Friday, June 6, 2014

රාජ්‍යයේ උපත සහ එහි ස්වභාවය පිළිබඳ ඇති විවිධ මත

0 comments
රාජ්‍යය බිහි වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව ඉදිරිපත් වූ මතවාද රාශියක් දේශපාලන විද්‍යාව තුල දැකිය හැක. එසේ ම මෙම මතවාද එකිනෙකින් වෙනස් ද වේ. ඒ ඒ දාර්ශනිකයන්ගේ ගුරු කුලය තමන්ට ආවේණික දෘෂ්ටි කෝණයකින් රාජ්‍යයේ ආරම්භය දෙස බලා තිබීම මෙයට හේතුව වේ. සමහරු රාජ්‍යය දෙවියන්ගේ නිර්මාණයක් ලෙස දක්වා ඇති අතර සමහරු සමාජ සම්මුතියක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ බව කියති. තවත් අයෙකුගේ මතයට අනුව රාජ්‍යය බලය පදනම් කරගෙන බිහි වී තිබේ. තවත් සමහරු දක්වා ඇති ආකාරයට රාජ්‍යය වූ කළී සමාජ විකාශනයක ප්‍රතිඵලයක් වේ. තවත් සමහරු මව හෝ පියා මූලිකව රාජ්‍යය බිහි වූ බව කියයි. ප්‍රතිවිරුද්ධ වූ සමාජ පන්තීන් අතර ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍යය බිහි වූ බව තවත් කණ්ඩායමකගේ මතය යි.
                                                මෙම මතවාද සියල්ලම එකට ගත් විට පෙනී යන මූලික ලක්ෂණයක් වන්නේ රාජ්‍යයේ ආරම්භය සම්බන්ධයෙන් පොදුවේ පිළිගත් එක් මතවාදයක් නොමැති බවයි. කෙසේ වෙතත් රාජ්‍යයේ උපත පිළිබඳව ඉදිරිපත් වී ඇති විවිධ මත වාද සම්භාව්‍ය හා නූතන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි.
සම්භාව්‍ය - දේව වරම් වාදය
                    සමාජ සම්මුති වාදය
                    බල වාදය
                    පීතෘ මූලික වාදය
                    මාතෘ මූලික වාදය
                    විකාශනාත්මක වාදය
    නූතන - ලිබරල් වාදය
                    මාක්ස් වාදය
                    ෆැසිස්ට් වාදය

දේව වරම් වාදය
                රාජ්‍යයේ සම්භවය පිළිබද ව ඇති පැරණිම මතයක් ‍ලෙස මෙය හැඳින්විය හැක. මෙම න්‍යායෙන් කෙටියෙන් කියැවෙන්නේ රාජ්‍යය දෙවියන්ගේ වරමක් මත ඇති වූ බවයි. දෙවියන් වහන්සේ රාජ්‍යය මවා නියෝජිතයන් පත් කළ බව මෙම න්‍යායෙන් කියැවේ. දෙවියන්ගේ නියෝජිතවරු වශයෙන් රට පාළණය කිරීමට පාලකවරු පැමිණෙන බැවින් යටත් වැසියා අනිවාර්යයෙන් පාලකයාට අවනත විය යුතු ය. යහපත් පාලකයෙකු පුරවැසියාට ලැබෙන්නේ දේව ප්‍රසාදයකින් බවත්, දුෂ්ට පාලකයෙකු දේව ශාපයක් මත ලැබෙන බවත් ප්‍රකාශ කරන මොවුහු කෙසේ වුවත් පාලකයාගේ නියෝග වලට වැසියා අවනත විය යුතු බව අවධාරණය කරයි.
                    මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ ඉතා ජනප්‍රියව පැවති දේශපාලන න්‍යාය වන්නේ දේව වරම් වාදයයි. එය ජනප්‍රිය වීමට තුඩු දුන් ප්‍රධාන හේතුව වූයේ එම න්‍යාය එවකට බොහෝ දෙනෙක් විශ්වාස කළ ආගමික සංකල්පයන්ට අනුකූල වූ නිසා ය. එකල බල පැවැත්වූ මතය වූයේ රාජ්‍යය දෙවියන් වහන්සේගේ නිර්මාණයක් බවත්, පාළකයාට බලය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් බවත් ය. ඒ නිසා පාලකයාට අවනත වීම හා සහයෝගය ලබා දීම වැසියාගේ පරම යුතුකම බව අවධාරණය කෙ‍රිණි. මවැනි රාජ්‍යයක් තුළ ජීවත් වීමෙන් සෑම පුද්ගලයෙකුම ස්වර්ගයට පියවර තබන බව දේව වරම් වාදීන් තව දුරටත් ප්‍රකාශ කර සිටී.
                    දේව වරම් වාදී න්‍යායවාදීන්ට අනුව පාලකයාට බලය ලැබෙන්නේ දෙවියන්ගෙන් නිසා ඔහු එම බලය දෙවියන් වෙනුවෙන් ම ක්‍රියාත්මක කළ යුතු ය. ඒ අනුව පාළකයාගේ නියෝග වලට විරුද්ධව ක්‍රියා කිරීම දෙවියන් වහන්සේට විරුද්ධ වීම හා සම වේ. පාලකයා සර්ව බලධාරියෙක් වන අතර ඔහු අයුතු ලෙස බලය පාවිච්චි කරන්නේ නම් වැසියාට කළ හැකි එකම දෙය දෙවියන්ට කන්නලව් කිරීම පමණි. දේව වරම් වාදය ඉදිරිපත් කළ සමහර චින්තකයින් ප්‍රකාශ කළේ යම් කිසි පාලකයෙකු වැසියා තලා පෙලා හින්සා පීඩා ආදිය කරන්නේ නම් ඉන් පෙනී යන්නේ දෙවියන් වහන්සේ මිනිසුන්ට දඬුවම් කිරීමට ඔහුට නියම කර ඇති බවයි. මෙවැනි පදනමක් මත බිහි වූ මෙම න්‍යාය 18 වන සියවසේ දී පමණ සමහර යුරෝපීය රජවරු තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා භාවිතයට ගත් බව පෙනේ.
                                                                                                එවක මෙම න්‍යායට විශේෂයෙන් ම අනුමැතිය ලබා දුන්නේ පල්ලිය හා පූජක පන්තියයි. මේ නිසා රදල සමාජය තුළ පූජක පක්ෂයට හා පල්ලියට විශේෂ වරප්‍රසාද හා බලතල හිමි වේ. ඒ අනුව මධ්‍යකාලීන යුගය තුළ මුළු යුරෝපයම පාලනය කළේ ශුද්ධ රෝම අධිරාජ්‍යය තුළිනි. මිනිසුන්ගේ ලෞකික කටයුතු පාලනය කිරීමටත් ශුද්ධ රෝම අධිරාජ්‍යය බල පෑ අතර ආගමික කටයුතු පාළණය කිරීම ශුද්ධ රෝම පල්ලිය විසින් කරන ලදි.
                                                                                    එහෙත් 16 වන සියවසේ දී පමණ ඇති වූ දේශපාලන, ආර්ථික හා සාමාජීය කරුණු හේතු කොටගෙන ශුද්ධ රෝම අධිරාජ්‍යය බිඳ වැටී තැනින් තැන ජාතික රාජ්‍යයන් බිහි වීමට පටන් ගැනුණි. නමුත් ජාතික රාජ්‍යයත් සමග බිහි වන අසහාය බලැති රාජාණ්ඩු ක්‍රමය සාධාරණීකරණය කිරීම සදහා පාලකයන් විසින් දේව වරම් වාදය පදනම් කර ගත් නව න්‍යායක් ගොඩ නැගුවේ ය. ඒ පාළකයන්ගේ දිව්‍යයමය අයිතීන් නම් වේ. මෙහි නිර්මාතෘ එංගලන්ත පාලක පළමු ජේම්ස් රජු ය. සිය Law Of Monarchy කෘතිය මගින් ඉදිරිපත් කළ එහි මූලික හරය පහත දැක් වේ.
v  දෙවියන් වහන්සේ කෙළින් ම පාලකයාට බලය පවරා ඇති අතර පාලකයා දෙවියන් වහන්සේගේ කැමැත්ත ක්‍රියාවට නංවයි.
v  අධිකාරී බලය පදනම් කොට පාලකයා විසින් නීති පනවනු ලැබේ. එබැවින් පාලකයා නීති වලට ඉහලින් සිටී.
v  පාලකයා පනවන නීති වලට යටත් වැසියන් ප්‍රශ්න කිරීමකින් තොරව යටත් විය යුතු ය. පාලකයාගේ නීති වලට හෝ නියෝග වලට හෝ අණ දීම් වලට විරුද්ධ වීමට ජනතාවට අයිතිය ‍නොමැත.
v  පාලකයාගේ ක්‍රියාවන්ට එරෙහිව නැඟී සිටීම දඬුවම් ලැබිය යුතු බරපතල අපරාධයකි. හේතුව එවැනි එරෙහි වීමක් වූ කළී දෙවියන් වහන්සේට ද එරෙහිව නැගී සිටීමක් වන බැවිනි.
v  යටත් වැසියන්ගේ ජීවිතය සහ මරණය පිළිබඳව අවසාන බලය පාලකයා සතු ය.
v  පාලකයා වූ කළී සෑම අතකින් ම දෙවියන් වහන්සේ නියෝජනය කරනු ලබන ඔහු වෙනුවෙන් මිහිපිට පෙනී සිටින ඔහුගේ සදෘෂ්‍ය වේ.
                                                කෙසේ වෙතත් ජාතික රාජ්‍යයන් බිහි වීමට හේතු කීපයක් ම බලපෑවේ ය.
        i.            මිනිසා තාර්කික වීම.
        නව යුගය තුළ මිනිසා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ කරනු ලබන නව සොයා ගැනීම් ද, බුද්ධිවාදී අදහස් ද ඊට බල පා ඇත.
නිද :- ගැලීලියෝගේ සොයා ගැනීම්
          නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂන බලය
          ඩාවින්ගේ පරිණාමවාදය
                                    වැනි දේ දැක්විය හැකි ය.
      ii.            පොතෙස්තන්ත්‍රවාදය පදනම් කොට ගත් ජාතික පල්ලි ක්‍රමයක් බිහි වීම.
        ජාතික රාජ්‍යයත් සමඟ පොතෙස්තන්ත්‍රවාදය පදනම් කරගත් ජාතික පල්ලි ක්‍රමයක් බිහි වීම සිදු විය. මේවාට මුල් කාළයේ මෙන් බලයක් හිමි නොවන අතර ආගම ‍පාලනය කරන දෙපාර්තමේන්තු බවට මේවා පත් විය. ඒ අනුව මෙම පල්ලි ද රාජ්‍ය බලයට යටත් විය.
    iii.            නව යුගය තුළ බිහි වෙන දේශපාලන නව මතවාද තුළින් දේශපාලනය ආගමෙන් දික් කසාද කිරීම
    iv.            රාජ්‍යයේ ආරම්භය සම්බන්ධයෙන් සමාජ සම්මුතිවාදය පෙරටු කර ගත් නව මතවාද රාශියක් බිහි වීම.
        උදා :- සමාජ සම්මුතිවාදය
                              මාක්ස් වාදය
                              පීතෘ මූලික වාදය
                               මාතෘ මූලික වාදය

සමාජ සම්මුති වාදය
             මිනිසුන් අතර ඇති වූ සම්මුතියක් මගින් රාජ්‍යය බිහි වූ බව මෙම නියමයේ මූලික හරය වේ. මෙම අදහස මීට සියවස් ගණනාවකට පෙර සිට පැවතිය ද නව යුගය තුළ මෙම අදහස් සංවිධානාත්මකව දේශපාලන න්‍යායක් වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ජින් ජැක් රූසෝ යන දේශපාලඥයින් තිදෙනා විසිනි. මෙම චින්තකයින් තිදෙනා එකිනෙකට වෙනස් දේශපාලන අරමුණු තුනක් ඉටු කර ගැනීම සදහා මෙම මතවාද යොදා ගත් බව පෙ‍නේ.
                                                ඒ අනුව හොබ්ස් අසහාය බලැති රාජාණ්ඩු ක්‍රමයක් ගොඩ නැංවීම සඳහාත්, ජෝන් ලොක් සීමිත බලැති, ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු ක්‍රමයක් සාධාරණීකරණය කිරීම සඳහාත්, රූසෝ මහජන ස්වාධිපත්‍යය සහිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නිර්මාණය කිරීම සදහාත් සමාජ සම්මුතිවාදය භාවිතයට ගෙන ඇත. මෙය ප්‍රධාන සංකල්ප දෙකක් මත ගොඩ නගා තිබේ.
        i.            ස්‍වභාවික සමාජය හෙවත් ප්‍රකෘති සමාජය තුළ මිනිසා ගත කළ ජීවිතය
      ii.            සමාජ සම්මුතියක් මගින් සිවිල් සමාජයට ප්‍රවිෂ්ට වී රාජ්‍යය වශයෙන් සංවිධානය වීම සහ සිවිල් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම.
            මිනිසුන් සිවිල් සමාජයට ප්‍රවිශ්ට වීමට ප්‍රථමයෙන් ප්‍රකෘති සමාජ ජීවිතයක් ගත කළ බව මෙම තිදෙනාම පෙන්වා දුන්න ද ප්‍රකෘති සමාජය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ අදහස් එකිනෙකට වෙනස් ය.
තෝමස් හොබ්ස් :- හොබ්ස්ට අනුව “ශක්තිය වූ කලී යුක්තිය වේ.” යන මතය පදනම් කරගෙන ප්‍රකෘති සමාජය තුළ මිනිසා ගත කළ ජීවිතය කෲර, අධම, කාලකණ්ණි හා අවුල් වියවුල් වලින් හෙබි කෙටි එකක් විය. මෙම තත්වය ඇති වීමට මූලික හේතුව ලෙස‍ හොබ්ස් පෙන්වා දෙන්නේ තම පැවැත්ම පමණක් අරමුණු කො‍ටගෙන ආත්මාර්ථකාමීව ක්‍රියා කරමින් බලය සඳහා බලය පිටුපස දුවන වන මෘගයන් වැනි මිනිසුන්ගෙන් සමන්විත ප්‍රකෘති සමාජය තුළ ඔවුන් පාළණය කරමින් පොදු සමාජ අභිවෘද්ධිය සඳහා ඉදිරියට මෙහෙයවීමට සමත් බලයක් සහිත පාලන ක්‍රමයක් නොතිබීම යි. මරණය පිලිබඳ බිය පෙරටු කොට ගෙන ගත කළ මෙම ජීවිතයෙන් වෙහෙසට පත් වන මොවුන් ප්‍රකෘති සමාජයෙන් මිදී සිවිල් සමාජයට අවතීර්ණව ‍පොදු යහපත ඇති කර ගැනීමේ අපේක්ෂාවෙන් පාලන ක්‍රමයක් ගොඩ නගා ගැනීමට එක් අවස්ථාවක දී තීරණය කල බව ප්‍රකාශ කරන හොබ්ස් එය සමාජ සම්මුතියක් මගින් සිදු වූ බවත්, එම සම්මුතිය පාර්ශව දෙකක් අතර නොව එක් පාර්ශවයක් එනම් පාළිතයා හා පාළිතයා අතර පමණක් සිදු වන බවත් ප්‍රකාශ කරයි. එම සම්මුතිය තුළින් මිනිසුන් රාජ්‍යයක් වශයෙන් සංවිධානය වන බව හොබ්ස් වැඩි දුරටත් කියයි.
                      හොබ්ස්ගේ න්‍යායට අනුව සමාජ සම්මුතිය මඟින් සිවිල් සමාජයකට ප්‍රවිශ්ට වී නැතහොත් රාජ්‍යයක් වශයෙන් සංවිධානය වීම පාළිතයා හා පාළිතයා අතර පමණක් සිදු වීම හේතුවෙන් පාලකයා පාළිතයාට වග කීමට බැඳී නොමැත. මන්ද යත් පාළකයා සම්මුතියෙහි කොටස් කරුවකු නොවන බැවිණි. හොබ්ස්ට අනුව ජනතාව තමන් භුක්ති විඳිමින් සිටින සියළු බලතල හා අයිතිවාසිකම් සම්මුතිප්‍රකාරව පාලකයාට පවරා දෙයි. මේ නිසා පාලකයාට අසහාය බලයක් හිමි වේ. නීතිය වන්නේ ඔහුගේ ආඥාවන් ය. පාලකයා අත්තනෝමතික වුව ද ඔහුට එරෙහිව නැඟී සිටීමේ බලයක් ජනතාවට හිමි නොවේ. හේතුව එවැනි ක්‍රියාවක් සම්මුතිය මගින් මිනිසුන් ගිවිසගත් පොදු පරමාර්ථ මිනිසුන් විසින් ම අභියෝගයට ලක් කරීමක් හා සමාන බැවිනි. මෙසේ අසහාය බලැති රාජාණ්ඩු ක්‍රමයක යහපත් භාවය පෙන්වා දෙමින් එය සාධාරණීකරණය කිරීම සඳහා සමාජ සම්මුතිය හොබ්ස් ‍යොදා ගත්තේ ය. හොබ්ස් නිර්මාණය කරන පාලකයා දෙස බැලීමේ දී පෙනී යන්නේ දේව වරම් වාදයෙන් කියැවෙන පාලකයා සතු බලතල මෙම පාලකයා ද භුක්ති විඳින බවයි. නමුත් මෙහි දී පාලකයාට බලය හිමි වන්නේ ජනතාවගෙන් මිස දෙවියන්ගෙන් නොවීම කැපී පෙනෙන ලක්ෂණයකි.

