Thursday, May 22, 2014

රාජ්‍යය යනු කුමක්ද?

1 comments
                                                                 දේශපාලන විද්‍යාවෙන් විශේෂයෙන් විග්‍රහ කරනු ලබන්නේ රාජ්‍යය පිළිබද කරුණු ය. දේශපාලන විද්‍යාව ස්වාධීන විෂයක් ලෙස වර්ධනය වීම සහ ඒ පිළිබද අධ්‍යයනය ආරම්භ වී දැනට වසර 3000කට පමණ ආසන්න වුව ද රාජ්‍ය යන පදය දේශපාලන විද්‍යාවට එක් වූයේ 16 වන සියවසේ මැද භාගය තරම් මෑත භාගයකදී ය. රාජ්‍ය යන පදය ප්‍රථමයෙන් ම භාවිතයට ගනු ලැබුයේ “ඉතාලි ජාතික නිකලෝ මැකියාවෙලී විසිනි.” ඔහු විසින් සම්පාදිත The Prince හෙවත් කුමාරයා” කෘතිය තුලිනි. ග්‍රීක යුගයේ දී රාජ්‍ය යන්න හැදින්වීමට “පෝලිස්” (Police) යන පදය යොදා ගත් අතර රෝම යුගයේ දී “සිවිටාස්” හෝ “සිව්ටාස්” යන පදය ඒ සදහා යොදා ගැනිණි. පුරවැසි එකතුව සහ පුරවැසි සුභසාධනය යන අදහස “සිව්ටාස්” යන පදයෙන් අදහස් වේ. මැකියාවෙලීගෙන් පසුව රාජ්‍යය යන පදය දේශපාලන විද්‍යාවේ ස්ථාවර පාරිභාෂික පදය බවට පත් ව ඇත.
                                                දේශපාලන විද්‍යාව රාජ්‍යය පිළිබදව හදාරනු ලබන විෂය වුව ද රාජ්‍යය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබද ව පිළිගත් පොදු අර්ථ කථණයක් මේ දක්වාත් නොමැත. විවිධ අය විවිධ අර්ථකතන වලින් රාජ්‍යය යන්න අර්ථ දක්වා ඇත. මේ අනුව අර්ථකතන රාශියක් ම දේශපාලන විද්‍යාව තුළ ඒ පිළිබද ව ගොඩ නැගී ඇති බව දක්නට ලැබේ.

·         ප්‍රීතිමත් හා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මිනිසුන් එකට එක් වී පිහිටුවා ගත් සංවිධානය රාජ්‍යය වේ. - ඇරිස්ටෝටල්
·         නීතිගරුක භාවය තුළින් පොදු සමාජ යහපත ළගා කර ගැනීම සදහා එකට එක් වූ මිනිස් සමාජය රාජ්‍යය වේ. - සීසරෝ
·         නිශ්චිත දේශසීමාවක් තුළ නීතිය සදහා සංවිධානය වූ ජනතාව රාජ්‍යයක් ලෙස හැදින්වේ. - වුඩ්රෝ විල්සන්
·         වෙන් කරන ලද භූමි ප්‍රදේශයක් තුළ අනෙක් සමාජ සංවිධාන ඉක්මවා ගිය උත්තරීතර බලයක් සහිත මිනිස් සමාජය රාජ්‍යය නම් වේ. - හැරල්ඩ් ජේ. ලැස්කි
·         නිශ්චිත දේශසීමාවක් තුළ දේශපාලන වශයෙන් සංවිධායනය වූ ජනතාව රාජ්‍යය ලෙස හැදින්විය හැක. - බ්ලන්ටෂ්ලි
·         යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් ස්ථාවර වාස භූමිය කරගත්, සංඛ්‍යාත්මක වශයෙන් අඩු හෝ වැඩි විය හැකි, යම් ජන සංඛ්‍යාවකගෙන් සමන්විත, ජනතාවගේ බහුතර අනුමැතිය ලබන, සංවිධානාත්මක ආණ්ඩුවක් සහිත, බාහිර වශයෙන් ස්වාධීන නැතිනම් වෙනත් පාලනයකට යටත් නො වූ මිනිස් සමාජය රාජ්‍යය ලෙස හැදින්විය හැක. - ගානර්
·         පොදු නීති ක්‍රමයක්, පොදු සිරිත් විරිත් වලින් සහ පොදු ගති පැවතුම් වලින් එකට බැදුණු, නිශ්චිත දේශ සීමාවක් සහිත භූමි ප්‍රදේශයක් තුළ ස්ථීර ලෙස පදිංචි වූ, සංවිධානය කරගත් ආණ්ඩුවක් මාර්ගයෙන් ස්වාධීන ස්වාධිපති බලය ක්‍රියාවට නංවමින්, අභ්‍යයන්තරික වශයෙන් පුද්ගලයින් සහ අනෙක් සෑම දෙයක් ම පාලනය කරන, බාහිර වශයෙන් යුද්ධ වලට හා සාම ගිවිසුම් වලට එළඹීමට මෙන් ම සහ ජාත්‍යයන්තර සමාජයේ අනෙක් රාජ්‍යයන් සමග අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යාමට හැකියාව ඇති සංවිධානය වූ ජන සමාජය රාජ්‍යයක් ලෙස සැලකිය හැකි ය. - පිලිමෝර්
       ඉහත දැක්වෙන්නේ රාජ්‍යය පිළිබද නිර්වචන රාශියකි. මේ පිළිබද විමසීමෙන් පෙනී යන්නේ ඒ කිසිදු නිර්වචනයක් එක හා සමාන නොවන බවයි. එය එසේ වුව ත් සියළුම රාජ්‍යය පිළිබද ඉදිරිපත් කෙරෙන නිර්වචනයක් සම්පූර්ණ එකක් වීමට නම් රාජ්‍යයේ අත්‍යවශ්‍ය අංගයන් වූ නිශ්චිත භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය යන සාධක අඩංගු විය යුතු ය. ඒ අනුව නිශ්චිත භූමියකින් යුක්ත, නිශ්චිත ජනගහනයක් සහිත, ආණ්ඩුවකින් සමන්විත හා ස්වාධිපත්‍ය බලය උසුලන්නා වූ සංවිධානය රාජ්‍යය ලෙස සැලකිය හැක.

රාජ්‍යයට අත්‍යවශ්‍ය අංග ලක්ෂණ
   නූතන ව්‍යවහාරය අනුව රාජ්‍යය යන පදය භාවිත කළ හැක්කේ භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය යන ගුණාංග සතර අඩංගු සංවිධානය සදහා ය. මෙයින් පළමු සාධක දෙක මගින් රාජ්‍යයේ භෞතික පදනම පිළිබිඹු වන අතර අවසාන සාධක දෙක මගින් රාජ්‍යයේ දේශපාලන පදනම නිරූපනය වේ.

      I.            භූමිය
                නිශ්චිතව දක්වන ලද දේශසීමාවන්ගෙන් වට වූ යම් භූමි ප්‍රමාණයක් රාජ්‍යයේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. භූමිය යන පදයෙන් දේශසීමාවක් සහිත ගොඩ බිමක් පමණක් නොව එම භූමාය වටා ඇති නාවික සැතපුම් 200ක් පමණ වන මුහුදු තීරය ද, එම මුහුදු තීරය හා ගොඩ බිම ඇතුලත් ප්‍රමාණයට සමානව වසා පැතිරෙන අභ්‍යවකාශය ද ඇතුළත් වේ. මේ ආකාරයට රාජ්‍යයක දේශසීමා නිශ්චිත ලෙස පැහැදිලිවම දක්වා තිබීම අත්‍යවශ්‍ය ‍වේ. හේතුව නම් අවිනිශ්චිත දේශ සීමා රාජ්‍යයන් අතර ගැටුම් ඇති වීමට බලපාන බැවිනි. රාජ්‍යයට නිශ්චිත ලෙස වෙන් කරන ලද ‍දේශ සීමාවක් සහිත භූමි ප්‍රමාණයක් තිබිය යුතු බවට ප්‍රථමයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ ලීවර් නැමැති දේශපාලඥයා ය. එසේ වුව ත් රාජ්‍යයක භූමි ප්‍රමාණය කොපමන ද යන්න මේ තාක් පිළිගත් මතවාදයන්ගෙන් පැහැදිලි නොවේ. ඒ අනුව නූතන රාජ්‍යයන් වලට අයත් භූමි ප්‍රමාණයන් පිළිබද පුළුල් වෙනස්කම් දැකිය හැකි ය. ඉතා කුඩා ප්‍රමාණයන් සහිත මෙන් ම සුවිශාල වූ භූමි ප්‍රමාණයන් සහිත රාජ්‍යයන් ද දැකිය හැකි ය. නිදසුන් ලෙස වර්‍ග සැතපුම් 38ක් වූ “සෙන් මැරීනෝ” රාජ්‍යය භූමිය අතින් ඉතාම කුඩා රාජ්‍යයක් සේ සැලකේ. වතිකානුව ලොව ඇති කුඩාම රාජ්‍යය යි. සිංගප්පූරුව වර්‍ග සැතපුම් 125ක් ද, ඉන්දියාවේ වර්‍ග සැතපුම් 1056000 ප්‍රමාණයක් ඇත. ඒ අනුව ලෝකයේ සුවිශාල භූමි ප්‍රමාණයන් මෙන් ම කුඩාම භූමි ප්‍රමාණයන්ගෙන් යුක්ත රාජ්‍යයන් ද ඇති බව පෙනී යයි.  මෙහි දී ප්‍රමාණය නොව නිශ්චිත භූමිය රාජ්‍යයකට අයත් අත්‍යවශ්‍ය අංගය සේ පෙනේ.

  II.            ජනගහනය
රාජ්‍යයක් සදහා අවශ්‍ය දෙවන කොන්දේසිය ජනගහනය වේ. රාජ්‍යය වනාහි මානව සංවිධානයක් පමණක් නොව මානව සංවිධාන අතුරින් ඉහලම මානව සංවිධානය වේ. මෙයින් පැහැදිලි වන්නේ මිනිස් වාසයකින් තොර ව රාජ්‍යයක් ‍නොපවතින බවයි. එනම් මිනිසුන් වාසය නොකරන භූමි ප්‍රදේශයක් හැදින්වීම සදහා රාජ්‍යය යන පදය හැදින්විය නොහැකි බව යි. අනෙක් අතින් රාජ්‍යයක් වශයෙන් සැලකීමට නම් සංඛ්‍යාත්මක වශයෙන් යම් ජනගහනයක් සිටීම අත්‍යවශ්‍ය වේ. මෙහි දී තනි පවුල කිසි සේත් ප්‍රමාණවත් නොවේ. “ස්ටීවන් ලීකොක්” දක්වා ඇති පරිදි මිහිපිට ජනාවාස නො වූ කිසිදු භූමියක් රාජ්‍යයක් ලෙස සැලකිය නොහැක. රාජ්‍යයක් වශයෙන් භූමියක් සැලකීම සදහා තනි පවුලක් හෝ පවුල් කීපයක් නොසෑහේ. ඒ සදහා පවුල් රාශියක් පදිංචි විය යුතු ය.
                                                                                                      ජනගහනය රාජ්‍යයක් ගොඩනැගීම සදහා අවශ්‍යම කොන්දේසියක් වුව ද එහි උපරිම මට්ටමක් හෝ අවම මට්ටමක් නිශ්චිතව සදහන් කළ නොහැක. ඒ අනුව නිශ්චිතව හදුනා ගත හැකි යම් ප්‍රමාණාත්මක ජන සංඛ්‍යාවක් රාජ්‍යයක් ගොඩ නැගීම සදහා අත්‍යවශ්‍ය වන්නේ ය. ඇරිස්ටෝටල් නම් දාර්ශනිකයා සංඛ්‍යාත්මක වශයෙන් නිශ්චිත ජන සංඛ්‍යාවක් නොදැක්වුව ද රාජ්‍යයක සිටිය යුතු ජන සංඛ්‍යාව එයට දරා ගත හැකි එකක් විය යුතු බව පෙන්වා දුන්නේ ය. මේ අනුව ලෝකයේ විවිධ රාජ්‍යයන් වල විවිධාකාරයේ සංඛ්‍යාත්මක වශ‍යෙන් විවිධ වූ ජනගහනයන් දක්නට ලැබේ. නිදසුන් ලෙස චීනයේ දැනට කෝටි 140ක් පමණ ද, ශ්‍රී ලංකාවේ කෝටි 02ක් පමණක් ද වේ. ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ රාජ්‍යයක් නිර්මාණය වීම සදහා එයට දරාගත හැකි අයුරින් නිශ්චිත ජනගහනයක් සිටිය යුතු බවයි.

III.            ආණ්ඩුව
          රාජ්‍යයක් නිර්මාණය වීම සදහා අවශ්‍ය තුන්වන කොන්දේසිය යි. රාජ්‍යයේ කැමැත්ත ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නංවන්නේ ආණ්ඩුව යි. වෙනත් අයුරකින් දක්වන්නේ නම් රාජ්‍යයක් තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් පුරවැසියන් පොදු අරමුණක් කරා මෙහෙයවන්නේ ආණ්ඩුවයි. යම් භූමි භාගයක් තුළ ආණ්ඩු පාලනයකට යටත් නො වූ ජන සංඛ්‍යාවක් වාසය කරන්නේ නම් එය රාජ්‍යයක් ලෙස සැලකිය නොහැක. එවැනි තත්වයක් සමාන කළ හැක්කේ අනධිකාරී තත්වයකට ය. පොදු අරමුණක් සදහා සාමූහිකව කටයුතු කරන්නේ ආණ්ඩුවක පාලනයකට යටත් වුව‍හොත් පමණී. මේ අනුව රාජ්‍යයක පැවැත්ම සදහා ආණ්ඩුවක පැවැත්ම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇත. නමුත් රාජ්‍යයක් තුළ පැවතිය යුතු ආණ්ඩුවේ ස්වභාවය කුමක්ද යන්න නිශ්චිත වශයෙන් කිය ‍නොහැක. රාජ්‍යයක් තුළ පැතිරී පවතින දේශපාලන දෘෂ්ටිය අනුව ආණ්ඩුවේ ස්වභාවය තීරණය වේ. උදාහරණ වශයෙන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී හෝ කොමියුනිස්ට් හෝ ෆැසිස්ට් හෝ මිලිටරි ‍හෝ රාජාණ්ඩු හෝ විය හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය යලිත් වරක් ජනාධිපති විධායක හෝ කැබිනට් විධායක යන දෙකින් එකක් විය හැකි ය.මෙයින් කුමන ආණ්ඩුක්‍රමයක් පැවතිය ද අවශ්‍ය ආණ්ඩුවක පැවැත්ම පමණි.

