්‍රියාත්මක කළ යුතු ය.
    iv.            එක් ආයතනයක සාමාජිකයෙකු තවත් ආයතනයක සාමාජිකයෙකු නොවිය යුතු ය.
      v.            කිසිදු විටක එක් ආයතනයක කාර්යභාරයට තවත් ආයතනයක් සහභාගී නොවිය යුතු ය.
                                                                                                            මේ අනුව සමකාලීන එංගලන්ත ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කිරීමට මොන්ටෙස්ක්‍යුට බල පා ඇති බව කියැ වේ. එකල යුරෝපා ජනතාවට වඩා වැඩි නිදහසක් එංගලන්ත ජනයා භුක්ති විඳින බව එරට තුළ කළ සංචාරයක දී දුටු මොන්ටෙස්ක්‍යු එයට හේතුව මෙම ආණ්ඩු ක්‍රමය තුළ බලතල බෙදීම ක්‍රියාත්මක වීම යැයි සිතී ය. මිනිස් නිදහස රැකීමට බලතල බෙදීම ක්‍රියාත්මක විය යුතු බව ඔහු කියා සිටියේ මෙම සිතුවිල්ල නිසා ය.
                                    කෙසේ වුව ත් මෙවැනි අදහසක් මොන්ටෙස්ක්‍යු ඉදිරිපත් කරනු ලැබුව ද එවැනි තත්වයක් නූතන ආණ්ඩු ක්‍රමයන් තුළ ක්‍රියාත්මක වන්නේදැ’යි යන්න ගැටළු සහගත ප්‍රශ්නයකි. ආණ්ඩුවේ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ පහසුව උදෙසා එම බලතල ආයතන තුනකට වෙන් කරනු ලැබුව ද මොන්ටෙස්ක්‍යු දැක් වූ ආකාරයේ ශුද්ධ බල බෙදීමක් හෝ සම්පූර්ණයෙන් ම එකිනෙකින් වෙන් වූ ආයතනික රටාවක් හෝ නූතන ආණ්ඩු ක්‍රමයන් හි ක්‍රියාකාරීත්වය දෙස බැලීමේ දී හඳුනාගත ‍නොහැකි බව පෙනේ.

නූතන ආණ්ඩුක්‍රම හා බලතල බෙදීමේ න්‍යාය
v බ්‍රිතාන්‍යය
                 බ්‍රිතාන්‍යය තුළ මොන්ටෙස්ක්‍යු දුටු ආකාරයේ බල බෙදීමේ ක්‍රමයක් දක්නට නොලැබෙන බව වැඩි දුර විමසීමේ දී පෙනී යන කරුණකි. එංගලන්තයෙහි ද ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන අංශ ත්‍රිත්වය දක්නට ඇති අතර ඒවා ක්‍රියාත්මක අංශයේ දී අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වේ. මෙහි දී පූර්ණ විධායකය වන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තේරී පත්වන්නේ ව්‍යවස්ථාදායකය තුළිණි. එසේ ම එයට වග කීමට ද බැඳී සිටී. විධායකයට විධායක බලතල වලට අමතරව ව්‍යවස්ථාදායක නීති සම්පාදන බලතල පවරා ඇතත් ක්‍රියාත්මක අංශය තුළ ව්‍යවස්ථාදායකය විධායකය පාලනය කරයි. පාර්ලිමේන්තුවට විධායකයේ සාමාජිකයන්ගෙන් විධායක කටයුතු ගැන ප්‍රශ්න කළ හැකි අතර, ඒවාට ලිඛිතව හෝ වාචිකව පිළිතුරු දීමට විධායකය බැඳී සිටී. එසේ ම විධායකය ඉවත් කිරීමේ බලය ද ව්‍යවස්ථාදායකයට න්‍යායාත්මකව පැවරේ. ඒ අනුව ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙනුත්, අයවැය ලේඛණය හෝ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය කිරීමෙනුත් විධායකය ඉවත් කළ හැක.
                                                                                                            එසේ ම විධායකය වූ අගමැතිට නාමික විධායකය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත්, සැසිවාර කල් තැබීමටත්, රැස් කිරීමටත් බලය තිබේ. එසේ ම පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලය විධායකය විසින් මෙහෙයවයි. මේ නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය එකිනෙකට සම්බන්ධ වීම කැබිනට් ක්‍රමයක ලක්ෂණයක් වන අතර, ඒ නිසා බල බෙදීමේ න්‍යාය ක්‍රියාත්මක නොවේ.
                        බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලය ව්‍යවස්ථාදායකයේ ම කොටසක් ව අතර එහි නායකත්වය උසුලනු ලබන්නේ අධිකරණ අමාත්‍යවරයා ය. එනම් චාන්සලර් සාමි වරයා ය. හේ පරම්පරාව මත පැවත එන්නෙකි. හෙතෙම කැබිනට් මණ්ඩලයේ ද සාමාජිකයෙක් වේ. ඒ නිසා ඔහු ව්‍යවස්ථාදායකයට ද, විධායකයට ද, අධිකරණයට ද සම්බන්ධ වේ. මෙම සම්බන්ධතා තුළින් ද බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය තුළ බලතල බෙදීමකට වඩා බලතල ඒකරාශී වීමක් සිදු වී ඇති බව පෙනේ. තව ද ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණ ආයතන වලට විනිසුරුවන් පත් කරනු ලබන්නේ අගමැතිවරයාගේ නාමකරණයෙන් පසු බ්‍රිතාන්‍ය රැජින විසිනි. එසේ විනිසුරුවන් පත් කරනු ලැබුවත් ඉවත් කිරීමේ බලය අගමැතිට හෝ රැජිනට නොමැත. එම බලය රැඳී ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ය. මේ නිසා අධිකරණ ආයතන ව්‍යවස්ථාදායකය හා විධායකය සමගත් නිරන්තර සහයෝගයෙන් යුතු ව වැඩ කටයුතු කරයි. ඔවුන්ගේ පත්වීම හා නිලයේ රැඳී සිටීම එම මණ්ඩල දෙක මත රඳා පැවතීම එයට හේතුවයි.
                                                ඉහත සඳහන් කළ කරුණු අනුව ක්‍රියාත්මක කේෂ්ත්‍රයේ කටයුතු කිරීමේ දී මෙම ආයතන වෙන් වූ ආයතන තුනක් ආකාරයෙන් කටයුතු කරනු දක්නට නොලැබේ. එහි දක්නට ඇත්තේ එකිනෙකට ඉතා සමීප සම්බන්ධතාවක් පෙන්නුම් කරන ආයතන තුනකි.