ජෝන් ලොක් :- ප්‍රකෘති සමාජය පිළිබඳ ලොක්ගේ චිත්‍රය හොබ්ස්ගේ චිත්‍රයට වඩා අතිශය වෙනස් ය. ප්‍රකෘති සමාජය තුළ මිනිසුන් අතිශය සාමකාමී සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ බව ලොක් කියයි. මිනිසුන්ගේ සමාජ පැවැත්ම ස්වභාවික නීතියට අනුකූලව මෙහෙයවුනු අතර සෑම මිනිසෙකුටම ජීවත් වීමේ අයිතිය, දේපල අයිතිය හා පෞද්ගලික නිදහස ස්වභාවික නීතිය මගින් සහතික කොට තිබිණි. නමුත් ස්වභාවික නීතිය ක්‍රියාවට නංවන පොදු පාලන ක්‍රමයක් හා නීති විනිශ්චයට පොදු සම්මතය යටතේ පත් වූ විනිශ්චය කරුවන් ද ප්‍රකෘති සමාජය තුළ නොවී ය. මේ අනුව සෑම පුද්ගලයෙක් ම නීති ක්‍රියාවට නැංවීම මෙන් ම නීති විනිශ්චය කිරීමේ කා‍ර්යයයේ යෙදුන අතර ඒ හේතුවෙන් ප්‍රකෘති සමාජය තුළ සෑම මිනිසෙක් ම එක් අතකින් විධායකයෙක් හා විනිශ්චයකරුවෙක් ද විය. සිය පෞද්ගලික විචාරන ශක්තිය අනුව මිනිසුන් මේවා සිදු කළේ ය. ඒ නිසා මෙම කාර්යයන් වල පොදු බවක් දක්නට ‍නොලැබුණු අතර ම ඒ හේතුවෙන් ප්‍රකෘති සමාජය තුළ ජීවිතය, දේපල හා නිදහස සම්බන්ධයෙන් යම් අනාරක්ෂිත තත්වයක් ඇති වූ බව ලොක් කියයි. මෙම අනාරක්ෂිත තත්වයෙන් මිදී ජීවිතය, දේපල හා නිදහස වඩාත් හොඳින් ආරක්ෂා කර ගනිමින් යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමේ අරමුණින් ප්‍රකෘති සමාජයේ මිනිසුන් සමාජ සම්මුතියක් මගින් සිවිල් සමාජයට ප්‍රවිශ්ට වීමට තීරණය කළ බව ද ලොක් කියයි.
                                                                                                ලොක් රාජ්‍යය සංවිධානය කර ගැනීම සම්මුතීන් දෙකක් අනුව සිදු වූ බව කියයි. මෙයින් ජනතාව අතරේ පමණක් ඇති වන ප්‍රථම සම්මුතිය මගින් ප්‍රකෘති සමාජයේ ජීවත් වූ මිනිසුන් සම්මුතියක් ඇති කොට ගෙන සිවිල් සමාජයට ප්‍රවිශ්ට වේ. සිවිල් සමාජයකට ප්‍රවිශ්ට වී රාජ්‍යය ගොඩ නගාගෙන පාලකයෙකු තෝරා ගනී. අනතුරුව පාලකයා හා ජනතාව අතර ඇති වන දෙවන සම්මුතිය යටතේ පාලකයාට බලය පවරා දෙයි. පාලකයා සම්මුතියේ කොටස් කරුවෙකු නිසා සිය පාලනය සම්බන්ධයෙන් ජනතාවට වග කීමට බැඳී සිටී. එසේ ම ප්‍රකෘති සමාජය තුළ ජනතාව භුක්ති විඳිමින් සිටි සියළුම අයිතාවාසිකම් හා බලය පාලකයාට පවරා නොදුන් බව පෙන්වා දෙන ලොක් ඔහුට බලය පවරා දුන්නේ පුරවැසියන්ගේ ජීවිත, දේපල හා නිදහස යන කරුණු තුන සඳහා පමණක් නීති පැණවීමට බව නිශ්චිත ලෙස ම කියා සිටී.
                                                පාලකයා පනවන නීති මගින් ජනතා අභිමතය පිළිබිඹු විය යුතු වන අතර එසේ නොවන විටක දී පාලකයාට එරෙහිව නැගී සිටීමේ අයිතිය ජනතාව සතු බව ලොක් පෙන්වා දේ. මෙහි දී ගොඩ නගන සිවිල් ආණ්ඩුවේ ආයතනික ව්‍යුහය විස්තර කරන ලොක් එය විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ආයතන තුනෙන් සැදුම් ලත්තක් විය යුතු බව පෙන්වා දෙයි. එහි දී අධිකරණය අනෙක් ආයතන දෙකේ බලපෑමෙන් තොර නිදහස් ආයතනයක් විය යුතු බව ද දක්වයි. විධායකය, ව්‍යවස්ථාදායකයට යටත් ව ක්‍රියාත්මක විය යුතු අතර අවසාන ලෙස ව්‍යවස්ථාදායකය මහ ජනතාවට වග කිව යුතු බව ද පෙන්වා දෙයි. මෙලෙස සමාජ සම්මුතිවාදය සීමිත බලැති, ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු ක්‍රමයක් ගොඩ නැගීම සඳහා ලොක් යොදා ගෙන ඇති බව පෙනේ.

ජින් ජැක් රූසෝ :- ජින් ජැක් රූසෝ ප්‍රකෘති සමාජය පිළිබඳ ව දක්වන අදහස් බොහෝ දුරට ලොක්ගේ අදහස් වලට සමාන වේ. ප්‍රකෘති සමාජ ජීවිතය සාමකාමී හා තෘප්තිමත් එකක් වූ බව රූසෝ ද පෙන්වා දේ. නමුත් කවරෙකු හෝ අපේක්ෂා නොකළ අනාරාධිත අමුත්තෙකු එනම් පෞද්ගලික දේපල ක්‍රමය හදිසියේ ම ප්‍රකෘති සමාජයට පැමිණීම ‍හේතු කොටගෙන එම සාමකාමී හා තෘප්තිමත් සමාජ ජීවිතය අවුල් සහගත වීමට පටන් ගැනුණි. මිනිසා තුළ ස්වභාවයෙන් ම පවතින තණ්හාව, ආශාව නිසා පෞද්ගලික දේපල ක්‍රමය අතහැර දැමීමට අකමැති වන ඔවුන්ට දැන් අවශ්‍ය වන්නේ තම ජීවිතය පිළිබඳ නිදහස හා ඒ හා බැඳී පවතින පෞද්ගලික දේපල ක්‍රමය රැක ගනිමින් සාමකාමී සමාජ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සමාජ පරිසරයක් ගොඩ නගා ගැනීමයි. මේ සඳහා ප්‍රකෘති මට්ටමෙන් මිදී සිවිල් සමාජයකට අවතීර්ණ වීමට මිනිසුන් තීරණය කළ බව රූසෝ පෙන්වා දේ.
                                                හොබ්ස් මෙන් ම රූසෝ ද ප්‍රකෘති මට්ටමෙන් මිදී සිවිල් සමාජයකට ප්‍රවිශ්ට වී රාජ්‍යය සංවිධානය කර ගැනීම එක් සම්මුතියකින් පමණක් සිදු වූ බව පවසයි.එය පාළිතයා හා පාලකයා අතර ඇති වන සමාජ සම්මුතියයි. නමුත් රූසෝ අනෙක් දෙදෙනාට ම වෙනස් ව යමින් ප්‍රකෘති සමාජයෙන් මිනිසුන් සිවිල් සමාජයකට ප්‍රවිශ්ට වීමේ දී ඔවුන් තමන් භුක්ති විඳිමින් සිටි බලය සමස්ත සමාජයටම පවරා දුන් බව කියයි. ඒ අනුව සමස්ත සමාජයම ස්වාධිපති වන අතර සමාජයේ ‍පොදු අභිමතය නිරූපණය කරන්නා වූ “පොදු කැමැත්ත” (Genaral Will) මගින් මෙම ස්වාධිපති බලය ක්‍රියාවට නංවන බව ද පවසයි. මෙම සමාජයේ සියළු දෙනාම මෙම පාළණයට සහභාගී වන අතර සියල්ලෝම එම බලයට යටත් වන බව ද පෙන්වා දෙයි. මෙසේ සමාජයේ සෑම මිනිසෙකුම දේශපාලනයට සහභාගී වන්නා වූ සැබෑ ජන සම්මතවාදී පාලන ක්‍රමයක් ගොඩ නගා ගැනීමට රූසෝ සමාජ සම්මුති වාදය උපයෝගී කොට ගනී.

විකාශණාත්මක හෙවත් සමාජ විද්‍යාත්මක මතවාදය
                  මෙම මතයට අනුව රාජ්‍යය එක් නිශ්චිත අවස්ථාවක දී නිශ්චිත සාධකයක් පදනම් කරගෙන පැන නැඟුණු ආයතනයක් නොවේ. එය සමාජයේ ක්‍රමික විකාශයේ දී ස්වභාවිකව පැන නැඟුණු යම් යම් මූලික සාධක තුලින් හා තවත් අතුරු සාධක ගණනාවක් නිසා ක්‍රමයෙන් අද තිබෙන තත්වයට පරිවර්තනය වූ දීර්ඝ විකාශනයක් සහිත ආයතනයකි. මෙම මතය ඉදිරිපත් කළ අය ප්‍රකාශ කරන්නේ රාජ්‍යයේ උපත ඉතිහාසයේ අප නොදන්නා පරිසරයක් තුළ සිදු වී තිබෙන බවයි.
                                                            මෙම න්‍යායට අනුව රාජ්‍යය විවිධ වූ දේශ වල විවිධ ආකාරයෙන් උපත ලබා ඇත. ඒ අනුව ඈත අතීතයේ සමාජ විකාශන ක්‍රියාවලිය ආරම්භ වන්නේ පවුල නැමැති ඒකකය මුල් කර ගෙන ය. ප්‍රාථාමික මිනිසාගේ සරළ අවශ්‍යතා පවුල නැමැති ඒකකය තුළ සපුරා ගත හැකි වේ. පවුලේ සාමාජිකයන්ගේ ආහාර රැස් කිරීම, අන්‍යෝන්‍ය ආරක්ෂාව සලසා ගැනීම, පවුලේ නායකත්වයේ මෙහෙයවීම යටතේ සිදු කරනු ලැබී ය. අනුක්‍රමයෙන් එය පවුල් කීපයක් එක් වීමෙන් ගෝත්‍රයක් බවට විකාශණය විය. ගෝත්‍ර සාමාජිකයන් එකිනෙකා සම්බන්ධ කරන සාධකය වූයේ පොදු පෙළපතක් පිළිබඳ විශ්වාසයයි.
      විකාශනාත්මක මතවාදීන්ට අනුව ලෝකයේ විවිධ ප්‍රදේශ වල එකිනෙකට වෙනස් වූ මෙවැනි ගෝත්‍ර සංවිධාන බොහෝ සෙයින් පැවත ඇත. ඇතැම් ‍ගෝත්‍ර වල වැඩිමහල්ලන්ගේ සංවිධානයක් මගින් පොදු කටයුතු පිළිබඳ පාලනයක් හා විනයක් පවත්වාගෙන ගිය අතර තවත් සමහර ගෝත්‍ර වල මෙම කාරයය ඉටු කළේ ගෝත්‍රයේ වඩාත් ජ්‍යෙෂ්ට හෝ ශක්තිමත් පුද්ගලයා ය. ඇතැම් ගෝත්‍ර වල නායකත්වය පදනම් ව පැවතියේ පීතෘ මූලධර්මය මත හෝ මාතෘ මූලධර්මය මත ය. ගෝත්‍ර නායකයෝ තම සාමාජිකයන්ගේ සිරිත් විරිත්, සම්ප්‍රදායන්, ආගමික විශ්වාසයන් හා ඇදහීම් ආදිය පාලනය කළ ද කාලයාගේ ඇවෑමෙන් යම් යම් හේතු සාධක නිසා ගෝත්‍ර දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් හෝ ඇතුළත් වන වඩා විශාල සමාජ ඒකක පැන නැඟුණ බව මෙම මතයේ දී අදහස් වේ.
                                                                        තනි ගෝත්‍රයක මෙන් නොව විශාල ඒකකයක සාමාජිකයන් වෙත ආහාර, වාසස්ථාන හා ආරක්ෂාව සැපයීම සඳහා වඩා ප්‍රබල වූ සංවිධානයක් අවශ්‍ය විය. එසේ ම එසේ එකතු වූ ගෝත්‍ර වල සිරිත් විරිත්, සම්ප්‍රදායන් හා විශ්වාසයන් අතර විවිධ වෙනස්කම් පැවතුන හෙයින් ගෝත්‍ර සාමාජිකයන්ගේ ඕනෑ එපාකම් හා වෙනත් අවශ්‍යතාවයන් ද රැසක් විය. මේ හේතුවෙන් ම අරගල පැන නැඟුන අතර ඒවා සමථයකට පත් කිරීම සඳහා යම් බලධාරිත්වයක් අවශ්‍ය විය.
                                                                                                                                    මේ හැරුණු විට ගෝත්‍ර වලට පිටතින් එල්ල වූ ආක්‍රමණ වලින් ආරක්ෂා වීම ද ප්‍රශ්නයක් විය. විටින් විට මෙම ප්‍රශ්නයන් විසඳීමේ දී ගනු ලැබූ වැඩ පිළිවෙලෙහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍යය නැමැති සංවිධානය බිහි වූ බව විකාශනාත්මක මතවාදීන්ගේ අදහසයි. යුද්ධ හා සටන් වල දී තම බල පරාක්‍රමය පෙන් වූ හෝ වඩාත් ප්‍රබලම සංවිධානාත්මක කුසලතාවය පෙන් වූ නායකයා රාජ්‍යය නායකයා බවට පත් විය.
                                                                                                            රාජ්‍යය නැමැති සංවිධානය බිහි වීමෙන් අනතුරුව පොදු කටයුතු ඉටු කිරීමට අවශ්‍ය නෛතික රාමුවක් ඇති කිරීමටත් එය පවත්වාගෙන යාමත් සමඟම රාජ්‍යය නිශ්චිත දේශ සීමාවකුත්, නිශ්චිත ජන ගහනයක් හා මධ්‍ය අධිකාරියක් ද බිහි කර ගත්තේ ය. පසු කාළයේ දී පැන නඟින ‍ආර්ථික, සමාජ හා දේශපාලන සාධක හේතු කොට ගෙන රාජ්‍යයේ ස්වභාවය හා පාලකයා පිළිබඳ සංකල්පය ද වෙනස් වීම් වලට බඳුන් වේ. සමාජ විකාශනයේ ධනවාදී මුල් වකවානුවේ දී රාජ්‍යයේ ප්‍රධාන කාර්යය වූයේ නීතිය හා සාමය ආරක්ෂා කොට පවත්වාගෙන යාමයි.
     ධනවාදය පහලවීමෙන් අනතුරු ව පැන නැඟුන සංකීර්ණ සමාජ, ආර්ථික ගැටළු විසඳීම සඳහා රාජ්‍යය අනුක්‍රමයෙන් මැදිහත් වන්නට වූ බව මෙම මතවාදීන් පෙන්වා දේ. ක්‍රමිකව සිදු වන මෙම සමාජ විකාශනයත් සමඟම රාජ්‍යයේ කාර්යය හා බල තල ද තව දුරටත් වෙනස් වෙමින් හා වර්ධනය වෙමින් පවතී. මෙසේ වර්ධනය වන රාජ්‍යය හුදෙක් මානව සංවිධාන වල විකා‍ශනයේ අවසානයම නොවන බව ඔවුහු ප්‍රකාශ කරති. පවතින රාජ්‍යය යල් පැන යාමෙන් වෙනත් මාදිලියේ රාජ්‍යය සංවිධානයන් ඇති වීමට ඉඩ කඩ ඇති බව මොවුහු පෙන්වා දෙති.
                                    රාජ්‍යයේ ප්‍රභවය පිළිබඳ විකාශනාත්මක හෙවත් සමාජ විද්‍යාත්මක න්‍යාය වන්නේ මෙයයි. ජාතික රාජ්‍යය නමින් හඳුන්වන වර්තමාන රාජ්‍ය ක්‍රමය දක්වා පැමිණ තිබෙන්නේ  මේ ආකාරයේ සංවර්ධනයක් පෙන්වා දෙන රාජ්‍යයක් බව විකාශනාත්මක මතවාදීහු පැහැදිලි කළහ.