IV.            ස්වාධිපති බලය
                  ස්වාධිපත්‍යය රාජ්‍යයක අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු සිව් වන කොන්දේසිය වේ. මෙය රාජ්‍යයේ ජීවනාලිය හා ආත්මය යි. සමාජයක් තුල අනෙක් සමාජ සංවිධානයන්ගෙන් රාජ්‍යය වෙන් වන්නේත්, අනෙක් සමාජ සංවිධාන වලට වඩා රාජ්‍යය උත්තරීතර වන්නේත් ස්වාධිපත්‍යය හේතු කොටගෙන ය.එමෙන් ම එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයකින් වෙන් කොට හදුනා ගන්නේ ද ස්වාධිපත්‍යය හේතුවෙනි. ස්වාධිපත්‍යය රාජ්‍යය සතු උත්තරීතර බලය යි. රාජ්‍යය සතු මෙම බලය අසම සම වේ. රාජ්‍යයක එම බලයට යටත් ව යම් භූමි භාගයක් තුළ නිශ්චිත යම් ජන සංඛ්‍යාවක් පදිංචි වී සිටිය ද ස්වාධිපත්‍යය බලය නොමැති නම් එවැනි තත්වයක් හැදින්විය යුත්තේ රාජ්‍යයක් හැටියට නොවේ. ඒ අනුව රාජ්‍යයක පූර්ණත්වය සිදු වීම සදහා ස්වාධිපත්‍යය බලය එයට තිබිය යුතු ය. රාජ්‍යයේ කැමැත්ත ක්‍රියාවට නංවනු ලබන්නේ මෙම ස්වාධිපති බලය හේතු කොටගෙන ය. එම කැමැත්ත ක්‍රියාවට නැංවීම සදහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමත්, ක්‍රියාත්මක කිරී‍මේ දී ඇතිවන ගැටළු නිරාකරණය කිරීමත් මෙයින් සිදු වේ. ස්වාධිපත්‍යය බලය යටතේ නීති ක්‍රියාත්මක කිරීමේ දී  එයට අවශ්‍ය තරම් බලය යොදවාලිය හැකි නීති ක්‍රියාත්මක කිරීමේ දී ඒවා කඩ කරන්නන්ට උපරිම අන්දමේ දඩුවම් ලබා දීමට ද මේ යටතේ රාජ්‍යයකට බලය ඇත. එය සාමාන්‍ය දඩුවමේ සිට මරණ දඩුවම දක්වා ක්‍රියාත්මක වේ.

                                                      එසේ ක්‍රියාත්මක වන රාජ්‍යය සතු මෙම බලය බාහිර හා අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර දැක් වේ. බාහිර ස්වාධිපත්‍යයෙන් වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත් වීමෙන් තොර ව රාජ්‍යයට ක්‍රියාත්මක වීමට ඇති බලය යි. විශේෂයෙන් ම රාජ්‍යයක විදේශ සම්බන්ධතා හැසිරවීම සම්බන්ධයෙන් බාහිර ස්වාධිපත්‍යය වැදගත් වේ. රාජ්‍යයක අභ්‍යයන්තර වැඩ කටයුතු සම්බන්ධයෙන් පුරවැසි සංවිධාන ඉක්මවා යමින් ක්‍රියාත්මක වීමට රාජ්‍යයට ඇති බලය අභ්‍යයන්තර ස්වාධිපත්‍යය යි. මේ අනුව රාජ්‍යයක් පනවනු ලබන නීති වලට පුරවැසියන් මෙන් ම පුරවැසි සංවිධාන ද යටත් විය යුතු ය.

රාජ්‍යය හා ආණ්ඩුව
            රාජ්‍යය හා ආණ්ඩුව යන පදයන් අර්ථ භේදයකින් තොර ව සාමාන්‍ය ව්‍යවහාරයේ දී යොදා ගන්නා අයුරු දැක ගත හැක. සමහර දේශපාලන විද්‍යාඥයින් පවා මෙම අංශ දෙක අතර පවතින වෙනස තේරුම් නොගත් අවස්ථා ද දේශපාලන ඉතිහාසය තුළ දැකගත හැක. නිදසුන් වශයෙන් “හෝබ්ස් නැමැති දේශපාලන චින්තකයා “රාජ්‍ය හා ආණ්ඩුව එකක් වශයෙන් සැලකූ අතර යම් අවස්ථාවක දී ආණ්ඩුව විසුරුවා හැරියහොත් රාජ්‍යය ද විසිරී යන බව විශ්වාස කළේ ය.” ඇතැම් ආඥාදායක පාළකයන්ට සිය ආඥාදායකත්වය තහවුරු කර ගැනීම සදහා රාජ්‍යය හා ආණ්ඩුව එකක් වශයෙන් සැලකීමට ඉදිරිපත් වූ බව පෙනේ. නිදසුන් වශයෙන් “14 වන ලුවී රජු රාජ්‍යය යනු මම ය” යනුවෙන් කළ ප්‍රකාශය පෙන්වා දිය හැක. නමුත් මෙම ආයතන දෙක අතර පැහැදිලි වෙනස්කම් පවතින බව පෙනේ.
        i.            රාජ්‍යය වූ කළී අචේතනික සංකල්පයකි. නමුත් ආණ්ඩුව වූ කළී සචේතනික දෙයක් වනවාක් මෙන් ම ප්‍රායෝගික දෙයක් ද වේ. රාජ්‍යය යන්න නිරපේක්ෂව ගෙන සලකා බලන විට එය ඇසට නොපෙනෙන, හැගීමක් නොමැති, ස්පර්ෂ කළ නොහැකි, වෙනස් වන සුළු අතිශය සංකීර්ණ දෙයක් විය. නමුත් ආණ්ඩුව වූ කළී පියවි ඇසට නොපෙනෙන හැගීමක් ඇති, වෙනස් වීම් වලට යටත් වූ, ප්‍රායෝගික ක්‍රියාකාරී බවින් යුතු දෙයක් වේ.
      ii.            ආණ්ඩුව යනු රාජ්‍යය නොව එහි නියෝජිතයෙකු පමණි. රාජ්‍යය මගින් නියම කරන වැඩ කොටස හෝ කාර්යභාරය ක්‍රියාවට නැංවීම එහි වගකීමයි. ‍‍ජේ. ඩබ්ලිව් ගානර් පෙන්වා දුන් පරිදි රාජ්‍යයේ හෝ මහජනතාවගේ හෝ කැමැත්ත ප්‍රතිපත්ති වලට හැරවීමත්, ඒවා ප්‍රකාශ කරමින් ක්‍රියාවට නැංවීමත් කරනු ලබන නියෝජිතයා ආණ්ඩුව වේ. මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතා පෙන්වා දුන් පරිදි ආණ්ඩුව යනු යම් අරමුණක් ඉටු කර ගැනීම සදහා පවතින එක්තරා මාධ්‍යයක් පමණි. ලැස්කි දැක් වූ ආකාරයට ආණ්ඩුව පවතින්නේ රාජ්‍යයේ අරමුණු ක්‍රියාවට නැංවීමට ය. ආණ්ඩුව වූ කළී හුදෙක් පරිපාලනමය යන්ත්‍රයක් වන අතර එමගින් රාජ්‍යයේ අධිකාරී බලයට ක්‍රියාත්මක බව සැපයීම පමණක් සිදු වේ. මේ අනුව ආණ්ඩුව රාජ්‍යයේ කැමැත්ත ක්‍රියාවට නංවන රාජ්‍ය සේවකයෙකු බව මෙම ප්‍රකාශ වලින් පැහැදිලි වේ. මේ නිසා රාජ්‍යය ස්වාමියා ලෙසත්, ආණ්ඩුව සේවකයා ලෙසත් හදුන්වයි.
    iii.            සංකල්පයක් වශයෙන් සලකා බලන විට රාජ්‍යය පරිපූර්ණ වස්තුවක් වන අතර ආණ්ඩුව රාජ්‍යයේ කොටසක් පමණක් වේ. භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය යන කොටස් සතරෙන් රාජ්‍යය සමන්විත වන අතර ආණ්ඩුව ඒ අතරින් එක් කොටසක් පමණකි. කෙසේ වුවත් රාජ්‍යයේ පැවැත්ම සදහා ආණ්ඩුව අත්‍යවශ්‍ය වේ. මෙය නොමැති වූ විටක රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය ඇන හිටීම එයට හේතුව යි. නමුත් රාජ්‍යයක් නොමැතිව වුව ද ආණ්ඩුවක් පැවැතිය හැකි බවට යටත් විජිත නිදසුන් දෙයි.
     iv.            රටක ජීවත් වන පුරවැසියන් සියළු දෙනා ම රාජ්‍යයේ සාමාජිකයන් වේ. ඒ අනුව රාජ්‍යය මගින් සමස්ත ජාතියම නියෝජනය වේ. නමුත් ආණ්ඩුව වූ කළී පුරවැසියන් කොටසකගේ පමණක් සහය ලබන දේශපාලන සංවිධානයක් ය. ආණ්ඩුවේ බලය පුරවැසියන් බොහෝ දෙනෙක්, කීප දෙනෙක් හෝ එක් අයෙකු මගින් මෙහෙය විය හැකි නමුත් පුරවැසියන් සියළු දෙනා ම ආණ්ඩුව මගින් නියෝජනය කරනු නොලැබේ.
       v.            රාජ්‍යය නොවෙනස් වන සුළු ය. ස්ථාවර දෙයක් වේ. මේ අනුව ‍ලෝකයේ කොතැනක වුව ද පවතින රාජ්‍යයන් එක සමාන වේ. වෙනසක් ඇති වන්නේ නම් භූමිය හා ජනගහනය අනුව පමණි. නමුත් ආණ්ඩුව රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් විය හැකි ය. නිදසුන් වශයෙන් ඇමරිකාව ජනාධිපති, චීනය කොමියුනිස්ට්, නේපාලය රාජාණ්ඩු, බ්‍රිතාන්‍යය පාර්ගිමේන්තු කැබිනට් වශයෙනි.
     vi.            රාජ්‍යයේ මූලික ස්වභාවය වෙනස් කිරීමට ජනතාවට අයිතියක් නැත. එසේ සිදු වන්නේ නම් වෙනත් රටකට යටත් වුවහොත් පමණි. නමුත් ආණ්ඩුව වෙනස් කිරීමට මහජනතාවට බලය තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය තුළින් හෝ ප්‍රජාතන්ත්‍රවාදී නොවන විප්ලවයක් මගින් හෝ හමුදා කුමන්ත්‍රණයක් මගින් හෝ එය සිදු කළ හැක. මේ අනුව රාජ්‍යය විසුරුව නොහැකි අතර විසුරුවා හැරියහොත් එය මුළු මනින් ම විනාශ වේ. නමුත් ආණ්ඩුවක් විසුරුවා හැරිය හැකි අතර කිසිදු හානියක් සිදු නො‍වේ.
   vii.            රාජ්‍යය බිහි වීම සදහා අනිවාර්ය දේශ සීමා වලින් යුක්ත භූමි ප්‍රමාණයක් අවශ්‍ය වේ. නමුත් ආණ්ඩුවට මෙම කොන්දේසිය අදාල නොවේ. රාජ්‍යයට අයත් දේශසීමාවෙන් පිටත වුව ද ආණ්ඩුවක් තිබිය හැක. නිදසුන් ලෙස 1815න් පසු ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා‍වේ ආණ්ඩුව එංගලන්තය තුළ පවත්වාගෙන යාම ගත හැක.
 viii.            පුරවැසියන්ට රාජ්‍යයට එරෙහිව නැගී සිටිය නොහැක. රාජ්‍යයට විරුද්ධ වීම දඩුවම් ලැබිය හැකි රාජද්‍රෝහී ක්‍රියාවකි. යමෙක් රාජ්‍යයට විරුද්ධ වන්නේ නම් තමා තමාටම විරුද්ධ වීමක් සේ සැලකේ. නමුත් ආණ්ඩුවට එරෙහිව නැගී සිටීමට පුරවැසියන්ට අයිතියක් ඇත. එය පුරවැසියා සතු මූලික අයිතියකි. සාධාරණ හා යුක්ති සහගත හේතු වන ආණ්ඩුවට විරුද්ධ වීම දඩුවම් ලැබිය යුතු වරදක් නොවේ.
රාජ්‍යය හා සමාජය
          සමාජයක් යනුවෙන් අදහස් කරන්නේ යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ ස්ථීර ලෙස ම වාසය කරන එක් වාර්ගික ජන කොටසක් හෝ ජන වර්ග කීපයක් විසින් තම ආශාවන්, අවශ්‍යතාවයන් හා උවමනා එපාකම් තෘප්තිමත් කර ගැනීම සදහා ගොඩ නගා තිබෙන ආයතන හා සමිති සමාගම් ජාලාවේ සමස්ත එකතුව වේ. මෙහි දී සැළකිය යුතු වඩා වැදගත් කරුණ වන්නේ සමාජයක් වාර්ගික ජන කොටසකින් හෝ එකිනෙකට වෙනස් ජන කොටස් හෝ සමන්විත විය හැකි බවයි.
                                                                                                මෙම පැහැදිලි කිරීම් අනුව සමාජය ගොඩ නැගී තිබෙන්නේ පොදු සමාජ අරමුණු ඉටු කර ගැනීම සදහා ජන කොටස් වලින් පිහිටුවා ගනු ලැබූ විවිධාකාර සංවිධාන ජාලාවේ එකතුවෙනි. මෙවැනි සංවිධාන දහස් ගණනක් සමාජය තුළ දක්නට ලැබේ. රාජ්‍යය මෙම සංවිධාන වලින් එකක් වන අතර එය සමාජගත මිනිසුන් විසින් පිහිටුවා ගෙන ඇති ඉතාම වැදගත් වූ ත්, උත්තරීතර වූ ත් සංවිධානය යි. මේ අනුව සංවිධානය වූ සෑම ජන කොටසක් තුළම රාජ්‍යය දැක ගත හැකි අතර සමාජගත පුද්ගලයන්ගේ බාහිර පැවැත්ම පාළනය කරමින් ඔවුන් එකට බැද තබන්නේ රාජ්‍යය විසිනි. මේ අනුව රාජ්‍යය හා සමාජය අතර පුළුල් වෙනස්කම් රැසක් දැකිය හැකි ය.
        i.            සමාජය රාජ්‍යයට ප්‍රථමයෙන් බිහි වූ බව පැහැදිලි ය. මිනිසුන් ශීලාචාර දිවිපැවැත්මකට හුරු පුරුදු වී පොදු අරමුණු සදහා සංවිධානය වීමට පටන් ගත් පසු ආරම්භ වන සංවිධානය වන ක්‍රියාදාමයේ අවසාන අවස්ථාවේ රාජ්‍යය බිහි වේ. මිනිසුන් සංවිධානය වූවාට පසු රාජ්‍යය ගොඩ නගා ගත් බව මෙයින් පැහැදිලි වේ.
      ii.            රාජ්‍යයට ස්වාධිපති බලයක් හිමි වන අතර සමාජයට එවැනි බලයක් හිමි නොවේ. රාජ්‍යය සතු මෙම උත්තරීතර බලය සමස්ත සමාජයම වසා පැතිරී පවතින අතර රාජ්‍යයේ කැමැත්තට අනුව ක්‍රියා කිරීමට සමාජය බැදී සිටී. රාජ්‍යයේ අභිමතයට අවනත නොවන ඕනෑම සමාජගත මිනිසෙකුට හෝ සමාජ සංවිධානයකට හෝ දඩුවම් පැමිනවීමේ බලයක් රාජ්‍යයට තිබේ. නමුත් සමාජයට යම් තරමක එක්තරා බලයක් හිමි වුව ද එය රාජ්‍යයේ තරම් උත්තරීතර නොවන අතර ම නිශ්චිත ලෙස හදුනා ගැනීමට ද නොහැකි ය. මිනිස් පැවැත්ම පාළණය කිරීමට හැකියාවක් සමාජයට තිබුණ ද රාජ්‍යයේ අධිකාරී බලය මෙන් බල කිරීමට හා දඩුවම් කිරීම මගින් මිනිසුන් පාලනය කර ගැනීමට සමාජයට බලයක් නැත. සමාජය පිළිගත් සිරිත් විරිත්, සම්ප්‍රධායන්, සදාචාරාත්මක අගය කිරීම් ආදිය යමෙකු කඩ කළ විට සමාජයට දිය හැකි උපරිම දඩුවම වන්නේ සමාජයෙන් කොන් කිරීම පමණි. ඒ අනුව රාජ්‍යය සමාජය තුළින් බිහි වුව ද අවසානයේ සමස්ත සමාජයම රාජ්‍යයේ උත්තරීතර බලයට යටත් වන බව පෙනේ.
    iii.            රාජ්‍යය විසින් මිනිසාගේ බාහිර පැවැත්ම පාලනය කරනු අතර සමාජය විසින් මිනිසාගේ අභ්‍යයන්තර පැවැත්ම පාලනය කරයි. රාජ්‍යය නීති රීති මගින් එය සිදු කරන අතර සමාජය සමාජගත සිරිත් විරිත් වැනි දෑ මගින් එය සිදු කරනු ලැබේ. සහයෝගය, හොද හිත පවත්වාගෙන යාම, නම්‍යතාවය වැනි කරුණු ද ඊට අයත් වේ.
     iv.            රාජ්‍යයට වඩා සමාජය පුළුල් ය. රාජ්‍යය සමාජයේ කොටසක් පමණක් වන අතර සමාජයට රාජ්‍යය ඇතුළු අනෙක් මානව සංවිධාන සියල්ලම අයත් වේ. රාජ්‍යය වූ කළී නිශ්චිත දේශසීමා වලින් වට වූ ප්‍රදේශයකට පමණක් සීමා වන අතර සමාජය දේශීය දේශ සීමාවන් ඉක්මවා ගිය ජාත්‍යයන්තර මට්ටම දක්වා විහිදේ.
       v.            රාජ්‍යය විසින් මිනිසාගේ දේශපාලන පැවැත්ම පමණක් සොයා බලන අතර සමාජය විසින් සමාජීය, ආර්ථික, දේශපාලන, ආගමික යන සෑම අංගයක් ම ඇතුළත් සමස්ත ජීවන පැවැත්ම සොයා බලයි. රාජ්‍යයේ හා සමාජයේ අවසාන අරමුණ එකක් ම වන අතර රාජ්‍යය ගොඩ නගනු ලැබුවේ එම අරමුණ වඩාත් හොදින් ඉටු කර ගැනීම සදහා යි.
     vi.            රාජ්‍යය වූ කළී මිනිස් කැමැත්ත හා තාර්කික බුද්ධිය මගින් කෘතිමව ඇති කළ දෙයකි. නිර්මාණය වූ පසු අනිවාර්ය අංගයක් බවට පත් ව ඇත. රාජ්‍යය මගින් ඉටු කරන කාර්යභාරය වෙනත් කිසිදු මානව සංවිධානයක් මගින් ඉටු කළ නොහැකි වීම එයට ‍හේතුවයි. නමුත් සමාජය මිනිස් ස්වභාවික හැසිරීමේ ප්‍රතිඵලයක් ය.
                                       කෙසේ වුව ද රාජ්‍යය හා සමාජය අතර නොබිදිය හැකි අයුරින් අන්තර් සබදතාවයක් ද පවතී. කාර්යභාරය හේතු කොටගෙන රාජ්‍යය සමාජයට අවශ්‍යයම දෙයක් බවට පත් වී ඇත. බාකර්ට අනුව සමාජය එකට එකතු කොට බැද තබා තිබෙන්නේ රාජ්‍යය විසිනි. රාජ්‍යය නොමැති වූ විට එම තත්වය විනාශ වී යාම නොවැලැක්විය හැක.

