Monday, October 13, 2014

යහපාලනය




ආර්ථික සම්පත් හා මානව සම්පත් වලින් හිඟයක් නොමැති වුව ද තුන් වන ලෝකයේ රටවල ආර්ථික සංවර්ධනය වීම මන්දගාමී වීම හා සමාජ සාධාරණත්වය බිඳ වැටීම යන ප්‍රශ්න වලට බල පා ඇති හේතු සාධක මොනවාද යන්න පිළිබඳ 1980 දශකයෙන් පසු කාළය තුළ ඇති වන කතිකාවතකින් ඉස්මතු වූ දෙයක් ලෙස යහපාලනය පිළිබඳ සංකල්පය හඳුන්වා දිය හැකි ය.
                                                            මෙම රටවල් සතු ආර්ථික හා මානව සම්පත් නිසියාකාරයෙන් කළකමනාකරණය නොකිරීම හේතු කොට ගෙන ආර්ථික සංවර්ධනය මන්දගාමී වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ සාධාරණත්වය ගොඩ නැඟීම ද බිඳ වැටී ඇති බවත් මෙම කතිකාවතේ දී හෙලි වේ. මෙයට බල පා ඇති හේතු කාරක ලෙස දුටුවේ අනවශ්‍ය ලෙස බලය මධ්‍යගත වීමත්, රාජ්‍ය පාලනයේ අකාරයක්ෂමතාවය, රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම, රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීම හා ක්‍රියාත්මක කිරීම කෙරෙහි ජනතා සහභාගීත්වය නොමැති වීම, අල්ලස හා දූෂණය ඉහළ යාම, රාජ්‍ය පාලකයින් වගකීමෙන් තොර වීම යනා දී දෑ ය.
                                                                                                                                    තුන්වන ලෝකයේ රටවල් මුහුණ දී ඇති මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් යහපාලනය පිළිබඳ සංකල්පය ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වුණ එකම විසඳුම බවට පත් වේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනින්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හා සංවර්ධනය සඳහා දායක වන වෙනත් ආයතන විසින් ද යහපාලනය පිලිබඳ සංකල්පය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනු ලැබී ය. මෙම සංකල්පය මඟින් අවධාරණය කරන මූලික කරුණු කීපයකි.

                    i.   සහභාගීත්වය
               මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය සම්පාදනයේ දී හා ක්‍රියාවට නැංවීමේ දී ජනතා සහභාගීත්වය වර්ධනය කළ යුතු අතර වෙනත් ආකාරයකින් දක්වන්නේ නම් සහභාගීත් ව සංවර්ධන ක්‍රියාදාමයන් වඩාත් ශක්තිමත් කළ යුතු ය. මෙහි දී ජනතාව පමණක් නො ව සිවිල් සංවිධාන වලට ද විශේෂයෙන් ම රාජ්‍ය නොවන සංවිධාන වලට ද සක්‍රීය ක්‍රියාදාමයක් ඉටු කිරීමට අවස්ථාව දිය යුතු ය. මෙය කළ හැක්කේ මධ්‍යමාණ්ඩුවේ බලය විමධ්‍යගත්‍කරණය කිරීම මගින් පළාත් පාලන ආයතන ශක්තිමත් කොට ඒවායේ ජනතා සහභාගීත්වය පුළුල් කිරීම තුලිණි.

                  ii.   නීතියේ ආධිපත්‍යය
               යහපාලනයේ අතවශ්‍ය කොන්දේසියක් ලෙස නීතියේ ආධිපත්‍යය සංකල්පය හැඳින් වේ. නීතියට මිනිසුන් ගරු කිරීමට හා අවනත වීමට පෙළඹෙන්නේ සියළු දෙනා ම විසින් නීතියේ උත්තරීතර බව පිළිගන්නේ නම් පමණි. නීතිය ඉදිරියේ සියළු දෙනා ම සමාන වනවා ය සහ නීතියේ සමාන ආරක්ෂාව සමාන අයුරින් සියල්ලන්ට ම හිමි වනවා ය යන විශ්වාසය මිනිසුන් තුළ ඇති වන්නේ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ නම් පමණි. ඒ සඳහා අධිකරණයේ ස්වාධීනත්වය ද අත්‍යවශ්‍ය වේ.

                iii.   වගකීම
               මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය පාලන බලතල ක්‍රියාවට නංවන අය ජනතාවට වග කිව යුතු බව ය.

                 iv.   විනිවිදභාවය
               රාජ්‍ය මුදල් විය පැහැදම් කරන ආකාරය විවෘත භාවයකින් යුක්ත ව කළ යුතු ය යන්න මෙයින් අදහස් වේ. එනම් රාජ්‍ය විය පැහැදම් පිළිබඳ ජනතාවට දැන ගැනීමය ඇති අයිතිය හා ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට ඇති අයිතිය එමගින් අවධාරණය කෙරේ.

                   v.   ප්‍රතිචාරාත්මක බව
               මෙයින් අදහස් කරන්නේ ජනතා අවශ්‍යතාවයන් ට පාලකයින් විසින් ඇහුම් කන් දීම, සැලකිල්ලට ගැනීම හා හැකිතාක් දුරට ඒ සෑම අදහසක් ම නියෝජනය වන පරිදි අවසාන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ක්‍රියාවට නැංවීමයි.

                 vi.   කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය
               සම්පත් කාර්යක්ෂම ව හා ඵලදායී අයුරින් භාවිතයට ගැනීම මෙයින් අදහස් වේ. වෙනත් ආකාරයකට දක්වන්නේ නම් සම්පත් අපතේ යාම වළක්වා ගැනීමයි.

               vii.   සහමිතිකභාවයි
               සියළු දෙනාගේ ම අදහස් වලට ඇහුම් කන් දීම, සැළකිල්ලට ගැනීම සහ හැකිතාක් දුරට සෑම අදහසක් ම නියෝජනය වන පරිදි අවසාන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ක්‍රියාවට නැඟීම මෙයින් අදහස් කෙරේ.

             viii.   සාධාරණත්වය
               සමාජ ධනය සාධාරණ අයුරින් සියළු දෙනා අතර බෙදා හැරීමට කටයුතු කිරීම මෙයින් අදහස් කෙරේ.
               සමස්තයක් ලෙස ගත් විට යහපාලනයෙන් අදහස් කෙරෙන්නේ වංචාව හා දූෂණය නැති කිරීමයි. සුළු ජන කොටස් වලට ඇහුම් කන් දී සාධාරණය ඉටු කිරීමයි. වඩාත් පුළුල් ජනතා සහභාගිත්වයක් සහාතව ආර්ථික සංවර්ධනය වේගවත් කරමින් ජනතා සුභ සාධනය ඉහළ නැංවීමයි.

2 comments:

Shuja Rafi said...

හම්මේ ඇති යන්තම්. දිගටම කරගෙන යන්න ප්ලීස් ඔයා බාවිත කරන font එකත් කියන්න මොකද linux වල හරියට පෙන්නේ නැහැ

Unknown said...

තැන්කූ.....

Post a Comment