මාක්ස් වාදය
           විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘවරුන් වන කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් යන දාර්ශනිකයන් දෙදෙනා විසින් 19 වන ශතවර්ෂයේ දී ගොඩ නගන ලද්දකි. වී.අයි ලෙනින් විසින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලද දර්ශනය සමාජ වාදය ලෙස හැඳින් වේ. වෙනත් අයුරකින් දක්වන්නේ නම් එක්දහස් අටසිය ගණන් වල දී කාල් මාක්ස් හා ‍ෆෙඩ්රික් එංගල්ස් යන චින්තකයින් දෙදෙනා රාජ්‍යය පිළිබඳ ව ඉදිරිපත් කළ නව අදහස් මාලාව රාජ්‍යය පිළිබඳ සමාජවාදී න්‍යාය යනුවෙන් අදහස් කෙරේ. 1848 දී මෙම දෙදෙනා විසින් එළි දක්වන ලද “කොමියුනිස්ට් ප්‍රකාශනය” යන කුඩා කෘතියෙන් ප්‍රථම වතාවට සමාජවාදී අදහස් මාලාව ලොව පුරා ප්‍රකට විය. එසේ ම ඔවුන් විසින් රචිත පවුල, පෞද්ගලික දේපල හා රාජ්‍යය සම්භවය යන කෘතියෙන් ද රාජ්‍යය හා විප්ලවය යන කෘතියෙන් ද මෙම අදහස් තව දුරටත් ඉදිරිපත් කරන ලදි.
                        මාක්ස්වාදීන් රාජ්‍යය සම්භවය පිලිබඳ තම අදහස් වලින් පෙන්වා දෙනු ලබන්නේ සමාජයේ එක් පංතියක් විසින් තවත් පංතියක් පාලනය කිරීම සඳහා යොදා ගෙන ඇති ආයුධය රාජ්‍යය වන බවයි. නැතහොත් රාජ්‍යය යනු ආර්ථික බලය හිමි ධනපති පන්තියේ ආයුධයක් යැයි ඔවුහු ප්‍රකාශ කරති.
                                                                                                                                    රාජ්‍යය සම්භවය පිළිබඳ ‍ඓතිහාසික කරුණු සලකා බලන මාක්ස් වාදීන් සමාජ විකාශන ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් යුග 06 කට බෙදා දක්වයි.
·         ප්‍රාග් කොමියුනිස්ට්වාදය
·         වහල් යුගය
·         වැඩ වසම් යුගය
·         ධනවාදී යුගය
·         සමාජවාදී යුගය
·         පූර්ණ කොමියුනිස්ට් යුගය
                                              වශයෙනි.
                                                  ප්‍රාග් කොමියුනිස්ට් සමාජය තුළ භූමිය, නිෂ්පාදනය හා පරිභෝජනය යන සියල්ල පොදුවේ පැවතුණි. සමාජ ඉතිහාසයේ මුල් ම යුගය වූ මෙම යුගයේ දී රාජ්‍යයක් නොතිබිණි. ඊට හේතුව වූයේ පෞද්ගලික දේපල ක්‍රමයක් නොතිබීමයි. මේ නිසා එම සමාජයේ සියළු දෙනා අතර සාමූහික ජීවිතයක් දක්නට ලැබුණි. අවශ්‍ය ආහාර පාන, පරිහරණය කරන මෙවලම් ආදිය පොදු පදනමක් යටතේ භාවිතයට ගැනුණි. සමාජයේ බෙදීමක් හෝ පන්ති භේදයක් නොතිබූ නිසා මේ යුගයේ දී රාජ්‍යයක් ද දක්නට නොලැබුණි. එසේ ම එක් මිනිසෙක් විසින් තවත් මිනිසෙක්වත්, එක් පන්තියක් විසින් තවත් පන්තියක්වත් සූරා කෑමකට ලක් නොවුණි.
                                                මෙසේ කාලාන්තරයක් තිස්සේ පැවති මෙම ප්‍රාග් කොමියුනිස්ට් සමාජ ක්‍රමය බිඳ වැටීමකට ලක් වන බව මාක්ස් පෙන්වා දෙයි. ඊට හේතුව වූයේ ගෝත්‍රය තුළ දක්නට ලැබුණු ප්‍රති විරෝධතාවයන් ය. ගෝත්‍රය තුළ සංඛ්‍යාත්මක වර්ධනයත් සමග ශ්‍රම විභජනයක් ද ඇති විය. මෙසේ ශ්‍රමය බෙදී යාමත් සමගම ගෝත්‍ර අතර අරගල උත්සන්න විය.
                                                                        ගෝත්‍ර අතර අරගල වල දී ශක්තිමත් ගෝත්‍රය දුර්වල ගෝත්‍රය යටත් කර ගත් අතර යටත් ගෝත්‍රය සම්බන්ධයෙන් ජයග්‍රාහී ගෝත්‍රය ක්‍රියාමාර්ග දෙකක් අනුගමනය කරනු ලැබී ය. මෙයින් මුල් යුගයන් වල දී යටත් ගෝත්‍රය සමූල ඝාතනය කරනු ලැබී ය. පසු කාලීනව යටත් ගෝත්‍රය තම වහලුන් බවට පත් කර ගනු ලැබීම සිදු කළ බව මාක්ස් වාදීහු පෙන්වා දෙයි. පසු කාළීනව පරාජිත ගෝත්‍රයේ ශ්‍රමය අර්ථානුගත කිරීමේ ක්‍රමයක් වශයෙන් ඔවුන් තම වහලුන් බවට පත් ර ගත් බව පැහැදිලි වේ. මෙය වහල් සමාජයේ ආරම්භය ලෙස මාක්ස් වාදීන් පෙන්වා දේ.
                                                                                                            වහල් සමාජයේ බිහි වීම රාජ්‍යය නැමැති ආයතනය ක්‍රමවත් ව සංවිධානය වීමේ මූල අවස්ථාව වශයෙන් ඔවුහු ප්‍රකාශ කරති. මෙම වහල් සමාජය තුළ ප්‍රධාන බලවේග දෙකක් දැක ගත හැකි වේ. එක් අතකින් සමාජයේ සුළුතරය නියෝජනය කළ වහල් හිමියන් ද, අනෙක් අතින් සමාජයේ බහුතරය නියෝජනය කළ වහලුන් ද එම දෙපිරිසයි. මෙම අවධියේ දී වහල් හිමියන්ගේ ප්‍රධාන ආර්ථික සම්පත බවට පත් වන්නේ වහලුන් ය. වහල් හිමියන් විසින් වහලුන්ගේ ශ්‍රමය සූරා කෑම සඳහාත්, ඔවුන් පාලනය කිරීම සඳහාත් යොදා ගනු ලබන්නේ එම සමාජය තුළ අළුතින් ගොඩ නැඟුණු රාජ්‍යය නැමැති සංවිධානයේ බලයයි.
                                                                        වහල් සමාජයේ දී ආධිපත්‍ය බලය හිමි වූයේ රජ වරුන්ට හා වහල් හිමියන්ට ය. මෙහි පීඩිත පන්තිය වහළුන් බවට පත් වන අතර පීඩක පන්තිය බවට වහල් හිමියන් පත් වේ.
                 සමාජවාදීන් පෙන්වා දෙන පරිදි මෙම අවධියේ දී වහළුන්ට කිසිදු නිදහසක් භුක්ති විඳීමට අවස්ථාවක් හිමි නොවුණි. ඒ අනුව ඔවුන්ට හිමි වූ එකම නිදහස වූයේ වහල් හිමියන්ට සේවය කිරීම පමණි. වහල් හිමියන් සම්පූර්ණයෙන් ම නඩත්තු වූයේ වහලාගේ ශ්‍රමයෙහි අතිරික්ත ඵලයෙනි. වහළුන් විසින් තම යැපුමට අවශ්‍ය ශ්‍රම ප්‍රමාණයට වඩා වැඩි ශ්‍රමයක් වැය කරන අතර එම අතිරික්ත ශ්‍රමය සම්පූර්ණයෙන් ම වහල් හිමියා විසින් පැහැර ගන්නා ලදි. මෙම පරස්පර විරෝධී පැවතුම් තත්වය නිසා කල් යාමෙන් මෙම දෙපිරිස අතර අරගල පැන නැගුණු බව මාක්ස් වාදීහු පෙන්වා දෙති. පීඩිත වහල් පන්තිය වහල් හිමියන්ට එරෙහි ව සංවිධානය වන අතර එලෙස උත්සන්න වූ අරගලයකට උදාහරණයක් වශයෙන් “ස්පාටකස් කැරැල්ල” පෙන්වා දිය හැක. මෙලෙස වහලුන් විසින් වහල් හිමියන්ට එරෙහිව සංවිධානය වීමත් සමඟම පාලක පන්තිය වූ වහල් හිමියන් ද තව දුරටත් ක්‍රමානුකූල ව සංවිධානය වේ. එලෙස ඇති වන අරගල වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම සමාජ ක්‍රමය ද බිඳ වැටී රදල වැඩ වසම් අවධිය බිහි වන බව මාක්ස් වාදීහු පෙන්වා දෙති.
                                    මෙම වැඩවසම් සමාජයේ ද රදළයා හා ප්‍රවේණි දාසයා වශයෙන් පන්ති දෙකක් දක්නට ලැබුණි. එම සමාජ ක්‍රමයේ ද රාජ්‍ය පාලන බලය හිමි වූයේ රජුට හා රදලයන්ට ය. සමාජයේ ආර්ථික හා දේශපාලන බලය ලබා ගත් මෙම කණ්ඩායමට ප්‍රවේණියට අනුව දාසකම් කිරීමට ප්‍රවේණි දාසයන්ට සිදු විය. ඒ නිසා මෙම සමාජ ක්‍රමයේ ද ප්‍රවේණි දාසයා සූරා කෑමට ලක් වන බව මාක්ස් වාදීහු පෙන්වා දෙති. ඔවුන්ගේ මතයට අනුව රජු හා රදළයින් අතැතිව තිබූ මෙම බලය යොදවනු ලැබූයේ ප්‍රවේණි දාසයන්ගේ ශ්‍රමය සූරා කෑම සඳහායි. කල් යත් යත් ම මෙම පන්ති දෙක අතර ද විවිධ අරගල හට ගනී. එම අරගල වල ප්‍රතිඵලයක් වශයෙන් පසු කාලයේ දී වැඩවසම් සමාජ ක්‍රමය ද බිඳ වැටී ධනේශ්වර සමාජ ක්‍රමය බිහි විය. වර්තමාන ධනේශ්වර ක්‍රමයේ ද පන්ති දෙකක් දක්නට ලැබෙන බව මාක්ස් වාදීහු ප්‍රකාශ කර සිටී. එනම් ධනපති හා නිර්ධන වශයෙනි. සමාජයේ ධන බලය හා පාලන බලය ලබා ගත්තා වූ ධනපති පංතිය සැම විටම එම බලය යොදවනු ලබන්නේ නිර්ධන පංතියේ පීඩනය සඳහායි. රාජ්‍යය බලය යොදවා නිර්ධන පංතිය තුළින් ලබා ගත්තා වූ ශ්‍රමයේ අතිරික්ත ඵලය භුක්ති විඳිනු ලබන්නේ ධනපති පන්තියයි. මාක්ස් වාදයට අනුව මේ ආකාරයට ලොව පන්ති සහිත සමාජයක් බිහි වූ පසු බලවත් පන්තිය එනම්, ධනපති පන්තිය විසින් පීඩිත පන්තිය පාගා ගෙන සිටීම‍ සඳහා රාජ්‍යය ආයුධයක් කර ගත්තේ ය. ඒ අනුව වර්තමානයේ ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය සූරා කෑම සඳහාත්, ඔවුන් සූරා කෑම සඳහාත්, ඔවුන් පාලනය කිරීම සඳහාත් රාජ්‍යය නැමැති ආයුධය යොදා ගෙන ඇති බව පෙනේ. මේ නිසා රාජ්‍යයේ වර්තමාන ස්වභාවය ද පන්ති ආයුධයක ස්වභාවයක් ගනී.
                                                                                    ධනවාදී සමාජය තුළින් ජනිත වන බලවේග මගින් ම ධනවාදී සමාජ ක්‍රමය ද විනාශයට පත් වන බව මාක්ස්වාදී මතයයි. මෙම මතයට අනුව එම අවස්ථාවල දී සමාජයේ බහුතරය වන නිර්ධන පන්තිය විසින් ආර්ථික බලය ද, එමගින් දේශපාලන ‍බලය ද අත්පත් කර ගනු ලැබේ. එවිට ඉතිහාසයේ පළමු වරට සමාජයේ බහුතරය පාළකයන් බවට පත් වේ.
                                                                                                                                    සමාජයේ සුළුතරය සතුව තිබූ ඒකාධිපති බලය වෙනුවට නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ඇති වේ. නිර්ධන පන්තිය එය එනම් අළුතින් ඇති කර ගත් බලය ධනවාදී ආර්ථික සමාජයේ එතෙක් ඉතිරිව ඇති නටඹුන් විනාශ කර දැමීමටත්, ඒ වෙනුවට සමාජවාදී සමාජ ක්‍රමයක් ගොඩ නැඟීමටත් උපයෝගී කර ගනී. එහි දී ඒ තුළ පන්ති රහිත සමාජ ක්‍රමයක් බිහිවෙයි. එහි ධන හිමියෝ හෝ නිර්ධන පන්තියක් හෝ දක්නට නොමැත. හේතුව වන්නේ සමාජ බලය සාධාරණ ලෙස එම සමාජය තුළම බෙදී යාමයි. සමාජවාදී අවධියේ දී රාජ්‍ය නැමැති ආයතනය පැවතිය ද එය කලින් අවධීන් වල දී මෙන් බහුතරය මර්ධනය කිරීමට නොව සුළුතරය මර්ධනය කිරීමට යොදා ගනී. මෙම සමාජවාදී අවධියෙන් පසුව එළඹෙන පූර්ණ කොමියුනිස්ට් යුගයේ දී රාජ්‍යය නැමැති ආයතනය මිලාන වී හෙවත් නැති වී යන අතර ඒ අවස්ථාවේ දී දැකිය හැක්කේ ද්‍රව්‍යය හා ස්වභාවයන් විසින් මිනිස් යහපත පාලනය කිරීමේ හැකියාවයි.