රාජ්‍යය හා අන්‍ය සමාගම්
                    නිශ්චිත අරමුණක් හෝ කිහිපයක් වෙනුවෙන් එකට එක් වූ කණ්ඩායමක් සමාජ සංවිධානයක් ලෙස හැදින්වේ. මෙසේ සමාජයේ විවිධ අරමුණු වෙනුවෙන් සංවිධානය වූ සමාජ සංවිධාන දහස් ගණනක් සංවිධිත සමාජයක් තුළ දැකිය හැක. ඒ අනුව රාජ්‍යය ද මිනිසුන් එකට එක් වී ගොඩ නගා ගත් සමාජ සංවිධානයක් වේ. නමුත් රාජ්‍යය හා අනෙක් සමාජ සංවිධාන අතර පුළුල් වෙනස්කම් රැසක් දැකිය හැකි වේ.
1.      බලය
ඉහත සදහන් සංවිධාන අතරින් මූලික වූ ත්, අසහාය වූ ත්, උත්තරීතර වූත් බලය හිමි එකම සංවිධානය රාජ්‍යය වේ. මෙම බලය ස්වාධිපති බලය ලෙස හැදින්වේ. මෙවැනි උත්තරීතර බලයක් අන් කිසිදු සමාජ සංවිධානයකට නැත. රාජ්‍යය සමාජයේ සෑම මිනිසෙකුම එක‍ට එකතු වී ගොඩ නගාගත් පොදු සමාජ සංවිධානයකි. එම නිසා සමාජය සතු සමස්ත බලයම නිතැතින් රාජ්‍යයට හිමි වේ. නමුත් සමාජයේ අන් ඕනෑම සංවිධානයක් පෞද්ගලික සංවිධාන වේ. එයට හේතුව ඒවා ගොඩ නගා තිබෙන්නේ පෞද්ගලික කණ්ඩායමක් වීමයි. ඒ නිසා එම සංවිධාන වලට රාජ්‍යය තරමි අසහාය බලයක් හිමි නොවේ.
                        රාජ්‍යය සතු තම උත්තරීතර බලය ක්‍රියාවට නංවනු ලබන්නේ නීති රීති හා බල කිරීම් මගිනි. ඒ සදහා රාජ්‍යයට ව්‍යවස්ථාදායකය, විධායකය හා පොලිසිය, හමුදාව, අධීකරණය, බන්ධනාගාර යනාදිය ඇත. රාජ්‍යය පනවනු ලබන නීති රීති වලට සියළුම සංවිධාන යටත් විය යුතු අතර නීති කඩ කරන්නන්ට දඩුවම් පැණවීමට රාජ්‍යයට බලය තිබේ.
                                                                                    මෙලෙස නීති රීති පැනවීමට හෝ දඩුවම් දීමට බලයක් අන් සමාජ සංවිධාන වලට නැත. එම සංවිධාන වල පරමාර්ථයක් අනුව සාමාජිකයන් හැසිරිය යුතු අයුරු දැක්වෙන ව්‍යවස්ථා මාලාවක් තිබුණ ද බලය හා බල කිරීම් යොදවමින් සාමාජික අවනත බව ලැබීමට එම සංවිධාන වලට ‍නොහැකි ය. තම සංවිධානයේ ව්‍යවස්ථා මාලාවට පටහැනිව යමෙක් කටයුතු කළහොත් ඔහුට දිය හැකි උපරිම දඩුවම වන්නේ එම සාමාජිකයාගේ සාමාජිකත්වය ඉවත් කිරීම පමණි.

2.      සාමාජිකත්වය
        ඕනෑම පුද්ගලයෙකු උපත ලබන්නේ කිසියම් රාජ්‍යයක් තුළ ය. තමා කුමන රාජ්‍යයට අයත් යන්න තීරණය කිරීමට උපන් පුද්ගලයාට හැකියාවක් නැත. ඒ අනුව රාජ්‍යයේ සාමාජිකත්වය පිළිබද ව පිළිබද ව තේරීමක් හෝ මනාපයක් පුද්ගලයාට නොමැත. ඔහු කැමති වුව ද අකමැති වුව ද තමා උපන් රටේ සාමාජිකත්වය ඔහුට නිතැතින් ම හිමි වේ. පුරවැසිභාවය යනුවෙන් අප හදුන්වන්නේ එයයි. උපදින අවස්ථාවේදී ම ඔහු රටේ ලියා පදිංචි කරන සහතිකයක් ලබා දෙන්නේ මේ නිසා ය. යම් පුද්ගලයෙකුට සාමාජිකයෙකු විය හැක්කේ එක් රාජ්‍යයක් තුළ පමණි. එසේ ම එය අනිවාර්ය දෙයක් ද වේ. තව ද තමන් ජීවත් ව සිටින කාළය තුළ එම සාමාජිකත්වයෙන් ඉවත් වීමට හෝ මිදී යාමට හෝ හැකියාවක් නැත.
                                                            නමුත් ඕනෑම අනෙක් සමාජ සංවිධානයක සාමාජිකත්වය දැරීමට පුද්ගලයාට හැකියාව තිබේ. එය සිවාභිමතය පරිදි සිදු වන්නකි. ඕනෑම සංවිධාන ගණනක සාමාජිකත්වය එක වරම ලබා ගැනීමට පුද්ගලයාට හැකි ය. එසේ ම එම සාමාජිකත්වය තුළ රැදී සිටීමේ හෝ නොසිටීමේ හෝ හැකියාවක් ද පුද්ගලයාට ලැබී තිබේ. මෙයින් කියැවෙන්නේ පුද්ගලයාට තමන් කැමති ඕනෑම අවස්ථාවක දී අනෙක් සමාජ සංවිධානයන්ගේ සාමාජිකත්වය අත්හැරිය හැකි බවයි.

3.      අරමුණු හා පරමාර්ථ
        රාජ්‍යයක ඇත්තේ පොදු අරමුණු හා පරමාර්ථයන් ය. රාජ්‍යය මුළු සමාජයම වෙනුවෙන් ක්‍රියාත්මක වේ. පුරවැසියන් සියළු දෙනාගේම පොදු සුභසාධනය සැලසීම රාජ්‍යයේ අවසාන පරමාර්ථය වේ. රාජ්‍යය නීති පනවනු ලබන්නේ මේ නිසා ය. එසේම ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නේත් මෙම පොදු අරමුණු වලට ගැලපෙන ආකාරයෙනි. නමුත් අනෙක් සමාජ සංවිධාන වල අරමුණු හා පරමාර්ථ පටු හා පෞද්ගලික තත්වයන් මත ගොඩ නැඟුණ ඒවා ය. ඒවා තුළින් තම සාමාජිකයින්ගේ අරමුණු සලසනවා මිස පොදු සමාජ අභිවෘද්ධියක් පිළිබඳව සලකා නොබැලේ.

4.      ව්‍යාප්තිය (අධිකාරී/බලධාරී කේෂ්ත්‍රය)
        රාජ්‍යයේ ව්‍යාප්තිය අනුව එය ජාතික ස්වරූපයක් දරන්නා වූ සංවිධානයක් වේ. මේ අනුව රාජ්‍යය සඳහා නිශ්චිත දේශසීමාවන්ගෙන් යුක්ත භූමි ප්‍රදේශයක් අවශ්‍ය වේ. රාජ්‍යයට ව්‍යාප්ත විය හැක්කේ එම දේශ සීමා දක්වා පමණි. නමුත් අනෙක් සමාජ සංවිධාන සඳහා නිශ්චිත භූමියක් අවශ්‍ය නොවන අතර ම ඒවායේ ව්‍යාප්තිය නිශ්චිත ද නොවේ. උදාහරණ වශයෙන් ක්‍රීඩා සමිති, තරුණ සමිති, මහිලා සමිති යනාදිය ප්‍රාදේශීය ස්වරූපයක් ගන්නා අතර සිංහ සමාජය, ක්‍රිස්තියානි සංගමය, බෞද්ධ මහා සම්මේලනය යනාදිය ජාතික මට්ටමේ සංවිධාන වේ. ලෝක රතු කුරුස සංගමය, ජාත්‍යයන්තර කම්කරු සංවිධානය, ජාත්‍යයන්තර ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය යනාදිය ජාත්‍යයන්තර මට්ටමේ සංවිධාන ලෙස සැලකිය හැක.

5.      ජාතික ස්වභාවය
        රාජ්‍යයක් ගොඩ නැගී තිබෙන්නේ එක් ජාතියක් පදනම් කොට ගෙන ය. ජාතියක් වාර්ගික කොටස් කීපයකින් සමන්විත විය හැකි අතර දේශපාලන විද්‍යාවේ දී අදහස් කරනුයේ එක් ජාතියක් යන අදහසයි. නිදසුන් වශයෙන් ශ්‍රී ලංකාවේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සහ වෙනත් ජන කොටස් ගණනක් සිටිය ද පොදුවේ ශ්‍රී ලාංකික ලෙස හඳුන්වනු ලැබේ.
                                                                        ඒ අනුව රාජ්‍යයක් එක් ජාතියක් පදනම් කර ගෙන බිහි වී ඇති බව හඳුනාගත හැකි ය. නමුත් අනෙක් සමාජ සංවිධාන වලට ජාතිකත්වය පිළිබඳ අදහස බලපානු නොලැබේ. ජාත්‍යයන්තර සමාජ සංවිධාන ගොඩ නැගී තිබෙන්නේ බහු ජාතික පදනම යටතේ ය. උදාහරණ වශයෙන් ලෝක රතු කුරුස සංවිධානය දැක්විය හැකි ය.