v ඇමරිකා එක්සත් ජනපදය
              1789 දී සම්පාදනය කළ ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොන්ටෙස්ක්‍යු ඉදිරිපත් කළ බල බෙදීමේ න්‍යාය ඒ අයුරින් ම භාවිතයට ගනිමින් සකසන ලද්දකි. ඇමරිකානු ව්‍යවස්ථා සම්පාදකයෙකු වූ ජේම්ස් මැඩිසන් වරක් ප්‍රකාශ කළ ආකාරයට,
                                                             “මහජන ඡන්දයකින් තේරී පත් වුව ද, නාමකරණයෙන් තෝරා පත් කළ ද, පාරම්පරිකව තේරී පත් වුව ද, එක් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් මත හෝ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල ඒකරාශි වීම නියත ලෙස ම කෲර ඒකාධිපති පාලනයකට මඟ පාදනු ලබයි.”
                 මෙම අදහස අනුව ඇමරිකානු ආණ්ඩුක්‍රමය තුළ විධායක ඒකාධිපතිත්වයක් ඇති වීම වලක්වා ලීම සඳහා බලතල බෙදීමේ න්‍යාය ව්‍යවස්ථාව තුළට ඇතුළත් කරන ලදි. එසේ ම බලතල බෙදීම ක්‍රියාත්මක වීම තුලින් එම ආයතන තුල ඇතිවන ස්වාධීනත්වය හා හුදකලා බව එක්තරා මට්ටමකට සීමා කිරීම සඳහා සංවරණ හා තුළණය (Theory Of Check And Balance) යන න්‍යාය ද ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. ඒ අනුව විධායක කටයුතු ඇමරිකානු ජනාධිපතිවරයාට ද, ව්‍යවස්ථාදායක කටයුතු කොන්ග්‍රස් මණ්ඩලයට ද, අධිකරණ කටයුතු සුප්‍රීම් උසාවියට ද පවරා දෙනු ලැබිණි.
                                                            බලතල බෙදීමේ න්‍යායට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා මහජන ඡන්දයකින් (ජනාධිපතිවරණයකින්) වෙන ම තෝරා පත් කර ගනු ලබන අතර කැබිනට් මණ්ඩලයක් ලෙස කටයුතු කරන ඔහුගේ ජනාධිපති උපදේශකයන් හෙවත් ජනාධිපති ලේකම්වරු ජනාධිපතිගේ කැමැත්ත මත ඔහු විසින් තෝරා පත් කර ගනු ලබයි. එසේ ම‍ වෙන ම මහා මැතිවරණයක් මඟින් කොන්ග්‍රස් මණ්ඩලයේ මහජන මන්ත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගනු ලබයි. තෝරා ගැනීමේ පිළිවෙත සළකා බැලුවහොත් එම ආයතන අතරේ පැහැදිලි වෙනසක් දැකිය හැකි වේ. එසේ වුව ත් ක්‍රියාත්මක කේෂ්ත්‍රයේ දී බොහෝ දුරට වෙනසක් හඳුනා ගත නොහැකි අයුරින් එම ආයතන අතර එක්තරා අයුරක සබඳතාවයක් ගොඩ නැඟී ඇති බව පැහැදිලිව පෙනී යන කරුණක් වේ.
                                                                                                            මේ අනුව ඇමරිකාවේ ව්‍යවස්ථාදායක බලය කොන්ග්‍රස් මණ්ඩලයට පවරා තිබුණ ද එය සම්මත කරන අණ පනත් නීති බවට පත් වීමට ජනාධිපතිවරයාගේ කැමැත්ත අවශ්‍ය වේ. එහි දී ජනාධිපතිවරයා තමා වෙත ඉදිරිපත් වී යම් පනතකට කැමැත්තේ නම් අනුමැතිය ලබා දෙනු ලැබේ. එසේ වූ අවස්ථාවක දී පනත නීතියක් බවට පත් වී ක්‍රියාත්මක වේ. නමුත් ජනාධිපතිවරයා යම් පනතකට අකමැති වන්නේ නම් එයට අනුමැතිය නොදී සිටිය හැකි ය. නැතිනම් එය අහෝසි කළ හැකි ය. එසේ පනත් අහෝසි‍ කිරීමේ බලය ජනාධිපති සතු නිශේධ බලය ලෙස හැඳින්වේ. නමුත් නිශේධ කිරීමේ පනත් කොන්ග්‍රසයේ උභය මණ්ඩල වල 3න් 2ක අනුමැතියක් වෙන වෙන ම යළි සම්මත කළහොත් ජනාධිපතිවරයාගේ නිශේධ බලය අහෝසි වනවා මෙන් ම එම පණතට අත්සන් තබා නීතියක් බවට පත් වූ පසු ක්‍රියාත්මක කළ යුතු ද වන්නේ ය.
                                                                                    තව ද විධායක බලය ජනාධිපතිවරයාට පැවරුණත් ඉන් සමහරක් බලතල ක්‍රියාවට නැංවිය යුත්තේ සෙනෙට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව ය. නිදසුන් වශයෙන් ජනාධිපති ලේකම්වරු, තානාපතිවරු, මහ කොමසාරිස්වරු, රාජ්‍ය සේවා ඉහළ නිළධාරීන් (නීතිපති, යුක්තිපති, මැතිවරණ කොමසාරිස්, විගණකාධිපති), සුප්‍රීම් උසා විනිශ්චයකාරවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ආදීන් පත් කළ යුත්තේ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ය. එසේ ම ඇමරිකානු ජනාධිපතිවරයාට විදේශ ගිවිසුම් වලට එළඹීමේ බලය තිබුණ ද ඔහු එළඹෙන ගිවිසුම් වලංගු වන්නේ සෙනෙට් මණ්ඩලයේ 3න් 2ක ඡන්දයෙන් අනුමත කළහොත් පමණි. රට පාවාදීමට කුමන්ත්‍රණය කිරීම, රට පාවාදීම, අල්ලස් ගැනීම, භයානක කුමන්ත්‍රණයකට හසු වීම, චරිත දූෂණය වැනි ‍චෝදනා වලට ජනාධිපතිවරයා වැරදිකරු බව හැ‍‍ගෙන්නේ නම් දෝෂාභියෝග චෝදනාවක් මඟින් ඔහු තනතුරින් ඉවත් කිරීමේ බලය කොන්ග්‍රසය සතු ය. චෝදනාව මහජන මන්ත්‍රී මණ්ඩලය මගින් කෙටුම්පත් කළ යුතු අතර සෙනෙට් මණ්ඩලය එය විනිශ්චය කළ යුතු ය. එම විනිශ්චය මත ජනාධිපතිවරයා ධූරයේ රැඳී සිටීම හෝ ඉවත්ව යාම සිදු වේ.
              එසේ ම ජනාධිපති සිය විධායක කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය මුදල් සම්පාදනය කර ගත යුත්තේ ද කොන්ග්‍රසයේ අනුමැතියට යටත්ව ය. කොන්ග්‍රසය අනුමත නොකරන කිසිදු මුදලක් ජනාධිපතිවරයාට වැය කිරීමට බලය නැත්තේ ය. එවැනි අවස්ථා වල දී ජනාධිපතිවරයා (විධායකයා) කොන්ග්‍රසයේ හොඳ හිත දිනා ගැනීමට හා පවත්වාගෙන යාමට කටයුතු කරනු දක්නට ලැබේ. වරින් වර කොන්ග්‍රසය ඇමතීම, හිතවත් මන්ත්‍රීවරු මාර්ගයෙන් තම අදහස් කොන්ග්‍රසය වෙත ඉදිරිපත් කිරීම මෙන් ම විවිධ අනුග්‍රහ දැක්වීම් තුළින් ද මෙම හොඳහිත ස්ථාවර ව පවත්වා ගැනීමට උත්සාහ දරනු පෙනේ.
                                                                                                                        මේ අනුව ඇමරිකානු ව්‍යවස්ථාදායකයත්, ජනාධිපති විධායකයත් අතර දුරස්ථ සම්බන්ධතාවයකට වඩා සමීපස්ථ වූ සම්බන්ධතාවයක් ගොඩ නැගී ඇති බව පෙනේ.
                                                ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සන්ධීය ශ්‍රේෂ්ඨාධීකරණයේ විනිශ්චයකරුවන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වන්නේ ය. එහි දී ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ කඩ ලැබේ. එසේ වුවත් ජනාධිපතිවරයා ලබා දෙන එම පත් වීම් කොන්ග්‍රසයේ දෙවන මණ්ඩලය විසින් අනුමත කළ යුතු වේ. අනුමත නොකරන කිසිදු පත් වීමක් නීත්‍යානුකූල නොවන්නේ ය. මේ අනුව අධිකරණ ආයතනයේ නිළධාරීන්ගේ පත් වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයේ (කොන්ග්‍රසයේ), ජනාධිපති විධායකයේ ත් සහයෝගය අත්‍යවශ්‍ය බව පෙනේ. නමුත් අධිකරණ නිළධාරීන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වුව ද ඔවුන් ඉවත් කිරීමේ බලය ඔහුට නැත. යම් හේතුවක් මත ඔවුන් නිළයෙන් ඉවත් කරන්නේ නම් කොන්ග්‍රසය සම්මත කරන දෝශාභියෝග චෝදනාවකින් එය සිදු කළ යුතු ය. එහි දී අධිකරණ නිළධාරීන්ට තම ධූරයේ රැඳී සිටීම සඳහා ව්‍යවස්ථාදායකයේ සහයෝගය අත්‍යවශ්‍යම සාධයක් බවට පත් වී තිබේ.
                        තව ද ව්‍යවස්ථාවට අනුව කොන්ග්‍රසය විසින් සම්මත කොට ජනාධිපති විධායකය මගින් අනුමත කරනු ලබන ඕනෑම පනත් කෙටුම්පතක් හෝ ක්‍රියාත්මක වන නීතියක් විවරණය කිරීමේ බලය සන්ධීය ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇත. එසේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරනු ලබන හෝ කළ ඕනෑම පණතක් හෝ නීතියක් විවරණය කොට එය ව්‍යවස්ථාවට අනුකූල නොවේ නම් ඒවා අහෝසි කිරීමේ බලය ද ශ්‍රේෂ්ඨාධිකරණය භුක්ති විඳී. ඒ අනුව නිවැරදි වූ නීති සම්පාදනයක් සඳහා ව්‍යවස්ථාදායකයට මෙන් ම විධායකයට ද අධිකරණයේ සහයෝගය අවශ්‍ය වේ.
                                                                        ඒ අනුව ඇමරිකානු ආණ්ඩුවේ ආයතන තුන අතරෙහි මොන්ටෙස්ක්‍යු දැක් වූ ආකාරයේ ම බලතල බෙදීමක ට වඩා සහසම්බන්ධතාවක් ගොඩ නැඟී ඇති බව හඳුනාගත හැකි ය. 

Friday, June 6, 2014

රාජ්‍යයේ උපත සහ එහි ස්වභාවය පිළිබඳ ඇති විවිධ මත

0 comments
රාජ්‍යය බිහි වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව ඉදිරිපත් වූ මතවාද රාශියක් දේශපාලන විද්‍යාව තුල දැකිය හැක. එසේ ම මෙම මතවාද එකිනෙකින් වෙනස් ද වේ. ඒ ඒ දාර්ශනිකයන්ගේ ගුරු කුලය තමන්ට ආවේණික දෘෂ්ටි කෝණයකින් රාජ්‍යයේ ආරම්භය දෙස බලා තිබීම මෙයට හේතුව වේ. සමහරු රාජ්‍යය දෙවියන්ගේ නිර්මාණයක් ලෙස දක්වා ඇති අතර සමහරු සමාජ සම්මුතියක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ බව කියති. තවත් අයෙකුගේ මතයට අනුව රාජ්‍යය බලය පදනම් කරගෙන බිහි වී තිබේ. තවත් සමහරු දක්වා ඇති ආකාරයට රාජ්‍යය වූ කළී සමාජ විකාශනයක ප්‍රතිඵලයක් වේ. තවත් සමහරු මව හෝ පියා මූලිකව රාජ්‍යය බිහි වූ බව කියයි. ප්‍රතිවිරුද්ධ වූ සමාජ පන්තීන් අතර ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍යය බිහි වූ බව තවත් කණ්ඩායමකගේ මතය යි.
                                                මෙම මතවාද සියල්ලම එකට ගත් විට පෙනී යන මූලික ලක්ෂණයක් වන්නේ රාජ්‍යයේ ආරම්භය සම්බන්ධයෙන් පොදුවේ පිළිගත් එක් මතවාදයක් නොමැති බවයි. කෙසේ වෙතත් රාජ්‍යයේ උපත පිළිබඳව ඉදිරිපත් වී ඇති විවිධ මත වාද සම්භාව්‍ය හා නූතන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි.
සම්භාව්‍ය - දේව වරම් වාදය
                    සමාජ සම්මුති වාදය
                    බල වාදය
                    පීතෘ මූලික වාදය
                    මාතෘ මූලික වාදය
                    විකාශනාත්මක වාදය
    නූතන - ලිබරල් වාදය
                    මාක්ස් වාදය
                    ෆැසිස්ට් වාදය