ලිබරල් වාදය
              “ලිබරල්” (Libaral) යන ඉංග්‍රීසි වදනෙහි අර්ථය වන්නේ “නිදහස”(Freedom) යන්නයි. මේ අනුව 18 වන ශතවර්ෂයේ දී යුරෝපයේ පැතිරී ගිය නිදහස පිළිබඳ දේශපාලන මතවාදය ලිබරල්වාදය යනුවෙන් හඳුන්වා දෙනු ලැබේ. රාජ්‍යය පිළිබඳවත්, සමාජය තුළ පුද්ගල ක්‍රියාකාරිත්වය පිළිබඳවත්, පාලක-පාලිත සබඳතා පිළිබඳවත් ලිබරල්වාදය මගින් ඉදිරිපත් කර ඇති අදහස් කෙරෙහි ඇරිස්ටෝටල්ගේ “පුද්ගලවාදය” නැමැති අදහස අදහස, රාජ්‍යය සමාජයේ පොදු ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වේය යන අදහස, ජෝන් ලොක්ගේ පෞද්ගලික දේපළ පිළිබඳ අදහස් ද බල පා ඇත.
                                                                                                            18 වන ශතවර්ෂයේ දී මැද භාගයේ දී ලිබරල්වාදය පැතිරී ගියේ කාර්මික ධනවාදයේ දේශපාලන මතවාදය වශයෙනි. මෙම කාර්මික ධනවාදය බිහි වීමට ප්‍රථම යුරෝපයේ වෙළඳාම මුල් කර ගත් ආර්ථික ක්‍රමයක් පැවතුණි. එම අර්ථ ක්‍රමය හසුරුවනු ලැබුවේ රාජ්‍යය විසිනි. එහෙත් 18 වන ශතවර්ෂයේ අග භාගයේ දී එළි දක්වන ලද කාර්මික ධනවාදය හෙවත් ප්‍රාග් ධනය මුල් කරගෙන ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමය හැසිරවීම සඳහා රාජ්‍යය අවශ්‍ය නොවීම කැපී පෙනෙන ලක්ෂණයක් විය. මේ පිළිබඳ සම්භාව්‍ය ධනේෂ්වර ආර්ථික විද්‍යාඥයෝ වන ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ ද අදහස් දක්වා ඇත. ඔවුන්ට අනුව ආර්ථිකය හැසිරවීමට රජය මැදිහත් නොවිය යුතු බවත් එය ස්වභාවික බලවේග මගින් හැසිරවෙන බවත් ප්‍රකාශ කෙරේ.
                                                                                    ඇඩම් ස්මිත් සම්පාදනය කළ “ජාතීන්ගේ ධනය” නැමැති ග්‍රන්ථයෙන් දැක් වූ පරිදි ධනවාදී ආර්ථික ක්‍රමය හැසිරවීම සඳහා දේශපාලන හස්තයක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අදෘෂ්‍යමාන හස්තයක් හෙවත් මිල යන්ත්‍රණයක් පවතින බවත් ප්‍රකාශ කෙරේ. ඒ අනුව “ආර්ථිකය රජය විසින් පාලනය නොකළ යුතු ය” යන අදහස මුල් කර ගෙන “රාජ්‍ය නිර්බාධවාදය” නැමැති ප්‍රතිපත්තිය ඉස්මතු වූ අතර එබඳු රාජ්‍යයක් ගොඩ නැඟීම සඳහා වන දේශපාලන මතවාදය ලෙස ලිබරල් වාදය පැතිරී ගියේ ය. එහෙයින් ලිබරල් වාදය යනු ධනවාදී ආර්ථික ක්‍රමයේ දේශපාලන ප්‍රකාශය වන බව විචාරකයෝ පවසති.
                        ලිබරල්වාදී න්‍යායට අනුව රාජ්‍යයේ සම්භවය සිදු වී ඇත්තේ දිගු කාළීන සමාජ විකාශනයේ ප්‍රතිඵලවක් වශයෙනි. ඒ අනුව ඔවුහු රාජ්‍යයේ උපත පිළිබඳ ව පිළීගන්නා මතය වන්නේ සමාජ විකාශනාත්මක මතවාදයයි. සමාජයේ පොදු අරමුණු වර්ධනය වීමට අනුරූපිකව රාජ්‍යයේ ස්වභාවය ද වෙනස් වන බවක් ඔවුහු පිළිගනිති.
                                                මෙසේ ගොඩ නැගී ඇති ලිබරල්වාදයේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ පසුගිය ආර්ථිකය (ධනේශ්වර) ක්‍රමය තුළ ඇති වර්ධනයට හා විකාශනයන්ට අනුගාමිකව එම මතවාදයේ ද විකාශණයක් ඇති වී තිබීමයි. ඒ අනුව එහි විකාශනය පහත සඳහන් පරිදි දැක්විය හැකි ය.
        i.            සම්භාව්‍ය ලිබරල් වාදය
      ii.            නූතන ලිබරල් වාදය
    iii.            නව ලිබරල් වාදය
                        මෙහි දී සම්භාව්‍ය හා නූතන ලිබරල් වාදය පිළිබඳ පමණක් සලකා බැ‍ලේ.
I.            සම්භාව්‍ය ලිබරල් වාදය
              18 වන සියවසේ අග භාගයේ දී පැතිරී ගිය ලිබරල්වාදී අදහස් සම්භාව්‍ය ලිබරල්වාදය ලෙස හඳුන්වනු ලැබේ. මෙය පැරණි ලබරල්වාදය ලෙස ද හැඳින්වේ. මෙම ලිබරල් වාදී අදහස් රාජ්‍ය නිර්බාධවාදය සමඟ බද්ධ වූවකි. කාර්මික ධනවාදය ස්ථාපිත වූ මුල් යුගයේ දී ආර්ථිකය හැසිරවීමට රාජ්‍යය මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය අනිවාර්ය අවශ්‍යතාවයක් විය. එවැනි නිර්බාධවාදී රාජ්‍යයක් තහවුරු කරළීම හෙවත් ආබාධ රාජ්‍යයක් බිහි කිරලීම සම්භාව්‍ය ලිබරල්වාදයේ අවශ්‍යතාවය වේ. එවැනි රාජ්‍යයක් යටතේ පුද්ගල නිදහස තහවුරු කරලීම කෙරේ එකල අවධානය යොමු වේ. එහි අරමුණ වූයේ ධනේශ්වර ආර්ථික ක්‍රමයේ වර්ධනය සඳහා නිදහස් වාතාවරණයක් පවත්වා ගත යුතු වීමයි. ජෙරම් බෙන්තම්, ජේම්ස් මිල්, ජෝන් ස්ටුවර්ට් මිල් යන දාර්ශනිකයින් සම්භාව්‍ය ලිබරල් වාදී අදහස් ඉදිරිපත් කරනු ලැබී ය. සම්භාව්‍ය ලිබරල් වාදයට අනුව රාජ්‍යය පුද්ගලයාගේ පෞද්ගලික, ආර්ථික, සාමාජීය හා දේශපාලනික කටයුතු වලට මැදිහත් නොවන අතර එහි කාර්යය වන්නේ සාමකාමී වාතාවරණයක් ඇති කිරීමත්, අපක්ෂපාතීව යුක්තිය පසිඳලීමත් ය. වෙනත් අයුරකින් දක්වන්නේ නම් රාජ්‍යය පුද්ගලයාගේ කටයුතු වලට ඉතාමත් ම අවම වශයෙන් සම්බන්ධ වීමයි. එම මතයට අනුව අඩුවෙන් ම පාලනය කරන රාජ්‍යය හොඳම රාජ්‍යය වේ. හේතුව වන්නේ සමාජ, පුද්ගල නිදහස එයින් පුළුල් ලෙස තහවුරු වන බැවිනි. මේ අනුව රාජ්‍යය සමාජයේ සැමටම පොදු සංවිධානයක් මෙන් ම අපක්ෂපාතී සංවිධානයක් ලෙස ද හඳුන්වනු ලැබේ. රාජ්‍යය නීතිය හා සාමය ආරක්ෂා කරන හෙයින් එය පොලිස් නිලධාරියෙකුගේ තත්වයට ද අපක්ෂපාතීව යුක්තිය පසිඳලන හෙයින් විනිශ්චය කරුවෙකුගේ තත්වයට ද සමාන වන බව විචාරකයෝ පෙන්වා දෙති.
                 රාජ්‍යය පුද්ගල කටයුතු වලට මැදිහත් වීමේ පැහැදිලි සීමාවක් පවතින බව ස්ටුවර්ට් මිල් ප්‍රකාශ කළේ ය. එනම් පුද්ගලයාගේ පෞද්ගලික කටයුතු වලට රාජ්‍යය මැදිහත් නොවිය යුතුය යන්න ඔහු එයින් අවධාරණය කළේ ය. එනම් සිතීම, අදහස් පල කිරීම, කැමති ආගමක් ඇදහීම, කැමති ප්‍රදේශයක වාසය කිරීම, කැමති සංස්කෘතියක් ඇදහීම යනා දී කටයුතු වේ. ඒ අනුව රාජ්‍යය මැදිහත් විය යුත්තේ පුද්ගලයාගේ සමාජ කටයුතු වලට පමණකි. එනම් පුද්ගලයා සමාජයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේ දී නීතිය හා සාමය කඩ කළහොත් එය ආරක්ෂා කිරීම සඳහා පමණක් රජය මැදිහත් විය යුතු ය යන්නයි. මේ අයුරින් පුද්ගල නිදහස ආරක්ෂා කරදීම සඳහා සම්භාව්‍ය ලිබරල්වාදීන්  තම අදහස් ඉදිරිපත් කරනු ලැබී ය.
    II.            නූතන ලිබරල් වාදය
                        රාජ්‍යය නිර්බාධවාදී බව මුල් කර ගත් සම්භාව්‍ය ලිබරල් වාදයේ මූලික අරමුණ වූයේ කාර්මික ධනවාදයේ පැවැත්ම හා වර්ධනය සඳහා දේශපාලනමය වාතාවරණයක් නිර්මාණය කිරීමයි. එහි දී සමාජයේ පුද්ගල කටයුතු වලට රජය මැදිහත් නොවීම යටතේ පුද්ගලයාගේ ආර්ථික නිදහස තහවුරු වීම සිදු වේ. විශේෂයෙන් ම මෙහි දී දේපල හිමි ධනපති පන්තියේ නිදහස තහවුරු වීම සිදු වේ. ඒ අනුව නිර්ධන පන්තියේ ශ්‍රමය සූරා කෑමේ වඩා පුළුල් ඉඩ ප්‍රස්ථාව ධනපති පන්තියට ලැබේ. මෙහි ප්‍රතිඵලය වූයේ සමාජයේ බහුතරය වන කම්කරු හා පීඩිත ජනතාව අන්ත දරිද්‍රතාවයකට ඇද වැටීමයි. එය හේතු කොට ගෙන එම සමාජය තුළ විවිධාකාර වූ සමාජ, ආර්ථික ප්‍රශ්න ගොන්නක් මතු වන්නට විය. තව ද නාගරික ප්‍රදේශ වල කර්මාන්ත බිහි වීම නිසා කම්කරු ශ්‍රමය නගර කරා ඇදී ගියේ ය. මේ තුළින් ද විවිධාකාර වූ සමාජ ප්‍රශ්න මතු වන්නට විය. මෙවැනි තත්වයනට බල පෑ ප්‍රධාන හේතුව වූයේ ධනපති පංතිය විසින් ලාභය පෙරදැරි කරගෙන පවත්වාගෙන යනු ලැබූ ආර්ථික ක්‍රියා කළාපය යි. එම ක්‍රියාවලිය තුළ බහුතර නිර්ධන කොටස් අන්ත අසරණ තත්වයට පත් වේ. මෙම තත්වය හේතු කොටගෙන යුරෝපාකරයේ කාර්මික රට වල ධනපති ක්‍රමයට විරුද්ධ නිර්ධනයන් නැගී සිටීමට පටන් ගැනුණි. එහි දී ඇති වූ කම්කරු අරගල සටන්කාමී ව්‍යාපාර බවට පවා පරිවර්තනය වන්නට විය. මේ අයුරින් 19 වන ශතවර්ෂයේ මුල් කාලය පමණ වන විට ධනේෂ්වර ක්‍රමය විශාල අභියෝගයකට ලක් වී තිබුණි. එසේ ම මාක්ස් වාදය වැනි සමාජවාදී අදහස් පැතිරී යාම ද මෙයට අභියෝගයක් විය.