රාජ්‍යය, ජාතිය හා ජාතිකත්වය
        දේශපාලන විද්‍යාවේ දී අර්ථ භේදයකින් තොර ව භාවිතයට ගැනෙන තවත් වචන කීපයක් ලෙස මේවා හඳුන්වා දිය හැකි ය. රාජ්‍යය හා ජාතිය එක අරුතක් දැනවීමට යොදනවාක් මෙන් ම ජාතිය හා ජාතිකත්වය ද සමාන අර්ථ ගෙන දීමට භාවිත වේ. නමුත් මෙම පද වලින් ඇඟවෙන අර්ථ බොහෝ සෙයින් වෙනස් වන බව පැහැදිලි වේ. මෙහි දී ජාතිය හා ජාතිකත්වය යනු කුමක්ද යන්න තේරුම් ගැනීමේ දී පහත දැක්වෙන ලෙස ඒවායේ අර්ථ පැහැදිලි කර ගත හැක.
                                                ඉංග්‍රීසියෙන් Nation (ජාතිය) යන්න හා  Nationality (ජාතිකත්වය) යන්න යන වචන දෙක ගොඩ නැගී ඇත්තේ ලතින් භාෂාවේ එන Natio යන වචන දෙක මුල් කර ගෙන ය. “උත්පත්තිය” යන්න එයින් කියැවේ. මේ අනුව සලකා බලන විට යම් රටක උපදින මිනිසුන් සියළු දෙනා ම එකට ගත් විට ජාතියක් වශයෙන් හැඳින්වෙන අතර මිනිසුන් තුළ ජාතිය පිළිබඳ ඇතිවන උදාරතර හැඟීම් ජාතිකත්වය යනුවෙන් හැඳින්වේ. ඒ අනුව ජාතිය හා ජාතිකත්වය අතර පුළුල් වෙනස් කම් දැකිය හැකි නොවේ. හේතුව ජාතියක් පදනම් කොට ගෙන ජාතිකත්වය ඇති වීම යි. ජාතිකත්වය පදනම් කොට ගෙන ජාතියේ ඒකීයත්වය හා එක්සත් භාවය ඇති වීමත් ය. නමුත් දේශපාලන විද්‍යාවේ දී මෙම පද දෙක භාවිතයට ගැනෙ‍න්නේ ඉහත අර්ථ හැඳින්වීමට නොවේ. ඒ අනුව ජාතිය යනුවෙන් හැඳින්වෙන්නේ නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ දේශපාලනමය වශයෙන් සංවිධානය වූ මිනිස් සමූහයකි. එසේ සංවිධානය වූ අවස්ථා දේශපාලන විද්‍යාව තුළ හඳුනා ගත හැක.
        i.            රාජ්‍යයක් වශයෙන් සංවිධානය වූ හා දේශපාලනමය වශයෙන් ස්වාධීනත්වයක් දරන මිනිස් සමූහයක් ජාතියක් වශයෙන් හඳුනා ගත හැක.
      ii.            දේශපාලන නිදහසක් නැතත් එය දිනාගැනීමට හා රාජ්‍යයක් වශයෙන් සංවිධානය වීමට ආසාව සහිත ජන සමූහයක් ජාතියක් වශයෙන් හඳුනා ගත හැක.
                                                මේ අනුව යටත් විජිතයකට දේශපාලන නිදහස හා රාජ්‍යයත්වය යන දෙකම නොමැති විට එහි ජනතාව නිදහස අයත් කර ගෙන රාජ්‍යයක් වශයෙන් සංවිධානය වීමට ආශාව දක්වන්නේ නම් එම ජනතාව ජාතියක් වශයෙන් සැළකිය හැක. මෙහි දී ජාතිය යන්න තීරණය කිරීම සම්බන්ධයෙන් දේශපාලන සාධකය අතිශයින් වැදගත් වේ.
                                                            ජාතිකත්වය යනුවෙන් අදහස් කරනුයේ ජාතිය පිළිබඳ මිනිසා තුළ ඇතිවන උදාරතර මානුෂික හැඟීම් ය. එනම්, නිශ්චිත භූමි ප්‍රදේශයක වාසය කරන ජනතාව තමන් එකම ජාතියකට අයත් වනවාය යනුවෙන් ඇතිවන මානුෂික සිතුවිල්ල ය. මෙහි දී ජාතිකත්වය ඇති වීම කෙරෙහි එල්ල වන සංස්කෘතික සාධකයන් බෙහෙවින් බලපෑම් කරයි. පොදු ඉතිහාසයක්, ‍පොදු සංස්කෘතියක්, පොදු සිරිත් විරිත් හා සම්ප්‍රධායන්, පොදු ආගමක් ආදී සංස්කෘතික සාධක මේ සම්බන්ධයෙන් වැදගත් වේ. මේ සාධක තුළින් ජනතාව තුළ එක්සත් භාවය ඇති වූ විට ජාතිකත්වය පිළිබඳ හැඟීම වර්ධනය වේ.
                        යම් රටක් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට වෙනස් ආගම්, භාෂා හා සංස්කෘතික තත්වයන් සහිත වාර්ගික කොටස් කීපයකින් සමන්විත විය හැකි වුව ද වර්ගය ගැන නොසලකා හුදෙක් ජාතියක් ලෙස ජාතික පදනමකින් කල්පනා කරන්නේ නම් ජාතිකත්වය වර්ධනය වීමට වාර්ගික සාධකය බල ‍‍නොපායි. නමුත් වාර්ගික මට්ටමකින් කටයුතු කරයි නම් එහි දී ජාතිකත්වය පිළිබඳ හැඟීම වර්ධනය නොවේ. නිදසුන් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය බහුවිධ සමාජ ක්‍රමයක් සහිත විවිධ භාෂා, විවිධ ආගම් ගණනකින් සමන්විත වාර්ගික කොටස් සිය ගණනකින් යුක්ත රටක් ලෙස සැලකේ. නමුත් ඔවුන් පටු තත්වයන් ඉවත් කොට ජාතික මට්ටමින් කල්පනා කිරීම හේතු කොට ගෙන ලොව ඉහලම හා ප්‍රබලම ජාතිකත්වයක් රට තුළ ගොඩ නැඟී තිබේ. එසේ ම ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වර්ග කොටස් 04ක් පමණක් දැකිය හැකි වුව ද ඔවුන් අතර පවතින පටු වාර්ගික ආකල්ප නිසා අද දක්වාම ජාතිකත්වයක් ලොඩ නගා ගැනීමට මෙරට අසමත් ව ඇත.

                        මේ අනුව ජාතිය හා ජාතිකත්වය එකම කාසියක දෙපැත්ත මෙන් එකිනෙකට වෙනස් කළ නොහැකි අයුරින් එකට බැඳී ඇති ආකාරයක් පෙනී යයි. මහාචාර්ය අර්නස්ට් බාකර් දැක් වූ ආකාරයට “මිනිසුන් ජාතියක් ලෙස කල්පනා කරන විට ඔවුන් ජාතියක් බවට පත් වේ.” එසේ ම “රාජ්‍යය හා ජාතිකත්වය එකට එකතු වූ විට ජාතියක් බිහි වන බව මහාචාර්ය ගානර් පෙන්වා දෙයි.”

Monday, May 19, 2014

දේශපලන විද්‍යාවේ අධ්‍යන ක්‍රම

0 comments




              දේශපාලන විද්‍යාව ස්වාධීන සමාජ විද්‍යාවක් ලෙස අධ්‍යයනය කිරීම ආරම්භ වී වසර 3000ක් පමණ ගත වී ඇතත් විධිමත් අධ්‍යයන ක්‍රමයක් සොයා ගැනීම කෙරෙහි අවධානය යොමු වන්නේ 19 වන සියවසේ ආරම්භයේ දී ය. මේ සම්බන්ධව ආරම්භක අවස්ථාවේ දී වැදගත් මෙහෙයක් කළ දේශපාල විද්‍යාඥයන් අතර ජෝන් ස්ටුවට් මිල්, ඔගස්ට් කොම්ටේ, ඇලෙක්සැන්ඩර් බේන්, කොන්වේයි ලුවිස්, බ්‍රයිස් සාමි, බ්ල්න්ටශ්ලි වැනි අය පෙන්වා දිය හැකි ය.
                                                ඔගස්ට් කොමටේ සමාජ විද්‍යාවන් හැදෑරීම සදහා වඩාත් යෝග්‍ය අධ්‍යයන ක්‍රම ලෙස පර්යේෂණාත්මක ක්‍රමය, නිරීක්ෂණ ක්‍රමය හා තුලනාත්මක ක්‍රමය හදුන්වා දී ඇත. ජෝන් ස්ටුවට් මිල් පෙන්වා දී ඇති ආකාරයට පර්යේෂණාත්මක ක්‍රමය, නිරීක්ෂණ ක්‍රමය, දාර්ශනික ක්‍රමය හා ඓතිහාසික අධ්‍යයන ක්‍රමය යන විධික්‍රම සතර සමාජ විද්‍යාවන් අධ්‍යයනය කිරීම සදහා යොදා ගත හැක.බ්ලන්ටශ්ලි එයට සුදුසු ක්‍රම ලෙස ඓතිහාසික ක්‍රමය හා දාර්ශනික ක්‍රමය නිර්දේශ කර ඇත. බ්‍රයිස් සාමි නිරීක්ෂණ ක්‍රමය හා පර්යේෂණාත්මක ක්‍රමය සුදුසු යැයි දක්වා ඇත. මහාචාර්ය ගානර් තුලනාත්මක අධ්‍යයන ක්‍රමය සුදුසු යැයි යෝජනා කර ඇත. මේ තුළින් දත්ත එකතු කිරීම, ඒවා පිළිවෙලකට යා කිරීම, එකිනෙකට ගලපා ලීම, විශ්ලේෂණය කිරීම හා අවසාන නිගමන වලට එළඹීම යන කාර්යයන් විධිමත් ව කල හැකි නිසා ඒවා පරිපූර්ණ අධ්‍යයන ක්‍රමයක් ලෙස සැලකිය හැකි බව කියයි.
                                                                                                                                                මේ අනුව නූතනයේ දී දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම සදහා යොදා ගනු ලබන විධි ක්‍රම රාශියක් තිබේ.
1.      ඓතිහාසික අධ්‍යයන ක්‍රමය
2.      තුලනාත්මක අධ්‍යයන ක්‍රමය
3.      නිරීක්ෂණ අධ්‍යයන ක්‍රමය
4.      දාර්ශනික අධ්‍යයන ක්‍රමය
5.      චර්යාවාදී අධ්‍යයන ක්‍රමය
6.      පර්යේෂණාත්මක අධ්‍යයන ක්‍රමය
7.      පද්ධති විශ්ලේෂණ ක්‍රමය
8.      සමාජ විද්‍යාත්මක ක්‍රමය
9.      සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රමය
                                                ආදිය යි.

1.     ඓතිහාසික අධ්‍යයන ක්‍රමය
            දේශපාලන විද්‍යාව අධ්‍යයනයට ගැනෙන මූලික අධ්‍යයන ක්‍රමයකි. දේශපාලන ආයතනයන්ගේ ඓතිහාසික විකාශය පදනම් කර ගෙන ඒවායේ වර්තමාන තත්වය අධ්‍යයනය කරමින් ඒ ආශ්‍රිත නව ප්‍රවණතා මතු කර දැක්වීම මෙමගින් සිදු වේ.
                                                ෆෙඩ්රික් වෙන්ලොක් දැක් වූ ආකාරයට ඓතිහාසික අධ්‍යයන ක්‍රමය මගින් කරනුයේ අද පවතින දේශපාලන ආයතන ඒ අයුරින් ම ගෙන ඒවා පිළිබද හැදෑරීමකට වඩා එම ආයතන අතීතයේ පැවතියේ නූතන ආකාරයට ද, වර්තමාන තත්වය කරා විකාශනය වීම කෙරෙහි බල පෑ තත්වයන් මොනවාද යන්න සොයා බලමින් අනාගත ප්‍රවනතා කුමක් වී ඇත්දැයි පෙන්වා දීමයි.
                                                                                                                        මෙම අධ්‍යයන ක්‍රමය හදුන්වා දීමට පුරෝගාමී වූ මොන්ටෙසුක්‍යු, සර් ජෝන් සිලි, හර්මන්, ලැස්කි, ගිල්ක්‍රිස්ට් හා ගානර් යන  අය පෙන්වා දිය හැකි ය.
                                දේශපාලනය අධ්‍යයනය කිරීම සදහා ඉතා හොද පර්යේෂණාගාරයක් ඉතිහාසය මගින් සැපයේ. මිනිසාගේ අතීත පැවැත්ම පිළිබද එක් රැස් කර ඇති ගබඩාව ඉතිහාසය ලෙස හදුන්වා දිය හැකි ය. දේශපාලන ක්‍රමයන්ගේ හා දේශපාලන ආයතන වල ආරම්භය, වර්ධනය හා බිද වැටීම් පිළීබදව වාර්තා සපයන්නේ ඉතිහාසය මගිනි. වත්මන් දේශපාලන ආයතන එම තත්වය කරා පැමිණියේ කෙසේ ද යන්න අවබෝධ කර ගැනීමට නම් ඉතිහාසය දෙස අවශ්‍යෙයන් ම බැලිය යුතු ය.
                                                                                                “රාජ්‍යයන්ගේ ඓතිහාසික අත්දැකීම් වල ප්‍රතිඵල එකට එකතු කිරීමට ගනු ලබන උත්සාහයක් වේ. යනුවෙන් ලැස්කි දේශපාලනය අධ්‍යයනය දක්වා ඇත. දේශපාලන ආයතන වල වර්තමාන තත්වය කුමක්ද? එසේ වීමට බල පෑ හැකි හේතු සාධක මොනවාද? යන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට හැක්කේ එම ආයතන වල ඓතිහාසික තොරතුරු සෙවීමෙන් ය.
         ගිල්ක්‍රිස්ට් දක්වන ආකාරයට දේශපාලන විද්‍යාව පිළිබද පර්යේෂණ පැවැත්වීම සදහා යොදා ගත හැකි හොදම අධ්‍යයන ක්‍රමය ඓතිහාසික අධ්‍යයන ක්‍රමය වේ. දේශපාලන ආයතනයන්ගේ ආරම්භය හා වර්ධනය නිවැරදිව තේරුම් ගැනීම සදහා පමණක් නොව අනාගත ප්‍රවනතා අවබෝධ කර ගැනීමට ද මෙම අධ්‍යයන ක්‍රමය හදුනා ගත හැකි වේ.
                                    “දේශපාලන ආයතනයන්ගේ පරිණාමය කෙසේ සිදු වී ද යන්න තේරුම් ගැනීමට ඇති හැකියාව ඓතිහාසික අධ්‍යයන ක්‍රමයේ ඇති මූලික වාසිය වේ.
                                                                                    තව දුරටත් ඔහු පවසන පරිදි,
                                                                                                                        “අතීතය පදනම් කරගෙන දේශපාලන ආයතන වඩාත් හොදින් විශ්ලේෂණය කිරීමට හා තේරුම් ගැනීමට ඇති හැකියාව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. දේශපාලන ආයතනයන්ගේ ආරම්භය හා වර්ධනයත් වෙනස් වන ඛණ්ඩයන් ට එම ආයතන මුහුණ දුන් ආකාරයත් එම ආයතන වල ක්‍රියාකාරීත්වය මගින් අපේක්ෂා කළ අරමුණු කෙතරම් දුරට ඉටු වී තිබේ ද යන්නත් අවබෝධ කර ගත හැක්කේ ඓතිහාසික අධ්‍යයන ක්‍රමය තුලිනි.
          දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම සදහා ඓතිහාසික අධ්‍යයන ක්‍රමය ඉතා හොද ක්‍රමයක් වුව ද එහි යම් යම් සීමා මෙන් ම අඩු පාඩු ද දැකිය හැකි ය. බ්‍රයිස් සාමි පෙන්වා දෙන ආකාරයට,
                                                                                                            “ඓතිහාසික අධ්‍යයන ක්‍රමය තුල දැකිය හැකි මූලික දුර්වලතාවය වන්නේ පුද්ගලයින්ට හා දේශපාලන අහඹු වලට ප්‍රමාණය ඉක්මවා ගිය වැදගත්කමක් ආරෝපණය කිරීමයි.
                                                එමෙන් ම ආවේග හා හැගීම් වල බලපෑමට අධ්‍යයනය කරන්නා හසු වීමට ඇති ඉඩ කඩ ප්‍රමාණය ඉහල මට්ටමක පැවතීම ද එහි තවත් දුර්වලතාවයකි.
                                                                                                            මීට අමතර ව අධ්‍යයනය කරන්නාගේ පෞද්ගලික දේශපාලන හැගීම්, බැදීම්, ආගමික විශ්වාසයන්, වාර්ගික පක්ෂපාතිකම් හා දෘෂ්ටිමය ආකල්ප යනාදියේ බලපෑමට අධ්‍යයනය කරන්නා හසු විය හැකි ඉඩ කඩ ප්‍රමාණය ඉහල මට්ටමක පැවතීම ද මෙහි තවත් දුර්වලතාවයකි.
                                                ඉහත අඩුපාඩු තිබුණ ද දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම සදහා මෙහි ඇති වැදගත්කම අඩුවෙන් තක්සේරු කළ යුතු නොවේ. එහි ප්‍රයෝජනවත්බව පිළිබද ව සර් ජෝන් සිලි දැක් වූ අදහස අගනේ ය.
                                “යමක් අධ්‍යයනය කිරීමේ දී පළමුවෙන් ම අදාල කරුණු එකතු කළ යුතු වේ. ඒවායේ නිරවද්‍යතාවය පරීක්ෂා කර බැලිය යුතු වේ. කරුණු විශ්ලේෂණය කළ යුතු වේ. ඒවා තාර්කික විය යුතු වේ. එකතු කර ගත් කරුණු සාමාන්‍යකරණය කර ගත් ඒවා විය යුතු වේ. ඒවා නිර්වචනය කළ යුතු වේ. ඓතිහාසික අධ්‍යයන ක්‍රමය යටතේ ඉහත කරුණු හොදින් කළ හැකි වේ.