දේව වරම් වාදය
                රාජ්‍යයේ සම්භවය පිළිබද ව ඇති පැරණිම මතයක් ‍ලෙස මෙය හැඳින්විය හැක. මෙම න්‍යායෙන් කෙටියෙන් කියැවෙන්නේ රාජ්‍යය දෙවියන්ගේ වරමක් මත ඇති වූ බවයි. දෙවියන් වහන්සේ රාජ්‍යය මවා නියෝජිතයන් පත් කළ බව මෙම න්‍යායෙන් කියැවේ. දෙවියන්ගේ නියෝජිතවරු වශයෙන් රට පාළණය කිරීමට පාලකවරු පැමිණෙන බැවින් යටත් වැසියා අනිවාර්යයෙන් පාලකයාට අවනත විය යුතු ය. යහපත් පාලකයෙකු පුරවැසියාට ලැබෙන්නේ දේව ප්‍රසාදයකින් බවත්, දුෂ්ට පාලකයෙකු දේව ශාපයක් මත ලැබෙන බවත් ප්‍රකාශ කරන මොවුහු කෙසේ වුවත් පාලකයාගේ නියෝග වලට වැසියා අවනත විය යුතු බව අවධාරණය කරයි.
                    මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ ඉතා ජනප්‍රියව පැවති දේශපාලන න්‍යාය වන්නේ දේව වරම් වාදයයි. එය ජනප්‍රිය වීමට තුඩු දුන් ප්‍රධාන හේතුව වූයේ එම න්‍යාය එවකට බොහෝ දෙනෙක් විශ්වාස කළ ආගමික සංකල්පයන්ට අනුකූල වූ නිසා ය. එකල බල පැවැත්වූ මතය වූයේ රාජ්‍යය දෙවියන් වහන්සේගේ නිර්මාණයක් බවත්, පාළකයාට බලය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් බවත් ය. ඒ නිසා පාලකයාට අවනත වීම හා සහයෝගය ලබා දීම වැසියාගේ පරම යුතුකම බව අවධාරණය කෙ‍රිණි. මවැනි රාජ්‍යයක් තුළ ජීවත් වීමෙන් සෑම පුද්ගලයෙකුම ස්වර්ගයට පියවර තබන බව දේව වරම් වාදීන් තව දුරටත් ප්‍රකාශ කර සිටී.
                    දේව වරම් වාදී න්‍යායවාදීන්ට අනුව පාලකයාට බලය ලැබෙන්නේ දෙවියන්ගෙන් නිසා ඔහු එම බලය දෙවියන් වෙනුවෙන් ම ක්‍රියාත්මක කළ යුතු ය. ඒ අනුව පාළකයාගේ නියෝග වලට විරුද්ධව ක්‍රියා කිරීම දෙවියන් වහන්සේට විරුද්ධ වීම හා සම වේ. පාලකයා සර්ව බලධාරියෙක් වන අතර ඔහු අයුතු ලෙස බලය පාවිච්චි කරන්නේ නම් වැසියාට කළ හැකි එකම දෙය දෙවියන්ට කන්නලව් කිරීම පමණි. දේව වරම් වාදය ඉදිරිපත් කළ සමහර චින්තකයින් ප්‍රකාශ කළේ යම් කිසි පාලකයෙකු වැසියා තලා පෙලා හින්සා පීඩා ආදිය කරන්නේ නම් ඉන් පෙනී යන්නේ දෙවියන් වහන්සේ මිනිසුන්ට දඬුවම් කිරීමට ඔහුට නියම කර ඇති බවයි. මෙවැනි පදනමක් මත බිහි වූ මෙම න්‍යාය 18 වන සියවසේ දී පමණ සමහර යුරෝපීය රජවරු තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා භාවිතයට ගත් බව පෙනේ.
                                                                                                එවක මෙම න්‍යායට විශේෂයෙන් ම අනුමැතිය ලබා දුන්නේ පල්ලිය හා පූජක පන්තියයි. මේ නිසා රදල සමාජය තුළ පූජක පක්ෂයට හා පල්ලියට විශේෂ වරප්‍රසාද හා බලතල හිමි වේ. ඒ අනුව මධ්‍යකාලීන යුගය තුළ මුළු යුරෝපයම පාලනය කළේ ශුද්ධ රෝම අධිරාජ්‍යය තුළිනි. මිනිසුන්ගේ ලෞකික කටයුතු පාලනය කිරීමටත් ශුද්ධ රෝම අධිරාජ්‍යය බල පෑ අතර ආගමික කටයුතු පාළණය කිරීම ශුද්ධ රෝම පල්ලිය විසින් කරන ලදි.
                                                                                    එහෙත් 16 වන සියවසේ දී පමණ ඇති වූ දේශපාලන, ආර්ථික හා සාමාජීය කරුණු හේතු කොටගෙන ශුද්ධ රෝම අධිරාජ්‍යය බිඳ වැටී තැනින් තැන ජාතික රාජ්‍යයන් බිහි වීමට පටන් ගැනුණි. නමුත් ජාතික රාජ්‍යයත් සමග බිහි වන අසහාය බලැති රාජාණ්ඩු ක්‍රමය සාධාරණීකරණය කිරීම සදහා පාලකයන් විසින් දේව වරම් වාදය පදනම් කර ගත් නව න්‍යායක් ගොඩ නැගුවේ ය. ඒ පාළකයන්ගේ දිව්‍යයමය අයිතීන් නම් වේ. මෙහි නිර්මාතෘ එංගලන්ත පාලක පළමු ජේම්ස් රජු ය. සිය Law Of Monarchy කෘතිය මගින් ඉදිරිපත් කළ එහි මූලික හරය පහත දැක් වේ.
v  දෙවියන් වහන්සේ කෙළින් ම පාලකයාට බලය පවරා ඇති අතර පාලකයා දෙවියන් වහන්සේගේ කැමැත්ත ක්‍රියාවට නංවයි.
v  අධිකාරී බලය පදනම් කොට පාලකයා විසින් නීති පනවනු ලැබේ. එබැවින් පාලකයා නීති වලට ඉහලින් සිටී.
v  පාලකයා පනවන නීති වලට යටත් වැසියන් ප්‍රශ්න කිරීමකින් තොරව යටත් විය යුතු ය. පාලකයාගේ නීති වලට හෝ නියෝග වලට හෝ අණ දීම් වලට විරුද්ධ වීමට ජනතාවට අයිතිය ‍නොමැත.
v  පාලකයාගේ ක්‍රියාවන්ට එරෙහිව නැඟී සිටීම දඬුවම් ලැබිය යුතු බරපතල අපරාධයකි. හේතුව එවැනි එරෙහි වීමක් වූ කළී දෙවියන් වහන්සේට ද එරෙහිව නැගී සිටීමක් වන බැවිනි.
v  යටත් වැසියන්ගේ ජීවිතය සහ මරණය පිළිබඳව අවසාන බලය පාලකයා සතු ය.
v  පාලකයා වූ කළී සෑම අතකින් ම දෙවියන් වහන්සේ නියෝජනය කරනු ලබන ඔහු වෙනුවෙන් මිහිපිට පෙනී සිටින ඔහුගේ සදෘෂ්‍ය වේ.
                                                කෙසේ වෙතත් ජාතික රාජ්‍යයන් බිහි වීමට හේතු කීපයක් ම බලපෑවේ ය.
        i.            මිනිසා තාර්කික වීම.
        නව යුගය තුළ මිනිසා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ කරනු ලබන නව සොයා ගැනීම් ද, බුද්ධිවාදී අදහස් ද ඊට බල පා ඇත.
නිද :- ගැලීලියෝගේ සොයා ගැනීම්
          නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂන බලය
          ඩාවින්ගේ පරිණාමවාදය
                                    වැනි දේ දැක්විය හැකි ය.
      ii.            පොතෙස්තන්ත්‍රවාදය පදනම් කොට ගත් ජාතික පල්ලි ක්‍රමයක් බිහි වීම.
        ජාතික රාජ්‍යයත් සමඟ පොතෙස්තන්ත්‍රවාදය පදනම් කරගත් ජාතික පල්ලි ක්‍රමයක් බිහි වීම සිදු විය. මේවාට මුල් කාළයේ මෙන් බලයක් හිමි නොවන අතර ආගම ‍පාලනය කරන දෙපාර්තමේන්තු බවට මේවා පත් විය. ඒ අනුව මෙම පල්ලි ද රාජ්‍ය බලයට යටත් විය.
    iii.            නව යුගය තුළ බිහි වෙන දේශපාලන නව මතවාද තුළින් දේශපාලනය ආගමෙන් දික් කසාද කිරීම
    iv.            රාජ්‍යයේ ආරම්භය සම්බන්ධයෙන් සමාජ සම්මුතිවාදය පෙරටු කර ගත් නව මතවාද රාශියක් බිහි වීම.
        උදා :- සමාජ සම්මුතිවාදය
                              මාක්ස් වාදය
                              පීතෘ මූලික වාදය
                               මාතෘ මූලික වාදය

සමාජ සම්මුති වාදය
             මිනිසුන් අතර ඇති වූ සම්මුතියක් මගින් රාජ්‍යය බිහි වූ බව මෙම නියමයේ මූලික හරය වේ. මෙම අදහස මීට සියවස් ගණනාවකට පෙර සිට පැවතිය ද නව යුගය තුළ මෙම අදහස් සංවිධානාත්මකව දේශපාලන න්‍යායක් වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ජින් ජැක් රූසෝ යන දේශපාලඥයින් තිදෙනා විසිනි. මෙම චින්තකයින් තිදෙනා එකිනෙකට වෙනස් දේශපාලන අරමුණු තුනක් ඉටු කර ගැනීම සදහා මෙම මතවාද යොදා ගත් බව පෙ‍නේ.
                                                ඒ අනුව හොබ්ස් අසහාය බලැති රාජාණ්ඩු ක්‍රමයක් ගොඩ නැංවීම සඳහාත්, ජෝන් ලොක් සීමිත බලැති, ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු ක්‍රමයක් සාධාරණීකරණය කිරීම සඳහාත්, රූසෝ මහජන ස්වාධිපත්‍යය සහිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නිර්මාණය කිරීම සදහාත් සමාජ සම්මුතිවාදය භාවිතයට ගෙන ඇත. මෙය ප්‍රධාන සංකල්ප දෙකක් මත ගොඩ නගා තිබේ.
        i.            ස්‍වභාවික සමාජය හෙවත් ප්‍රකෘති සමාජය තුළ මිනිසා ගත කළ ජීවිතය
      ii.            සමාජ සම්මුතියක් මගින් සිවිල් සමාජයට ප්‍රවිෂ්ට වී රාජ්‍යය වශයෙන් සංවිධානය වීම සහ සිවිල් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම.
            මිනිසුන් සිවිල් සමාජයට ප්‍රවිශ්ට වීමට ප්‍රථමයෙන් ප්‍රකෘති සමාජ ජීවිතයක් ගත කළ බව මෙම තිදෙනාම පෙන්වා දුන්න ද ප්‍රකෘති සමාජය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ අදහස් එකිනෙකට වෙනස් ය.
තෝමස් හොබ්ස් :- හොබ්ස්ට අනුව “ශක්තිය වූ කලී යුක්තිය වේ.” යන මතය පදනම් කරගෙන ප්‍රකෘති සමාජය තුළ මිනිසා ගත කළ ජීවිතය කෲර, අධම, කාලකණ්ණි හා අවුල් වියවුල් වලින් හෙබි කෙටි එකක් විය. මෙම තත්වය ඇති වීමට මූලික හේතුව ලෙස‍ හොබ්ස් පෙන්වා දෙන්නේ තම පැවැත්ම පමණක් අරමුණු කො‍ටගෙන ආත්මාර්ථකාමීව ක්‍රියා කරමින් බලය සඳහා බලය පිටුපස දුවන වන මෘගයන් වැනි මිනිසුන්ගෙන් සමන්විත ප්‍රකෘති සමාජය තුළ ඔවුන් පාළණය කරමින් පොදු සමාජ අභිවෘද්ධිය සඳහා ඉදිරියට මෙහෙයවීමට සමත් බලයක් සහිත පාලන ක්‍රමයක් නොතිබීම යි. මරණය පිලිබඳ බිය පෙරටු කොට ගෙන ගත කළ මෙම ජීවිතයෙන් වෙහෙසට පත් වන මොවුන් ප්‍රකෘති සමාජයෙන් මිදී සිවිල් සමාජයට අවතීර්ණව ‍පොදු යහපත ඇති කර ගැනීමේ අපේක්ෂාවෙන් පාලන ක්‍රමයක් ගොඩ නගා ගැනීමට එක් අවස්ථාවක දී තීරණය කල බව ප්‍රකාශ කරන හොබ්ස් එය සමාජ සම්මුතියක් මගින් සිදු වූ බවත්, එම සම්මුතිය පාර්ශව දෙකක් අතර නොව එක් පාර්ශවයක් එනම් පාළිතයා හා පාළිතයා අතර පමණක් සිදු වන බවත් ප්‍රකාශ කරයි. එම සම්මුතිය තුළින් මිනිසුන් රාජ්‍යයක් වශයෙන් සංවිධානය වන බව හොබ්ස් වැඩි දුරටත් කියයි.
                      හොබ්ස්ගේ න්‍යායට අනුව සමාජ සම්මුතිය මඟින් සිවිල් සමාජයකට ප්‍රවිශ්ට වී නැතහොත් රාජ්‍යයක් වශයෙන් සංවිධානය වීම පාළිතයා හා පාළිතයා අතර පමණක් සිදු වීම හේතුවෙන් පාලකයා පාළිතයාට වග කීමට බැඳී නොමැත. මන්ද යත් පාළකයා සම්මුතියෙහි කොටස් කරුවකු නොවන බැවිණි. හොබ්ස්ට අනුව ජනතාව තමන් භුක්ති විඳිමින් සිටින සියළු බලතල හා අයිතිවාසිකම් සම්මුතිප්‍රකාරව පාලකයාට පවරා දෙයි. මේ නිසා පාලකයාට අසහාය බලයක් හිමි වේ. නීතිය වන්නේ ඔහුගේ ආඥාවන් ය. පාලකයා අත්තනෝමතික වුව ද ඔහුට එරෙහිව නැඟී සිටීමේ බලයක් ජනතාවට හිමි නොවේ. හේතුව එවැනි ක්‍රියාවක් සම්මුතිය මගින් මිනිසුන් ගිවිසගත් පොදු පරමාර්ථ මිනිසුන් විසින් ම අභියෝගයට ලක් කරීමක් හා සමාන බැවිනි. මෙසේ අසහාය බලැති රාජාණ්ඩු ක්‍රමයක යහපත් භාවය පෙන්වා දෙමින් එය සාධාරණීකරණය කිරීම සඳහා සමාජ සම්මුතිය හොබ්ස් ‍යොදා ගත්තේ ය. හොබ්ස් නිර්මාණය කරන පාලකයා දෙස බැලීමේ දී පෙනී යන්නේ දේව වරම් වාදයෙන් කියැවෙන පාලකයා සතු බලතල මෙම පාලකයා ද භුක්ති විඳින බවයි. නමුත් මෙහි දී පාලකයාට බලය හිමි වන්නේ ජනතාවගෙන් මිස දෙවියන්ගෙන් නොවීම කැපී පෙනෙන ලක්ෂණයකි.