ෆැසිස්ට්වාදය
              මෙම මතය රාජ්‍යයේ උපත පිළිබඳව ඉදිරිපත් වූ න්‍යායක් නොව රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ ව ඉදිරිපත් වූ දර්ශනයක් ලෙස හඳුන්වා දිය හැක. නූතන දේශපාලන දර්ශනයන් අතර ඉතා මෑතක දී ඇති වූවක් ලෙස සලකන ෆැසිස්ට්වාදය විශේෂයෙන් විසි වන සියවස තුළ වැදගත්කමක් උසුලයි. ෆැසිස්ට්වාදය යම් කිසි චින්තකයෙකු විසින් ඉදිරිපත් කළ දර්ශනයක් හෝ මතවාදයක් නොවේ. පළමු වන හා දෙවන ලෝක යුද්ධ කාලයන් අතරතුර දී ඉතාලිය හා ජර්මනිය තුළ පැතිරී ගිය දේශපාලන ව්‍යාපාරයක් ලෙස හඳුන්වා දිය හැක. ඉතාලියේ බෙනිටෝ මුසෝලිනී යටතේ ද, ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් යටතේ ද පැතිරුණු ව්‍යාපාරය හා රාජ්‍ය ක්‍රමය ෆැසිස්ට්වාදයයි.
                                                            “ෆැසිස්ට්” යන්න ඉතාලි වචනයකින් බිදී ආවකැයි සැලකේ. එහි අර්ථය “මිටිය” යන්නයි. ඒ අනුව ඉතාලි ආණ්ඩුවේත්, ජර්මන් අධිරා‍ජ්‍යයේත් රාජ්‍ය ලාංඡනය වූයේ “පොරව හා දර මිටිය යි.” එම ලාංඡනය මගින් මූර්තිමත් කරනු ලැබුවේ “ජාතියේ එක්සත් බව, ශක්තිය හා සහෝදරත්වය යි.”
              දේශපාලන දාර්ශනිකයන් විසින් ෆැසිස්ට්වාදය හඳුන්වා දී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට හා සමාජවාදයට පටහැනි වූ කිසිදු විරුද්ධ පක්ෂයකට හෝ විවේචනයකට ඉඩ නොදෙන්නා වූ ජාතියේ සෑම කටයුත්තකදී ම පාලන කටයුතු භාර ගන්නා වූ පූර්ණ ඒකාධිපති ආණ්ඩු ක්‍රමයක් වශයෙනි. මෙවන් වූ පාලන ක්‍රමයක් ඇති වීමට බල පෑ හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ මීට පෙර යුගයන් වල දී විවිධ දේශපාලන චින්තකයින් විසින් රාජ්‍යය හා පුද්ගලයා අතර පැවතිය යුතු අනිවාර්ය සහයෝගය සහ සම්බන්ධතාවය පිළිබඳ ව ඉදිරිපත් කළ අදහස් අවස්ථාවාදී දේශපාලකයින් තම වාසියට හරවා ගැනීමේ ප්‍රතිඵලවක් වශයෙනි. ඇල්ෆ්‍රඩ් ග්‍රාසියා, හෙගල් ඛාන්ට්, ෆ්‍රෙඩ්රික් ලිස්ට්, කවුන්ට් ඩී. ගොබිනෝ, හවුස්ටන්, චෙම් බ්ලේන් වැනි චින්තකයින් රාජ්‍යයේ ශ්‍රේෂ්ටත්වය පිළිබඳ ඉදිරිපත් කළ අදහස් අවස්ථාවාදී පාලකයන් තම වාසියට හරවා ගැනීම නිසා ෆැසිස්ට්වාදය බිහි වූ බව කියැ වේ. ඔවුන් සිය අදහස් වලින් ‍ලොවට ප්‍රකාශ කරනු ලැබුවේ රාජ්‍යය නැමැති සමාජය තුළ පුද්ගලයා රැදී සිටිය යුතු බවයි. හෙගල් නැමැති චින්තකයාගේ පහත සඳහන් කියමනෙන් එය මනාව පැහැදිලි වේ.
                        “ශරීරය රාජ්‍යයක් වුවහොත් පුද්ගලයා ඇසට සමාන වේ. ශරීරයෙන් ඇස වෙන් කොට ඇසට තනිව පැවැත්මක් නැත්තාක් මෙන් පුද්ගලයාට ද රාජ්‍යය අතහැර ජීවත් විය නොහැක.”
                                                                                                                        මෙවන් වූ අදහසක් තම වාසියට හරවා ගන්නා ජර්මන් හා ඉතාලි පාලකයෝ පළවෙනි ලෝක සංග්‍රාමයෙන් පසු එම රටවල ඇති වන විවිධාකාර වූ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්න විසඳාලීම සඳහා පෙනී සිටින පාලකයන් ලෙස ආණ්ඩු බලය අල්ලා ගනු ලැබේ. ඉතාලියේ මුසෝලිනී මෙම දේශපාලන අදහස් පෙරදැරි කරගෙන ඉතාලි ආණ්ඩු බලය අයථා ක්‍රම මඟින් ලබාගෙන 1922 දී ආණ්ඩුවක් පිහිටුවා ගනු ලබයි. එනිසා ඒ රටවල ජනතාව ඔවුන් අසහාය නායකයන් ලෙස සලකනු ලැබී ය. සමාජයේ එම පිළිගැනීම මගින් තමන්ගේ ඒකාධිපති බලය තර කර ගන්නා ඔවුන් එම බලය ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගනු ලැබේ. ඒ අනුව ෆැසිස්ට් රාජ්‍යයක අසීමිත බලය හිමි පාලකයෙකු යටතේ මධ්‍යගත වූ ද බලය වර්ධනය කර ගැනීම අරමුණු කර ගත්තා වූ ද රාජ්‍යයක් ලෙස හැඳින්විය හැකි ය.

ෆැසිස්ට්වාදයේ ලක්ෂණ (ෆැසිස්ට් රාජ්‍යයක ලක්ෂණ)
        i.            රාජ්‍යය උත්තරීතර කොට සැලකීම.
            ෆැසිස්ට්වාදයට අනුව රාජ්‍යය ලොව පවතින ශ්‍රේෂ්ටතම ආ‍යතනය ‍වේ. එසේ මානව සංවිධාන අතර උත්තරීතර සංවිධානය ද වේ. ඒ අනුව එම රාජ්‍ය වල බලය සෑම පුද්ගලයා කරා ම පැතිරී ඇත. ඒ නිසා රාජ්‍යයට පුද්ගලයාට එරෙහි විය නොහැක. එරෙහි වන්නන්ගේ ජීවිතය හෝ මරණය පිළිබඳ තීරණය කිරීමට රාජ්‍යයට බලය ඇත. එම රාජ්‍යයේ සියළුම වැසියන් ජීවත් විය යුත්තේ රාජ්‍යයේ ශ්‍රේෂ්ටත්වය වර්ධනය කිරීමට ය. රාජ්‍යය වෙනුවෙන් ජීවිතය පුද කරන්නා ශ්‍රේෂ්ටතම පුද්ගලයා වේ. පුද්ගලයාට ඔහුටම වෙන් වූ පෞද්ගලිකත්වයක් නොමැති අතර ඔහු අර්ථවත් වන්නේ රාජ්‍යයෙනි. රාජ්‍යයෙන් තොර ව ඔහුට පැවැත්මක් නැත. රාජ්‍යය ශ්‍රේෂ්ට වන විට පුද්ගලයා ද ශ්‍රේෂ්ට වේ. මුසෝලිනී පැවසූ පරිදි “තොටිල්ලෙන් ගෙන යන දරුවා රජයට අවශ්‍ය පරිදි හදා වඩා වැඩ ගෙන වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට ආපසු නිවසට ගෙනවිත් බාර දීම” වැනි ක්‍රියා පිලිවෙතකි.
      ii.            ජාතිය උතුම් කොට සැලකීම.
     පොදු ආගමක්, භාෂාවක්, සිරිත් විරිත් මාලාවක් සහ සංස්කෘතියක් වටා බැඳුණ මිනිස් සමූහය ජාතියක් වශයෙන් සලකන ෆැසිස්ට්වාදීන් පුද්ගල ජීවිතය සැබෑ ලෙස අර්ථවත් වන්නේ ජාතිය හා බැඳුණු විට දී යැයි සලකති. ඒ අනුව රාජ්‍යය ජාතිය වැනි අදෘශ්‍යමාන බලවේග කරා පුද්ගලයන් ඒකරාශී කරන ෆැසිස්ට්වාදීන් රාජ්‍යයේ නිදහස ජාතික බලය මතත්, ජාතික බලය පුද්ගල කැපවීම මතත් තීරණය වන බව ප්‍රකාශ කළහ. පුද්ගල කැපවීම රාජ්‍යයේ නීතියට කොන්දේසි විරහිතව යටත් වීමෙන් හා රාජ්‍යයට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමෙන් ඉටු කළ යුතු වේ. ජාතියෙන් වෙන් වූ තැනැත්තා අර්ථ විරහිත පුද්ගලයෙකු බව ප්‍රකාශ කරන ඔවුන් ජාතිය යන්න ශ්‍රේෂ්ට කොට දැක්වීමට නිරන්තර උත්සහයක යෙදේ.
    iii.            නායකයා අන්ධානුකරණයෙන් ඇදහීම
            ෆැසිස්ට් රාජ්‍ය තුළ නායකයා අන්ධානුකරණයෙන් වන්දනා මාන කළ යුතු ය. ඒ සඳහා රජයේ කාර්යාල, රාජ්‍ය ආයතන, මං මාවත් ආදියෙහි නායකයාගේ ඡායා රූප තබා ඒවාට ගරු බුහුමන් කිරීමට සලස්වයි. ජනතාව අතර ශ්‍රේෂ්ටතම පුද්ගලයා නායකයා බව ඒත්තු ගැන්වීමට ෆැසිස්ට්වාදීන් නිරන්තර උත්සාහයක යෙදේ. ඔහුගේ වදන් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොර ව ජනතාව පිළිගත යුතු ය. සියළු දේ සඳහා මාර්ගෝපදේශකයා නායකයා ය. අධ්‍යාපනය, ආගම, ජනමාධ්‍ය ආදී සියළු අංග වලින් ඔහුගේ චින්තනය ජනතා සිත් තුළට කා වද්දයි. ඒ තුළින් නායකයා ශ්‍රේෂ්ටත්වයට පත් වේ.

    iv.            යුද්ධය උතුම් කොට සැලකීම. (රණකාමී බව)
            “ශක්තිය බලය වේ. බලය සැම විටම නිවැරදි වේ.” යන ආදර්ශ පාඨය ජනතා යුද කාමී බව වර්ධනය කිරීම සඳහා සැම විටම යොදා ගනී. මුසෝලිනීට අනුව “කාන්තාවන්ට මාතෘත්වය ස්වභාවික වන්නා සේ ම පිරිමින්ට යුද්ධය ද ස්වභාවික වූවකි.” යන ප්‍රකාශ වලින් පුරවැසියන් නිරන්තරව ම යුද්ධය සඳහා පෙල ගස්වනු ලැබේ. ජාතික බලය ගොඩ නැඟීමට පුරවැසියා එකමුතු විය යුතු බවත්, ජාතික බලය රාජ්‍යයේ ආරක්ෂාව සඳහා යෙදවිය යුතු බවත් ෆැසිස්ට්වාදීන් ප්‍රකාශ කරයි. ඒ අනුව පුරවැසියාගේ කැපවීම මත රාජ්‍යයේ ශ්‍රේෂ්ටත්වය ඇති වන බව ප්‍රකාශ කරන ෆැසිස්ට්වාදීහු රාජ්‍යයේ ගොඩ නංවාලීම සඳහා තම ජීවිතය පූජා කල යුතු බවත්, එසේ කල නොහැකි පුද්ගලයාට ජීවත් වීමට අයිතියක් ‍නොමැති බවත් ප්‍රකාශ කරති.

      v.            බුද්ධි විරෝධී බව
‍            ප්‍රජාතන්ත්‍රවාදයට, සාකච්ඡාවට හෝ සම්මන්ත්‍රණයට, තර්කයට ෆැසිස්ට්වාදය තුළ ඉඩක් නැත. විරුද්ධ දේශපාලන ක්‍රම ගොඩ නැංවීමට ඉඩ නොදේ. සියළු දෙනා ම නායකයාගේ මග පෙන්වීම යටතේ ෆැසිස්ට් න්‍යාය මූලික කර ගත යුතු වේ. කිසිවෙකුට එම න්‍යාය ඉක්මවා යා නොහැක. ෆැසිස්ට් අදහස් වලට විරුද්ධ වන්නාට අත් වන ඉරණම මරණය යි. එසේ ත් නොමැති නම් පිළිතුරු දෙනුයේ ත්‍රස්තවාදයෙනි. ෆැසිස්ට්වාදීන් නිරන්තරවම ජනතාවගේ හැඟීම් ඇවිස්සෙන ආකාරයට ක්‍රියා කරමින්, එළි දක්වමින් කටයුතු කරයි. ඉතා සියුම් ලෙස රාජ්‍යයට, ජාතියට හා නායකයාට පුද්ගල හැසිරීම් ආකර්ෂණය කර ගත හැකි ආකාරයට ප්‍රචාරන කටයුතු කරයි. ඒ සඳහා රාජ්‍යයේ සියළුම ජන මාධ්‍යයන් ප්‍රයෝජනයට ගනී.

    vi.            ප්‍රජාතන්ත්‍රවිදයට, සමාජවාදය හා ලිබරල්වාදය නොපිලිගැනීම.
            ෆැසිස්ට්වාදය යටතේ විරුද්ධ දේශපාලන මත දැරීමට හෝ ක්‍රම ගොඩ නැගීමට කිසි සේත් ම ඉඩ නොදේ. මෙහි දී ෆැසිස්ට් න්‍යායට මූලික තැනක් හිමි වේ. රටේ පවතින එකම දේශපාලන න්‍යාය වන්නේ ෆැසිස්ට්වාදයයි. කිසිවෙකුටත් මෙම න්‍යාය ඉක්මවා යාමට ඉඩ නොදේ. කිසිවෙකු හෝ එය නොපිළිගන්නේ නම් පිළිතුර ත්‍රස්තවාදයෙනි. බිය ගැන්වීම, මරණය, වදහිංසාව, අතුරුදන් කරවීම යනාදිය මෙහි මූලික ලක්ෂණ ය.
  vii.            සමානාත්මතාවය ගරු නොකිරීම.
                                    ෆැසිස්ට්වාදීන් මෙයට විරුද්ධ වේ. සමානාත්මය තුළින් සමාජයේ දක්ෂතම හා ශක්තිමත් ම පුද්ගලයා හෑල්ලුවට භාජනය කරන බවත්, ඔහුට සමාජයේ හිමි විය යුතු තැන අහිමි කරන බවත් ප්‍රකාශ කරයි. ස්වභාවිකවම මිනිසාට සමාජයේ ඉහලට යාමට ඉඩ දිය යුතු බව ඔවුන්ගේ මතයයි. ඊට බාධා කිරීම ස්වභාව ධර්මයට බාධා කිරීම හා සමාන වේ. මේ නිසා ෆැසිස්ට්වාදයේ පදනම යථාරතයට විරුද්ධ නොවීම බව ඔවුන්ගේ මතය යි.

Thursday, May 22, 2014

රාජ්‍යය යනු කුමක්ද?

1 comments
                                                                 දේශපාලන විද්‍යාවෙන් විශේෂයෙන් විග්‍රහ කරනු ලබන්නේ රාජ්‍යය පිළිබද කරුණු ය. දේශපාලන විද්‍යාව ස්වාධීන විෂයක් ලෙස වර්ධනය වීම සහ ඒ පිළිබද අධ්‍යයනය ආරම්භ වී දැනට වසර 3000කට පමණ ආසන්න වුව ද රාජ්‍ය යන පදය දේශපාලන විද්‍යාවට එක් වූයේ 16 වන සියවසේ මැද භාගය තරම් මෑත භාගයකදී ය. රාජ්‍ය යන පදය ප්‍රථමයෙන් ම භාවිතයට ගනු ලැබුයේ “ඉතාලි ජාතික නිකලෝ මැකියාවෙලී විසිනි.” ඔහු විසින් සම්පාදිත The Prince හෙවත් කුමාරයා” කෘතිය තුලිනි. ග්‍රීක යුගයේ දී රාජ්‍ය යන්න හැදින්වීමට “පෝලිස්” (Police) යන පදය යොදා ගත් අතර රෝම යුගයේ දී “සිවිටාස්” හෝ “සිව්ටාස්” යන පදය ඒ සදහා යොදා ගැනිණි. පුරවැසි එකතුව සහ පුරවැසි සුභසාධනය යන අදහස “සිව්ටාස්” යන පදයෙන් අදහස් වේ. මැකියාවෙලීගෙන් පසුව රාජ්‍යය යන පදය දේශපාලන විද්‍යාවේ ස්ථාවර පාරිභාෂික පදය බවට පත් ව ඇත.
                                                දේශපාලන විද්‍යාව රාජ්‍යය පිළිබදව හදාරනු ලබන විෂය වුව ද රාජ්‍යය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබද ව පිළිගත් පොදු අර්ථ කථණයක් මේ දක්වාත් නොමැත. විවිධ අය විවිධ අර්ථකතන වලින් රාජ්‍යය යන්න අර්ථ දක්වා ඇත. මේ අනුව අර්ථකතන රාශියක් ම දේශපාලන විද්‍යාව තුළ ඒ පිළිබද ව ගොඩ නැගී ඇති බව දක්නට ලැබේ.