2.     තුලනාත්මක අධ්‍යයන ක්‍රමය
          දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම සදහා ඈත අතීතයේ සිට ම භාවිතයට ගැනෙන පැරණිතම අධ්‍යයන ක්‍රමයක් ලෙස මෙය හැදින්විය හැකි ය.මෙම ක්‍රමය මුලින් ම යොදා ගනු ලැබුවේ ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල් විසිනි. ඔහුගේ දේශපාලනය (Politics) නැමැති කෘතිය සමකාළීන ග්‍රීසිය තුළ ක්‍රියාත්මක වෙමින් පැවති පෞර (නගර) ක්‍රම 158ක් තුලනාත්මක ව අධ්‍යයනය කිරීමෙන් පසුව රචනා කර ඇති බව වාර්තා වේ. මේ නිසා ම දේශපාලන විද්‍යාව තුළ ඇරිස්ටෝටල් හදුන්වන්නේ තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ පියා වශයෙනි. නූතනයේ දී මෙම ක්‍රම භාවිතයට ගත් අය අතරින් මොන්ටෙස්ක්‍යු, ටොප් විල්ලි සහ බ්‍රයිස් සාමි වැදගත් වේ.
                                    මෙම අධ්‍යයන ක්‍රමයේ හරය වන්නේ ලෝකය තුල දැනට පවතින හෝ පැවති හෝ දේශපාලන ක්‍රම එකට ගෙන තුලනාත්මක ව හදාරමින් එමගින් ලබා ගන්නා තොරතුරු පදනම් කරගෙන වඩාත් හොද ආණ්ඩු ක්‍රමයක් ගොඩ නැගීම සදහා අදාල කර ගත හැකි මූලධර්ම නිගමනය කිරීමයි. මෙම ක්‍රමයේ ප්‍රභේද 03ක් දැකිය හැකි ය.

A.    සාමාන්‍ය වශයෙන් කරනු ලබන තුලනාත්මක අධ්‍යයන ක්‍රමය
                                එකිනෙක වෙනස් තත්වයන් දෙකක් එකට ගෙන ඒවායේ සම - අසමතාවයන් පිළිබදව සාමාන්‍ය අධ්‍යයනයක යෙදීම යි. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ එය හුදෙක් විස්තරාත්මක දෙයක් වීම යි. එසේ ම සාමාන්‍ය වශයෙන් කරුණු දැන ගැනීම සදහා කරනු ලබන අධ්‍යයනයක් විනා යම් විශේෂිත අරමුණක් එල්ල කොට කරනු ලබන දෙයක් ද නොවේ. නිදසුන් වශයෙන් ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය ඇමරිකානු ජනාධිපති ක්‍රමය සමග සාමාන්‍ය වශයෙන් අධ්‍යයනය කරනු ලැබේ.

B.     විශේෂ අරමුණක් පෙරදැරි කරගෙන කරුනු ලබන තුලනාත්මක අධ්‍යයන ක්‍රමය
                                මෙහි දී අදාල සෑම දෙයක් ම එකට ගෙන තුලනාත්මකව සසදා බලා වඩාත් ම සුදුසු තැනැත්තා හෝ කරුණ තෝරා ගනු ලැබේ. නිදසුන් වශයෙන් යම් තනතුරක් සදහා සුදුස්සෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් පවත්වන සම්මුණඛ පරීක්ෂණයක් හෝ රූපරාජිණියක් තෝරා ගැනීම සදහා පවත්වන තරගයක්.

C.    විද්‍යාත්මක මූලධර්ම උපයෝගී කර ගනිමින් කරනු ලබන තුලනාත්මක අධ්‍යයන ක්‍රමය
                                යම් කිසි හේතූන් දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකට ගෙන විද්‍යාත්මක මූලධර්ම යොදා ගනිමින් තුලනාත්මකව අධ්‍යයනය කිරීම මෙමගින් අදහස් කරයි. මෙහි දී පරීක්ෂාවට ලක් කරන වස්තූන් වල ආරම්භය, වර්ධනය, වර්තමාන තත්වය හා අනාගත ප්‍රවනතා ආදී සියල්ල ම සියුම් ලෙස විශ්ලේෂණය කර අවසාන නිගමන වලට එළඹීම සිදු කෙරේ.
                                                                                    ඉහත සදහන් කළ ප්‍රභේද 03 අතුරින් දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම සදහා තෙවන ක්‍රමය වඩාත් සුදුසු වේ.
                                                                        තුලනාත්මක අධ්‍යයන ක්‍රමය වඩාත් විද්‍යාත්මක ස්වභාවයක් දරන බව බ්‍රයිස් සාමි වරයා පෙන්වා දේ. එමගින් සමාන තත්වයන් හදුනා ගැනීමටත්, සමාන සාධක තුලින් සමාන ප්‍රතිඵල ලැබී තිබෙනවාද යන්න සොයා බැලීමටත්, එසේ නොමැති නම් එයට බලපා ඇති හේතු සාධක විමර්ශනය කිරීමටත් හැකියාව ඇති බව ඔහු කියයි. මහාචාර්ය ගිල්ක්‍රිස්ට් තුලනාත්මක අධ්‍යයන ක්‍රමය ඓතිහාසික අධ්‍යයන ක්‍රමයේ අනුපූරකයක් ලෙස යොදා ගත හැකි බව දක්වා ඇත.
                                                                                                                                    එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙනේනේ ඓතිහාසික අධ්‍යයන ක්‍රමය මගින් ලබා ගන්නා තොරතුරු තුලනාත්මක ක්‍රමය පදනම් කරගෙන හොදින් විශ්ලේෂණය කර ගත හැකි වීම යි.
                                                                                    එසේ වුව ද මෙම ක්‍රමය තුළ වුව ද යම් යම් දුබලතා හා අඩු පාඩු දැකිය හැකි වේ.දේශපාලන ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන පරිසරාත්මක සාධක එම අධ්‍යයන ක්‍රමය යටතේ මුළු මනින් ම නොසලකා හැරීමට හෝ අඩුවෙන් තක්සේරු කිරීමට හෝ ඇති ඉඩකඩ ප්‍රධාන දුර්වලතායවය යි. තුලනාත්මක ක්‍රමයෙන් දේශපාලන ආයතන වල නීතිමය ව්‍යුහයන් පමණක් සසදා හදාරනු ලැබේ. එම ආයතන වල ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන මිනිස් හැසිරීම්, ආර්ථික හා සමාජ තත්වයන්, සදාචාරාත්මක අගය කිරීම්, දේශපාලන සංස්කෘතියේ ස්වභාවය යනාදිය කෙරෙහි එම අධ්‍යයන ක්‍රමයෙන් සලකා බැලීමට ඇති ඉඩ කඩ සීමිත වේ. මෙය මෙම ක්‍රමය තුළ ඇති ප්‍රධානතම දුර්වලතාවය ලෙස ගානර් පෙන්වා දේ.

3.     නිරීක්ෂණ අධ්‍යයන ක්‍රමය
                                මෙමගින් මූලික වශයෙන් කරනුයේ අධ්‍යයනය සදහා තෝරා ගත් දේශපාලන ක්‍රමය හෝ ක්‍රමයන් පිළිබද අධ්‍යයනය කරන්නා පෞද්ගලිකව කරනු ලබන නිරීක්ෂණ මගින් අවසාන නිගමන වලට එළඹීම යි. පරීක්ෂා කරන දේශපාලන ක්‍රමය හෝ ක්‍රමයන්ගේ ආයතනික ව්‍යුහය, එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය, ඒ කෙරෙහි බලපාන දේශපාලන, ආර්ථික හා සමාජීය බලවේග ගැන අධ්‍යයනය කරන්නා විසින් කරනු ලබන සියුම් නිරීක්ෂණ මගින් ලබා ගන්නා තොරතුරු හා දත්ත අවසාන වශයෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අවසාන නිගමන කරා එළඹේ. මෙම ක්‍රමය වඩාත් ප්‍රායෝගික හා යථාර්තවාදී ක්‍රමයක් ලෙස සැලකේ. ප්‍රායෝගික නිදර්ශන මගින් කරුණු ඔප්පු කිරීමට ඇති හැකියාව එයට හේතුවයි.
       ලොවෙල් නැමැති දේශපාලඥයා දක්වා ඇති ආකාරයට දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම සදහා යොදා ගත හැකි ඉහල මට්ටමේ අධ්‍යයන ක්‍රමයක් ලෙස නිරීක්ෂණ අධ්‍යයන ක්‍රමය පෙන්වා දිය හැක. ඔහුගේ මතයට අනුව දේශපාලන විද්‍යාඥයෙකුට පුස්තකාල පොත් කොපමන තිබුණ ද ඒවායින් ඵල ප්‍රයෝජන නොමැත. හේතුව ඒවා ඔහුගේ අධ්‍යයන සදහා ප්‍රාථමික මූලාශ්‍ර නොවන බැවිනි.
                                                                                                                        දේශපාලන ආයතන වල සැබෑ ක්‍රියාකාරීත්වය පිළිබදව පර්යේෂණ පැවැත්වීම සදහා හොදම පර්යේෂණාගාරය පුස්තකාලය නොව එයින් පිටත ඇති බාහිර දේශපාලන ලෝකය වේ.දේශපාලන විද්‍යාවේ සැබෑ ස්වරූපය අධ්‍යයනය කළ හැක්කේ බාහිර දේශපාලන සමාජයක් තුළ විනා පුස්තකාල ඇතුලත නොවේ යැයි යන්න ලොවෙල්ගේ අදහසයි.
                  දේශපාලනය අධ්‍යයනය කිරීම සදහා නිරීක්ෂණ අධ්‍යයන ක්‍රමය ප්‍රථමයෙන් ම යොදා ගත් දේශපාලඥයා වන්නේ ප්ලේටෝ නැමැති ග්‍රීක දේශපාලඥයා ය. ආසියා මහද්වීපයෙන් ආරම්භ කර දකුණු ඉතාලිය දක්වා රටවල් වල සංචාරය කර එම රටවල ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම හා දේශපාලන තත්වයන් ය. ගැඹුරින් නිරීක්ෂණය කර ලබා ගත් තොරතුරු මත “සමූහාණ්ඩුව නැමැති කෘතිය එළිදැක්වී ය. එසේ ම ඇරිස්ටෝටල් ද රටවල් කීපයක සංචාරය කරමින් එම රටවල ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම පිළිබද ව සොයා බලා සොයාගත් කරුණු මත “දේශපාලනය (Politics) නැමැති කෘතිය සකස් කල බව කිය වේ. නූතනයේ දී මෙම නිරීක්ෂණ ක්‍රමය ප්‍රායෝගික කේෂ්ත්‍රයට යොදා ගත් අය අතුරින් මොන්ටෙස්ක්‍යු හා බ්‍රයිස් සාමි වැදගත් වේ. මොන්ටෙස්ක්‍යු එංගලන්ත ආණ්ඩුක්‍රමයේ ක්‍රියාකාරීත්වය පෞද්ගලිකව අධ්‍යයනය කරමින් ලබා ගත් දැනුම් සම්භාරයේ ඉතාම වැදගත් ප්‍රතිඵලය ලෙස ඔහු විසින් දේශපාලන විද්‍යාවට දායාද කළ බලතල බෙදීමේ සිද්ධාන්තය දැක්විය හැකි ය.
                                                                        බ්‍රයිස් සාමි වරයා ද තම සුප්‍රසිද්ධ ග්‍රන්ථ රචනා කරනු ලැබුවේ ඇමරිකාව, ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල සංචාරය කරමින් එම ආණ්ඩුක්‍රමයන්ගේ ක්‍රියාකාරීත්වය පෞද්ගලිකව නිරීක්ෂණය කර ලබා ගත් දැනුම් සම්භාරය තම මව්බිම වූ එංගලන්තය තුළ ක්‍රියාත්මක වෙමින් තිබුණු ආණ්ඩුක්‍රමය නිරීක්ෂණය කරමින් ලබාගත් දැනුම් සම්භාරය සමග මිශ්‍ර කර ගැනීමෙනි.
                                    බ්‍රයිස් සාමි වරයා දක්වන ආකාරයට නිරීක්ෂණ අධ්‍යයන ක්‍රමය භාවිතයට ගැනීමේ දී බාහිර අලංකරණයෙන් යුතු සිද්ධිදාමයන්ට හසු නොවී තම නිරීක්ෂණ කාර්යය කරගෙන යාමට නිරීක්ෂකයා විශේෂයෙන් ම වග බලා ගත යුතු ය. ඒවායේ සත්‍ය හා නිවැරදි සාධක පමණක් තෝරා බේරා ගැනීම පරිස්සමෙන් කළ යුතු ය. දේශපාලන ක්‍රියාදාමයන් අධ්‍යයනය කිරීමේ දී පුද්ගලයන්ට හා දේශපාලන අහඹු සිදුවීම් වලට විශේෂ තැනක් දිය යුතු නොවේ. ලබා ගන්නා සෑම තොරතුරකම නිරවද්‍යතාවය හොදින් සහතික වන තුරුම ඒ පිළිබද ව සොයා බැලිය යුතු ය. එසේ අවසාන වශයෙන් ලබා ගන්නා තොරතුරු සියුම් නිරීක්ෂණ වලට භාජනය කර අවසාන නිගමන වලට එළඹිය හැක.