ජෝන් ලොක් :- ප්‍රකෘති සමාජය පිළිබඳ ලොක්ගේ චිත්‍රය හොබ්ස්ගේ චිත්‍රයට වඩා අතිශය වෙනස් ය. ප්‍රකෘති සමාජය තුළ මිනිසුන් අතිශය සාමකාමී සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ බව ලොක් කියයි. මිනිසුන්ගේ සමාජ පැවැත්ම ස්වභාවික නීතියට අනුකූලව මෙහෙයවුනු අතර සෑම මිනිසෙකුටම ජීවත් වීමේ අයිතිය, දේපල අයිතිය හා පෞද්ගලික නිදහස ස්වභාවික නීතිය මගින් සහතික කොට තිබිණි. නමුත් ස්වභාවික නීතිය ක්‍රියාවට නංවන පොදු පාලන ක්‍රමයක් හා නීති විනිශ්චයට පොදු සම්මතය යටතේ පත් වූ විනිශ්චය කරුවන් ද ප්‍රකෘති සමාජය තුළ නොවී ය. මේ අනුව සෑම පුද්ගලයෙක් ම නීති ක්‍රියාවට නැංවීම මෙන් ම නීති විනිශ්චය කිරීමේ කා‍ර්යයයේ යෙදුන අතර ඒ හේතුවෙන් ප්‍රකෘති සමාජය තුළ සෑම මිනිසෙක් ම එක් අතකින් විධායකයෙක් හා විනිශ්චයකරුවෙක් ද විය. සිය පෞද්ගලික විචාරන ශක්තිය අනුව මිනිසුන් මේවා සිදු කළේ ය. ඒ නිසා මෙම කාර්යයන් වල පොදු බවක් දක්නට ‍නොලැබුණු අතර ම ඒ හේතුවෙන් ප්‍රකෘති සමාජය තුළ ජීවිතය, දේපල හා නිදහස සම්බන්ධයෙන් යම් අනාරක්ෂිත තත්වයක් ඇති වූ බව ලොක් කියයි. මෙම අනාරක්ෂිත තත්වයෙන් මිදී ජීවිතය, දේපල හා නිදහස වඩාත් හොඳින් ආරක්ෂා කර ගනිමින් යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමේ අරමුණින් ප්‍රකෘති සමාජයේ මිනිසුන් සමාජ සම්මුතියක් මගින් සිවිල් සමාජයට ප්‍රවිශ්ට වීමට තීරණය කළ බව ද ලොක් කියයි.
                                                                                                ලොක් රාජ්‍යය සංවිධානය කර ගැනීම සම්මුතීන් දෙකක් අනුව සිදු වූ බව කියයි. මෙයින් ජනතාව අතරේ පමණක් ඇති වන ප්‍රථම සම්මුතිය මගින් ප්‍රකෘති සමාජයේ ජීවත් වූ මිනිසුන් සම්මුතියක් ඇති කොට ගෙන සිවිල් සමාජයට ප්‍රවිශ්ට වේ. සිවිල් සමාජයකට ප්‍රවිශ්ට වී රාජ්‍යය ගොඩ නගාගෙන පාලකයෙකු තෝරා ගනී. අනතුරුව පාලකයා හා ජනතාව අතර ඇති වන දෙවන සම්මුතිය යටතේ පාලකයාට බලය පවරා දෙයි. පාලකයා සම්මුතියේ කොටස් කරුවෙකු නිසා සිය පාලනය සම්බන්ධයෙන් ජනතාවට වග කීමට බැඳී සිටී. එසේ ම ප්‍රකෘති සමාජය තුළ ජනතාව භුක්ති විඳිමින් සිටි සියළුම අයිතාවාසිකම් හා බලය පාලකයාට පවරා නොදුන් බව පෙන්වා දෙන ලොක් ඔහුට බලය පවරා දුන්නේ පුරවැසියන්ගේ ජීවිත, දේපල හා නිදහස යන කරුණු තුන සඳහා පමණක් නීති පැණවීමට බව නිශ්චිත ලෙස ම කියා සිටී.
                                                පාලකයා පනවන නීති මගින් ජනතා අභිමතය පිළිබිඹු විය යුතු වන අතර එසේ නොවන විටක දී පාලකයාට එරෙහිව නැගී සිටීමේ අයිතිය ජනතාව සතු බව ලොක් පෙන්වා දේ. මෙහි දී ගොඩ නගන සිවිල් ආණ්ඩුවේ ආයතනික ව්‍යුහය විස්තර කරන ලොක් එය විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ආයතන තුනෙන් සැදුම් ලත්තක් විය යුතු බව පෙන්වා දෙයි. එහි දී අධිකරණය අනෙක් ආයතන දෙකේ බලපෑමෙන් තොර නිදහස් ආයතනයක් විය යුතු බව ද දක්වයි. විධායකය, ව්‍යවස්ථාදායකයට යටත් ව ක්‍රියාත්මක විය යුතු අතර අවසාන ලෙස ව්‍යවස්ථාදායකය මහ ජනතාවට වග කිව යුතු බව ද පෙන්වා දෙයි. මෙලෙස සමාජ සම්මුතිවාදය සීමිත බලැති, ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු ක්‍රමයක් ගොඩ නැගීම සඳහා ලොක් යොදා ගෙන ඇති බව පෙනේ.

ජින් ජැක් රූසෝ :- ජින් ජැක් රූසෝ ප්‍රකෘති සමාජය පිළිබඳ ව දක්වන අදහස් බොහෝ දුරට ලොක්ගේ අදහස් වලට සමාන වේ. ප්‍රකෘති සමාජ ජීවිතය සාමකාමී හා තෘප්තිමත් එකක් වූ බව රූසෝ ද පෙන්වා දේ. නමුත් කවරෙකු හෝ අපේක්ෂා නොකළ අනාරාධිත අමුත්තෙකු එනම් පෞද්ගලික දේපල ක්‍රමය හදිසියේ ම ප්‍රකෘති සමාජයට පැමිණීම ‍හේතු කොටගෙන එම සාමකාමී හා තෘප්තිමත් සමාජ ජීවිතය අවුල් සහගත වීමට පටන් ගැනුණි. මිනිසා තුළ ස්වභාවයෙන් ම පවතින තණ්හාව, ආශාව නිසා පෞද්ගලික දේපල ක්‍රමය අතහැර දැමීමට අකමැති වන ඔවුන්ට දැන් අවශ්‍ය වන්නේ තම ජීවිතය පිළිබඳ නිදහස හා ඒ හා බැඳී පවතින පෞද්ගලික දේපල ක්‍රමය රැක ගනිමින් සාමකාමී සමාජ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සමාජ පරිසරයක් ගොඩ නගා ගැනීමයි. මේ සඳහා ප්‍රකෘති මට්ටමෙන් මිදී සිවිල් සමාජයකට අවතීර්ණ වීමට මිනිසුන් තීරණය කළ බව රූසෝ පෙන්වා දේ.
                                                හොබ්ස් මෙන් ම රූසෝ ද ප්‍රකෘති මට්ටමෙන් මිදී සිවිල් සමාජයකට ප්‍රවිශ්ට වී රාජ්‍යය සංවිධානය කර ගැනීම එක් සම්මුතියකින් පමණක් සිදු වූ බව පවසයි.එය පාළිතයා හා පාලකයා අතර ඇති වන සමාජ සම්මුතියයි. නමුත් රූසෝ අනෙක් දෙදෙනාට ම වෙනස් ව යමින් ප්‍රකෘති සමාජයෙන් මිනිසුන් සිවිල් සමාජයකට ප්‍රවිශ්ට වීමේ දී ඔවුන් තමන් භුක්ති විඳිමින් සිටි බලය සමස්ත සමාජයටම පවරා දුන් බව කියයි. ඒ අනුව සමස්ත සමාජයම ස්වාධිපති වන අතර සමාජයේ ‍පොදු අභිමතය නිරූපණය කරන්නා වූ “පොදු කැමැත්ත” (Genaral Will) මගින් මෙම ස්වාධිපති බලය ක්‍රියාවට නංවන බව ද පවසයි. මෙම සමාජයේ සියළු දෙනාම මෙම පාළණයට සහභාගී වන අතර සියල්ලෝම එම බලයට යටත් වන බව ද පෙන්වා දෙයි. මෙසේ සමාජයේ සෑම මිනිසෙකුම දේශපාලනයට සහභාගී වන්නා වූ සැබෑ ජන සම්මතවාදී පාලන ක්‍රමයක් ගොඩ නගා ගැනීමට රූසෝ සමාජ සම්මුති වාදය උපයෝගී කොට ගනී.