·         ප්‍රීතිමත් හා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මිනිසුන් එකට එක් වී පිහිටුවා ගත් සංවිධානය රාජ්‍යය වේ. - ඇරිස්ටෝටල්
·         නීතිගරුක භාවය තුළින් පොදු සමාජ යහපත ළගා කර ගැනීම සදහා එකට එක් වූ මිනිස් සමාජය රාජ්‍යය වේ. - සීසරෝ
·         නිශ්චිත දේශසීමාවක් තුළ නීතිය සදහා සංවිධානය වූ ජනතාව රාජ්‍යයක් ලෙස හැදින්වේ. - වුඩ්රෝ විල්සන්
·         වෙන් කරන ලද භූමි ප්‍රදේශයක් තුළ අනෙක් සමාජ සංවිධාන ඉක්මවා ගිය උත්තරීතර බලයක් සහිත මිනිස් සමාජය රාජ්‍යය නම් වේ. - හැරල්ඩ් ජේ. ලැස්කි
·         නිශ්චිත දේශසීමාවක් තුළ දේශපාලන වශයෙන් සංවිධායනය වූ ජනතාව රාජ්‍යය ලෙස හැදින්විය හැක. - බ්ලන්ටෂ්ලි
·         යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් ස්ථාවර වාස භූමිය කරගත්, සංඛ්‍යාත්මක වශයෙන් අඩු හෝ වැඩි විය හැකි, යම් ජන සංඛ්‍යාවකගෙන් සමන්විත, ජනතාවගේ බහුතර අනුමැතිය ලබන, සංවිධානාත්මක ආණ්ඩුවක් සහිත, බාහිර වශයෙන් ස්වාධීන නැතිනම් වෙනත් පාලනයකට යටත් නො වූ මිනිස් සමාජය රාජ්‍යය ලෙස හැදින්විය හැක. - ගානර්
·         පොදු නීති ක්‍රමයක්, පොදු සිරිත් විරිත් වලින් සහ පොදු ගති පැවතුම් වලින් එකට බැදුණු, නිශ්චිත දේශ සීමාවක් සහිත භූමි ප්‍රදේශයක් තුළ ස්ථීර ලෙස පදිංචි වූ, සංවිධානය කරගත් ආණ්ඩුවක් මාර්ගයෙන් ස්වාධීන ස්වාධිපති බලය ක්‍රියාවට නංවමින්, අභ්‍යයන්තරික වශයෙන් පුද්ගලයින් සහ අනෙක් සෑම දෙයක් ම පාලනය කරන, බාහිර වශයෙන් යුද්ධ වලට හා සාම ගිවිසුම් වලට එළඹීමට මෙන් ම සහ ජාත්‍යයන්තර සමාජයේ අනෙක් රාජ්‍යයන් සමග අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යාමට හැකියාව ඇති සංවිධානය වූ ජන සමාජය රාජ්‍යයක් ලෙස සැලකිය හැකි ය. - පිලිමෝර්
       ඉහත දැක්වෙන්නේ රාජ්‍යය පිළිබද නිර්වචන රාශියකි. මේ පිළිබද විමසීමෙන් පෙනී යන්නේ ඒ කිසිදු නිර්වචනයක් එක හා සමාන නොවන බවයි. එය එසේ වුව ත් සියළුම රාජ්‍යය පිළිබද ඉදිරිපත් කෙරෙන නිර්වචනයක් සම්පූර්ණ එකක් වීමට නම් රාජ්‍යයේ අත්‍යවශ්‍ය අංගයන් වූ නිශ්චිත භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය යන සාධක අඩංගු විය යුතු ය. ඒ අනුව නිශ්චිත භූමියකින් යුක්ත, නිශ්චිත ජනගහනයක් සහිත, ආණ්ඩුවකින් සමන්විත හා ස්වාධිපත්‍ය බලය උසුලන්නා වූ සංවිධානය රාජ්‍යය ලෙස සැලකිය හැක.

රාජ්‍යයට අත්‍යවශ්‍ය අංග ලක්ෂණ
   නූතන ව්‍යවහාරය අනුව රාජ්‍යය යන පදය භාවිත කළ හැක්කේ භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය යන ගුණාංග සතර අඩංගු සංවිධානය සදහා ය. මෙයින් පළමු සාධක දෙක මගින් රාජ්‍යයේ භෞතික පදනම පිළිබිඹු වන අතර අවසාන සාධක දෙක මගින් රාජ්‍යයේ දේශපාලන පදනම නිරූපනය වේ.

      I.            භූමිය
                නිශ්චිතව දක්වන ලද දේශසීමාවන්ගෙන් වට වූ යම් භූමි ප්‍රමාණයක් රාජ්‍යයේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. භූමිය යන පදයෙන් දේශසීමාවක් සහිත ගොඩ බිමක් පමණක් නොව එම භූමාය වටා ඇති නාවික සැතපුම් 200ක් පමණ වන මුහුදු තීරය ද, එම මුහුදු තීරය හා ගොඩ බිම ඇතුලත් ප්‍රමාණයට සමානව වසා පැතිරෙන අභ්‍යවකාශය ද ඇතුළත් වේ. මේ ආකාරයට රාජ්‍යයක දේශසීමා නිශ්චිත ලෙස පැහැදිලිවම දක්වා තිබීම අත්‍යවශ්‍ය ‍වේ. හේතුව නම් අවිනිශ්චිත දේශ සීමා රාජ්‍යයන් අතර ගැටුම් ඇති වීමට බලපාන බැවිනි. රාජ්‍යයට නිශ්චිත ලෙස වෙන් කරන ලද ‍දේශ සීමාවක් සහිත භූමි ප්‍රමාණයක් තිබිය යුතු බවට ප්‍රථමයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ ලීවර් නැමැති දේශපාලඥයා ය. එසේ වුව ත් රාජ්‍යයක භූමි ප්‍රමාණය කොපමන ද යන්න මේ තාක් පිළිගත් මතවාදයන්ගෙන් පැහැදිලි නොවේ. ඒ අනුව නූතන රාජ්‍යයන් වලට අයත් භූමි ප්‍රමාණයන් පිළිබද පුළුල් වෙනස්කම් දැකිය හැකි ය. ඉතා කුඩා ප්‍රමාණයන් සහිත මෙන් ම සුවිශාල වූ භූමි ප්‍රමාණයන් සහිත රාජ්‍යයන් ද දැකිය හැකි ය. නිදසුන් ලෙස වර්‍ග සැතපුම් 38ක් වූ “සෙන් මැරීනෝ” රාජ්‍යය භූමිය අතින් ඉතාම කුඩා රාජ්‍යයක් සේ සැලකේ. වතිකානුව ලොව ඇති කුඩාම රාජ්‍යය යි. සිංගප්පූරුව වර්‍ග සැතපුම් 125ක් ද, ඉන්දියාවේ වර්‍ග සැතපුම් 1056000 ප්‍රමාණයක් ඇත. ඒ අනුව ලෝකයේ සුවිශාල භූමි ප්‍රමාණයන් මෙන් ම කුඩාම භූමි ප්‍රමාණයන්ගෙන් යුක්ත රාජ්‍යයන් ද ඇති බව පෙනී යයි.  මෙහි දී ප්‍රමාණය නොව නිශ්චිත භූමිය රාජ්‍යයකට අයත් අත්‍යවශ්‍ය අංගය සේ පෙනේ.

  II.            ජනගහනය
රාජ්‍යයක් සදහා අවශ්‍ය දෙවන කොන්දේසිය ජනගහනය වේ. රාජ්‍යය වනාහි මානව සංවිධානයක් පමණක් නොව මානව සංවිධාන අතුරින් ඉහලම මානව සංවිධානය වේ. මෙයින් පැහැදිලි වන්නේ මිනිස් වාසයකින් තොර ව රාජ්‍යයක් ‍නොපවතින බවයි. එනම් මිනිසුන් වාසය නොකරන භූමි ප්‍රදේශයක් හැදින්වීම සදහා රාජ්‍යය යන පදය හැදින්විය නොහැකි බව යි. අනෙක් අතින් රාජ්‍යයක් වශයෙන් සැලකීමට නම් සංඛ්‍යාත්මක වශයෙන් යම් ජනගහනයක් සිටීම අත්‍යවශ්‍ය වේ. මෙහි දී තනි පවුල කිසි සේත් ප්‍රමාණවත් නොවේ. “ස්ටීවන් ලීකොක්” දක්වා ඇති පරිදි මිහිපිට ජනාවාස නො වූ කිසිදු භූමියක් රාජ්‍යයක් ලෙස සැලකිය නොහැක. රාජ්‍යයක් වශයෙන් භූමියක් සැලකීම සදහා තනි පවුලක් හෝ පවුල් කීපයක් නොසෑහේ. ඒ සදහා පවුල් රාශියක් පදිංචි විය යුතු ය.
                                                                                                      ජනගහනය රාජ්‍යයක් ගොඩනැගීම සදහා අවශ්‍යම කොන්දේසියක් වුව ද එහි උපරිම මට්ටමක් හෝ අවම මට්ටමක් නිශ්චිතව සදහන් කළ නොහැක. ඒ අනුව නිශ්චිතව හදුනා ගත හැකි යම් ප්‍රමාණාත්මක ජන සංඛ්‍යාවක් රාජ්‍යයක් ගොඩ නැගීම සදහා අත්‍යවශ්‍ය වන්නේ ය. ඇරිස්ටෝටල් නම් දාර්ශනිකයා සංඛ්‍යාත්මක වශයෙන් නිශ්චිත ජන සංඛ්‍යාවක් නොදැක්වුව ද රාජ්‍යයක සිටිය යුතු ජන සංඛ්‍යාව එයට දරා ගත හැකි එකක් විය යුතු බව පෙන්වා දුන්නේ ය. මේ අනුව ලෝකයේ විවිධ රාජ්‍යයන් වල විවිධාකාරයේ සංඛ්‍යාත්මක වශ‍යෙන් විවිධ වූ ජනගහනයන් දක්නට ලැබේ. නිදසුන් ලෙස චීනයේ දැනට කෝටි 140ක් පමණ ද, ශ්‍රී ලංකාවේ කෝටි 02ක් පමණක් ද වේ. ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ රාජ්‍යයක් නිර්මාණය වීම සදහා එයට දරාගත හැකි අයුරින් නිශ්චිත ජනගහනයක් සිටිය යුතු බවයි.

III.            ආණ්ඩුව
          රාජ්‍යයක් නිර්මාණය වීම සදහා අවශ්‍ය තුන්වන කොන්දේසිය යි. රාජ්‍යයේ කැමැත්ත ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නංවන්නේ ආණ්ඩුව යි. වෙනත් අයුරකින් දක්වන්නේ නම් රාජ්‍යයක් තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් පුරවැසියන් පොදු අරමුණක් කරා මෙහෙයවන්නේ ආණ්ඩුවයි. යම් භූමි භාගයක් තුළ ආණ්ඩු පාලනයකට යටත් නො වූ ජන සංඛ්‍යාවක් වාසය කරන්නේ නම් එය රාජ්‍යයක් ලෙස සැලකිය නොහැක. එවැනි තත්වයක් සමාන කළ හැක්කේ අනධිකාරී තත්වයකට ය. පොදු අරමුණක් සදහා සාමූහිකව කටයුතු කරන්නේ ආණ්ඩුවක පාලනයකට යටත් වුව‍හොත් පමණී. මේ අනුව රාජ්‍යයක පැවැත්ම සදහා ආණ්ඩුවක පැවැත්ම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇත. නමුත් රාජ්‍යයක් තුළ පැවතිය යුතු ආණ්ඩුවේ ස්වභාවය කුමක්ද යන්න නිශ්චිත වශයෙන් කිය ‍නොහැක. රාජ්‍යයක් තුළ පැතිරී පවතින දේශපාලන දෘෂ්ටිය අනුව ආණ්ඩුවේ ස්වභාවය තීරණය වේ. උදාහරණ වශයෙන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී හෝ කොමියුනිස්ට් හෝ ෆැසිස්ට් හෝ මිලිටරි ‍හෝ රාජාණ්ඩු හෝ විය හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය යලිත් වරක් ජනාධිපති විධායක හෝ කැබිනට් විධායක යන දෙකින් එකක් විය හැකි ය.මෙයින් කුමන ආණ්ඩුක්‍රමයක් පැවතිය ද අවශ්‍ය ආණ්ඩුවක පැවැත්ම පමණි.

IV.            ස්වාධිපති බලය
                  ස්වාධිපත්‍යය රාජ්‍යයක අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු සිව් වන කොන්දේසිය වේ. මෙය රාජ්‍යයේ ජීවනාලිය හා ආත්මය යි. සමාජයක් තුල අනෙක් සමාජ සංවිධානයන්ගෙන් රාජ්‍යය වෙන් වන්නේත්, අනෙක් සමාජ සංවිධාන වලට වඩා රාජ්‍යය උත්තරීතර වන්නේත් ස්වාධිපත්‍යය හේතු කොටගෙන ය.එමෙන් ම එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයකින් වෙන් කොට හදුනා ගන්නේ ද ස්වාධිපත්‍යය හේතුවෙනි. ස්වාධිපත්‍යය රාජ්‍යය සතු උත්තරීතර බලය යි. රාජ්‍යය සතු මෙම බලය අසම සම වේ. රාජ්‍යයක එම බලයට යටත් ව යම් භූමි භාගයක් තුළ නිශ්චිත යම් ජන සංඛ්‍යාවක් පදිංචි වී සිටිය ද ස්වාධිපත්‍යය බලය නොමැති නම් එවැනි තත්වයක් හැදින්විය යුත්තේ රාජ්‍යයක් හැටියට නොවේ. ඒ අනුව රාජ්‍යයක පූර්ණත්වය සිදු වීම සදහා ස්වාධිපත්‍යය බලය එයට තිබිය යුතු ය. රාජ්‍යයේ කැමැත්ත ක්‍රියාවට නංවනු ලබන්නේ මෙම ස්වාධිපති බලය හේතු කොටගෙන ය. එම කැමැත්ත ක්‍රියාවට නැංවීම සදහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමත්, ක්‍රියාත්මක කිරී‍මේ දී ඇතිවන ගැටළු නිරාකරණය කිරීමත් මෙයින් සිදු වේ. ස්වාධිපත්‍යය බලය යටතේ නීති ක්‍රියාත්මක කිරීමේ දී  එයට අවශ්‍ය තරම් බලය යොදවාලිය හැකි නීති ක්‍රියාත්මක කිරීමේ දී ඒවා කඩ කරන්නන්ට උපරිම අන්දමේ දඩුවම් ලබා දීමට ද මේ යටතේ රාජ්‍යයකට බලය ඇත. එය සාමාන්‍ය දඩුවමේ සිට මරණ දඩුවම දක්වා ක්‍රියාත්මක වේ.

                                                      එසේ ක්‍රියාත්මක වන රාජ්‍යය සතු මෙම බලය බාහිර හා අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර දැක් වේ. බාහිර ස්වාධිපත්‍යයෙන් වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත් වීමෙන් තොර ව රාජ්‍යයට ක්‍රියාත්මක වීමට ඇති බලය යි. විශේෂයෙන් ම රාජ්‍යයක විදේශ සම්බන්ධතා හැසිරවීම සම්බන්ධයෙන් බාහිර ස්වාධිපත්‍යය වැදගත් වේ. රාජ්‍යයක අභ්‍යයන්තර වැඩ කටයුතු සම්බන්ධයෙන් පුරවැසි සංවිධාන ඉක්මවා යමින් ක්‍රියාත්මක වීමට රාජ්‍යයට ඇති බලය අභ්‍යයන්තර ස්වාධිපත්‍යය යි. මේ අනුව රාජ්‍යයක් පනවනු ලබන නීති වලට පුරවැසියන් මෙන් ම පුරවැසි සංවිධාන ද යටත් විය යුතු ය.