4.     දාර්ශනික අධ්‍යයන ක්‍රමය
                                මෙම අධ්‍යයන ක්‍රමය මගින් කරන්යේ සැබෑ වශයෙන් ඇති තත්වය අධ්‍යයනය කිරීම නොව පැවතිය යුතු යැයි සිතින් මවා ගත් පරමාදර්ශයක් අධ්‍යයනය කිරීම යි. මෙහි දී මුලින් ම පැවතිය යුතු ආදර්ශ පිළිබද ව සිතා ගැනීම් කරන අතර පසු ව එය ක්‍රියාවට නැංවිය හැකි දේශපාලන ආයතන වල ස්වභාවය සලකා බැලේ. මහාචාර්ය ගිල්ක්‍රිස්ට් පෙන්වා දෙන ආකාරයට දාර්ශනික අධ්‍යයන ක්‍රමය මගින් කරනුයේ පරමාදර්ශී රාජ්‍යයක ස්වභාවය අරමුණක කාර්යයන් සදහා අනාගතය පිළිබද ගොඩ නගනු ලබන සංකල්ප ප්‍රායෝගික ලෝකයේ කරුණු සමග ගලපමින් රාජ්‍ය හා ආණ්ඩුක්‍රමයන් පිළිබද න්‍යායන් ගොඩ නැගීම යි.
          මෙම ක්‍රමයේ මූලික ලක්ෂණය වන්නේ හේතු සාධක පදනම් කරගෙන අවසාන නිගමන වලට පැමිණීම නොව ප්‍රථමයෙන් එළඹෙන ලද අවසාන නිගමනය තහවුරු කිරීම සදහා දෙවනුව හේතු සාධක ප්‍රයෝජනයට ගැනීම යි. මෙම ක්‍රමය භාවිතයට ගත් සෑම දේශපාලඥයෙක් ම මෙම පදනම සලකා ඇති බව පෙනේ. ප්ලේටෝ, සර් තෝමස් මෝර්, රූසෝ, ඛාන්ට්, බොසැන්ක්වේ යනාදීන් මීට නිදසුන් වේ. ප්ලේටෝ ඉදිරිපත් කළ පරමාදර්ශී රාජ්‍ය සංකල්පය, රූසෝ ඉදිරිපත් කළ පොදු කැමැත්ත යන සංකල්ප දේශපාලන විද්‍යාව තුළ බිහි වී ඇති ඉතාම ඉහල මට්ටමේ දාර්ශනික සංකල්ප වේ. නමුත් ඒවා සැබෑ ලෝකයේ සත්‍ය වශයෙන් ක්‍රියාවට නැගිය නොහැක.
                                                            විෂයෙහි අවසාන අරමුණ පදනම් කොටගෙන විෂය අධ්‍යයනය කිරීමට හැකි වීම මෙම ක්‍රමයේ ප්‍රධානතම වාසිය වේ. තමා ළගා වීමට බලාපොරොත්තු වන අවසාන අරමුණ කුමක්ද යන්න අධ්‍යයනය කරන්නා හොදින් දන්නා අතර තම අරමුණු වලට ගැලපෙන අයුරින් අධ්‍යයනය මෙහෙයවිය හැකි ය. යම් නිශ්චිත පදනමක සිට යම් යම් අගය කිරීම් වලට එළඹීමට ඇති හැකියාව මෙම ක්‍රමයේ දෙවන වාසිය වේ. විශේෂයෙන් ම ආණුඩුක්‍රමයක හොද නරක හා අයහපත් යහපත් බව මෙම අධ්‍යයන ක්‍රමය මගින් හොදින් තක්සේරු කළ හැක. මෙම ක්‍රමයේ දී යම් යම් දුබලතාවන් ද දක්නට ලැබේ. මෙහි දී එළඹෙන අවසාන නිගමනය සමහර විට ප්‍රායෝගික තත්වයට නොගැලපීම මූලිකම දුර්වලතාවය වේ. යම් දාර්ශනික පදනමක සිට ඉතාමත් උසස් මට්ටමෙන් සංකල්පය ගොඩ නැගිය හැකි වුව ද ඒවා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවීමට නොහැකි වීම දුර්වලතාවයකි. ඉහත දැක් වූ දේශපාලන දාර්ශනිකයන්ගේ සංකල්ප ඉතා ඉහල මට්ටමේ දේශපාලන සංකල්ප වුව ද ඒවා සැබෑ ලෝකය තුළ ප්‍රායෝගික ලෝකය තුළ ක්‍රියාවට නැංවිය නොහැක. ඊට හේතුව ඒවා සැබෑ ලෝකයේ ප්‍රායෝගික තත්ව මත නොව මන:කල්පිත මතවාද පදනම් කොටගෙන ගොඩ නගා තිබීමයි.

5.     චර්යාවාදී අධ්‍යයන ක්‍රමය
                   ඇමරිකානු දේශපාලන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෑත කාළීනව වර්ධනය කරන ලද ඉතාම වැදගත් අධ්‍යයන ක්‍රමයක් ලෙස මෙය සැලකේ. මෙය මීට ඉහලින් දැක්වෙන සම්භාව්‍ය ක්‍රම වලට විරුද්ධව පැන නැගුණු විරෝධතා ව්‍යාපාරයක අවසන් ප්‍රතිඵලය සේ සැලකේ. සාම්ප්‍රදායික ක්‍රමයන්ගෙන් දේශපාලන විද්‍යාව විද්‍යාත්මකව හැදෑරිය නොහැකි බවට මතයක් එවක පැතිර ගියේ ය. එසේ ම මෙම විෂය සම්බන්ධව ඉහල මට්ටමේ විද්‍යාත්මක නිගමන වලට එළඹීමට නොහැකි වීම ද, එළඹී ඇති නිගමන විද්‍යාත්මක වීම ද යනාදිය ඔවුන් පෙන්වා දෙන කරුණු ය. මෙම දුබලතාවයන් හේතු කොටගෙන සාම්ප්‍රධායික අධ්‍යයන ක්‍රම බැහැර කරන මෙම විද්‍යාඥයින් දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම සදහා නව ක්‍රමයක් ගොඩ නැංවීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස චර්යාවාදය පෙන්වා දිය හැක.
  චර්යාවාදී අධ්‍යයන ක්‍රමය හදුන්වාදීමේ ආරම්භක අවස්ථාව ලෙස ග්‍රේහැම් වොලස් විසින් 1980 දී පෙන්වා දුන් “Human Nature In Politics යන ග්‍රන්ථය පෙන්වා දිය හැක. මිනිසුන්ගේ දේශපාලන චර්යාව කෙරෙහි බලපාන මානසික සාධක අධ්‍යයනය කිරීමට වොලස් මෙමගින් උත්සාහ කර ඇත. එසේ ම 1908 දී ඒ.ඊ බේන්ක්ලි ප්‍රකාශයට පත් කරන ලද “The Process Of Government යන කෘතිය මගින් දේශපාලන ක්‍රියාදාමය තුළ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය පිලිබද අධ්‍යයනය කරනු ලැබී ය. මෙයින් පසු ව මෙම අධ්‍යයන ක්‍රමයේ වර්ධනය සදහා වැදගත් මෙහෙයක් කළ අය අතර හැරල්ඩ් ඩී. ලැස්වෙල්, ඩේවිඩ් ඊස්ටන්, ගබ්‍රියෙල් ඒ. ආමන්ඩ්, බිගම් පවල්, හර්බට් සයිමන්, හැරල්ඩ් එෆ්. ගොස්නර්, වී.ඕ.කේ.ජී.ඊ.සී කැට්ලින්, ඩේවිඩ් ඊ. ඇෆ්ටර් දැක්විය හැක.
                                                දේශපාලන විද්‍යාව අධ්‍යයනයේ දී අවධානය යොමු කළ යුතු අංග දෙකක් චර්යාවාදීන් පෙන්වා දේ.
        i.            විද්‍යාත්මක මූලධර්ම පදනම් කරගෙන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කිරීම.
      ii.            මිනිස් සැබෑ දේශපාලන හැසිරීම් පදනම් කරගෙන පවතින දේශපාලන තත්වයන් හා එම හැසිරීම් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන අයුරු සොයා බැලීම.
                                                                                    මේ අනුව චර්යාවාදීන් මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ප්‍රායෝගික තත්වයන්ට මිස දේශපාලන සංවිධාන ව්‍යුහයට හෝ ඒවායේ නීතිමය පදනම වෙත හෝ නොවේ. වෙනත් අයුරකින් දැක්වුවහොත් චර්යාවාදීන් තම අවධානය යොමු කරන්නේ දේශපාලන ක්‍රමයේ ගතික බව කෙරෙහි කුමන සාධක බලපානවාද?, පුද්ගල දේශපාලන ක්‍රියාවන් කෙරෙහි කුමන සමාජ බලවේග, කුමන අදහස් හා උදහස්, කුමන තත්වයන් බලපානවාද?, මිනිසාගේ පෞද්ගලිකත්වය හා ඔහුගේ දේශපාලන හැසිරීම් අතර පවතින සබදතාවය කුමක් ද?, කුමන තත්වයන් යටතේ කුමන කරුණු හේතු කොටගෙන මිනිසුන්ගේ සමාජ ක්‍රියාවන් දේශපාලන ක්‍රියාවන් බවට පරිවර්තනය වන්නේද? යන කරුණු කෙරෙහි ය.
Ø චර්යාවාදී අධ්‍යයන ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ

        i.            පුද්ගල හැසිරීම පදනම් කරගත් අධ්‍යයන ක්‍රමයක් වීම.
                                පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම් වල හැසිරීම ප්‍රධාන කර ගනිමින් චර්යාවාදය ගොඩ නගා තිබේ. පුද්ගලයින්ගේ සමාජ හැසිරීම කෙරෙහි බලපාන සාධක රාශියක් පෙන්වන චර්යාවාදීන්  ඒවා මානසික හා පරිසරාත්මක වශයෙන් දෙකොටසකට බෙදයි. ආවේග, සහජ හැකියාවන්, ගතිගුණ, ලැදියාවන්, හැගීම්, රුචි අරුචිකම්, සහ උද්වේගකර තත්වයන් යනාදිය මානසික ගණයට අයත් වන අතර ආගමික, සමාජීය, සංස්කෘතික, වාර්ගික සහ දේශගුණික තත්වයන් පාරිසරික සාධක ගණයට අයත් වේ. පුද්ගල හැසිරීම එකිනෙකාට අනන්‍ය වුව ද සමාජ හැසිරීමෙහි ඇති ඒකීය භාවයක් පෙන්වා දෙන චර්යාවාදීන් ඒ අනුව මිනිස් හැසිරීම් පිළිබද සාමාන්‍යකරණය කළ අදහස් ගොඩ නගමින් ඒ ආශ්‍රිතව දේශපාලන අනාවැකි පල කළ හැකි බව පෙන්වා දේ. මැතිවරණ කාළයන් තුළ මිනිසුන් අතර ඇති පොදු තත්වයන් මීට නිදසුන් ලෙස ඔවුන් පෙන්වා දේ.

      ii.            නිරවද්‍යතාවය සහතික කරගත් කරුණු පමණක් පර්යේෂණ සදහා යොදා ගැනීම.
                                නිවැරදි කරුණු පමණක් පර්යේෂණ සදහා යොදා ගැනීම, දේශපාලන සංකල්පය, සදාචාරාත්මක අගය කිරීම් වැනි දෑ චර්යාවාදීන් සැලකිල්ලට ගනු නොලැබේ. ඔවුන්ගේ අධ්‍යයනයට හසු වන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ මගින් ඔප්පු කළ හැකි ප්‍රත්‍යයක්ෂ මූලික සාධක සහිත තත්ව පමණි.

    iii.            අගය කිරීම් වලින් තොර වීම.
                          නිර්දය අගය කිරීම් වලින් තොර අධ්‍යයන ක්‍රමයක් වීම සම්ප්‍රධායික අධ්‍යයන ක්‍රම වලින් චර්යාවාදය වෙනස් වන ප්‍රධාන ලක්ෂණය යි. ප්‍රායෝගික පරීක්ෂණ වලට ලක් කළ නොහැකි සෑම අගය කිරීමක් ම සදාචාරාත්මක අගය කිරීම් ලෙස මොවුන් පෙන්වා දෙයි. නිදසුන් ලෙස නිදහස, සමානාත්මතාවය, ප්‍රජාතාන්ත්‍රවාදය රැකිය යුතු උත්තරීතර අගය කිරීම් වුව ද ඒ සියල්ලකම සත්‍ය අසත්‍ය බව විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි. මෙහි දී ඔවුන්ගේ අවධානය යොමු වන්නේ විද්‍යාත්මක ව කරන ලද පරීක්ෂණ වලින් පසුව එළඹෙන අවසාන නිගමනය ප්‍රායෝගිකව ඔප්පු කිරීමට හැකියාව ඇති කරුණු කෙරෙහිත්, අන්තර් සබදතා කෙරෙහිත් ගොඩ නගා ගත් කරුණු සම්බන්ධයෙනි.

    iv.            අන්තර් විෂය සබදතා තුලින් ගොඩ නගා ගත් අධ්‍යයන ක්‍රම භාවිතා කිරීම.
                          මිනිසාගේ දේශපාලන හැසිරීම් ඔහුගේ සමස්ත සමාජ හැසිරීම් වලින් වෙන් කරගෙන තනිව හැදෑරිය නොහැක. මිනිසාගේ ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික ක්‍රියාවන් එකට බැදී තිබෙන අතර ඒවා එකිනෙකින් නිශ්චිත මායිම් යටතේ වෙන් කිරීම ද කල නොහැක. මේ නිසා එය අධ්‍යයනය කිරීම සදහා සමාජ විද්‍යාවන් පමණක් නොව භෞතික විද්‍යාව වැනි ස්වභාවික විද්‍යාවන් ද, ජ්‍යාමිතිය, සංඛ්‍යාණය වැනි ගණිත විද්‍යාවන් ද යොදා ගත හැක.

      v.            නව ශිල්පීය ක්‍රම භාවිතය
                          අධ්‍යයන කටයුතු සදහා දත්ත ලබා ගැනීමට මෙන් ම විශ්ලේෂණය කිරීම සදහා ද විද්‍යාත්මක ශිල්පීය ක්‍රම යොදා ගත යුතු බව චර්යාවාදීන් පෙන්වා දෙයි. මේ සදහා විශ්ලේෂණ ක්‍රම, සංඛ්‍යාන වගු භාවිතය, මිනුම් ක්‍රම ආදිය යොදා ගත යුතු බව මොවුන් පෙන්වා දෙයි.