විකාශණාත්මක හෙවත් සමාජ විද්‍යාත්මක මතවාදය
                  මෙම මතයට අනුව රාජ්‍යය එක් නිශ්චිත අවස්ථාවක දී නිශ්චිත සාධකයක් පදනම් කරගෙන පැන නැඟුණු ආයතනයක් නොවේ. එය සමාජයේ ක්‍රමික විකාශයේ දී ස්වභාවිකව පැන නැඟුණු යම් යම් මූලික සාධක තුලින් හා තවත් අතුරු සාධක ගණනාවක් නිසා ක්‍රමයෙන් අද තිබෙන තත්වයට පරිවර්තනය වූ දීර්ඝ විකාශනයක් සහිත ආයතනයකි. මෙම මතය ඉදිරිපත් කළ අය ප්‍රකාශ කරන්නේ රාජ්‍යයේ උපත ඉතිහාසයේ අප නොදන්නා පරිසරයක් තුළ සිදු වී තිබෙන බවයි.
                                                            මෙම න්‍යායට අනුව රාජ්‍යය විවිධ වූ දේශ වල විවිධ ආකාරයෙන් උපත ලබා ඇත. ඒ අනුව ඈත අතීතයේ සමාජ විකාශන ක්‍රියාවලිය ආරම්භ වන්නේ පවුල නැමැති ඒකකය මුල් කර ගෙන ය. ප්‍රාථාමික මිනිසාගේ සරළ අවශ්‍යතා පවුල නැමැති ඒකකය තුළ සපුරා ගත හැකි වේ. පවුලේ සාමාජිකයන්ගේ ආහාර රැස් කිරීම, අන්‍යෝන්‍ය ආරක්ෂාව සලසා ගැනීම, පවුලේ නායකත්වයේ මෙහෙයවීම යටතේ සිදු කරනු ලැබී ය. අනුක්‍රමයෙන් එය පවුල් කීපයක් එක් වීමෙන් ගෝත්‍රයක් බවට විකාශණය විය. ගෝත්‍ර සාමාජිකයන් එකිනෙකා සම්බන්ධ කරන සාධකය වූයේ පොදු පෙළපතක් පිළිබඳ විශ්වාසයයි.
      විකාශනාත්මක මතවාදීන්ට අනුව ලෝකයේ විවිධ ප්‍රදේශ වල එකිනෙකට වෙනස් වූ මෙවැනි ගෝත්‍ර සංවිධාන බොහෝ සෙයින් පැවත ඇත. ඇතැම් ‍ගෝත්‍ර වල වැඩිමහල්ලන්ගේ සංවිධානයක් මගින් පොදු කටයුතු පිළිබඳ පාලනයක් හා විනයක් පවත්වාගෙන ගිය අතර තවත් සමහර ගෝත්‍ර වල මෙම කාරයය ඉටු කළේ ගෝත්‍රයේ වඩාත් ජ්‍යෙෂ්ට හෝ ශක්තිමත් පුද්ගලයා ය. ඇතැම් ගෝත්‍ර වල නායකත්වය පදනම් ව පැවතියේ පීතෘ මූලධර්මය මත හෝ මාතෘ මූලධර්මය මත ය. ගෝත්‍ර නායකයෝ තම සාමාජිකයන්ගේ සිරිත් විරිත්, සම්ප්‍රදායන්, ආගමික විශ්වාසයන් හා ඇදහීම් ආදිය පාලනය කළ ද කාලයාගේ ඇවෑමෙන් යම් යම් හේතු සාධක නිසා ගෝත්‍ර දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් හෝ ඇතුළත් වන වඩා විශාල සමාජ ඒකක පැන නැඟුණ බව මෙම මතයේ දී අදහස් වේ.
                                                                        තනි ගෝත්‍රයක මෙන් නොව විශාල ඒකකයක සාමාජිකයන් වෙත ආහාර, වාසස්ථාන හා ආරක්ෂාව සැපයීම සඳහා වඩා ප්‍රබල වූ සංවිධානයක් අවශ්‍ය විය. එසේ ම එසේ එකතු වූ ගෝත්‍ර වල සිරිත් විරිත්, සම්ප්‍රදායන් හා විශ්වාසයන් අතර විවිධ වෙනස්කම් පැවතුන හෙයින් ගෝත්‍ර සාමාජිකයන්ගේ ඕනෑ එපාකම් හා වෙනත් අවශ්‍යතාවයන් ද රැසක් විය. මේ හේතුවෙන් ම අරගල පැන නැඟුන අතර ඒවා සමථයකට පත් කිරීම සඳහා යම් බලධාරිත්වයක් අවශ්‍ය විය.
                                                                                                                                    මේ හැරුණු විට ගෝත්‍ර වලට පිටතින් එල්ල වූ ආක්‍රමණ වලින් ආරක්ෂා වීම ද ප්‍රශ්නයක් විය. විටින් විට මෙම ප්‍රශ්නයන් විසඳීමේ දී ගනු ලැබූ වැඩ පිළිවෙලෙහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍යය නැමැති සංවිධානය බිහි වූ බව විකාශනාත්මක මතවාදීන්ගේ අදහසයි. යුද්ධ හා සටන් වල දී තම බල පරාක්‍රමය පෙන් වූ හෝ වඩාත් ප්‍රබලම සංවිධානාත්මක කුසලතාවය පෙන් වූ නායකයා රාජ්‍යය නායකයා බවට පත් විය.
                                                                                                            රාජ්‍යය නැමැති සංවිධානය බිහි වීමෙන් අනතුරුව පොදු කටයුතු ඉටු කිරීමට අවශ්‍ය නෛතික රාමුවක් ඇති කිරීමටත් එය පවත්වාගෙන යාමත් සමඟම රාජ්‍යය නිශ්චිත දේශ සීමාවකුත්, නිශ්චිත ජන ගහනයක් හා මධ්‍ය අධිකාරියක් ද බිහි කර ගත්තේ ය. පසු කාළයේ දී පැන නඟින ‍ආර්ථික, සමාජ හා දේශපාලන සාධක හේතු කොට ගෙන රාජ්‍යයේ ස්වභාවය හා පාලකයා පිළිබඳ සංකල්පය ද වෙනස් වීම් වලට බඳුන් වේ. සමාජ විකාශනයේ ධනවාදී මුල් වකවානුවේ දී රාජ්‍යයේ ප්‍රධාන කාර්යය වූයේ නීතිය හා සාමය ආරක්ෂා කොට පවත්වාගෙන යාමයි.
     ධනවාදය පහලවීමෙන් අනතුරු ව පැන නැඟුන සංකීර්ණ සමාජ, ආර්ථික ගැටළු විසඳීම සඳහා රාජ්‍යය අනුක්‍රමයෙන් මැදිහත් වන්නට වූ බව මෙම මතවාදීන් පෙන්වා දේ. ක්‍රමිකව සිදු වන මෙම සමාජ විකාශනයත් සමඟම රාජ්‍යයේ කාර්යය හා බල තල ද තව දුරටත් වෙනස් වෙමින් හා වර්ධනය වෙමින් පවතී. මෙසේ වර්ධනය වන රාජ්‍යය හුදෙක් මානව සංවිධාන වල විකා‍ශනයේ අවසානයම නොවන බව ඔවුහු ප්‍රකාශ කරති. පවතින රාජ්‍යය යල් පැන යාමෙන් වෙනත් මාදිලියේ රාජ්‍යය සංවිධානයන් ඇති වීමට ඉඩ කඩ ඇති බව මොවුහු පෙන්වා දෙති.
                                    රාජ්‍යයේ ප්‍රභවය පිළිබඳ විකාශනාත්මක හෙවත් සමාජ විද්‍යාත්මක න්‍යාය වන්නේ මෙයයි. ජාතික රාජ්‍යය නමින් හඳුන්වන වර්තමාන රාජ්‍ය ක්‍රමය දක්වා පැමිණ තිබෙන්නේ  මේ ආකාරයේ සංවර්ධනයක් පෙන්වා දෙන රාජ්‍යයක් බව විකාශනාත්මක මතවාදීහු පැහැදිලි කළහ.