රාජ්‍යය හා ආණ්ඩුව
            රාජ්‍යය හා ආණ්ඩුව යන පදයන් අර්ථ භේදයකින් තොර ව සාමාන්‍ය ව්‍යවහාරයේ දී යොදා ගන්නා අයුරු දැක ගත හැක. සමහර දේශපාලන විද්‍යාඥයින් පවා මෙම අංශ දෙක අතර පවතින වෙනස තේරුම් නොගත් අවස්ථා ද දේශපාලන ඉතිහාසය තුළ දැකගත හැක. නිදසුන් වශයෙන් “හෝබ්ස් නැමැති දේශපාලන චින්තකයා “රාජ්‍ය හා ආණ්ඩුව එකක් වශයෙන් සැලකූ අතර යම් අවස්ථාවක දී ආණ්ඩුව විසුරුවා හැරියහොත් රාජ්‍යය ද විසිරී යන බව විශ්වාස කළේ ය.” ඇතැම් ආඥාදායක පාළකයන්ට සිය ආඥාදායකත්වය තහවුරු කර ගැනීම සදහා රාජ්‍යය හා ආණ්ඩුව එකක් වශයෙන් සැලකීමට ඉදිරිපත් වූ බව පෙනේ. නිදසුන් වශයෙන් “14 වන ලුවී රජු රාජ්‍යය යනු මම ය” යනුවෙන් කළ ප්‍රකාශය පෙන්වා දිය හැක. නමුත් මෙම ආයතන දෙක අතර පැහැදිලි වෙනස්කම් පවතින බව පෙනේ.
        i.            රාජ්‍යය වූ කළී අචේතනික සංකල්පයකි. නමුත් ආණ්ඩුව වූ කළී සචේතනික දෙයක් වනවාක් මෙන් ම ප්‍රායෝගික දෙයක් ද වේ. රාජ්‍යය යන්න නිරපේක්ෂව ගෙන සලකා බලන විට එය ඇසට නොපෙනෙන, හැගීමක් නොමැති, ස්පර්ෂ කළ නොහැකි, වෙනස් වන සුළු අතිශය සංකීර්ණ දෙයක් විය. නමුත් ආණ්ඩුව වූ කළී පියවි ඇසට නොපෙනෙන හැගීමක් ඇති, වෙනස් වීම් වලට යටත් වූ, ප්‍රායෝගික ක්‍රියාකාරී බවින් යුතු දෙයක් වේ.
      ii.            ආණ්ඩුව යනු රාජ්‍යය නොව එහි නියෝජිතයෙකු පමණි. රාජ්‍යය මගින් නියම කරන වැඩ කොටස හෝ කාර්යභාරය ක්‍රියාවට නැංවීම එහි වගකීමයි. ‍‍ජේ. ඩබ්ලිව් ගානර් පෙන්වා දුන් පරිදි රාජ්‍යයේ හෝ මහජනතාවගේ හෝ කැමැත්ත ප්‍රතිපත්ති වලට හැරවීමත්, ඒවා ප්‍රකාශ කරමින් ක්‍රියාවට නැංවීමත් කරනු ලබන නියෝජිතයා ආණ්ඩුව වේ. මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතා පෙන්වා දුන් පරිදි ආණ්ඩුව යනු යම් අරමුණක් ඉටු කර ගැනීම සදහා පවතින එක්තරා මාධ්‍යයක් පමණි. ලැස්කි දැක් වූ ආකාරයට ආණ්ඩුව පවතින්නේ රාජ්‍යයේ අරමුණු ක්‍රියාවට නැංවීමට ය. ආණ්ඩුව වූ කළී හුදෙක් පරිපාලනමය යන්ත්‍රයක් වන අතර එමගින් රාජ්‍යයේ අධිකාරී බලයට ක්‍රියාත්මක බව සැපයීම පමණක් සිදු වේ. මේ අනුව ආණ්ඩුව රාජ්‍යයේ කැමැත්ත ක්‍රියාවට නංවන රාජ්‍ය සේවකයෙකු බව මෙම ප්‍රකාශ වලින් පැහැදිලි වේ. මේ නිසා රාජ්‍යය ස්වාමියා ලෙසත්, ආණ්ඩුව සේවකයා ලෙසත් හදුන්වයි.
    iii.            සංකල්පයක් වශයෙන් සලකා බලන විට රාජ්‍යය පරිපූර්ණ වස්තුවක් වන අතර ආණ්ඩුව රාජ්‍යයේ කොටසක් පමණක් වේ. භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය යන කොටස් සතරෙන් රාජ්‍යය සමන්විත වන අතර ආණ්ඩුව ඒ අතරින් එක් කොටසක් පමණකි. කෙසේ වුවත් රාජ්‍යයේ පැවැත්ම සදහා ආණ්ඩුව අත්‍යවශ්‍ය වේ. මෙය නොමැති වූ විටක රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය ඇන හිටීම එයට හේතුව යි. නමුත් රාජ්‍යයක් නොමැතිව වුව ද ආණ්ඩුවක් පැවැතිය හැකි බවට යටත් විජිත නිදසුන් දෙයි.
     iv.            රටක ජීවත් වන පුරවැසියන් සියළු දෙනා ම රාජ්‍යයේ සාමාජිකයන් වේ. ඒ අනුව රාජ්‍යය මගින් සමස්ත ජාතියම නියෝජනය වේ. නමුත් ආණ්ඩුව වූ කළී පුරවැසියන් කොටසකගේ පමණක් සහය ලබන දේශපාලන සංවිධානයක් ය. ආණ්ඩුවේ බලය පුරවැසියන් බොහෝ දෙනෙක්, කීප දෙනෙක් හෝ එක් අයෙකු මගින් මෙහෙය විය හැකි නමුත් පුරවැසියන් සියළු දෙනා ම ආණ්ඩුව මගින් නියෝජනය කරනු නොලැබේ.
       v.            රාජ්‍යය නොවෙනස් වන සුළු ය. ස්ථාවර දෙයක් වේ. මේ අනුව ‍ලෝකයේ කොතැනක වුව ද පවතින රාජ්‍යයන් එක සමාන වේ. වෙනසක් ඇති වන්නේ නම් භූමිය හා ජනගහනය අනුව පමණි. නමුත් ආණ්ඩුව රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් විය හැකි ය. නිදසුන් වශයෙන් ඇමරිකාව ජනාධිපති, චීනය කොමියුනිස්ට්, නේපාලය රාජාණ්ඩු, බ්‍රිතාන්‍යය පාර්ගිමේන්තු කැබිනට් වශයෙනි.
     vi.            රාජ්‍යයේ මූලික ස්වභාවය වෙනස් කිරීමට ජනතාවට අයිතියක් නැත. එසේ සිදු වන්නේ නම් වෙනත් රටකට යටත් වුවහොත් පමණි. නමුත් ආණ්ඩුව වෙනස් කිරීමට මහජනතාවට බලය තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය තුළින් හෝ ප්‍රජාතන්ත්‍රවාදී නොවන විප්ලවයක් මගින් හෝ හමුදා කුමන්ත්‍රණයක් මගින් හෝ එය සිදු කළ හැක. මේ අනුව රාජ්‍යය විසුරුව නොහැකි අතර විසුරුවා හැරියහොත් එය මුළු මනින් ම විනාශ වේ. නමුත් ආණ්ඩුවක් විසුරුවා හැරිය හැකි අතර කිසිදු හානියක් සිදු නො‍වේ.
   vii.            රාජ්‍යය බිහි වීම සදහා අනිවාර්ය දේශ සීමා වලින් යුක්ත භූමි ප්‍රමාණයක් අවශ්‍ය වේ. නමුත් ආණ්ඩුවට මෙම කොන්දේසිය අදාල නොවේ. රාජ්‍යයට අයත් දේශසීමාවෙන් පිටත වුව ද ආණ්ඩුවක් තිබිය හැක. නිදසුන් ලෙස 1815න් පසු ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා‍වේ ආණ්ඩුව එංගලන්තය තුළ පවත්වාගෙන යාම ගත හැක.
 viii.            පුරවැසියන්ට රාජ්‍යයට එරෙහිව නැගී සිටිය නොහැක. රාජ්‍යයට විරුද්ධ වීම දඩුවම් ලැබිය හැකි රාජද්‍රෝහී ක්‍රියාවකි. යමෙක් රාජ්‍යයට විරුද්ධ වන්නේ නම් තමා තමාටම විරුද්ධ වීමක් සේ සැලකේ. නමුත් ආණ්ඩුවට එරෙහිව නැගී සිටීමට පුරවැසියන්ට අයිතියක් ඇත. එය පුරවැසියා සතු මූලික අයිතියකි. සාධාරණ හා යුක්ති සහගත හේතු වන ආණ්ඩුවට විරුද්ධ වීම දඩුවම් ලැබිය යුතු වරදක් නොවේ.
රාජ්‍යය හා සමාජය
          සමාජයක් යනුවෙන් අදහස් කරන්නේ යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ ස්ථීර ලෙස ම වාසය කරන එක් වාර්ගික ජන කොටසක් හෝ ජන වර්ග කීපයක් විසින් තම ආශාවන්, අවශ්‍යතාවයන් හා උවමනා එපාකම් තෘප්තිමත් කර ගැනීම සදහා ගොඩ නගා තිබෙන ආයතන හා සමිති සමාගම් ජාලාවේ සමස්ත එකතුව වේ. මෙහි දී සැළකිය යුතු වඩා වැදගත් කරුණ වන්නේ සමාජයක් වාර්ගික ජන කොටසකින් හෝ එකිනෙකට වෙනස් ජන කොටස් හෝ සමන්විත විය හැකි බවයි.
                                                                                                මෙම පැහැදිලි කිරීම් අනුව සමාජය ගොඩ නැගී තිබෙන්නේ පොදු සමාජ අරමුණු ඉටු කර ගැනීම සදහා ජන කොටස් වලින් පිහිටුවා ගනු ලැබූ විවිධාකාර සංවිධාන ජාලාවේ එකතුවෙනි. මෙවැනි සංවිධාන දහස් ගණනක් සමාජය තුළ දක්නට ලැබේ. රාජ්‍යය මෙම සංවිධාන වලින් එකක් වන අතර එය සමාජගත මිනිසුන් විසින් පිහිටුවා ගෙන ඇති ඉතාම වැදගත් වූ ත්, උත්තරීතර වූ ත් සංවිධානය යි. මේ අනුව සංවිධානය වූ සෑම ජන කොටසක් තුළම රාජ්‍යය දැක ගත හැකි අතර සමාජගත පුද්ගලයන්ගේ බාහිර පැවැත්ම පාළනය කරමින් ඔවුන් එකට බැද තබන්නේ රාජ්‍යය විසිනි. මේ අනුව රාජ්‍යය හා සමාජය අතර පුළුල් වෙනස්කම් රැසක් දැකිය හැකි ය.
        i.            සමාජය රාජ්‍යයට ප්‍රථමයෙන් බිහි වූ බව පැහැදිලි ය. මිනිසුන් ශීලාචාර දිවිපැවැත්මකට හුරු පුරුදු වී පොදු අරමුණු සදහා සංවිධානය වීමට පටන් ගත් පසු ආරම්භ වන සංවිධානය වන ක්‍රියාදාමයේ අවසාන අවස්ථාවේ රාජ්‍යය බිහි වේ. මිනිසුන් සංවිධානය වූවාට පසු රාජ්‍යය ගොඩ නගා ගත් බව මෙයින් පැහැදිලි වේ.
      ii.            රාජ්‍යයට ස්වාධිපති බලයක් හිමි වන අතර සමාජයට එවැනි බලයක් හිමි නොවේ. රාජ්‍යය සතු මෙම උත්තරීතර බලය සමස්ත සමාජයම වසා පැතිරී පවතින අතර රාජ්‍යයේ කැමැත්තට අනුව ක්‍රියා කිරීමට සමාජය බැදී සිටී. රාජ්‍යයේ අභිමතයට අවනත නොවන ඕනෑම සමාජගත මිනිසෙකුට හෝ සමාජ සංවිධානයකට හෝ දඩුවම් පැමිනවීමේ බලයක් රාජ්‍යයට තිබේ. නමුත් සමාජයට යම් තරමක එක්තරා බලයක් හිමි වුව ද එය රාජ්‍යයේ තරම් උත්තරීතර නොවන අතර ම නිශ්චිත ලෙස හදුනා ගැනීමට ද නොහැකි ය. මිනිස් පැවැත්ම පාළණය කිරීමට හැකියාවක් සමාජයට තිබුණ ද රාජ්‍යයේ අධිකාරී බලය මෙන් බල කිරීමට හා දඩුවම් කිරීම මගින් මිනිසුන් පාලනය කර ගැනීමට සමාජයට බලයක් නැත. සමාජය පිළිගත් සිරිත් විරිත්, සම්ප්‍රධායන්, සදාචාරාත්මක අගය කිරීම් ආදිය යමෙකු කඩ කළ විට සමාජයට දිය හැකි උපරිම දඩුවම වන්නේ සමාජයෙන් කොන් කිරීම පමණි. ඒ අනුව රාජ්‍යය සමාජය තුළින් බිහි වුව ද අවසානයේ සමස්ත සමාජයම රාජ්‍යයේ උත්තරීතර බලයට යටත් වන බව පෙනේ.
    iii.            රාජ්‍යය විසින් මිනිසාගේ බාහිර පැවැත්ම පාලනය කරනු අතර සමාජය විසින් මිනිසාගේ අභ්‍යයන්තර පැවැත්ම පාලනය කරයි. රාජ්‍යය නීති රීති මගින් එය සිදු කරන අතර සමාජය සමාජගත සිරිත් විරිත් වැනි දෑ මගින් එය සිදු කරනු ලැබේ. සහයෝගය, හොද හිත පවත්වාගෙන යාම, නම්‍යතාවය වැනි කරුණු ද ඊට අයත් වේ.
     iv.            රාජ්‍යයට වඩා සමාජය පුළුල් ය. රාජ්‍යය සමාජයේ කොටසක් පමණක් වන අතර සමාජයට රාජ්‍යය ඇතුළු අනෙක් මානව සංවිධාන සියල්ලම අයත් වේ. රාජ්‍යය වූ කළී නිශ්චිත දේශසීමා වලින් වට වූ ප්‍රදේශයකට පමණක් සීමා වන අතර සමාජය දේශීය දේශ සීමාවන් ඉක්මවා ගිය ජාත්‍යයන්තර මට්ටම දක්වා විහිදේ.
       v.            රාජ්‍යය විසින් මිනිසාගේ දේශපාලන පැවැත්ම පමණක් සොයා බලන අතර සමාජය විසින් සමාජීය, ආර්ථික, දේශපාලන, ආගමික යන සෑම අංගයක් ම ඇතුළත් සමස්ත ජීවන පැවැත්ම සොයා බලයි. රාජ්‍යයේ හා සමාජයේ අවසාන අරමුණ එකක් ම වන අතර රාජ්‍යය ගොඩ නගනු ලැබුවේ එම අරමුණ වඩාත් හොදින් ඉටු කර ගැනීම සදහා යි.
     vi.            රාජ්‍යය වූ කළී මිනිස් කැමැත්ත හා තාර්කික බුද්ධිය මගින් කෘතිමව ඇති කළ දෙයකි. නිර්මාණය වූ පසු අනිවාර්ය අංගයක් බවට පත් ව ඇත. රාජ්‍යය මගින් ඉටු කරන කාර්යභාරය වෙනත් කිසිදු මානව සංවිධානයක් මගින් ඉටු කළ නොහැකි වීම එයට ‍හේතුවයි. නමුත් සමාජය මිනිස් ස්වභාවික හැසිරීමේ ප්‍රතිඵලයක් ය.
                                       කෙසේ වුව ද රාජ්‍යය හා සමාජය අතර නොබිදිය හැකි අයුරින් අන්තර් සබදතාවයක් ද පවතී. කාර්යභාරය හේතු කොටගෙන රාජ්‍යය සමාජයට අවශ්‍යයම දෙයක් බවට පත් වී ඇත. බාකර්ට අනුව සමාජය එකට එකතු කොට බැද තබා තිබෙන්නේ රාජ්‍යය විසිනි. රාජ්‍යය නොමැති වූ විට එම තත්වය විනාශ වී යාම නොවැලැක්විය හැක.