    vi.            ශුද්ධ විද්‍යාත්මක ස්වභාවය
                          චර්යාවාදය ශුද්ධ විද්‍යාත්මක බව එහි නිර්මාතෘවරුන් ම පෙන්වා දෙයි. ඔවුන්ට අනුව සෑම පර්යේෂණයක් ම නිශ්චිත න්‍යායක් ගොඩ නැගීම අරමුණු කොට ගෙන කළයුතු අතර එසේ එසේ ගොඩ නගාගත් න්‍යායන් මානුෂික ප්‍රශ්න විසදීම සදහා ප්‍රායෝගික වශයෙන් භාවිතයට ගැනීමට හැකි විය යුතු ය.
                                මෙය දේශපාලන විද්‍යා අධ්‍යයන ක්‍රමවේදයෙහි විශේෂිත අංගයකි. වර්තමාන අධ්‍යයන කේෂ්ත්‍රෙයහි ගොඩ නැගී ඇති විෂයානුබද්ධ න්‍යායන් සියල්ල මොවුන්ගේ ඉදිරිපත් කිරීම් වේ. නිදසුන් ලෙස දේශපාලන සමාජානුයෝජනය, දේශපාලන සංස්කෘතිය, දේශපාලන ක්‍රම විශ්ලේෂණය, දේශපාලන ප්‍රභූන්, දේශපාල බලය හා බලකිරීම් සහ තනතුරුසංකල්පය යනාදිය දැක්විය හැක. විශේෂයෙන් තුලනාත්මක දේශපාලන වර්ධනයෙහි ලා චර්යාවාදීන්ගේ මෙහෙය විශාල ය.
   කෙසේ වුව ත් චර්යාවාදීන්ට එල්ල කෙරෙන චෝදනා බෙහෙවි. චර්යාවාදීන් යාන්ත්‍රික දෘෂ්ටි කොණයකින් මිනිසාගේ ආත්මාර්ථකාමී ආශාවන් දෙස පමණක් බලා ඇති බව එක් කණ්ඩායමකගේ මතය යි. මිනිසා පිළිබද පරිපූර්ණ විග්‍රහයක් චර්යාවාදීන් නොකරන අතර, අසම්පූර්ණ විග්‍රහයක් යටතේ එළඹෙන අවසාන නිගමනය ද අසම්පූර්ණ බව ඔවුහු පෙන්වා දෙයි. හුදෙක් ඇමරිකානු මිනිසාත්, ඇමරිකානු සමාජයත් සහ ඇමරිකානු දේශපාලන ක්‍රමයත් පදනම් කොටගෙන චර්යාවාදීන් ගොඩ නගා ඇති න්‍යායන් විශ්ව ව්‍යාප්ත මට්ටමකින් භාවිතයට ගත නොහැකි බව පෙන්වා දෙන තවත් විචාරක පිරිසක් පවසන්නේ, එම හේතුව නිසා ම චර්යාවාදීන් කර ඇති බොහොමයක් දේශපාලන පර්යේෂණ, ව්‍යාජ පර්යේෂණ හැටියට සැලකිය යතු බව ය. චර්යාවාදීන් සිය අවසාන නිගමන මගින් ඇමරිකානු දේශපාලන ආයතන ලෝකයේ ඇති හොදම දේශපාලන ආයතන ලෙස පෙන්වා දීමට උත්සාහ ගණිමින්, ලෝකයේ අනෙක් දේශපාලන ක්‍රමවල ක්‍රියාකාරීත්වය අවතක්සේරු කර ඇති බව පෙන්වා දෙනු සමහරු එය එක් අතකින් ඇමරිකානු ආධිපතිත්වය තවත් ආකාරයකින් ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහයක් ලෙස ප්‍රකාශ කර සිටිති.
                                                                        මිනිස් හැසිරීම සාමාන්‍යකරණය කිරීමට හැකියාව තිබේ යනුවෙන් චර්යාවාදීන් ප්‍රකාශ කළ මතය ඇතැම් විචාරකයින් ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ට අනුව මිනිස් ස්වභාවය නම් නිරන්තරයෙන් වෙනස් වීමයි. එවැනි තත්වයක් සාමාන්‍යකරණය කිරීමට හැකියාව ඇත යන්න පිළිගත නොහැකි බව තව දුරටත් කියා සිටියි.
                                                                                    චර්යාවාදීන් අනවශ්‍ය වැදගත්කමක් ශිල්පීය සාධක වලට ලබා දී ඇති බවට චෝදනා කරන ඇතැම් විචාරකයින් ඒ නිසා ප්‍රතිඵල වලට වඩා ශිල්පීය ක්‍රම කෙරෙහි චර්යාවාදීන් වැඩි උනන්දුවක් දක්වා ඇති බව කියා සිටියි. අනෙක් අතට ශිල්පීය විධික්‍රම යොදා ගත නොහැකි කේෂ්ත්‍ර අධ්‍යයනය කිරීම හිතාමතාම චර්යාවාදීන් පැහැර ඇති බව ප්‍රකාශ කරන සමහරු තුන්වන ලෝකය සම්බන්ධයෙන් ඔවුන් කර ඇති පර්යේෂණ වලින් ඒ බව වඩාත් පැහැදිලි වන බව තව දුරටත් කියා සිටී. චර්යාවාදීන් අනවශ්‍ය ලෙස ප්‍රමාණය ඉක්මවා ගොස් අනෙක් සමාජ විද්‍යාවන් මත රදා පැවතීම නිසා දේශපාලන විද්‍යාවේ ස්වාධීනත්වය විනාශ කර ඇතිවා පමණක් නොව අනෙක් සමාජ විද්‍යාඥයින්ට අනවශ්‍ය ලෙස දේශපාලන විද්‍යාවට ඇගිලි ගැසීමට ඉඩ හැරීමෙන් විෂයයේ වැදගත්කම අවතක්සේරු කර ඇති බවට ඇතැමුන් චෝදනා කර ඇත. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ස්වාධීනව වර්ධනය වූ සියලුම සමාජ විද්‍යාවන් අතුරින් අග්‍රගණ්‍ය සමාජ විද්‍යාව ලෙස ඇරිස්ටෝටල් විසින් හදුන්වා දුන් දේශපාලන විද්‍යාවට දේශපාලන විද්‍යාඥයින් යැයි කියා ගන්නා චර්යාවාදීන්ගෙන් විශාල හානියක් සිදු වී ඇති බවට එම විචාරකයින් තව දුරටත් චෝදනා කර සිටී.

6.     පර්යේෂණාත්මක අධ්‍යයන ක්‍රමය
                                ස්වභාවික විද්‍යාවන් අධ්‍යයනය කිරීමට යොදා ගැනෙන ප්‍රධාන අධ්‍යයන ක්‍රමය මෙය යි. පර්යේෂණාගාර මට්ටමින් කරනු ලබන නිරීක්ෂණ හා පරීක්ෂණ පදනම් කරගෙන මෙම ක්‍රමය තුළින් බොහෝ දුරට නිවැරදි අවසාන ප්‍රතිඵල ලබා ගත හැක. මේ නිසා මෙය ඉහල මට්ටමේ විද්‍යාත්මක අධ්‍යයන ක්‍රමයක් සේ සැලකේ. සමාජ විද්‍යාවන් අධ්‍යයනයට මෙම ක්‍රමය යොදා ගත නොහැකි බව ඇතැමුන්ගේ තර්කය යි. හේතුව ස්ථාවර පදනමක් මත පිහිටා විද්‍යාගාර මට්ටමෙන් පරීක්ෂණ පැවැත්වීමේ හැකියාව සමාජ විද්‍යාවන් තුළ නොතිබීය යි. සෑම සමාජ විද්‍යාවකම පදනම මිනිසා ය. මිනිසාගේ නියත ලක්ෂණය වෙනස් වන තත්වයන් තුළ නිරන්තරයෙන් වෙනස් වීම යි. ඒනිසා ස්ථාවර පදනමක් මත පිහාටා මිනිසා පිළිබද අධ්‍යයනය කළ නොහැක. දේශපාලන විද්‍යාව වැනි සමාජ විද්‍යාවන් අධ්‍යයනය කිරීමට මෙම ක්‍රමය යොදා ගැනීමට අපහසු හේතු තුනක් විචාරකයෝ පෙන්වා දෙති.

v  ස්වභාවික විද්‍යාවන්හි ද්‍රව්‍යාත්මක පදනමට වඩා දේශපාලන විද්‍යාවේ ද්‍රව්‍යාත්මක පදනම වෙනස් වීම.
                    කුමන ස්වභාවික විද්‍යාවක වුව ද ද්‍රව්‍යාත්මක පදනම ස්ථාවර ය. නමුත් දේශපාලන විද්‍යාවේ ද්‍රව්‍යාත්මක පදනම බෙහෙවින් අස්ථාවර ය. එය ගොඩ නැගී ඇත්තේ මිනිසා හා ඔහු විසින් නිර්මාණය කළ ව්‍යවස්ථා, නීතිරීති සහ ආයතන පදනම් කොටගෙන ය. මිනිසාගේ වෙනස් වීම් අනුව ඒවායේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය වෙනස් වේ. එමනිසා ස්වභාවික විද්‍යාවන් අධ්‍යයනය කරන පදනම මත පිහිටා දේශපාලන විද්‍යාව අධ්‍යයනය කළ නොහැක.

v  පර්යේෂණාගාර හා කෘතීම පර්යේෂණ උපකරණ භාවිතයට ගත නොහැකි වීම.
                    ස්වභාවික විද්‍යාවන්හි පර්යේෂණ කරන්නේ විද්‍යාගාර ඇතුළත විවිධ රසායනික ද්‍රව්‍යයන් හා පර්යේෂණ උපකරණ භාවිතයට ගනිමිනි. තමා අපේක්ෂා කරන අවසාන නිගමනය ලැබෙන තුරු පර්යේෂණය විවිධ අයරින් තමන් කැමති ආකාරයකට මෙහෙයවීමටත්, නිරීක්ෂණය කිරීමටත්, පර්යේෂණ වේගය අඩුවැඩි කිරීමටත් පර්යේෂකයාට හැකියාව ඇත. මෙවැනි පර්යේෂණ දේශපාලන විද්‍යාව තුළ කළ නොහැක. මිනිසෙකු පර්යේෂණාගාරයක් තුළට ගෙනැවිත් රසායනික ද්‍රව්‍ය යොදා කෘතිම විද්‍යා උපකරණ භාවිතයට ගනිමින් ඔහුගේ දේශපාලන හැසිරීම පිළිබද ව අවසාන නිගමන වලට එළඹීමට දේශපාලන විද්‍යාඥයින්ට නොහැක.

v  පර්යේෂණ සදහා යොදා ගත හැකි ස්ථාවර නියතිවාද නොමැති වීම.
                    ස්වභාවික විද්‍යාවන්හි මෙන් ස්ථාවර නියතීන් දේශපාලන විද්‍යාව තුළ නොමැත. සමාජ ප්‍රපංචය නියත වශයෙන් භෞතික ප්‍රපංචයෙන් වෙනස් වේ. මහාචාර්ය ගානර්ට අනුව ස්ථාවර නියතයක් හෝ සාමාන්‍ය නියමයක් පරිදි එකම සමාජ ක්‍රියාවක් දෙවරක් සිදු නොවේ. සෑම ස්වභාවික විද්‍යාවක් ම ස්ථාවර සහ වෙනස් නොවන නීති පද්ධතියක් මගින් පාලනය වුව ද දේශපාලන ක්‍රියාවන් කෙරෙහි බලපාන එයාකාර ස්ථාවර නීති පද්ධතියක් නොමැත.
                                                            ඉහත කරුණු අනුව දේශපාලන විද්‍යාව අධ්‍යයනට මෙම ක්‍රමය යොදා ගත නොහැකි බව විචාරක මතය යි. සර් ජෝර්ජ් කෝන්වෝල් දැක්වූ ආකාරයට, “දේශපාලන ප්‍රපංචය ප්‍රාණය නිරුද්ධ වූ මළ සිරුරක් නොව ප්‍රාණය සහිත වූ නිරන්තරයෙන් වෙනස් වන ගතික ප්‍රපංචයකි. පර්යේෂකයින් රසායන විද්‍යාව තුළ කරන දෙය දේශපාලන විද්‍යාව තුළ කළ නොහැක. යම් වස්තුවක් උෂ්ණත්වයක දී වෙනස් වන්නේ කෙසේද?, වතුරට දැමූ විට දිය වන්නේ කෙසේද?, රසායන සංයෝජන ප්‍රතික්‍රියාව දක්වන්නේ කෙසේද? වැනි අත්හදාබැලීම් දේශපාලන විද්‍යාව තුළ අපට කළ නොහැක. තමා අපේක්ෂා කරණු ලැබූ අරමුණු තෘප්තිමත් කර ගැනීමට හෝ දේශපාලන ප්‍රශ්න වලට විසදුම් සෙවීමට හෝ බ්‍රොබිඩිග්නැග් රජු ගලිවර් සිය සුරතට ගත්තාක් මෙන් සමාජයෙන් කොටසක් වෙන් කර අතට ගනිමින් එය විවිධාකාර ලෙස හසුරුවමින් පරීක්ෂා කර බැලීමේ හැකියාව දේශපාලන විද්‍යාව තුළ අප සතු නොවේ.
                    පර්යේෂණ අධ්‍යයන ක්‍රමය පිළිබද බ්‍රයිස් සාමි ද යහපත් මතයක් නොදරයි. ඔහුට අනුව, රසායන විද්‍යාඥයෙකුගේ ග්‍රහණයට හසු වන අධ්‍යයන ප්‍රපංච සෑම විට ම එක සමාන වේ. ඒවා නිවැරදි ව කිරා මැන බැලිය හැක. නමුත් මිනිස් ප්‍රපංචය කිරා මැන බැලිය නොහැක. ඒ සම්බන්ධයෙන් කළ හැකි එකම දෙය විස්තර කිරීමයි. තාපය, ආර්ද්‍රතාවය, සුළගේ වේගය අපට ගණනය කළ හැක. නමුත් දේශපාලන ක්‍රියා සදහා එකට එකතු වන මිනිස් සමූහයක ආවේග සහ හැගීම් කොතරම් උද්වේගකරද යන්න මැනිය නොහැක. දේශපාලන ක්‍රියාවන් කෙරෙහි බලපාන අදහස්, ආවේග හා අනෙකුත් සාධක ගණන් බැලීම කළ හැකි දෙයක් නොවේ. ඔහු තවදුරටත් පවසන්නේ, අපේක්ෂිත අවසාන ප්‍රතිඵලය ලැබෙන තුරු භෞතික විද්‍යාවන් තුළ පර්යේෂණ යළි යළිත් නොකඩවා කළ හැක. නමුත් දේශපාලන විද්‍යාව තුළ එසේ කළ නොහැකි ය. හේතුව යම් දේශපාලන සිද්ධියක් සමාන අයුරින් දෙවරක් සිදු නොවීම යි. මේ අනුව භෞතික විද්‍යාවන් තුළ නිශ්චිත අනාවැකි පළ කළ හැකි වුව ත් දේශපාලන විද්‍යාව තුළ එය කළ නොහැක. කළ හැකි එකම දෙය මෙය මෙසේ විය හැකි යැයි අනුමාන කිරීම පමණකි.
                                                                                                මෝගන් නැමැති දේශපාලන විචාරකයාට අනුව, ස්වභාවික විද්‍යාවන් තුළ පර්යේෂණ කරනුයේ යම් වස්තුවක් හෝ ද්‍රව්‍යයක් අනෙක් ඒවායින් වෙන් කර තනිව ගෙන ය. එවැනි පර්යේෂණයක් දේශපාලන විද්‍යාව කළ නොහැක. හේතුව මිනිසුන් තනි තනිව ගෙන පර්යේෂණ කළ නොහැකි බැවිනි.
                                                            ස්වභාවික විද්‍යාවන්හි මෙන් සියයට සියයක් සත්‍ය ප්‍රතිඵල මෙම ක්‍රමය මගින් දේශපාලන විද්‍යාව තුළින් ලබා ගත නොහැකි වුව ත් මෙයට පක්ෂව මත පල කරන පිරිසක් ද වේ. ඔවුන්ගේ මතයට අනුව දේශපාලන විද්‍යාව තුළ නිරන්තරයෙන් පර්යේෂණ පැවැත්වේ. නිදසුන් ලෙස ඔගස්ට් කොම්ටේ පවසන්නේ සෑම දේශපාලන වෙනස් වීමක් ම එක් ආකාරයක පරීක්ෂණයක් බවයි. ඔහුට අනුව, ආණ්ඩුව විසින් පනවන සෑම නව නීතියක් ම, අලුතින් හදුන්වා දෙන සෑම ප්‍රතිපත්තියක් ම, දේශපාලන ආයතන පද්ධතියේ කරනු ලබන සෑම වෙනසක් ම යම් ආකාරයක දේශපාලන පර්යේෂණයක ප්‍රතිඵලයක් සේ සැලකීම වැරදි නොවේ. නිදසුන් ලෙස ආණ්ඩුව විසින් නව නීතියක් පැනවූ විට ජනතාව එය අනුමත කරන්නේ නම් එය සාර්ථක දේශපාලන පර්යේෂණයක ප්‍රතිඵලයකි. එය ජනතාව අනුමත නොකරන්නේ නම් අසාර්ථක පර්යේෂණයකි. නමුත් දේශපාලන පර්යේෂණයක ප්‍රතිඵල වල සාර්ථක අසාර්ථක බව එක එල්ලේ කිව නොහැකි අතර කාලයක් බලා සිටීමට සිදු වේ. මහාචාර්ය ගානර් ද මෙවැන්නක් කියයි. ආණ්ඩුව පනවන සෑම අලුත් ප්‍රතිපත්තියක් ම එක් අතකින් පර්යේෂණයකි. නමුත් එය ස්ථීර දෙයක් බව පිළි ගැනීමට සුදුසුකම ලැබෙන තුරු එය තාවකාලික දෙයක් සේ සැලකිය යුතු බව ඔහුගේ මතය යි.