මාක්ස් වාදය
           විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘවරුන් වන කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් යන දාර්ශනිකයන් දෙදෙනා විසින් 19 වන ශතවර්ෂයේ දී ගොඩ නගන ලද්දකි. වී.අයි ලෙනින් විසින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලද දර්ශනය සමාජ වාදය ලෙස හැඳින් වේ. වෙනත් අයුරකින් දක්වන්නේ නම් එක්දහස් අටසිය ගණන් වල දී කාල් මාක්ස් හා ‍ෆෙඩ්රික් එංගල්ස් යන චින්තකයින් දෙදෙනා රාජ්‍යය පිළිබඳ ව ඉදිරිපත් කළ නව අදහස් මාලාව රාජ්‍යය පිළිබඳ සමාජවාදී න්‍යාය යනුවෙන් අදහස් කෙරේ. 1848 දී මෙම දෙදෙනා විසින් එළි දක්වන ලද “කොමියුනිස්ට් ප්‍රකාශනය” යන කුඩා කෘතියෙන් ප්‍රථම වතාවට සමාජවාදී අදහස් මාලාව ලොව පුරා ප්‍රකට විය. එසේ ම ඔවුන් විසින් රචිත පවුල, පෞද්ගලික දේපල හා රාජ්‍යය සම්භවය යන කෘතියෙන් ද රාජ්‍යය හා විප්ලවය යන කෘතියෙන් ද මෙම අදහස් තව දුරටත් ඉදිරිපත් කරන ලදි.
                        මාක්ස්වාදීන් රාජ්‍යය සම්භවය පිලිබඳ තම අදහස් වලින් පෙන්වා දෙනු ලබන්නේ සමාජයේ එක් පංතියක් විසින් තවත් පංතියක් පාලනය කිරීම සඳහා යොදා ගෙන ඇති ආයුධය රාජ්‍යය වන බවයි. නැතහොත් රාජ්‍යය යනු ආර්ථික බලය හිමි ධනපති පන්තියේ ආයුධයක් යැයි ඔවුහු ප්‍රකාශ කරති.
                                                                                                                                    රාජ්‍යය සම්භවය පිළිබඳ ‍ඓතිහාසික කරුණු සලකා බලන මාක්ස් වාදීන් සමාජ විකාශන ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් යුග 06 කට බෙදා දක්වයි.
·         ප්‍රාග් කොමියුනිස්ට්වාදය
·         වහල් යුගය
·         වැඩ වසම් යුගය
·         ධනවාදී යුගය
·         සමාජවාදී යුගය
·         පූර්ණ කොමියුනිස්ට් යුගය
                                              වශයෙනි.
                                                  ප්‍රාග් කොමියුනිස්ට් සමාජය තුළ භූමිය, නිෂ්පාදනය හා පරිභෝජනය යන සියල්ල පොදුවේ පැවතුණි. සමාජ ඉතිහාසයේ මුල් ම යුගය වූ මෙම යුගයේ දී රාජ්‍යයක් නොතිබිණි. ඊට හේතුව වූයේ පෞද්ගලික දේපල ක්‍රමයක් නොතිබීමයි. මේ නිසා එම සමාජයේ සියළු දෙනා අතර සාමූහික ජීවිතයක් දක්නට ලැබුණි. අවශ්‍ය ආහාර පාන, පරිහරණය කරන මෙවලම් ආදිය පොදු පදනමක් යටතේ භාවිතයට ගැනුණි. සමාජයේ බෙදීමක් හෝ පන්ති භේදයක් නොතිබූ නිසා මේ යුගයේ දී රාජ්‍යයක් ද දක්නට නොලැබුණි. එසේ ම එක් මිනිසෙක් විසින් තවත් මිනිසෙක්වත්, එක් පන්තියක් විසින් තවත් පන්තියක්වත් සූරා කෑමකට ලක් නොවුණි.
                                                මෙසේ කාලාන්තරයක් තිස්සේ පැවති මෙම ප්‍රාග් කොමියුනිස්ට් සමාජ ක්‍රමය බිඳ වැටීමකට ලක් වන බව මාක්ස් පෙන්වා දෙයි. ඊට හේතුව වූයේ ගෝත්‍රය තුළ දක්නට ලැබුණු ප්‍රති විරෝධතාවයන් ය. ගෝත්‍රය තුළ සංඛ්‍යාත්මක වර්ධනයත් සමග ශ්‍රම විභජනයක් ද ඇති විය. මෙසේ ශ්‍රමය බෙදී යාමත් සමගම ගෝත්‍ර අතර අරගල උත්සන්න විය.
                                                                        ගෝත්‍ර අතර අරගල වල දී ශක්තිමත් ගෝත්‍රය දුර්වල ගෝත්‍රය යටත් කර ගත් අතර යටත් ගෝත්‍රය සම්බන්ධයෙන් ජයග්‍රාහී ගෝත්‍රය ක්‍රියාමාර්ග දෙකක් අනුගමනය කරනු ලැබී ය. මෙයින් මුල් යුගයන් වල දී යටත් ගෝත්‍රය සමූල ඝාතනය කරනු ලැබී ය. පසු කාලීනව යටත් ගෝත්‍රය තම වහලුන් බවට පත් කර ගනු ලැබීම සිදු කළ බව මාක්ස් වාදීහු පෙන්වා දෙයි. පසු කාළීනව පරාජිත ගෝත්‍රයේ ශ්‍රමය අර්ථානුගත කිරීමේ ක්‍රමයක් වශයෙන් ඔවුන් තම වහලුන් බවට පත් ර ගත් බව පැහැදිලි වේ. මෙය වහල් සමාජයේ ආරම්භය ලෙස මාක්ස් වාදීන් පෙන්වා දේ.
                                                                                                            වහල් සමාජයේ බිහි වීම රාජ්‍යය නැමැති ආයතනය ක්‍රමවත් ව සංවිධානය වීමේ මූල අවස්ථාව වශයෙන් ඔවුහු ප්‍රකාශ කරති. මෙම වහල් සමාජය තුළ ප්‍රධාන බලවේග දෙකක් දැක ගත හැකි වේ. එක් අතකින් සමාජයේ සුළුතරය නියෝජනය කළ වහල් හිමියන් ද, අනෙක් අතින් සමාජයේ බහුතරය නියෝජනය කළ වහලුන් ද එම දෙපිරිසයි. මෙම අවධියේ දී වහල් හිමියන්ගේ ප්‍රධාන ආර්ථික සම්පත බවට පත් වන්නේ වහලුන් ය. වහල් හිමියන් විසින් වහලුන්ගේ ශ්‍රමය සූරා කෑම සඳහාත්, ඔවුන් පාලනය කිරීම සඳහාත් යොදා ගනු ලබන්නේ එම සමාජය තුළ අළුතින් ගොඩ නැඟුණු රාජ්‍යය නැමැති සංවිධානයේ බලයයි.
                                                                        වහල් සමාජයේ දී ආධිපත්‍ය බලය හිමි වූයේ රජ වරුන්ට හා වහල් හිමියන්ට ය. මෙහි පීඩිත පන්තිය වහළුන් බවට පත් වන අතර පීඩක පන්තිය බවට වහල් හිමියන් පත් වේ.
                 සමාජවාදීන් පෙන්වා දෙන පරිදි මෙම අවධියේ දී වහළුන්ට කිසිදු නිදහසක් භුක්ති විඳීමට අවස්ථාවක් හිමි නොවුණි. ඒ අනුව ඔවුන්ට හිමි වූ එකම නිදහස වූයේ වහල් හිමියන්ට සේවය කිරීම පමණි. වහල් හිමියන් සම්පූර්ණයෙන් ම නඩත්තු වූයේ වහලාගේ ශ්‍රමයෙහි අතිරික්ත ඵලයෙනි. වහළුන් විසින් තම යැපුමට අවශ්‍ය ශ්‍රම ප්‍රමාණයට වඩා වැඩි ශ්‍රමයක් වැය කරන අතර එම අතිරික්ත ශ්‍රමය සම්පූර්ණයෙන් ම වහල් හිමියා විසින් පැහැර ගන්නා ලදි. මෙම පරස්පර විරෝධී පැවතුම් තත්වය නිසා කල් යාමෙන් මෙම දෙපිරිස අතර අරගල පැන නැගුණු බව මාක්ස් වාදීහු පෙන්වා දෙති. පීඩිත වහල් පන්තිය වහල් හිමියන්ට එරෙහි ව සංවිධානය වන අතර එලෙස උත්සන්න වූ අරගලයකට උදාහරණයක් වශයෙන් “ස්පාටකස් කැරැල්ල” පෙන්වා දිය හැක. මෙලෙස වහලුන් විසින් වහල් හිමියන්ට එරෙහිව සංවිධානය වීමත් සමඟම පාලක පන්තිය වූ වහල් හිමියන් ද තව දුරටත් ක්‍රමානුකූල ව සංවිධානය වේ. එලෙස ඇති වන අරගල වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම සමාජ ක්‍රමය ද බිඳ වැටී රදල වැඩ වසම් අවධිය බිහි වන බව මාක්ස් වාදීහු පෙන්වා දෙති.
                                    මෙම වැඩවසම් සමාජයේ ද රදළයා හා ප්‍රවේණි දාසයා වශයෙන් පන්ති දෙකක් දක්නට ලැබුණි. එම සමාජ ක්‍රමයේ ද රාජ්‍ය පාලන බලය හිමි වූයේ රජුට හා රදලයන්ට ය. සමාජයේ ආර්ථික හා දේශපාලන බලය ලබා ගත් මෙම කණ්ඩායමට ප්‍රවේණියට අනුව දාසකම් කිරීමට ප්‍රවේණි දාසයන්ට සිදු විය. ඒ නිසා මෙම සමාජ ක්‍රමයේ ද ප්‍රවේණි දාසයා සූරා කෑමට ලක් වන බව මාක්ස් වාදීහු පෙන්වා දෙති. ඔවුන්ගේ මතයට අනුව රජු හා රදළයින් අතැතිව තිබූ මෙම බලය යොදවනු ලැබූයේ ප්‍රවේණි දාසයන්ගේ ශ්‍රමය සූරා කෑම සඳහායි. කල් යත් යත් ම මෙම පන්ති දෙක අතර ද විවිධ අරගල හට ගනී. එම අරගල වල ප්‍රතිඵලයක් වශයෙන් පසු කාලයේ දී වැඩවසම් සමාජ ක්‍රමය ද බිඳ වැටී ධනේශ්වර සමාජ ක්‍රමය බිහි විය. වර්තමාන ධනේශ්වර ක්‍රමයේ ද පන්ති දෙකක් දක්නට ලැබෙන බව මාක්ස් වාදීහු ප්‍රකාශ කර සිටී. එනම් ධනපති හා නිර්ධන වශයෙනි. සමාජයේ ධන බලය හා පාලන බලය ලබා ගත්තා වූ ධනපති පංතිය සැම විටම එම බලය යොදවනු ලබන්නේ නිර්ධන පංතියේ පීඩනය සඳහායි. රාජ්‍යය බලය යොදවා නිර්ධන පංතිය තුළින් ලබා ගත්තා වූ ශ්‍රමයේ අතිරික්ත ඵලය භුක්ති විඳිනු ලබන්නේ ධනපති පන්තියයි. මාක්ස් වාදයට අනුව මේ ආකාරයට ලොව පන්ති සහිත සමාජයක් බිහි වූ පසු බලවත් පන්තිය එනම්, ධනපති පන්තිය විසින් පීඩිත පන්තිය පාගා ගෙන සිටීම‍ සඳහා රාජ්‍යය ආයුධයක් කර ගත්තේ ය. ඒ අනුව වර්තමානයේ ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය සූරා කෑම සඳහාත්, ඔවුන් සූරා කෑම සඳහාත්, ඔවුන් පාලනය කිරීම සඳහාත් රාජ්‍යය නැමැති ආයුධය යොදා ගෙන ඇති බව පෙනේ. මේ නිසා රාජ්‍යයේ වර්තමාන ස්වභාවය ද පන්ති ආයුධයක ස්වභාවයක් ගනී.
                                                                                    ධනවාදී සමාජය තුළින් ජනිත වන බලවේග මගින් ම ධනවාදී සමාජ ක්‍රමය ද විනාශයට පත් වන බව මාක්ස්වාදී මතයයි. මෙම මතයට අනුව එම අවස්ථාවල දී සමාජයේ බහුතරය වන නිර්ධන පන්තිය විසින් ආර්ථික බලය ද, එමගින් දේශපාලන ‍බලය ද අත්පත් කර ගනු ලැබේ. එවිට ඉතිහාසයේ පළමු වරට සමාජයේ බහුතරය පාළකයන් බවට පත් වේ.
                                                                                                                                    සමාජයේ සුළුතරය සතුව තිබූ ඒකාධිපති බලය වෙනුවට නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ඇති වේ. නිර්ධන පන්තිය එය එනම් අළුතින් ඇති කර ගත් බලය ධනවාදී ආර්ථික සමාජයේ එතෙක් ඉතිරිව ඇති නටඹුන් විනාශ කර දැමීමටත්, ඒ වෙනුවට සමාජවාදී සමාජ ක්‍රමයක් ගොඩ නැඟීමටත් උපයෝගී කර ගනී. එහි දී ඒ තුළ පන්ති රහිත සමාජ ක්‍රමයක් බිහිවෙයි. එහි ධන හිමියෝ හෝ නිර්ධන පන්තියක් හෝ දක්නට නොමැත. හේතුව වන්නේ සමාජ බලය සාධාරණ ලෙස එම සමාජය තුළම බෙදී යාමයි. සමාජවාදී අවධියේ දී රාජ්‍ය නැමැති ආයතනය පැවතිය ද එය කලින් අවධීන් වල දී මෙන් බහුතරය මර්ධනය කිරීමට නොව සුළුතරය මර්ධනය කිරීමට යොදා ගනී. මෙම සමාජවාදී අවධියෙන් පසුව එළඹෙන පූර්ණ කොමියුනිස්ට් යුගයේ දී රාජ්‍යය නැමැති ආයතනය මිලාන වී හෙවත් නැති වී යන අතර ඒ අවස්ථාවේ දී දැකිය හැක්කේ ද්‍රව්‍යය හා ස්වභාවයන් විසින් මිනිස් යහපත පාලනය කිරීමේ හැකියාවයි.