රාජ්‍යය හා අන්‍ය සමාගම්
                    නිශ්චිත අරමුණක් හෝ කිහිපයක් වෙනුවෙන් එකට එක් වූ කණ්ඩායමක් සමාජ සංවිධානයක් ලෙස හැදින්වේ. මෙසේ සමාජයේ විවිධ අරමුණු වෙනුවෙන් සංවිධානය වූ සමාජ සංවිධාන දහස් ගණනක් සංවිධිත සමාජයක් තුළ දැකිය හැක. ඒ අනුව රාජ්‍යය ද මිනිසුන් එකට එක් වී ගොඩ නගා ගත් සමාජ සංවිධානයක් වේ. නමුත් රාජ්‍යය හා අනෙක් සමාජ සංවිධාන අතර පුළුල් වෙනස්කම් රැසක් දැකිය හැකි වේ.
1.      බලය
ඉහත සදහන් සංවිධාන අතරින් මූලික වූ ත්, අසහාය වූ ත්, උත්තරීතර වූත් බලය හිමි එකම සංවිධානය රාජ්‍යය වේ. මෙම බලය ස්වාධිපති බලය ලෙස හැදින්වේ. මෙවැනි උත්තරීතර බලයක් අන් කිසිදු සමාජ සංවිධානයකට නැත. රාජ්‍යය සමාජයේ සෑම මිනිසෙකුම එක‍ට එකතු වී ගොඩ නගාගත් පොදු සමාජ සංවිධානයකි. එම නිසා සමාජය සතු සමස්ත බලයම නිතැතින් රාජ්‍යයට හිමි වේ. නමුත් සමාජයේ අන් ඕනෑම සංවිධානයක් පෞද්ගලික සංවිධාන වේ. එයට හේතුව ඒවා ගොඩ නගා තිබෙන්නේ පෞද්ගලික කණ්ඩායමක් වීමයි. ඒ නිසා එම සංවිධාන වලට රාජ්‍යය තරමි අසහාය බලයක් හිමි නොවේ.
                        රාජ්‍යය සතු තම උත්තරීතර බලය ක්‍රියාවට නංවනු ලබන්නේ නීති රීති හා බල කිරීම් මගිනි. ඒ සදහා රාජ්‍යයට ව්‍යවස්ථාදායකය, විධායකය හා පොලිසිය, හමුදාව, අධීකරණය, බන්ධනාගාර යනාදිය ඇත. රාජ්‍යය පනවනු ලබන නීති රීති වලට සියළුම සංවිධාන යටත් විය යුතු අතර නීති කඩ කරන්නන්ට දඩුවම් පැණවීමට රාජ්‍යයට බලය තිබේ.
                                                                                    මෙලෙස නීති රීති පැනවීමට හෝ දඩුවම් දීමට බලයක් අන් සමාජ සංවිධාන වලට නැත. එම සංවිධාන වල පරමාර්ථයක් අනුව සාමාජිකයන් හැසිරිය යුතු අයුරු දැක්වෙන ව්‍යවස්ථා මාලාවක් තිබුණ ද බලය හා බල කිරීම් යොදවමින් සාමාජික අවනත බව ලැබීමට එම සංවිධාන වලට ‍නොහැකි ය. තම සංවිධානයේ ව්‍යවස්ථා මාලාවට පටහැනිව යමෙක් කටයුතු කළහොත් ඔහුට දිය හැකි උපරිම දඩුවම වන්නේ එම සාමාජිකයාගේ සාමාජිකත්වය ඉවත් කිරීම පමණි.

2.      සාමාජිකත්වය
        ඕනෑම පුද්ගලයෙකු උපත ලබන්නේ කිසියම් රාජ්‍යයක් තුළ ය. තමා කුමන රාජ්‍යයට අයත් යන්න තීරණය කිරීමට උපන් පුද්ගලයාට හැකියාවක් නැත. ඒ අනුව රාජ්‍යයේ සාමාජිකත්වය පිළිබද ව පිළිබද ව තේරීමක් හෝ මනාපයක් පුද්ගලයාට නොමැත. ඔහු කැමති වුව ද අකමැති වුව ද තමා උපන් රටේ සාමාජිකත්වය ඔහුට නිතැතින් ම හිමි වේ. පුරවැසිභාවය යනුවෙන් අප හදුන්වන්නේ එයයි. උපදින අවස්ථාවේදී ම ඔහු රටේ ලියා පදිංචි කරන සහතිකයක් ලබා දෙන්නේ මේ නිසා ය. යම් පුද්ගලයෙකුට සාමාජිකයෙකු විය හැක්කේ එක් රාජ්‍යයක් තුළ පමණි. එසේ ම එය අනිවාර්ය දෙයක් ද වේ. තව ද තමන් ජීවත් ව සිටින කාළය තුළ එම සාමාජිකත්වයෙන් ඉවත් වීමට හෝ මිදී යාමට හෝ හැකියාවක් නැත.
                                                            නමුත් ඕනෑම අනෙක් සමාජ සංවිධානයක සාමාජිකත්වය දැරීමට පුද්ගලයාට හැකියාව තිබේ. එය සිවාභිමතය පරිදි සිදු වන්නකි. ඕනෑම සංවිධාන ගණනක සාමාජිකත්වය එක වරම ලබා ගැනීමට පුද්ගලයාට හැකි ය. එසේ ම එම සාමාජිකත්වය තුළ රැදී සිටීමේ හෝ නොසිටීමේ හෝ හැකියාවක් ද පුද්ගලයාට ලැබී තිබේ. මෙයින් කියැවෙන්නේ පුද්ගලයාට තමන් කැමති ඕනෑම අවස්ථාවක දී අනෙක් සමාජ සංවිධානයන්ගේ සාමාජිකත්වය අත්හැරිය හැකි බවයි.

3.      අරමුණු හා පරමාර්ථ
        රාජ්‍යයක ඇත්තේ පොදු අරමුණු හා පරමාර්ථයන් ය. රාජ්‍යය මුළු සමාජයම වෙනුවෙන් ක්‍රියාත්මක වේ. පුරවැසියන් සියළු දෙනාගේම පොදු සුභසාධනය සැලසීම රාජ්‍යයේ අවසාන පරමාර්ථය වේ. රාජ්‍යය නීති පනවනු ලබන්නේ මේ නිසා ය. එසේම ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නේත් මෙම පොදු අරමුණු වලට ගැලපෙන ආකාරයෙනි. නමුත් අනෙක් සමාජ සංවිධාන වල අරමුණු හා පරමාර්ථ පටු හා පෞද්ගලික තත්වයන් මත ගොඩ නැඟුණ ඒවා ය. ඒවා තුළින් තම සාමාජිකයින්ගේ අරමුණු සලසනවා මිස පොදු සමාජ අභිවෘද්ධියක් පිළිබඳව සලකා නොබැලේ.

4.      ව්‍යාප්තිය (අධිකාරී/බලධාරී කේෂ්ත්‍රය)
        රාජ්‍යයේ ව්‍යාප්තිය අනුව එය ජාතික ස්වරූපයක් දරන්නා වූ සංවිධානයක් වේ. මේ අනුව රාජ්‍යය සඳහා නිශ්චිත දේශසීමාවන්ගෙන් යුක්ත භූමි ප්‍රදේශයක් අවශ්‍ය වේ. රාජ්‍යයට ව්‍යාප්ත විය හැක්කේ එම දේශ සීමා දක්වා පමණි. නමුත් අනෙක් සමාජ සංවිධාන සඳහා නිශ්චිත භූමියක් අවශ්‍ය නොවන අතර ම ඒවායේ ව්‍යාප්තිය නිශ්චිත ද නොවේ. උදාහරණ වශයෙන් ක්‍රීඩා සමිති, තරුණ සමිති, මහිලා සමිති යනාදිය ප්‍රාදේශීය ස්වරූපයක් ගන්නා අතර සිංහ සමාජය, ක්‍රිස්තියානි සංගමය, බෞද්ධ මහා සම්මේලනය යනාදිය ජාතික මට්ටමේ සංවිධාන වේ. ලෝක රතු කුරුස සංගමය, ජාත්‍යයන්තර කම්කරු සංවිධානය, ජාත්‍යයන්තර ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය යනාදිය ජාත්‍යයන්තර මට්ටමේ සංවිධාන ලෙස සැලකිය හැක.

5.      ජාතික ස්වභාවය
        රාජ්‍යයක් ගොඩ නැගී තිබෙන්නේ එක් ජාතියක් පදනම් කොට ගෙන ය. ජාතියක් වාර්ගික කොටස් කීපයකින් සමන්විත විය හැකි අතර දේශපාලන විද්‍යාවේ දී අදහස් කරනුයේ එක් ජාතියක් යන අදහසයි. නිදසුන් වශයෙන් ශ්‍රී ලංකාවේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සහ වෙනත් ජන කොටස් ගණනක් සිටිය ද පොදුවේ ශ්‍රී ලාංකික ලෙස හඳුන්වනු ලැබේ.
                                                                        ඒ අනුව රාජ්‍යයක් එක් ජාතියක් පදනම් කර ගෙන බිහි වී ඇති බව හඳුනාගත හැකි ය. නමුත් අනෙක් සමාජ සංවිධාන වලට ජාතිකත්වය පිළිබඳ අදහස බලපානු නොලැබේ. ජාත්‍යයන්තර සමාජ සංවිධාන ගොඩ නැගී තිබෙන්නේ බහු ජාතික පදනම යටතේ ය. උදාහරණ වශයෙන් ලෝක රතු කුරුස සංවිධානය දැක්විය හැකි ය.

රාජ්‍යය, ජාතිය හා ජාතිකත්වය
        දේශපාලන විද්‍යාවේ දී අර්ථ භේදයකින් තොර ව භාවිතයට ගැනෙන තවත් වචන කීපයක් ලෙස මේවා හඳුන්වා දිය හැකි ය. රාජ්‍යය හා ජාතිය එක අරුතක් දැනවීමට යොදනවාක් මෙන් ම ජාතිය හා ජාතිකත්වය ද සමාන අර්ථ ගෙන දීමට භාවිත වේ. නමුත් මෙම පද වලින් ඇඟවෙන අර්ථ බොහෝ සෙයින් වෙනස් වන බව පැහැදිලි වේ. මෙහි දී ජාතිය හා ජාතිකත්වය යනු කුමක්ද යන්න තේරුම් ගැනීමේ දී පහත දැක්වෙන ලෙස ඒවායේ අර්ථ පැහැදිලි කර ගත හැක.
                                                ඉංග්‍රීසියෙන් Nation (ජාතිය) යන්න හා  Nationality (ජාතිකත්වය) යන්න යන වචන දෙක ගොඩ නැගී ඇත්තේ ලතින් භාෂාවේ එන Natio යන වචන දෙක මුල් කර ගෙන ය. “උත්පත්තිය” යන්න එයින් කියැවේ. මේ අනුව සලකා බලන විට යම් රටක උපදින මිනිසුන් සියළු දෙනා ම එකට ගත් විට ජාතියක් වශයෙන් හැඳින්වෙන අතර මිනිසුන් තුළ ජාතිය පිළිබඳ ඇතිවන උදාරතර හැඟීම් ජාතිකත්වය යනුවෙන් හැඳින්වේ. ඒ අනුව ජාතිය හා ජාතිකත්වය අතර පුළුල් වෙනස් කම් දැකිය හැකි නොවේ. හේතුව ජාතියක් පදනම් කොට ගෙන ජාතිකත්වය ඇති වීම යි. ජාතිකත්වය පදනම් කොට ගෙන ජාතියේ ඒකීයත්වය හා එක්සත් භාවය ඇති වීමත් ය. නමුත් දේශපාලන විද්‍යාවේ දී මෙම පද දෙක භාවිතයට ගැනෙ‍න්නේ ඉහත අර්ථ හැඳින්වීමට නොවේ. ඒ අනුව ජාතිය යනුවෙන් හැඳින්වෙන්නේ නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ දේශපාලනමය වශයෙන් සංවිධානය වූ මිනිස් සමූහයකි. එසේ සංවිධානය වූ අවස්ථා දේශපාලන විද්‍යාව තුළ හඳුනා ගත හැක.
        i.            රාජ්‍යයක් වශයෙන් සංවිධානය වූ හා දේශපාලනමය වශයෙන් ස්වාධීනත්වයක් දරන මිනිස් සමූහයක් ජාතියක් වශයෙන් හඳුනා ගත හැක.
      ii.            දේශපාලන නිදහසක් නැතත් එය දිනාගැනීමට හා රාජ්‍යයක් වශයෙන් සංවිධානය වීමට ආසාව සහිත ජන සමූහයක් ජාතියක් වශයෙන් හඳුනා ගත හැක.
                                                මේ අනුව යටත් විජිතයකට දේශපාලන නිදහස හා රාජ්‍යයත්වය යන දෙකම නොමැති විට එහි ජනතාව නිදහස අයත් කර ගෙන රාජ්‍යයක් වශයෙන් සංවිධානය වීමට ආශාව දක්වන්නේ නම් එම ජනතාව ජාතියක් වශයෙන් සැළකිය හැක. මෙහි දී ජාතිය යන්න තීරණය කිරීම සම්බන්ධයෙන් දේශපාලන සාධකය අතිශයින් වැදගත් වේ.
                                                            ජාතිකත්වය යනුවෙන් අදහස් කරනුයේ ජාතිය පිළිබඳ මිනිසා තුළ ඇතිවන උදාරතර මානුෂික හැඟීම් ය. එනම්, නිශ්චිත භූමි ප්‍රදේශයක වාසය කරන ජනතාව තමන් එකම ජාතියකට අයත් වනවාය යනුවෙන් ඇතිවන මානුෂික සිතුවිල්ල ය. මෙහි දී ජාතිකත්වය ඇති වීම කෙරෙහි එල්ල වන සංස්කෘතික සාධකයන් බෙහෙවින් බලපෑම් කරයි. පොදු ඉතිහාසයක්, ‍පොදු සංස්කෘතියක්, පොදු සිරිත් විරිත් හා සම්ප්‍රධායන්, පොදු ආගමක් ආදී සංස්කෘතික සාධක මේ සම්බන්ධයෙන් වැදගත් වේ. මේ සාධක තුළින් ජනතාව තුළ එක්සත් භාවය ඇති වූ විට ජාතිකත්වය පිළිබඳ හැඟීම වර්ධනය වේ.
                        යම් රටක් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට වෙනස් ආගම්, භාෂා හා සංස්කෘතික තත්වයන් සහිත වාර්ගික කොටස් කීපයකින් සමන්විත විය හැකි වුව ද වර්ගය ගැන නොසලකා හුදෙක් ජාතියක් ලෙස ජාතික පදනමකින් කල්පනා කරන්නේ නම් ජාතිකත්වය වර්ධනය වීමට වාර්ගික සාධකය බල ‍‍නොපායි. නමුත් වාර්ගික මට්ටමකින් කටයුතු කරයි නම් එහි දී ජාතිකත්වය පිළිබඳ හැඟීම වර්ධනය නොවේ. නිදසුන් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය බහුවිධ සමාජ ක්‍රමයක් සහිත විවිධ භාෂා, විවිධ ආගම් ගණනකින් සමන්විත වාර්ගික කොටස් සිය ගණනකින් යුක්ත රටක් ලෙස සැලකේ. නමුත් ඔවුන් පටු තත්වයන් ඉවත් කොට ජාතික මට්ටමින් කල්පනා කිරීම හේතු කොට ගෙන ලොව ඉහලම හා ප්‍රබලම ජාතිකත්වයක් රට තුළ ගොඩ නැඟී තිබේ. එසේ ම ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වර්ග කොටස් 04ක් පමණක් දැකිය හැකි වුව ද ඔවුන් අතර පවතින පටු වාර්ගික ආකල්ප නිසා අද දක්වාම ජාතිකත්වයක් ලොඩ නගා ගැනීමට මෙරට අසමත් ව ඇත.

                        මේ අනුව ජාතිය හා ජාතිකත්වය එකම කාසියක දෙපැත්ත මෙන් එකිනෙකට වෙනස් කළ නොහැකි අයුරින් එකට බැඳී ඇති ආකාරයක් පෙනී යයි. මහාචාර්ය අර්නස්ට් බාකර් දැක් වූ ආකාරයට “මිනිසුන් ජාතියක් ලෙස කල්පනා කරන විට ඔවුන් ජාතියක් බවට පත් වේ.” එසේ ම “රාජ්‍යය හා ජාතිකත්වය එකට එකතු වූ විට ජාතියක් බිහි වන බව මහාචාර්ය ගානර් පෙන්වා දෙයි.”