7.     පද්ධති විශ්ලේෂණ ක්‍රමය
                    මෙම ඉගෙනුම් ක්‍රමය 1950 ගණන් වලින් පසු 1960 දශකයේ භාවිතයට ගැණෙන ජනප්‍රිය ක්‍රමයක් හෙවත් ප්‍රවේශයක් සේ සැලකේ. මෙම ක්‍රමය හදුන්වා දුන්නේ ඇමරිකානු දේශපාලන විද්‍යාඥයින් දෙදෙනෙකු වන ගබ්‍රියෙල් ආමන්ඩ්, හා ඩේවිඩ් ඊස්ටන් විසිනි. ගබ්‍රියෙල් ආමන්ඩ් හදුන්වා දුන් පද්ධති විශ්ලේෂණ ක්‍රමය ව්‍යුහ කාර්ය විශ්ලේෂණ ක්‍රමය ලෙස ද, (ව්‍යුහ කෘත්‍ය වාදය) ඩේවිඩ් ඊස්ටන් හදුන්වා දුන් ක්‍රමය යෙදවුම් නිමවුම් විශ්ලේෂණ ක්‍රමය ලෙස ද හදුන්වයි. දේශපාලන ක්‍රමයන් ගොඩ නැගී ඇති ව්‍යුහයන් සහ ඒවා මගින් ඉටු කරනු ලබන කාර්යයන් සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම මත මෙම ක්‍රමය ගොඩ නැගී ඇත.
                        මෙම විග්‍රහයට අනුව දේශපාලන ක්‍රමයක් ගත් විට එය උප පද්ධති ගණනාවකින් යුක්ත වේ. නිදසුන් ලෙස දැක්වුව හොත් දේශපාලන ක්‍රමයක් ශරීරයක් හා සමාන වේ. ඒ අනුව දේශපාලන ක්‍රමයක් සැකසී ඇති ආයතනික ව්‍යුහය හා එම ආයතනික ව්‍යුහ වලට අදාල කාර්යයන් සම්බන්ධව මෙහි දී සලකා බැලෙයි. දේශපාලන ක්‍රමය ඔරලෝසුවකට සමාන කළහොත් එහි ඇති උප පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් අපේක්ෂිත කාර්යය නියම ලෙස සිදු වන අතර එය උප පද්ධතියක කාර්යයෙහි අඩුවක් වුවහොත් එය සමස්ත පද්ධතියටම බලපෑම් කරනු ලැබේ. උදාහරණ ලෙස රටේ විධායකය වැරදි දේශපාලන තීරණ ගැනීම හෝ අයහපත් කාර්යයන් සිදු කළහොත් හෝ එය අනෙක් උප පද්ධති වලට ඉදුරාම බලපෑම් එල්ල කරයි. ඒවා අකර්මන්‍ය වේ. කිසිවක් කළ නොහැකි අසරණ තත්වයට පත් වේ. ඒ නිසා උප පද්ධති අතර අන්තර් සබදතාවයක් හා අන්තර් මනා ක්‍රියාකාරිත්වයක් තිබිය යුතු ය. එමගින් කියැවෙන්නේ එක් උප පද්ධතියක ඇති වන හොද හෝ නරක දෙයක් අනෙක් සියළුම උප පද්ධති වලට බලපාන බවයි. 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇතිකළ ව්‍යවස්ථා සභාව එවක අක්‍රීය තත්වයට පත් විය. ඒ නිසා සියළු පද්ධති අක්‍රීය වීමෙන් ඒ සියළුම අංශ වලට එහි අයහපත් බලපෑම් සිදු වී ඇත. විශේෂයෙන් අධිකරණය හා  ව්‍යවස්ථාදායකය පිළිබද ජනතා විශ්වාසය බිද වැටීමට මෙය හේතු වී ඇත.
   දේශපාලන ක්‍රමයට ඉතාම වැදගත් වන ආයතන වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතන තුනයි. මේවා දේශපාලන ක්‍රමයක විධිමත් උප පද්ධති සේ සැලකේ. මෙම ආයතන තුන නිසි ලෙස ක්‍රියාත්මක නොවේ නම් එය සමස්ත පද්ධතියටම බලපෑම් කරයි.
                                                                                    මෙම පද්ධති විශ්ලේෂණ ක්‍රමය හදුන්වාදීමට කළින් එම ආයතන තුන පිළිබද ව වෙන වෙන ම ඉගෙනුම ලැබුව ද පද්ධති ක්‍රමයේ දී ඒවා එකට ගෙන ඉගෙනුම ලබයි. ඒ නිසා පද්ධති විශ්ලේෂණ ක්‍රමයේ දී එහි ඇති ව්‍යුහයන් හෙවත් උප පද්ධති පදනම් කරගෙන දේශපාලන ක්‍රමයක් ගොඩ නැගී ඇති අයුරු සලකා බලන අතර එක් කොටසක කෙරෙන කාර්යයන් වල හොද හෝ නරක අනෙක් කොටස් වලට බලපාන අයුරු සාකච්ඡා කෙරේ. එම නිසා මෙම ආයතන වෙන වෙන ම හැදෑරීම කළ නොහැක.
                                                මෙම අධ්‍යයන ක්‍රමය තුළනාත්මක ආණ්ඩුක්‍රමය විශ්ලේෂණය කිරීම සදහා ඉතාම වැදගත් ක්‍රමය ලෙස සැලකේ.
                                                ව්‍යුහ කෘත්‍යවාදය හෙවත් පද්ධති විශ්ලේෂණ ක්‍රමය විවිධ සමාජ ක්‍රම මෙන් ම දේශපාලන ක්‍රම හා ඒවා සමන්විත වී ඇති අංග ලක්ෂණ විශ්ලේෂණය කිරීම සදහා ද ඇති වැදගත් ප්‍රවේශයක් ලෙස සැලකේ. මෙම ප්‍රවේශයට අනුව පද්ධතියක ඇති අනන්‍යතා, ඒකාග්‍රතාවය හා ආර්ථික සබදතා කෙරෙහි අවධානය යොමු කෙරේ.
8.     සමාජ විද්‍යාත්මක අධ්‍යයන ක්‍රමය (අන්තර් විෂයාත්මක ක්‍රමය)
                    දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමෙහි ලා භාවිතා කරන ක්‍රමවේදයක් අතුරින් තවත් වැදගත් අධ්‍යයන ක්‍රමයකි. මෙම ක්‍රමය ප්‍රධාන වශයෙන් 20 වන සියවසේ දී දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම සදහා භාවිතයට ගන්නා ඉතාම ජනප්‍රිය ක්‍රම ශිල්පයක් ලෙස හැදින්විය හැක. මෙම ක්‍රම ශිල්පයේ දී සලකා බලන්නේ රටක දේශපාලනයේ සැබෑ ක්‍රියාකාරීත්වය හා ඒ කෙරෙහි බලපාන සමාජ, ආර්ථික, දේශපාලන හා අනෙකුත් සාධක පරීක්ෂා කිරීම ය. නැතහොත් මේ ක්‍රමය අනුව දේශපාලන කටයුතු වල සමාජීය හා ආර්ථික පදනමත්, විධිමත් ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන සමාජීය හා අනෙකුත් සාධකත් විමසා බැලීම සිදු කෙරේ. මෙහි ලා ඉතිහාසය, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, මනෝ විද්‍යාව වැනි සමාජ විද්‍යා විෂයන් වල කර ඇති විමර්ෂණ, පර්යේෂණ හා ඒවායේ ප්‍රතිඵල භාවිතා කිරීම මගින් දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම සිදු කෙරේ. මීට හේතුව රාජ්‍ය නැමැති ආයතනය හා සම්බන්ධ සමාජීය වුවමනාවන් හා සබැදුණු සමාජ හැසිරීම් රටාවක් පැවතීමයි.
                                                                                                එසේ ම සමාජයේ බොහෝ අංශ දේශපාලනය සමග ඉතා කිට්ටුවෙන් ඍජුව හෝ වක්‍රව බැදී පැවතීම ද එයට හේතුවයි. නිදසුන් වශයෙන් රටක ආර්ථික ක්‍රමය, ජාතිය පිළිබද වප්‍රශ්න, සමාජ ව්‍යුහය, කලාව, භාෂාව, ආගම, කුලය, ප්‍රදේශය ආදී සාධක දේශපාලනය සමග ඉතා කිට්ටුවෙන් බැදී පවතී. මෙම අංශ අතර සම්බන්ධය පරීක්ෂා කරමින් දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම සමාජ විද්‍යාත්මක ක්‍රමයේ දී සිදු කෙරේ. මෙම විද්‍යාත්මක ක්‍රමය උපයෝගි කර ගන්නා දේශපාලන විද්‍යාඥයින් “දේශපාලන සමාජ විද්‍යාව” නමින් නව දැනුම් සම්භාරයක් දේශපාලන විද්‍යා විෂය තුල පෝෂණය කර තිබේ. එහි ලා කාල් මාක්ස්, මැක්ස් වෙබර්, ඔගස්ට් කොම්ටේ වැනි අග වැදගත් ය.

9.     සංඛ්‍යා විද්‍යාත්මක අධ්‍යයන ක්‍රමය
                    මෙම ක්‍රමයේ දී සංඛයාන විද්‍යාවේ දී භාවිතා කරන ක්‍රම ශිල්ප හා ගණිතමය මිනුම් ක්‍රම යොදා ගනිමින් දේශපාලන විද්‍යාව හැදෑරීම සිදු කෙරේ. නිදසුන් වශයෙන් යම් මැතිවරණයක දී ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව, එහි දී ප්‍රකාශයට පත් කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව, ඡන්දය දුන් සංඛ්‍යාව ආදිය සැලකිල්ලට ගෙන අනාගත මැතිවරණ ප්‍රතිඵල ගැන පුරෝකථනයක් සිදු කිරීම කළ හැක.
                                                                                                                                                මීට අමතර ව දේශපාලන වශයෙන් වැදගත් සිදුවීම් පිළිබද වාර්තා දැක්වීම සදහා සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රමය යොදා ගත හැක. නිදසුන් වශයෙන් යුද්ධ වියදම්, යුද්ධ උපකරණ, යුද්ධයෙන් ඝාතනය වූ විරුද්ධවාදීන්ගේ ප්‍රමාණය, ඝාතනය වූ සිවිල් වැසියන්ගේ ප්‍රමාණය, අවතැන් වූ ප්‍රමාණය, ඔවුන් පුනරුත්ථාපනයට යන වියදම්, වෛද්‍ය පහසුකම් යනාදිය දැක්විය හැක. පාසල් වැනි දෑ විග්‍රහ කිරීම සදහාද මෙම ක්‍රමය බහුලව යොදා ගැනේ.
                                    ඒ සදහා සංඛ්‍යාන විද්‍යාවේ භාවිතා කෙරෙන මිනුම්, එනම් මාතය, මධ්‍යස්ථය, සම්මත අපගමනය, ප්‍රමාණ චක්‍ර, ප්‍රස්තාර, වගු ගත කිරීම් ආදිය භාවිතා කරයි.
                                                                                                            විශේෂයෙන් මැතිවරණ සංඛ්‍යාලේඛණ මේ සම්බන්ධව ඉතා වැදගත් වේ. ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය වැනි දියුණු රටවල මැතිවරණ වලට පෙර මහජන මතය මැනීම සදහා මෙම ක්‍රමවේදය යොදා ගන්නා අතර ඒ මගින් පල කරන අනාවැකි මැතිවරණ ප්‍රතිඵල වලින් ඔප්පු වී තිබේ. ඒ නිසා මෙම විශ්ලේෂණය ක්‍රමය තුළින් අදාල සිදු වීම් පිළිබදව විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කළ හැකි ය. එය මෙහි ඇති විශේෂතම ලක්ෂණය යි.
                                                                                                                        මෙම සංඛ්‍යා විද්‍යාත්මක අධ්‍යයන ක්‍රමය හදුන්වා දුන් පුරෝගාමීන් අතර බ්‍රයිස් සාමි, ග්‍රේහැම් වොලස්, ඩී. වැල්ඩෝ, එච්. ඩී ඇන්ඩර්සන් ආදීහු වැදගත් වේ. සංඛ්‍යා විද්‍යාත්ක ක්‍රමය මගින් ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් ලබා දිය හැකි බව මොවුහු ප්‍රකාශ කරති. ඒ අනුව යම් දේශපාලන සංසිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රථමයෙන් දත්ත එකතු කිරීමක් සිදු කෙරේ. එයින් පසුව ලබා ගත් දත්ත විශ්ලේෂණයකට බදුන් කරයි. මෙහි දී ප්‍රස්තාර, වගු ආදිය යොදා ගන්නා අතර සංඛ්‍යාත්මක මිනුම් ක්‍රම ද යොදා ගනී. විශේෂයෙන් ම රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ දී යම් යම් නියැදි හරහා තෝරා ගන්නා දත්ත මත පූර්ණ නිගමන වලට එළඹීමට, මැතිවරණ විශ්ලේෂණය කිරීමට, ගැටුම් විශ්ලේෂණයට මෙන් ම දිළිදුකම පිටු දැකීමේ සේවාවන් ආදිය නිරීක්ෂණය කිරීමේ දී යොදා ගනී.
                    නමුත් මෙම සංඛ්‍යා තොරතුරු සැබෑ ඒවා නොවුනහොත් ඒවායින් එළඹෙන නිගමන සියයට සියයක් ම නිවැරදි නොවේ. එසේ වුවහොත් සැබෑ දේශපාලන චර්යා සෙවීමට නුපුළුවන. එය මෙහි ඇති දුර්වලතාවයකි. උදාහරණ ලෙස 1980 දශකයේ පැවැත් වූ ලංකාවේ ජනමත විචාරණය, 1990 දශකයේ වයඹ පළාතේ පැවැත් වූ මැතිවරණය, 2010 පවත්වන ලද ජනාධිපතිවරණය ආදියේ දී ලැබී ඇති තොරතුරු සත්‍ය ඒවා ද යන්න සැක ය.

                        ඒ නිසා දියුණු රට වලට මෙය අදාල කර ගත හැකි වුව ද දේශපාලන අතින් නොදියුණු රටවලට එය අදාල කර ගත නොහැක. එසේ යම් ඡන්ද විමසීමකට කළින් සංඛ්‍යාත්මක ව ප්‍රකාශ කරන දෑ සිදු වීමට බලපාන හේතු මේ මගින් පරීක්ෂා නොකෙරේ. තව ද සංඛ්‍යා දත්ත ලබා ගැනීමට භාවිතයට ගන්නා නියැදියේ සාර්ථක හෝ අසාර්ථක බව පදනම් කොටගෙන ප්‍රතිඵල ද සාර්ථක හෝ අසාර්ථක වීමට ඉඩ ඇත.