ලිබරල් වාදය
              “ලිබරල්” (Libaral) යන ඉංග්‍රීසි වදනෙහි අර්ථය වන්නේ “නිදහස”(Freedom) යන්නයි. මේ අනුව 18 වන ශතවර්ෂයේ දී යුරෝපයේ පැතිරී ගිය නිදහස පිළිබඳ දේශපාලන මතවාදය ලිබරල්වාදය යනුවෙන් හඳුන්වා දෙනු ලැබේ. රාජ්‍යය පිළිබඳවත්, සමාජය තුළ පුද්ගල ක්‍රියාකාරිත්වය පිළිබඳවත්, පාලක-පාලිත සබඳතා පිළිබඳවත් ලිබරල්වාදය මගින් ඉදිරිපත් කර ඇති අදහස් කෙරෙහි ඇරිස්ටෝටල්ගේ “පුද්ගලවාදය” නැමැති අදහස අදහස, රාජ්‍යය සමාජයේ පොදු ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වේය යන අදහස, ජෝන් ලොක්ගේ පෞද්ගලික දේපළ පිළිබඳ අදහස් ද බල පා ඇත.
                                                                                                            18 වන ශතවර්ෂයේ දී මැද භාගයේ දී ලිබරල්වාදය පැතිරී ගියේ කාර්මික ධනවාදයේ දේශපාලන මතවාදය වශයෙනි. මෙම කාර්මික ධනවාදය බිහි වීමට ප්‍රථම යුරෝපයේ වෙළඳාම මුල් කර ගත් ආර්ථික ක්‍රමයක් පැවතුණි. එම අර්ථ ක්‍රමය හසුරුවනු ලැබුවේ රාජ්‍යය විසිනි. එහෙත් 18 වන ශතවර්ෂයේ අග භාගයේ දී එළි දක්වන ලද කාර්මික ධනවාදය හෙවත් ප්‍රාග් ධනය මුල් කරගෙන ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමය හැසිරවීම සඳහා රාජ්‍යය අවශ්‍ය නොවීම කැපී පෙනෙන ලක්ෂණයක් විය. මේ පිළිබඳ සම්භාව්‍ය ධනේෂ්වර ආර්ථික විද්‍යාඥයෝ වන ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ ද අදහස් දක්වා ඇත. ඔවුන්ට අනුව ආර්ථිකය හැසිරවීමට රජය මැදිහත් නොවිය යුතු බවත් එය ස්වභාවික බලවේග මගින් හැසිරවෙන බවත් ප්‍රකාශ කෙරේ.
                                                                                    ඇඩම් ස්මිත් සම්පාදනය කළ “ජාතීන්ගේ ධනය” නැමැති ග්‍රන්ථයෙන් දැක් වූ පරිදි ධනවාදී ආර්ථික ක්‍රමය හැසිරවීම සඳහා දේශපාලන හස්තයක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අදෘෂ්‍යමාන හස්තයක් හෙවත් මිල යන්ත්‍රණයක් පවතින බවත් ප්‍රකාශ කෙරේ. ඒ අනුව “ආර්ථිකය රජය විසින් පාලනය නොකළ යුතු ය” යන අදහස මුල් කර ගෙන “රාජ්‍ය නිර්බාධවාදය” නැමැති ප්‍රතිපත්තිය ඉස්මතු වූ අතර එබඳු රාජ්‍යයක් ගොඩ නැඟීම සඳහා වන දේශපාලන මතවාදය ලෙස ලිබරල් වාදය පැතිරී ගියේ ය. එහෙයින් ලිබරල් වාදය යනු ධනවාදී ආර්ථික ක්‍රමයේ දේශපාලන ප්‍රකාශය වන බව විචාරකයෝ පවසති.
                        ලිබරල්වාදී න්‍යායට අනුව රාජ්‍යයේ සම්භවය සිදු වී ඇත්තේ දිගු කාළීන සමාජ විකාශනයේ ප්‍රතිඵලවක් වශයෙනි. ඒ අනුව ඔවුහු රාජ්‍යයේ උපත පිළිබඳ ව පිළීගන්නා මතය වන්නේ සමාජ විකාශනාත්මක මතවාදයයි. සමාජයේ පොදු අරමුණු වර්ධනය වීමට අනුරූපිකව රාජ්‍යයේ ස්වභාවය ද වෙනස් වන බවක් ඔවුහු පිළිගනිති.
                                                මෙසේ ගොඩ නැගී ඇති ලිබරල්වාදයේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ පසුගිය ආර්ථිකය (ධනේශ්වර) ක්‍රමය තුළ ඇති වර්ධනයට හා විකාශනයන්ට අනුගාමිකව එම මතවාදයේ ද විකාශණයක් ඇති වී තිබීමයි. ඒ අනුව එහි විකාශනය පහත සඳහන් පරිදි දැක්විය හැකි ය.
        i.            සම්භාව්‍ය ලිබරල් වාදය
      ii.            නූතන ලිබරල් වාදය
    iii.            නව ලිබරල් වාදය
                        මෙහි දී සම්භාව්‍ය හා නූතන ලිබරල් වාදය පිළිබඳ පමණක් සලකා බැ‍ලේ.
I.            සම්භාව්‍ය ලිබරල් වාදය
              18 වන සියවසේ අග භාගයේ දී පැතිරී ගිය ලිබරල්වාදී අදහස් සම්භාව්‍ය ලිබරල්වාදය ලෙස හඳුන්වනු ලැබේ. මෙය පැරණි ලබරල්වාදය ලෙස ද හැඳින්වේ. මෙම ලිබරල් වාදී අදහස් රාජ්‍ය නිර්බාධවාදය සමඟ බද්ධ වූවකි. කාර්මික ධනවාදය ස්ථාපිත වූ මුල් යුගයේ දී ආර්ථිකය හැසිරවීමට රාජ්‍යය මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය අනිවාර්ය අවශ්‍යතාවයක් විය. එවැනි නිර්බාධවාදී රාජ්‍යයක් තහවුරු කරළීම හෙවත් ආබාධ රාජ්‍යයක් බිහි කිරලීම සම්භාව්‍ය ලිබරල්වාදයේ අවශ්‍යතාවය වේ. එවැනි රාජ්‍යයක් යටතේ පුද්ගල නිදහස තහවුරු කරලීම කෙරේ එකල අවධානය යොමු වේ. එහි අරමුණ වූයේ ධනේශ්වර ආර්ථික ක්‍රමයේ වර්ධනය සඳහා නිදහස් වාතාවරණයක් පවත්වා ගත යුතු වීමයි. ජෙරම් බෙන්තම්, ජේම්ස් මිල්, ජෝන් ස්ටුවර්ට් මිල් යන දාර්ශනිකයින් සම්භාව්‍ය ලිබරල් වාදී අදහස් ඉදිරිපත් කරනු ලැබී ය. සම්භාව්‍ය ලිබරල් වාදයට අනුව රාජ්‍යය පුද්ගලයාගේ පෞද්ගලික, ආර්ථික, සාමාජීය හා දේශපාලනික කටයුතු වලට මැදිහත් නොවන අතර එහි කාර්යය වන්නේ සාමකාමී වාතාවරණයක් ඇති කිරීමත්, අපක්ෂපාතීව යුක්තිය පසිඳලීමත් ය. වෙනත් අයුරකින් දක්වන්නේ නම් රාජ්‍යය පුද්ගලයාගේ කටයුතු වලට ඉතාමත් ම අවම වශයෙන් සම්බන්ධ වීමයි. එම මතයට අනුව අඩුවෙන් ම පාලනය කරන රාජ්‍යය හොඳම රාජ්‍යය වේ. හේතුව වන්නේ සමාජ, පුද්ගල නිදහස එයින් පුළුල් ලෙස තහවුරු වන බැවිනි. මේ අනුව රාජ්‍යය සමාජයේ සැමටම පොදු සංවිධානයක් මෙන් ම අපක්ෂපාතී සංවිධානයක් ලෙස ද හඳුන්වනු ලැබේ. රාජ්‍යය නීතිය හා සාමය ආරක්ෂා කරන හෙයින් එය පොලිස් නිලධාරියෙකුගේ තත්වයට ද අපක්ෂපාතීව යුක්තිය පසිඳලන හෙයින් විනිශ්චය කරුවෙකුගේ තත්වයට ද සමාන වන බව විචාරකයෝ පෙන්වා දෙති.
                 රාජ්‍යය පුද්ගල කටයුතු වලට මැදිහත් වීමේ පැහැදිලි සීමාවක් පවතින බව ස්ටුවර්ට් මිල් ප්‍රකාශ කළේ ය. එනම් පුද්ගලයාගේ පෞද්ගලික කටයුතු වලට රාජ්‍යය මැදිහත් නොවිය යුතුය යන්න ඔහු එයින් අවධාරණය කළේ ය. එනම් සිතීම, අදහස් පල කිරීම, කැමති ආගමක් ඇදහීම, කැමති ප්‍රදේශයක වාසය කිරීම, කැමති සංස්කෘතියක් ඇදහීම යනා දී කටයුතු වේ. ඒ අනුව රාජ්‍යය මැදිහත් විය යුත්තේ පුද්ගලයාගේ සමාජ කටයුතු වලට පමණකි. එනම් පුද්ගලයා සමාජයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේ දී නීතිය හා සාමය කඩ කළහොත් එය ආරක්ෂා කිරීම සඳහා පමණක් රජය මැදිහත් විය යුතු ය යන්නයි. මේ අයුරින් පුද්ගල නිදහස ආරක්ෂා කරදීම සඳහා සම්භාව්‍ය ලිබරල්වාදීන්  තම අදහස් ඉදිරිපත් කරනු ලැබී ය.
    II.            නූතන ලිබරල් වාදය
                        රාජ්‍යය නිර්බාධවාදී බව මුල් කර ගත් සම්භාව්‍ය ලිබරල් වාදයේ මූලික අරමුණ වූයේ කාර්මික ධනවාදයේ පැවැත්ම හා වර්ධනය සඳහා දේශපාලනමය වාතාවරණයක් නිර්මාණය කිරීමයි. එහි දී සමාජයේ පුද්ගල කටයුතු වලට රජය මැදිහත් නොවීම යටතේ පුද්ගලයාගේ ආර්ථික නිදහස තහවුරු වීම සිදු වේ. විශේෂයෙන් ම මෙහි දී දේපල හිමි ධනපති පන්තියේ නිදහස තහවුරු වීම සිදු වේ. ඒ අනුව නිර්ධන පන්තියේ ශ්‍රමය සූරා කෑමේ වඩා පුළුල් ඉඩ ප්‍රස්ථාව ධනපති පන්තියට ලැබේ. මෙහි ප්‍රතිඵලය වූයේ සමාජයේ බහුතරය වන කම්කරු හා පීඩිත ජනතාව අන්ත දරිද්‍රතාවයකට ඇද වැටීමයි. එය හේතු කොට ගෙන එම සමාජය තුළ විවිධාකාර වූ සමාජ, ආර්ථික ප්‍රශ්න ගොන්නක් මතු වන්නට විය. තව ද නාගරික ප්‍රදේශ වල කර්මාන්ත බිහි වීම නිසා කම්කරු ශ්‍රමය නගර කරා ඇදී ගියේ ය. මේ තුළින් ද විවිධාකාර වූ සමාජ ප්‍රශ්න මතු වන්නට විය. මෙවැනි තත්වයනට බල පෑ ප්‍රධාන හේතුව වූයේ ධනපති පංතිය විසින් ලාභය පෙරදැරි කරගෙන පවත්වාගෙන යනු ලැබූ ආර්ථික ක්‍රියා කළාපය යි. එම ක්‍රියාවලිය තුළ බහුතර නිර්ධන කොටස් අන්ත අසරණ තත්වයට පත් වේ. මෙම තත්වය හේතු කොටගෙන යුරෝපාකරයේ කාර්මික රට වල ධනපති ක්‍රමයට විරුද්ධ නිර්ධනයන් නැගී සිටීමට පටන් ගැනුණි. එහි දී ඇති වූ කම්කරු අරගල සටන්කාමී ව්‍යාපාර බවට පවා පරිවර්තනය වන්නට විය. මේ අයුරින් 19 වන ශතවර්ෂයේ මුල් කාලය පමණ වන විට ධනේෂ්වර ක්‍රමය විශාල අභියෝගයකට ලක් වී තිබුණි. එසේ ම මාක්ස් වාදය වැනි සමාජවාදී අදහස් පැතිරී යාම ද මෙයට අභියෝගයක් විය.

ෆැසිස්ට්වාදය
              මෙම මතය රාජ්‍යයේ උපත පිළිබඳව ඉදිරිපත් වූ න්‍යායක් නොව රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ ව ඉදිරිපත් වූ දර්ශනයක් ලෙස හඳුන්වා දිය හැක. නූතන දේශපාලන දර්ශනයන් අතර ඉතා මෑතක දී ඇති වූවක් ලෙස සලකන ෆැසිස්ට්වාදය විශේෂයෙන් විසි වන සියවස තුළ වැදගත්කමක් උසුලයි. ෆැසිස්ට්වාදය යම් කිසි චින්තකයෙකු විසින් ඉදිරිපත් කළ දර්ශනයක් හෝ මතවාදයක් නොවේ. පළමු වන හා දෙවන ලෝක යුද්ධ කාලයන් අතරතුර දී ඉතාලිය හා ජර්මනිය තුළ පැතිරී ගිය දේශපාලන ව්‍යාපාරයක් ලෙස හඳුන්වා දිය හැක. ඉතාලියේ බෙනිටෝ මුසෝලිනී යටතේ ද, ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් යටතේ ද පැතිරුණු ව්‍යාපාරය හා රාජ්‍ය ක්‍රමය ෆැසිස්ට්වාදයයි.
                                                            “ෆැසිස්ට්” යන්න ඉතාලි වචනයකින් බිදී ආවකැයි සැලකේ. එහි අර්ථය “මිටිය” යන්නයි. ඒ අනුව ඉතාලි ආණ්ඩුවේත්, ජර්මන් අධිරා‍ජ්‍යයේත් රාජ්‍ය ලාංඡනය වූයේ “පොරව හා දර මිටිය යි.” එම ලාංඡනය මගින් මූර්තිමත් කරනු ලැබුවේ “ජාතියේ එක්සත් බව, ශක්තිය හා සහෝදරත්වය යි.”
              දේශපාලන දාර්ශනිකයන් විසින් ෆැසිස්ට්වාදය හඳුන්වා දී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට හා සමාජවාදයට පටහැනි වූ කිසිදු විරුද්ධ පක්ෂයකට හෝ විවේචනයකට ඉඩ නොදෙන්නා වූ ජාතියේ සෑම කටයුත්තකදී ම පාලන කටයුතු භාර ගන්නා වූ පූර්ණ ඒකාධිපති ආණ්ඩු ක්‍රමයක් වශයෙනි. මෙවන් වූ පාලන ක්‍රමයක් ඇති වීමට බල පෑ හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ මීට පෙර යුගයන් වල දී විවිධ දේශපාලන චින්තකයින් විසින් රාජ්‍යය හා පුද්ගලයා අතර පැවතිය යුතු අනිවාර්ය සහයෝගය සහ සම්බන්ධතාවය පිළිබඳ ව ඉදිරිපත් කළ අදහස් අවස්ථාවාදී දේශපාලකයින් තම වාසියට හරවා ගැනීමේ ප්‍රතිඵලවක් වශයෙනි. ඇල්ෆ්‍රඩ් ග්‍රාසියා, හෙගල් ඛාන්ට්, ෆ්‍රෙඩ්රික් ලිස්ට්, කවුන්ට් ඩී. ගොබිනෝ, හවුස්ටන්, චෙම් බ්ලේන් වැනි චින්තකයින් රාජ්‍යයේ ශ්‍රේෂ්ටත්වය පිළිබඳ ඉදිරිපත් කළ අදහස් අවස්ථාවාදී පාලකයන් තම වාසියට හරවා ගැනීම නිසා ෆැසිස්ට්වාදය බිහි වූ බව කියැ වේ. ඔවුන් සිය අදහස් වලින් ‍ලොවට ප්‍රකාශ කරනු ලැබුවේ රාජ්‍යය නැමැති සමාජය තුළ පුද්ගලයා රැදී සිටිය යුතු බවයි. හෙගල් නැමැති චින්තකයාගේ පහත සඳහන් කියමනෙන් එය මනාව පැහැදිලි වේ.
                        “ශරීරය රාජ්‍යයක් වුවහොත් පුද්ගලයා ඇසට සමාන වේ. ශරීරයෙන් ඇස වෙන් කොට ඇසට තනිව පැවැත්මක් නැත්තාක් මෙන් පුද්ගලයාට ද රාජ්‍යය අතහැර ජීවත් විය නොහැක.”
                                                                                                                        මෙවන් වූ අදහසක් තම වාසියට හරවා ගන්නා ජර්මන් හා ඉතාලි පාලකයෝ පළවෙනි ලෝක සංග්‍රාමයෙන් පසු එම රටවල ඇති වන විවිධාකාර වූ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්න විසඳාලීම සඳහා පෙනී සිටින පාලකයන් ලෙස ආණ්ඩු බලය අල්ලා ගනු ලැබේ. ඉතාලියේ මුසෝලිනී මෙම දේශපාලන අදහස් පෙරදැරි කරගෙන ඉතාලි ආණ්ඩු බලය අයථා ක්‍රම මඟින් ලබාගෙන 1922 දී ආණ්ඩුවක් පිහිටුවා ගනු ලබයි. එනිසා ඒ රටවල ජනතාව ඔවුන් අසහාය නායකයන් ලෙස සලකනු ලැබී ය. සමාජයේ එම පිළිගැනීම මගින් තමන්ගේ ඒකාධිපති බලය තර කර ගන්නා ඔවුන් එම බලය ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගනු ලැබේ. ඒ අනුව ෆැසිස්ට් රාජ්‍යයක අසීමිත බලය හිමි පාලකයෙකු යටතේ මධ්‍යගත වූ ද බලය වර්ධනය කර ගැනීම අරමුණු කර ගත්තා වූ ද රාජ්‍යයක් ලෙස හැඳින්විය හැකි ය.

ෆැසිස්ට්වාදයේ ලක්ෂණ (ෆැසිස්ට් රාජ්‍යයක ලක්ෂණ)
        i.            රාජ්‍යය උත්තරීතර කොට සැලකීම.
            ෆැසිස්ට්වාදයට අනුව රාජ්‍යය ලොව පවතින ශ්‍රේෂ්ටතම ආ‍යතනය ‍වේ. එසේ මානව සංවිධාන අතර උත්තරීතර සංවිධානය ද වේ. ඒ අනුව එම රාජ්‍ය වල බලය සෑම පුද්ගලයා කරා ම පැතිරී ඇත. ඒ නිසා රාජ්‍යයට පුද්ගලයාට එරෙහි විය නොහැක. එරෙහි වන්නන්ගේ ජීවිතය හෝ මරණය පිළිබඳ තීරණය කිරීමට රාජ්‍යයට බලය ඇත. එම රාජ්‍යයේ සියළුම වැසියන් ජීවත් විය යුත්තේ රාජ්‍යයේ ශ්‍රේෂ්ටත්වය වර්ධනය කිරීමට ය. රාජ්‍යය වෙනුවෙන් ජීවිතය පුද කරන්නා ශ්‍රේෂ්ටතම පුද්ගලයා වේ. පුද්ගලයාට ඔහුටම වෙන් වූ පෞද්ගලිකත්වයක් නොමැති අතර ඔහු අර්ථවත් වන්නේ රාජ්‍යයෙනි. රාජ්‍යයෙන් තොර ව ඔහුට පැවැත්මක් නැත. රාජ්‍යය ශ්‍රේෂ්ට වන විට පුද්ගලයා ද ශ්‍රේෂ්ට වේ. මුසෝලිනී පැවසූ පරිදි “තොටිල්ලෙන් ගෙන යන දරුවා රජයට අවශ්‍ය පරිදි හදා වඩා වැඩ ගෙන වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට ආපසු නිවසට ගෙනවිත් බාර දීම” වැනි ක්‍රියා පිලිවෙතකි.
      ii.            ජාතිය උතුම් කොට සැලකීම.
     පොදු ආගමක්, භාෂාවක්, සිරිත් විරිත් මාලාවක් සහ සංස්කෘතියක් වටා බැඳුණ මිනිස් සමූහය ජාතියක් වශයෙන් සලකන ෆැසිස්ට්වාදීන් පුද්ගල ජීවිතය සැබෑ ලෙස අර්ථවත් වන්නේ ජාතිය හා බැඳුණු විට දී යැයි සලකති. ඒ අනුව රාජ්‍යය ජාතිය වැනි අදෘශ්‍යමාන බලවේග කරා පුද්ගලයන් ඒකරාශී කරන ෆැසිස්ට්වාදීන් රාජ්‍යයේ නිදහස ජාතික බලය මතත්, ජාතික බලය පුද්ගල කැපවීම මතත් තීරණය වන බව ප්‍රකාශ කළහ. පුද්ගල කැපවීම රාජ්‍යයේ නීතියට කොන්දේසි විරහිතව යටත් වීමෙන් හා රාජ්‍යයට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමෙන් ඉටු කළ යුතු වේ. ජාතියෙන් වෙන් වූ තැනැත්තා අර්ථ විරහිත පුද්ගලයෙකු බව ප්‍රකාශ කරන ඔවුන් ජාතිය යන්න ශ්‍රේෂ්ට කොට දැක්වීමට නිරන්තර උත්සහයක යෙදේ.
    iii.            නායකයා අන්ධානුකරණයෙන් ඇදහීම
            ෆැසිස්ට් රාජ්‍ය තුළ නායකයා අන්ධානුකරණයෙන් වන්දනා මාන කළ යුතු ය. ඒ සඳහා රජයේ කාර්යාල, රාජ්‍ය ආයතන, මං මාවත් ආදියෙහි නායකයාගේ ඡායා රූප තබා ඒවාට ගරු බුහුමන් කිරීමට සලස්වයි. ජනතාව අතර ශ්‍රේෂ්ටතම පුද්ගලයා නායකයා බව ඒත්තු ගැන්වීමට ෆැසිස්ට්වාදීන් නිරන්තර උත්සාහයක යෙදේ. ඔහුගේ වදන් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොර ව ජනතාව පිළිගත යුතු ය. සියළු දේ සඳහා මාර්ගෝපදේශකයා නායකයා ය. අධ්‍යාපනය, ආගම, ජනමාධ්‍ය ආදී සියළු අංග වලින් ඔහුගේ චින්තනය ජනතා සිත් තුළට කා වද්දයි. ඒ තුළින් නායකයා ශ්‍රේෂ්ටත්වයට පත් වේ.

    iv.            යුද්ධය උතුම් කොට සැලකීම. (රණකාමී බව)
            “ශක්තිය බලය වේ. බලය සැම විටම නිවැරදි වේ.” යන ආදර්ශ පාඨය ජනතා යුද කාමී බව වර්ධනය කිරීම සඳහා සැම විටම යොදා ගනී. මුසෝලිනීට අනුව “කාන්තාවන්ට මාතෘත්වය ස්වභාවික වන්නා සේ ම පිරිමින්ට යුද්ධය ද ස්වභාවික වූවකි.” යන ප්‍රකාශ වලින් පුරවැසියන් නිරන්තරව ම යුද්ධය සඳහා පෙල ගස්වනු ලැබේ. ජාතික බලය ගොඩ නැඟීමට පුරවැසියා එකමුතු විය යුතු බවත්, ජාතික බලය රාජ්‍යයේ ආරක්ෂාව සඳහා යෙදවිය යුතු බවත් ෆැසිස්ට්වාදීන් ප්‍රකාශ කරයි. ඒ අනුව පුරවැසියාගේ කැපවීම මත රාජ්‍යයේ ශ්‍රේෂ්ටත්වය ඇති වන බව ප්‍රකාශ කරන ෆැසිස්ට්වාදීහු රාජ්‍යයේ ගොඩ නංවාලීම සඳහා තම ජීවිතය පූජා කල යුතු බවත්, එසේ කල නොහැකි පුද්ගලයාට ජීවත් වීමට අයිතියක් ‍නොමැති බවත් ප්‍රකාශ කරති.

      v.            බුද්ධි විරෝධී බව
‍            ප්‍රජාතන්ත්‍රවාදයට, සාකච්ඡාවට හෝ සම්මන්ත්‍රණයට, තර්කයට ෆැසිස්ට්වාදය තුළ ඉඩක් නැත. විරුද්ධ දේශපාලන ක්‍රම ගොඩ නැංවීමට ඉඩ නොදේ. සියළු දෙනා ම නායකයාගේ මග පෙන්වීම යටතේ ෆැසිස්ට් න්‍යාය මූලික කර ගත යුතු වේ. කිසිවෙකුට එම න්‍යාය ඉක්මවා යා නොහැක. ෆැසිස්ට් අදහස් වලට විරුද්ධ වන්නාට අත් වන ඉරණම මරණය යි. එසේ ත් නොමැති නම් පිළිතුරු දෙනුයේ ත්‍රස්තවාදයෙනි. ෆැසිස්ට්වාදීන් නිරන්තරවම ජනතාවගේ හැඟීම් ඇවිස්සෙන ආකාරයට ක්‍රියා කරමින්, එළි දක්වමින් කටයුතු කරයි. ඉතා සියුම් ලෙස රාජ්‍යයට, ජාතියට හා නායකයාට පුද්ගල හැසිරීම් ආකර්ෂණය කර ගත හැකි ආකාරයට ප්‍රචාරන කටයුතු කරයි. ඒ සඳහා රාජ්‍යයේ සියළුම ජන මාධ්‍යයන් ප්‍රයෝජනයට ගනී.

    vi.            ප්‍රජාතන්ත්‍රවිදයට, සමාජවාදය හා ලිබරල්වාදය නොපිලිගැනීම.
            ෆැසිස්ට්වාදය යටතේ විරුද්ධ දේශපාලන මත දැරීමට හෝ ක්‍රම ගොඩ නැගීමට කිසි සේත් ම ඉඩ නොදේ. මෙහි දී ෆැසිස්ට් න්‍යායට මූලික තැනක් හිමි වේ. රටේ පවතින එකම දේශපාලන න්‍යාය වන්නේ ෆැසිස්ට්වාදයයි. කිසිවෙකුටත් මෙම න්‍යාය ඉක්මවා යාමට ඉඩ නොදේ. කිසිවෙකු හෝ එය නොපිළිගන්නේ නම් පිළිතුර ත්‍රස්තවාදයෙනි. බිය ගැන්වීම, මරණය, වදහිංසාව, අතුරුදන් කරවීම යනාදිය මෙහි මූලික ලක්ෂණ ය.
  vii.            සමානාත්මතාවය ගරු නොකිරීම.
                                    ෆැසිස්ට්වාදීන් මෙයට විරුද්ධ වේ. සමානාත්මය තුළින් සමාජයේ දක්ෂතම හා ශක්තිමත් ම පුද්ගලයා හෑල්ලුවට භාජනය කරන බවත්, ඔහුට සමාජයේ හිමි විය යුතු තැන අහිමි කරන බවත් ප්‍රකාශ කරයි. ස්වභාවිකවම මිනිසාට සමාජයේ ඉහලට යාමට ඉඩ දිය යුතු බව ඔවුන්ගේ මතයයි. ඊට බාධා කිරීම ස්වභාව ධර්මයට බාධා කිරීම හා සමාන වේ. මේ නිසා ෆැසිස්ට්වාදයේ පදනම යථාරතයට විරුද්ධ නොවීම බව ඔවුන්ගේ මතය යි.